Friday, July 8, 2016

රාගම සිට මාලඹේ හරහා ‘ත්‍රිමාවිතාරණ’ තත්ත්වයක් යළිත් එයිද?

රාගම සිට මාලඹේ හරහා ‘ත්‍රිමාවිතාරණ’ තත්ත්වයක් යළිත් එයිද?


අපේ රටේ දේශපාලනය සම්බන්ධව බැරූරුම්ව සිතන ඕනෑම අයකුට මඟහැර යා නොහැකි ඉතා වැදගත් කාරණයක් බවට මාලබේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රශ්නය පත් වෙමින් තිබේ. මේ කාරණය ගැන කථා කිරීමට සිතුවේ සමහර විටෙක ඉදිරි කාලයේ ලංකාවේ තරුණ දේශපාලනයේ බොහෝ වෙනස් වීම් මේ සිද්ධිය මුල් කරමින් සිදු වේයැයි මට සිතෙන නිසාය. එය නිකම්ම නිකම් සිතිල්ලක් පමණක්යැයි සිතා කෙනකුට එය අවඥාවෙන් බැහැර කිරීමට පුළුවන. එහෙත් මෙරට දේශපාලනය සහ ඉතිහාසයේ දේශපාලන පෙළගැස්ම මතක තිබෙන මගේ පරම්පරාවේ අයට නම් මේ කාරණය විහිළුවක් හෝ හිතලුවක් නොවේයැයි මම විශ්වාස කරමි. 

