Monday, October 7, 2019

ඔසීට අදින ‘මහේශාඛ්‍යලා'

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සාකච්ජා අතරින් මේ දිනවල ඉදිරියට පැමිණ ඇති ප‍්‍රධාන එකක් වන්නේ තුන්වෙනි අපේක්ෂකයෙකු අවශ්‍යද කියන කාරණයයි. මේ පිළිබඳව කතා කරන අය එයින් අදහස් කරන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකටම වෙනස් ආකාරයේ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුද යන ප‍්‍රශ්නයයි. මේ සාකච්ජාව අද ඊයේ ආරම්භ වූ එකක් නොව 2015 යහපාලන යැයි කියන මේ ආණ්ඩුව පත්වූ දවස්වල සිටම එක්තරා කණ්ඩායමක් ඉදිරිපත් කළ අදහසක් බව පිළිගැනීම නිවැරැදි බව මගේ අදහසයි. මේ කියන තුන්වෙනි අපේක්ෂකයෙකු පිළිබදව කාරණය පිළිබඳව මෙ සතියේ සටහනින් ලියන්නට අදහස් කළේ ඒ පිළිබඳව මතුකර ගත යුතු වැදගත් කරුණු කීපයක්ම සමාජයේ විවිධ ක්ෂේත‍්‍ර තුළින් මතුවෙමින් පවතින නිසාවෙනි.

ආචාර්ය චරිත හේරත් 
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජෙෂ්ඨ කථාකාචාර්ය
මෙතැන තුන්වන අපේක්ෂකයෙකු යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රධාන ධාරාවන් දෙකේ අපේක්ෂකයින් දෙදනාගෙන් නවතින්නේ නැතිව ඒ දෙකටම විකල්පයක් ලෙසින් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි යන අදහසයි. මේ කාරණය ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණවල සමහර අවස්ථාවල අත්හදා බලා තිබූ උපක‍්‍රමයක් වූ බවද මෙහිදි සදහන් කළ යුතුය. විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට පළමුවෙන්ම මැතිවරණයක් පැවතියේ 1982 වර්ෂයේය. ඒ ජනාධිපතිවරණයේදි එජාපයේ ජයවර්ධන මහතාත් ශ‍්‍රීලනීපයේ කොබ්බෑකඩුව මහතාත් යන ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදනාට එරෙහිව ජවිපෙ විජෙවීර මහතාත් සමසමාජයේ කොල්වින් ආර් ද සිල්වා මහතාත් තුන්වෙනි අපේක්ෂකත්වයට තරග කළ බව සමහරුන්ට තවමත් මතකය.