Friday, June 29, 2018

‘පළාත් සභා අහෝසිකිරීම’ යහපාලනයද?

අපේ රටේ දැන් පවතින පළාත් සභා ක‍්‍රමය පිහිටවූයේ ඉන්දු ලංකා ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙසින් බව අපි හැමෝම දන්නා කාරණයක්ය. ඒ ගිවිසුම අත්සන් කරන්නට ගොස් මුලූ රටම ගිනි ගත්තා යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ කාලයේ ශ‍්‍රීලනීපයත් ජවිපෙයත් පෙනී සිටියේ මේ පලාත් සභා ක‍්‍රමයට විරුද්ධවය. පළමුවෙන්ම පැවති පලාත් සභා මැතිවරණයට ඒ පක්ෂ දෙකම තරග කෙරුවේද නැත. තරග කෙරුවේ නැතිවා පමණක් නොව එසේ තරග කළ වාමාංෂික පක්ෂවල නායකයින්ට ජවත්වීමේ අයිතිය පවා ‘දේශප්‍රෙමීන්’ යැයි කියු අය විසින් පැහැර ගනිමින් තිබුනි. දැන් තියෙන පළාත්  සභා ක‍්‍රමය  හැදුවේ (හැදුනේ)  එවැනි ආකාරයෙන් දිවි පුද යැයි කීමේ වැරුද්දක් ද නැත.

උතුරේ ප‍්‍රශ්නයට පිළිතුර යැයි කියා පලාත් සභා ක‍්‍රමය ගෙනාවාට උතුරේ පළාත් සභාව හරියට පිහිටවන්නට ඒ කාලයේ සිටි එජාප රජයට  හැකියාවක් ලැබුනේ ද නැත. යම්තම් අටවා ගත් වර්ධරාජා පෙරුමාල්ගේ පලාත් සභාව විසුරුවා හරින්නට පේ‍්‍රමදස මහතාට බලකෙරුණු බව අපි හැමෝමට තවමත් මතකය. ඊට පසුව එජාපයෙන් හා ශ‍්‍රීලනීපය ප‍්‍රධාන සන්ධානයෙන් ආණ්ඩු හා ජනාධිපතිවරුන් බලයට පැමිනියත් උතුරේ පළාත් සභාවක් පිහිටවන්නට ඒ කාටවත් හැකියාවක් ලැබුනේ නැත. විශේෂයෙන් 1994 පසුව 2005 දක්වා පහලවූ නායකයෝ හැමෝම වගේ තමන්ම තමන්ට සාමයේ දුතයෝ හා දුතිකාවෝ යැයි කියා ගත්තාට ඒ කාටවත් ප‍්‍රභාකරන් කැමති දේ මිසක් එයට වෙනස් දේවල් කරන්නට හැකියාවක් තිබුනේත නැත. අද උතුරේ තියෙන්නේ ඒ ප‍්‍රභාකරන්ව පරාජයට පත් කරමින් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවකාශය මත මහින්ද රාජපක්ෂ විසින් යම්තම් පිහිටවූ පළාත් සභාවය.

Friday, June 15, 2018

ඇලෝසියස්ට ගිය පාර්ලිමේන්තුව

පාර්ලිමන්ට් ජොක්ස් කියා චිත‍්‍රපටියක් ආවේ මීට වසර කීපයකට පෙරදිය. ඒ චිත‍්‍රපටියෙන් පෙන්නූයේ මේ රටේ පාර්ලිමේන්තුවේ අද තිබෙන හාස්‍යජනක ස්වරූපය පිළිබදවය. හුගක් දුරට මේ කාලයේ රාත‍්‍රීයේ රූපවාහිනී නාලිකා වල පෙන්වන ප‍්‍රවෘත්තිවල වුනත් ‘හිනායන කෑලී’ ටිකක් ලෙසින් දමන්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් කරන විහිලූ සහගත කථා හෝ කුණුහරප කථාවලින් කපා ගත් කොටස් ටිකක්ය. පාර්ලිමේන්තුව යනු අපේ රටේ තිබෙන වැඩියෙන්ම අපයෝජනයට ලක් වූ ආයතනය බවට මේ වන විට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. බිතාන්‍ය යටත් විජතයේ අයිතිකාර සුද්දන් මේ රට හැර ගිය පසු වැඩිම වේගයකින් දරුණුම ආකාරයෙන් කඩා වැටුන ආයතනය වන්නේ පාර්ලිමේන්තුව යැයි සිතෙන තරමට මේ ආයතනය විකාර රූපී පැත්තකට ගමන් කරමින් තිබෙන බවට සාක්ෂි  ඕනෑ තරම් මේ දිනවල මතුවෙමින් තිබෙන්නේ ඒ නිසාය. මට මේ කාරනය ගැන ලියන්න හිතුනේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් කීප දෙනෙකු පදනම් කරගනිමින් මේ දවස්වල සිදුවූ  ප‍්‍රධාන සිදුවීම් කීපයක් දෙස බැලීමෙන්ය.