අපේ රටේ තරුණ වාමාංශික ව්‍යාපාරය ලෙස දෙවන වටයේ ජවිපෙ කරළියට බැස්සේ 1978 විජේවීර ඇතුළු එම පක්ෂයේ නායකයන් සිර ගෙයින් නිදහස් වීමත් සමගය. විජේවීර 1982 ජනාධිපතිවරණයට තරග කෙරුවේ ඒ තරගය හරහා ‘ප්‍රජාතන්ත්‍රීයවම’ රටේ දේශපාලන බලයේ තුන්වන ස්ථානය ජවිපෙට ලබාගනිමින් වමේ දේශපාලනයේ උරුමය තනිකරම සින්න කරගැනීමට හැකි වෙතැයි සිතූ නිසා විය යුතුය. එසේත් නොමැති නම්, විපක්ෂයේ ජනප්‍රියම නායිකාවට තහංචි දමා කෙරෙන මේ ජනාධිපතිවරණය ඔස්සේ තමාගේ දේශපාලනය ‘අලුත් ප්‍රජාතන්ත්‍ර අවකාශයේ සලු කරගැනීමටත්’ කදිම අවස්ථාවක්යැයි ඔහු සිතූ නිසා විය යුතුය. 
විජේවීර සිතුවේ මේ විකල්පයන් දෙකෙන් එකක්ද, නැත හොත් වෙනත් යමක්දැයි අප හරියටම දන්නේ නැති වුණත් ඔහු දෙවැනි වටයේ ප්‍රජාතන්ත්‍ර දේශපාලනට දෙවරක් නොසිතා අවතීර්ණ වෙමින් සිටි බව නම් සැබෑය. එහෙත් ඔහුගේ ප්‍රජාතන්ත්‍ර සිහිනය දවල් හීනයක් බවට පත් කරන්නට ජනාධිපති ජයවර්ධන කටයුතු කළේ ඉතා අසාධාරණ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරමින් බව බොහෝ අයට මතක ඇත. තමන්ව ප්‍රජාතන්ත්‍ර අවකාශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව පිටමං කිරීම විජෙවීර භාර ගත්තේ අතිශයෙන්ම බරපතළ සහ භයානක ආකාරයෙන් බවද ඒ ‘බය හිතෙන’ අතීතය හරහා ගමන් කළ අපි කවුරුත් හොඳින් දන්නෙමු. රටම ගිනි ගත් ඒ බිහිසුණු යුගයේ ගොඩනැඟුණු තීරණාත්මක දේශපාලන සටන් පාඨයක් වූයේ රාගම පිහිටි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරව් යන සටන් පාඨයයි. මේ මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබදව සිදු වෙමින් පවතින දේවල් දකින විට සිතෙන්නේ ඉතිහාසය යළිත් ආපස්සට කැරකෙමින් තිබෙනවා වැනි අදහසකි. ඒ කාලයම යළිත් වරක් එන්නේදැයි මට සිතුණේ සමහර සිදුවීම් අද සිදු වන්නේ එද ආකාරයෙන්ම වගේයැයි බැලු බැල්මටම පෙනී යන නිසාය. නාට්‍යයත් සමානය. රඟපාන හුඟක් නළුවෝත් සමානය. අද යළිත් බලයේ සිටින්නේ එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයමය. අද අගමැතිවරයා වන්නේ එදා සිටි ශක්තිමත් සිටි අධ්‍යාපන ඇමැතිවරයාමය. අද මාලබේ ‘පිළිගැනීම’ ගැන තීරණය කරන වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන්නේ එදා රාගම වෛද්‍ය විද්‍යාලයේ විභාග පැවැත්වීම ඔස්සේ එය ‘පිළිගැනීමට’ කොන්තරාත්තුව පැවරුණු (එහෙත් එය ඉටු කිරීමෙන් වැළකී සිටි) කොළඹ වෛද්‍ය පීඨයේ එවකට පීඨාධිපති කාලෝ ෆොන්සේකා මහතාය. අද සෞඛ්‍ය අමාත්‍යවරයා එදා සටනේ මුලදී සිසුන් සමග එකට සිටි දන්ත වෛද්‍ය සංගමයේ එවකට සභාපති රාජිත සේනාරත්න මහතාය. අද සටන මෙහෙයවන ‘අන්තරය’ එදා සිටි අන්තරයේම වර්තමාන ප්‍රකාශනයය. එදා අන්තරය මෙහෙයවූ ජවිපෙ පක්ෂයක් ලෙස අද නොපෙනුණත් අද අන්තරය දුවවන්නේ එදා ජවිපෙ ඇතුළේ නොපෙනෙමින් සිට ඒ පක්ෂය දිවවූ නායකයින්ය. පරණ ආකෘතියේ සටන් පාට, පාගමන්, අඛණ්ඩ සත්‍යග්‍රහ, කොළඹ වටකිරීම් එක වගේම සෑම සතියකම සිදු වෙමින් පවතින්නේය. බැලු බැල්මට පෙනෙනේනේ පරණ නළුවන් කීප දෙනකු සමග අලුත් අය යළිත් එකම නාටකයක් රඟපානවා කියාය. නාටකයේ පිටපතත් එක වගේමය. ‘රාගම’ කියා තිබුණු තැනට ‘මාලබේ’ කියා වෙනස් කර ඇති බව සැබෑය. ඊට අමතරව ඇති එකම වෙනස කාලයේ වෙනස් වීම පමණය. ප්‍රසිද්ධ ගීතයක තිබෙන ආකාරයට කාලය කොතරම් නපුරුද කියා සිතෙන්නේ එකම ව්‍යසනයේ නාටකය දෙවරක් පෙන්නීමට යන බවක් දැනෙන විටය; ඒ ව්‍යසනය කවුරුවත් හරියට තේරුම් ගන්නා බවක් නොපෙනෙන විටය. 
දැන් මේ ‘එකම’ ප්‍රශ්නය යළියළිත් එන්නේ අපේ රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධව ඇති බරපතළ ප්‍රතිපත්ති ගැටුමක් හේතුවෙන්ය. උසස් අධ්‍යාපනය සම්බන්ධ මේ රටේ ප්‍රතිපත්තීන් සහ නෛතික තත්ත්වයන් තරමක් යල් පැන ගොස් ඇති බව මේ වන විට බොහෝ අය මතු කර ඇති කාරණයකි. අනෙක් අතට අධ්‍යාපනය සම්බන්ධ වැදගත් ප්‍රතිසංස්කරණ මෙරටට ගෙනා සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය 1977 පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීම සහ රටේ තිබූ සුභසාධන කෙරෙහි තිබූ ‘වාමාංශික මතවාදි ආධිපත්‍ය’ 1989 සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග නිමා වීම මේ තත්ත්වය