මේ කොයි යන්නේ?
රටේ දේශපාලනය තරමක් වියවුල්සහගත තත්ත්වයට හැරෙමින් තිබේ. මේ රටේ දේශපාලනඅවුලක් තිබෙන බව කීම බලයේ නොසිටින මා වැනි අයගේ හිතලූවක් යැයි ආණ්ඩුවට සම්බන්ධ සමහරෙකුට සිල්ලරට කියා දැමිය හැකිය. එහෙත් රටේ තත්ත්වය ගැන මධ්‍යස්ථව බලන ඕනෑම අයෙකුට තේරුම් යන පරිදි ස්ථාවර නැති බවක් හැම තැනින්ම පෙනෙන්නට තිබේ. මූලිකවම මේ ආණ්ඩුව යනු මතවාදයන් කීපයක් එක් කර සැදූ ‘මැලේ අච්චාරුවක්’ පන්නයේ ආණ්ඩුවක් වීම එක් අතකින් මේ අස්ථාවරත්වයට මූලිකම හේතුව බව සමහරකුගේ මතයයි. තවත් සමහරකුට අනුව මේ මෙහොතේ අප අත්දකිමින් සිටින මේ තත්ත්වය අවබෝධ කර ගත යුත්තේ ජනවාරි 8 දින සිදු වූ වෙනසේ අනුල්ලංඝනීය තාර්කික ප්‍රතිඵලයක් ලෙසින් බවයි. මේ අවුල් සහගත තත්ත්වය කිසිදු ගානකට නොගෙන තමන්ගේ එකම ව්‍යාපෘතිය පරණ ආණ්ඩුවේ කවරකු හෝ කූඩුවේ දැමීම යැයි සිතාගෙන වැඩ කරන කණ්ඩායමක්ද මේ අතර සිටිති.
ඔවුන් වැඩ කරන්නේ ඔවුන් පාර්ලිමේන්තුවට එවා ඇත්තේ ඒ වැඩේට කියාය. දැනට ආණ්ඩුවේ අවුල් සහගතබව පෙන්නුම් කරන ප්‍රධාන ගැටලූ කීපයක්ම තිබේ. ඒවා අතරින් පළමු තැන ගන්නේ රටේ ආර්ථිකය සම්බන්ධව ඇති තිබෙන අවුල්සහගත තත්වයයි. මේ අවුල පැති කීපයකින්ම පෙන්නුම් කරම්න් තිබේ. එක් අතකින් මේ ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග මොනවාද කියා නොපෙනෙන තරමට තත්ත්වය සංකීර්ණ කරගෙන තිබේ. අගමැතිවරයාගේ හිතේ තියෙන ආර්ථිකය 1977 ජයවර්ධන මහතාගේ ආර්ථික උපාය මාර්ගය වූ වෙළෙඳපොළ සහ සංවර්ධන කටයුතුවලින් රාජ්‍යය ඉවත් වී එය පෞද්ගලික අංශයට තනිකරම භාර දීමය. ඔහුගේ කථාවලින් පේන්නේ අපේ රටේ ‘ආර්ථික ප්‍රශ්නය’ ලෙස එතුමා සිතාගෙන සිටින්නේ එද 1977 තිබූ ප්‍රශ්නයම බවය. ඒ නිසාම ඔහු තෝරන්නේ ජයවර්ධන මහතා තේරූ උත්තරයමය. අනෙක් අතට ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කරන උපදේශකයන්ද ජයවර්ධන සහ ප්‍රේමදාස රජයේ සිටි නිලධාරීන්ම වන අතර, ඒ අයගේ සිතීමේ සීමාවන් ඩිජිටල් අවකාශය එන්නටත් පෙර තිබූ පරණ සීමා බව මේ දිනවල සිදු වන දේවල් වලින්ම පෙනී යයි. ඔවුන් ආර්ථික උපායමාර්ග තෝරන සංකල්පීය වූ පදනම වන තනුක ලිබරල් ආර්ථික ආකෘතිය (Pure Liberal Economic Structures) මේ වන විට බටහිර රටවලත් අර්බූදයට ගොස් ඇති බව සමහර විට මේ ආර්ථික උපදේශකයන් දන්නේ නැත; නැති නම් ඒ බව නොදන්නවා වගේ සිටිනවා විය හැකිය. රටක ආර්ථිකය තනිකරම පෞද්ගලික අංශයට භාර දීම න්‍යායක් ලෙස මේ රටේ ආර්ථිකයට ගැළපිය හැකියැයි මා සිතන්නේ නැත. මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කාරණයක් වන්නේ එම රටේ සමාන්‍ය සමාජයේ ආර්ථික අසමානතාව එහෙමම තිබියදී එය සමානතාවක් ලෙසින් සිතා සියල්ලන්ම එකම තරගයට දැමීම අතාර්කික හා අසමත් ව්‍යාපෘතියක් වන බවය.
