Thursday, August 16, 2018

පේරාදෙනියේ පහරදීම සහ ‘'පසුගාමී’' දේශපාලනය

පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප‍්‍රධාන මාධ්‍යවල ද, මේ කාරණය පිළිබද ප‍්‍රවෘත්තිය විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුණි.

මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන දුරකථනයකින් කතාකරමින් සිටි අයෙකු ගේ ඇදුම විශ්ව විද්‍යාලයේ උප සංස්කෘතිය යැයි කියන දෙයට ගැලපෙන්නේ නැති බව කියමින් යම් ශිෂ්‍ය පිරිසක් මේ පුද්ගලයා සමග ගැටුමකට ගොස් ඇති බවය. පසුව දැනගත් පරිදි මේ රථයේ සිට ඇත්තේ වෛද්‍යවරයෙකු වන අතර උපසංස්කෘතියට නොගැලපෙන ඇදුම ලෙසින් ඒ ශිෂ්‍ය කණ්ඩායම අර්ථකථනය කර ඇත්තේ ඔහු කොට කලිසමක් ඇද සිටීමය. මේ සිදුවීම ගැන මා ඇසූ මේ කතාවට වෙනස් දේවල් ද, තිබිය හැකි අතර දැනට පොලිසියෙන් මේ පිළිබදව පරික්ෂණ පවත්වමින් සිටින නිසා ඒ ගැන වැඩි විස්තරයක් පැවසීමේ හැකියාවක් නැත. එහෙත් මේ ‘‘කොට කලිසම සහ උප සංස්කෘතිය සමග නොගැලපීම“ යන සිද්ධිය මේ පහරදිම සහ වෙනත් අවස්ථාවල පුද්ලයින් ගණනාවක් සම්බන්ධයෙනුත් මතුවී තිබෙන හෙයින් මේ ගැන කතා කිරීම ඉතාමත් සුදුසුය. ඉතාමත් වැදගත්ය.
විශ්වවිද්‍යාලයේ දේශපාලන අධිකාරිමය බලය පවත්වාගෙන යාමට උත්සාහ දරන අය අතරින් පසුගිය දශක දෙකක කාලය තුළ මේ ආකාරයේ උපසංස්කෘතිය වැනි අතිශයෙන්ම විකාර රූපී තර්කයන් විශ්වවිද්‍යාලයට මේ ආකාරයෙන් පැමිනියේ 89 ජවිපෙ නැගිටීමෙන් පසුව 90 දශකයේ සිට බවත්, එයට මුලික හේතුව වූයේ විශ්වවිද්‍යාල තුළ වෙනත් මතයක් ගොඩ නැගේයැයි බිය වූ ජවිපෙ ඇතුළු කණ්ඩායම්වල දේශපාලනය ඒ දවස්වල රැකගන්නට වෙනත් මගක් නොතිබූ නිසා බව මගේ නිරීක්ෂනයයි. මේ කණ්ඩායම් 91 වර්ෂයේ සිටම ස්වකීය දේශපාලනය යළි ගොඩනැගී නොතිබුණු තත්වයක් තුළ තමන්ගේ ගොඩේ කාට හරි ශිෂ්‍ය සභාවල බලය තියාෙගෙන ඉන්නට හදාගත් දේශපාලන සටන් පාඨයන්ගෙන් කීපයක් වූයේ ‘‘බැච් එක බෙදන්න එපා‘’, ‘‘ඡන්ද කියන්නේ ශිෂයයන් බෙදන්නටයි’‘, ‘‘ඡන්දයක් කියන්නේ පාලකයින් ගෙනෙන ඇමක්’‘ ‘‘විශ්වවිද්‍යාල උපසංස්කෘතිය රකින්නට නම් රැග් එක ඕනා‘’ වැනි අතිශයෙන් ග‍්‍රාමීය තර්ක ටිකක් ය. මේ තත්වයට සෘජුවම මුහුණ දුන් අයෙකු ලෙසින් මේ කාරණය මා දකින්නේ අතිශයෙන් පසුගාමී තත්වයක් ලෙසින් ය.