කෙරෙහි බලපාන ලද තවත් හේතූන්ය. අනෙක් අතට මෙහිදී වැදගත් සාධකයක් වන්නේ යම් රටක රාජ්‍යයේ වපසරිය කුමක්ද සහ වෙළෙඳපොළේ වපසරිය කුමක්ද යන්න පිළිබඳව අපේ රටේ ශක්තිමත් සාකච්ජාවක්ද නොමැති වීමය. විකිණිය හැකි සියල්ල විකිණිය යුතුය යන පදනමින් ඉවත් වී උසස් අධ්‍යාපනයේ පැවැත්ම ගැන සිතීම මෙහිදී ඉතා වැදගත් කාරණයය. එහෙත් 1994න් පසුව පැමිණි සෑම රජයක්ම පාහේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ‘නිශ් මාකර්ට්’ එකක් ඇති ක්ෂේත්‍රයන් ගැන කෙළ හලන වෙළෙන්දන්ගේ ආධිපත්‍යයට යටත් වීම මේ තත්ත්වය වර්ධනය කිරීමට බරපතළ අයුරින් හේතු වූ බවද සත්‍යයකි. මාද වෙනත් ක්ෂෙත්‍රයක නිලධරයකුව සිටි පසුගිය රජය කාලයේද උසස් අමාත්‍යාංශය 
වෙළෙඳපොළට අධ්‍යාපනය යටත් කිරීම මේ ක්‍රියාදමය යම් ආකාරයකින් ‘සිල්ලරට’ කරගෙන ගිය බව කවුරුත් දන්නා කාරණයකි. එහෙත් ‘රට කියන්නේ මාකර්ට් එකක්’ යැයි සිතන එජාප රජයක් යටතේ අද වැනි කාලයක ඒ අධ්‍යාපන මුදලාලිකරණය ‘තොග ගානට’ කරන්නට සැලසුම් හදන බවත් දැන් දැන් පැහැදිලිය. දැන් මේ ප්‍රශ්නය ප්‍රතිපත්ති සම්පාදනය පැත්තෙන් ආමන්ත්‍රණය නොකරන තරමට යළිත් වරක් එදා ’88-’89 සිදු කළ ආකාරයේ අර්බුදයක් රට තුළ නිර්මාණය වීමේ බරපතළ අවදානමක් තිබෙන බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය. 
දැනටත් උසස් අධයාපන ක්ෂේත්‍රයේ වැඩ කරන යහපාලනයට සම්බන්ධ මගේ පැරණි මිතුරකු විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය ගැන තරමක් ගැඹුරු අධ්‍යයනයක්ද ලියා අපේ ආණ්ඩුව කාලයේ ප්‍රකාශයටද පත් කර තිබිණි. එය එකල ආණ්ඩුව භාර ගත්තේත් අභියෝගයක් ලෙස නොව තර්ජනයක් ලෙසිනි. මගේ පැරණි මිතුරාගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයෙන් නීති විරෝධී ලෙස ඔහුව පලවා හරින්නට පවා එකල සිටි උසස් අධ්‍යාපන ප්‍රධානියා කටයුතු කළ අතර ඔහු යළිත් සේවයෙහි පිහිටුවන්නට විශාල මහන්සියක් ගන්නට බොහෝ අයට සිදු විය (එකල සිටි උසස් අධ්‍යාපන ප්‍රධානියාත් මගේ පැරණි මිතුරාත් අද එකම යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වී සිටින බවද මෙහිදී සඳහන් කරන්නේ අපහාසයකට නොව, ඉතිහාසය යළිත් කැරකැවෙන හැටි පෙන්නීමටය). මාලබේ ප්‍රශ්නය ගැන ගැඹුරු අධ්‍යයනයක් මා සිදු කර නැත. දැන් දැන් සිදු වන දේවලින් පෙනී යන්නේ මාලබේ වෛද්‍ය විද්‍යාලයටත් රාගමට සිදු වූ දේම සිදුවීමේ විශාල විභවතාවක් තිබෙන බවයි. මාලබේ තියා ගත්තත් එය වසා දැමුවත් මේ ප්‍රශ්නය නිසා යළිත් වරක් රටේ දේශපාලනය ’89 අඳුරට ගමන් කිරීමේ ඉඩ අප පරාජය කළ යුතුය. එයින් මා කියන්නේ මේ ප්‍රශ්නය මතු කරන අන්තරයට හෝ මේ සටන මෙහෙයවන බව පෙනෙන පෙරටුගාමී සමාජවාදි පක්ෂයට හෝ ජවිපෙට හෝ පහර දිය යුතු බව නොවේ. ඒ නොකළ යුතුම දේය. මේ මොහොතේ දේශපාලන අවකාශයේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැම දෙන මේ ප්‍රශ්නය ගැන බරපතළ සංවාදයකට යා යුතුය. එවැනි සංවාදයක් තුළ රටේ මතය බවට පත් වන්නේ මාලබේ අහෝසි කිරීම නම් එයට වුවත් අප යා යුතුය. අපට පෙනෙන කාරණයක් වන්නේ ගැටලුවක් කථා කිරීමේ විනය දැන් සිටින අන්තරයේ අයට තිබෙන බවය. ඒ නිසා කළ යුත්තේ ප්‍රශ්නය තනිකරම අන්තරයේ ප්‍රශ්නයක් බවට පත් කර රටේ දේශපාලන සිතන්නන් වෙනත් දේවල්වලට අවධානය යොමු කිරීම නොව, මේ ප්‍රශ්නය වෙතට අප සැම ගමන් කිරීමය. 
මෙතැනට ත්‍රිමාවිතාරණගේ නම පැමිණෙන්නේ ’89 රාගම වෛද්‍ය විද්‍යාල සටනේ මිය ගිය නායකයකු නිසා පමණක් නොවේ. එකල පැවති දේශපාලන තත්වය වෙනස් කළ එක සන්ධිස්ථානමය වෙනසක් තී‍්‍රමාගේ මරණයත් සමග සිදු වූ නිසාය. ත්‍රිමාවිතාරණගේ මරණය විසින් ආරම්භ කෙරුනු ’88-’89 සටනේ කතාන්දරය විසින් රාගම වෛද්‍ය විද්‍යාලය උතුරු කොළඹ වෛද්‍ය පීඨය බවට පත් වී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වුවත් ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය අතිවිශාලය; අහිමි වූ විශ්වවිද්‍යාල ජීවිත ගණන විශාලය; රටට අහිමි වූ දේවල් විශාලය. සිදු වුණේ නිදිකුම්බා පැළය ගලවන්නට බුල්ඩෝසරයක් දැම්මා වැනි වැඩක්ය. නිදිකුම්බා පැළය ගැලවුණේය. ඒත් ඒ නිසා හෑරුණු ගැඹුරු වළ තවමත් වැසුණේ නැත. 

No comments:

Post a Comment