මා මීට පෙර ලියා ඇති පරිදි එය සමාන වන්නේ හරියට කොළඔ හතේ බගතලේ පාරේ වෙසෙන අයකු සහ ඈත ගිරාඳුරුකෝට්ටේ වෙසෙන අයකු එක සමාන ආර්ම්භක රේඛාවක ඉන්නවායැයි උපකල්පනය කරමින් දෙදනාව කොළඔ කොටුවට දිවීමේ තරගයකට දැමුවා වැනිය. තරගයේ ආර්ම්භක අසමානතාවේ සාධකය විසින් බගතලේ තරගකරුට ජයග්‍රහණය හිමි වන අතර, ගිරාඳුරුකෝට්ටේ තරගකරුට දිනුම්කණුව තිබෙන තැනට තබා ඒ බස්නාහිර පළාතට වත් එන්න හැකියාව ලැබෙන්නේ නැත. දැන් එසේ අතරමගදී තරගයෙන් විසි කෙරෙන තරගකරුවන්ගෙන් පිරී ගිය සමාජයක ලිබරල් ධනවාදය අමුඅමුවේ යොදන්නට යෑම සාමාන්‍ය ජනයාට සිය දිවිහානි කර ගන්නට ආරාධනය කිරීම වැනිය. ආර්ථිකයේ තමන්ගේ පංගුව ගැන ආරංචියක් සොයමින් සිටින එජප ජන්දදායකයන් අපිට හැම තැනම හමු වන්නේ මේ නිසාය. ආණ්ඩුව පත් වන්නට පෙර හර්ෂ ද සිල්වා මහතා මහත් උජාරුවෙන් රූපවාහිනියට කියූ සමාජ වෙළෙඳපොළ න්‍යාය (Social Market Theory) මේ වන විට ඒ මහතාත් සමගම උස්සලා එළියට විසි කර තිබේ. මේ ලිබරල් ආර්ථික උපායමාර්ගය මත සිටිමින් තනිකරම IMF සහ World Bank ගැලවුම්කරුවන්ගෙන් රට ගොඩදන්න යෑම හේතුවෙන් ඉදිරියේදි අත්විඳින්නට සිදු විය හැකි බරපතළ නරක තත්ත්වයන් දැනටම ඉඟි කරමින් තිබෙන බවද පෙනී යයි. රටේ සුභසාධන සහ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළවල් කප්පාදු කිරීම මේ ගමනේ අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් වීමත් නැවැත්විය නොහැකිය.
අනෙක් අතට ආර්ථිකයේ සංකල්පීය ක්ෂේත්‍රයේ ඇති මේ අවුල්සහගත තත්ත්වයට අමතරව සාමාන්‍ය ආර්ථික කළමනාකරනයේ මේ ආණ්ඩුව දක්වන අසමර්ථතාව මහබැංකුවේ අධිපති පත් කිරීම සහ වැට් බදු වැඩි කිරීම සහ එට්කා ගිවිසුම වැනි දේවල් අවුල් කර ගැනීමෙන් පෙනී යයි. අර්ජුන් මහේන්ද්‍රන් අස් කිරීම හෝ වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේ හැසිරීම පෙන්වන්නේ එක් අතකින් අපරිණතභාවයත් අනෙක් අතින් තීරණ ගන්නේ කවුරුන්දැයි පැහැදිලි නැති බරපතළ අවුල්සහගතභාවයත්ය.