1994 ජවිපෙ දේශපාලනය නැවැත ප‍්‍රධාන ප‍්‍රවාහයට පැමිණි පසුව මේ ග‍්‍රාමීය තර්ක ටික පසෙකට විසිකර දමා යළිත් දේශපාලන සාකච්ජඡාවක් ශිෂ්‍ය ව්‍යාපාරයට රැගෙන එනු ඇතැයි අපි වැනි අයගේ බලාපොරොත්තුව විය. එහෙත් සිදුවූයේ අනෙක් පැත්තය‍. ජවිපෙ දේශපාලනයත් මේ ගමේ වැඩේට දියවී ගියා මිස ශිෂ්‍ය දේශපාලනය එයින් ගැලවී ගියේ නැතෙ. (මේ තත්වය 1995 වැනි කාලයේ කොතරම් දරුණුවී ද යත් ඒ දවස්වල ජංගම දුරකතන විශ්වවිද්‍යාලයට ගෙන ඒම පවා ‘‘උප සංස්කෘතියට‘’ විරුද්ධ දෙයක් විය. මගේ මිත‍්‍ර ඉන්ජෙකු වූ චාමින්ද හෙට්ටිආරච්චි මොබයිල් ෆෝන් පාවිච්චි කිරීමේ වරදට පහර නොකා බේරුනේ අනුනමයෙනි. ඒත් ධනවාදයේ මැෂින් එකේ ශක්තිය නිසා ඒ සටන් පාඨය විසිවී ගොස් සටන් නායකියන්ගේ සාක්කුවට ද, ෆෝන් එකක් වැටීමෙන් ඒ වැඩේ කෙළවර වියෙ. ඒ නිසා දැන් කාටත් විශ්ව විද්‍යාලයේ ‘‘උප සංස්කෘතියට’‘ හානියක් නොවන පරිදි ෆෝන් පාවිච්චි කිරීමට පුලුවන”.

දැන් පසුගිය කාලයේ ජවිපෙ දේශපාලනයේ පුපුරා යාම ලෙසින් මා සිතුවේ 1990 සිට ග‍්‍රාමීය දේශපාලනයේ සිරවී සිටින හා ඡන්ද දේශපාලනයේ අතරමංවී සිටින ජවිපෙ දේශපාලනය එයින් ගැලවී සැබෑ ලෝකයේ ඇත්ත සමාජ හා දේශපාලන ගැටළු සමග න්‍යායාත්මකව හා ප‍්‍රායෝගිකව ගැටෙන ව්‍යාපෘතියක් ගොඩ නගන්නට දරන උත්සාහයක් ලෙසින්ය. මගේ සමහර ලිපි ලේඛනවල පෙරටුගාමී දේශපාලන ව්‍යාපාරයට ‘ලකුණු’ වැටෙන පරිදි ලියන්නට සිතුවේත් ඒ නිසාමය. ඒත් දැන් පෙනී යන ආකාරයට පෙරටුගාමී කාණ්ඩයත් ගමන් කරන්නේ 1990 දශකයේ ජවිපෙට ගොඩ එන්නට බැරිවුණු වලටම නැවතත් වාරයක් වැටෙන්නට බව පැහැදිලි වේ.