ඒ ප්‍රශ්නය මේ රජය කළමනාකරණය කළේ අන්තිම අපරිණත ආකාරයටය. මේ නිසාම අවුරුදු 10ක් හෝ 15ක් පාලනයේ සිටි පක්ෂයක් ආර්ථික කළමනාකරණය පැත්තෙන් පිරිහෙන ආකාරයේ කඩා වැටීමක් මේ අවුරුදු එකහමාරේ රජය සිදු කරගත් බව මගේ තේරුම් ගැනීමයි. වැට් ගැහීමත් ඒ වගේමය. වැට් බදු ප්‍රශ්නය සමාජය කොතරම් අවුල් කරම්න් සිටිනවාද යන්න හවසට රූපවාහිනිය බැලීමෙන්ම පෙනී යයි. අද ඈත කදුරුවෙල පුංචි කඩපොළේ සිට ගාල්ල දක්වා සියලු ව්‍යාපාරිකයෝ එක පොදියට ආණ්ඩුවට අභියෝග කරමින් සිටිති. පසුගිය අයවැයට සිදු වු ආකාරයටම මුදල් ඇමැතිතුමාගේ මේ වැට් ගැහිල්ලත් හෙට අනිද්දා සිට එක දෙක අයින් කරගන්නට සිදු වන ආකාරයක් දැන් දැන් පෙන්නුම් කරමින් තිබේ. එට්කා ගිවිසුම ගැන තත්ත්වයද මෙයටම සමානය. රටේ අද ඒ ගැන තිබෙන සාකච්ජාව දෙස බලන විට පෙනී යන්නේ ඒ වැඩෙත් කවදවත්ම කෙරෙන්නේ නැති බවය.
මේ අනුව රටේ ආර්ථිකය සංකල්පීය පැත්තෙන් සහ කළමනාකරණය පැත්තෙන් බරපතළ අවුලකට පත් කර තිබීම පැහැදිලිය.
දෙවැනි කාරණය ලෙසින් රටේ අස්ථාවරත්වය නිර්මාණය වීම කෙරෙහි බලපා ඇත්තේ විදේශ අධිකරණය පිළිබද සාකච්ඡාවය. පසුගිය සතියේ ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්ගේ ප්‍රකාශය මගින් පෙන්නුම් කරන්නේ ඒ අය ‘මස් රාත්තලම’ ඉල්ලන බවය.
ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ යුරෝපයේ වටේටම ත්‍රස්තවාදය හොල්මන් කරද්දී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයේ වැරදි තිබේ දැයි බැලීමටය. මේ ආණ්ඩුව ඒ සදහා එකඟ වී ඇති සෙයක් ද හුසේන් කුමරුගේ කථාව තුළ පෙන්නුම් කරයි. විදේශ අධිකරණයන් ගැන රජය මෙරට තුළ විරුද්ධ වූවාට ජනීවා සැසිවාරයේ විරුද්ධ වන බවක් මහලේකම්වරයාගේ ප්‍රකාශය මගින් පෙනෙන්නේ නැත. මේ ගැටලූව ජනීවාවලට කැමති අයුරින් කළමනාකරණය කරන්නට ගිය හොත් මෙහි ඇති විය හැකි අවුල් සහගත තත්ත්වය අද තියෙන අස්ථාවරත්වයට තවත් හේතුවක්ය.