මේ ‘‘කොට කලිසමේ‘’ ප‍්‍රශ්නය යනු එළියේ ලෝකයේ කතා කරන්නටත් බැරි තරම් ලැජ්ජා හිතෙන විකාරයක් බව තේරුම් ගන්නට ලොකු මාක්ස්වාදී ඥානයක් අවශ්‍ය වන්නේ නැත. ජවිපෙටත් පෙරටුගාමී පක්ෂයටත් අවශ්‍ය වන්නේ විශ්වවිද්‍යාල සිසුන් යනු තමන්ගේ ව්‍යාපෘතියේ එහාට මෙහාට හරවන්න පුළුවන් හා (කොළඹ ගෙනියන් පුළුවන්) ‘කෑලි’ ටිකක් බවට පත් කරගන්නට නම් මේ යන ආකාරයෙන් ඉස්සරහට යාමේ කිසිම වැරුද්දක් නැත. ඒත් ඒ අය සිතන්නේ ඊට එහා ගිය දේශපාලනමය මැදිහත්වීමක් කරන තර්කයෙන් භය නැති ශක්තිවන්තයෙක් හදන්නට නම් මේ ‘‘ගොන් වැඩ‘’ වලින් ඉවත්වීම අත්‍යවශ්‍යය. අනෙක් අතට සමාජයේ තියෙන යථාර්ථයන්ට පිටින් ‘‘මිත්‍යා දෘෂ්ටි’‘ ලෙසින් උප සංස්කෘති රැකගන්නට කියා තමන්ගේ දේශපාලනය කැළේ යවනවා මදිවට විශ්වවිද්‍යාලයට සමාජයේ යම් ගෞරවයක් තිබෙනවා නම් එයත් අර්බුදයට යවන මේ වැඩවලින් ඉවත්වීම අනිවාර්ය දෙයක් බවට මේ සිද්ධියත් සමග පත් වී තිබෙන මබ මගේ මතයයි.

පසුගිය කාලයේ ජවිපෙ විජිත හේරත් මහතා රාත‍්‍රියක තමන් පැදවූ වාහනය ලයිට් කණුවක හැප්පුන විට ජවිපෙ අයට විශාල මහන්සියක් ගන්නට වූයේ ඒ අනතුර ගැන කියන්නට නොව ‘‘විජිත මත් වී සිටියේ නැතැයි’‘ තමන්ගේ පාක්ෂිකයින්ට කියන්නට ය. ‘‘බොන්නේ නැති‘’ ආකාරයේ අනවශ්‍ය උපස්ංස්කෘතිවල පාක්ෂිකයින් තියාගෙන ඉන්න ගිය විට සිදුවන්නේ මේ වගේ දේවල්ය. මේ ආකාරයෙන් සිදුවීමකට ඉදිරියේ දී පෙරටුගාමී එකේ අයට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඒ අයට සිදුවන්නේ තමන් ‘‘මත් පැන් බීවේ නැතැයි‘‘ කියනවාට අමතරව ‘‘කොට කලිසම් ඇද සිටියේ නැතැයි’‘ ද දිවුර දිවුරා කියන්ට ය.

- චරිත හේරත් -

1 comment:

  1. මම සෝවියට් දේශයේ , උතුරු ඇමරිකාවේ , බටහිර යුරෝපයේ , ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට ගොස් විශ්ව විද්‍යාල සිසුන් සමග සංවාදයේ යෙදී තිබේ. සමහරක් විට ආරාධිත දේශනද පවත්වා ඇත​. මෙම විශ්ව විද්‍යාල බොහොමයක තිබෙන මානව ගරුත්වය -උසස් සංස්කෘතිය මගේ නිරීක්‍ෂණයට ලක් විය​. මගේ දැණුම අනුව නවක වධය නමින් ඉහවහා ගිය පරපීඩකත්වයක් පවතින්නේ සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේය​. 2014 වසරේ බෘක්ලීන් හිදී මට අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දකුණු ඉන් දියානු සිසුවෙකු හමු විය​. ඔහු පැවසූ පරිදි අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ මුල් වසරේදී ජේෂ්ඨ සිසුන් ඔහුට නිතරම කම්මුල් පහරවල් දී තිබේ. සමහර ශ්‍රී ලාංකික විශ්ව විද්‍යාල වල සහ තමිල්නාඩුවේ අන්නාමලෙයි විශ්ව විද්‍යාලයේ තිබෙන නවක වධ මානසිකත්වය ගැන වෙනම අධ්‍යනය කල යුතුය​. මගේ අදහස අනුව සංස්කෘතික පසුගාමීත්වය මේ සඳහා එක් ප්‍රබල හේතු කාරකයක් වෙයි. Read More http://transyl2014.blogspot.com/2016/01/blog-post_18.html

    ReplyDelete