තුන්වන කාරණය වන්නේ යෝජිත ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය විසින් රට තුළ ඇති කරමින් පවතින අස්ථාවරත්වයයි. මේ කරන්නට යන්නේ සංශෝධනයක්ද නැත හොත් අලුත් ව්‍යවස්ථාවක්ද යන්න දන්නේ ජයම්පති වික්‍රමරත්න මහතාත් දෙවියන් වහන්සේත් පමණක් විය හැකිය. ජනාධිපතිතුමන්ගේ පැත්තේන් කියන්නේ කරන්නට යන්නේ මැතිවරණ ක්‍රමය ඇතුළු මේ පවතින ව්‍යවස්ථාවේ වෙනස්කම් ටිකක් කියාය. එජාපයේ අය කියන්නේ සම්පූර්ණ ව්‍යවස්ථාවම වෙනස් කරනවා කියාය. ඒකාබද්ධ විපක්ෂය මොකක් වත් කියන්නේ නැත. විපක්ෂ නායක සම්බන්දන් මහතා කියන්නේ එජාපය කියන දෙය හරි කියාය. කොළඔ සිවිල් සමාජය සංගතව එක අදහසක් කියන්නේ නැත. මේ අවුල මෙහෙමම තියාගෙන ව්‍යවස්ථා කාරක සභාවක් පත් කර තිබෙන අතර, එය රැස් වන හැමදාම වැඩේ කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට වඩා කරන්න යන්නේ කුමක්ද යන ප්‍රශ්නය සාකච්ජා කරමින් ඉන්නා බව පුවත්පත් මගින් පෙනෙන්නට තිබේ.
දැන් මේ ව්‍යවස්ථා ප්‍රශ්නය ගැන මේ රටේ ජාතික බලවේගයන් සහ එජාපයට අයිති නැති බුද්ධිමතුන් (එජාපයට අයිති නැති බුද්ධිමතුන් සිටිය හැකිදැයි කොළඹ සිවිල් සමාජයේ අයෙක් ඇසිය හැකිය) මේ ප්‍රශ්නය ගැන පසුගිය දිනවල පුවත්පත් මගින් මැදිහත්වීම් කර තිබිණි. ඇත්තටම මේ සඳහා පදනම් පත්‍රිකාවක් ලෙසින් ඒ අය අවධානයට යොමු කර තිබුනේ ලාල් විජෙනායක මහතාගේ කමිටුව ඉදිරිපත් කර තිබූ ලියවිල්ලයි.
මට හිතෙන හැටියට මේ ව්‍යවස්ථා සංශොධන හෝ අලුත් ව්‍යවස්ථා නිර්මාණය පිළිබඳ සංවාදයේ නොකළ යුතුම දෙයක් වන්නේ මේ විජේනායක පත්‍රිකාව මත සාකච්ජා කිරීමය. මේ පති‍්‍රකාව මත මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ජා තරන්නට ගියොත් වැඩේ ‘ලත් තැනම ලොප් වන’ බව මගේ මතයයි. මා එසේ කියන්නේ ඇයි දැයි ඊළඟ ලිපියෙන් දිර්ඝව කථා කරන්නට බලාපොරොත්තු වෙමි. පසුගිය සතියේ ජනාධිපතිතුමන් සිටින රැස්වීමක බෙල්ලන්විල නායක හිමියන් ප්‍රශ්න කර තිබුනේ මේ රට ‘අනාගමික’ රටක් බවට ව්‍යවස්ථාවෙන් පත් කරන්නට රජයේ උත්සාහයක් තිබේද කියාය.
මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමන් පිළිතුරු දි තිබු අතර අගමැති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයකද මතු කර තිබුණේ රජය සිතා වත් නැති දේ සමාජගත කරමින් ව්‍යාවස්ථා නිර්මාණය ගැන සමහරුන් වැරදි අදහසක් සමාජගත කරන බවයි. ඇත්තටම මේ සංවාදයට ඔය කියන ‘අනාගමික රාජ්‍ය’ කථාව පැමිණ ඇත්තේ වෙන කාගෙන් වත් නොව, විජේනායක පත්‍රිකාවෙන් බව මෙහිදී සදහන් කළ යුතුව ඇත.
No comments:
Post a Comment