Friday, August 5, 2016

සංවර්ධනය යනු නිදහස ‘නිෂ්පාදනය’ කිරීමය

සංවර්ධනය යනු නිදහස ‘නිෂ්පාදනය’ කිරීමය 

මගේ අද සටහනේ මාතෘකාවට යොදගත්තේ නොබෙල් ත්‍යාගලාභී අමාත්‍ය සෙන්ගේ ප්‍රසිද්ධ තීසිසයකින් උපුටාගත් කොටසකි. මහාචාර්ය අමාත්‍ය සෙන් ඉන්දියාවේ ඉපිද එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇ‍මෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ උගන්වන අපේ කාලයේ සිටින විශිෂ්ටතම විද්වතෙකි. සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ඔහුගේ ශාස්ත්‍රීය එකතු කිරීම් නිසාම අමාත්‍ය සෙන්ට 1998 නොබෙල් ත්‍යාගය හිමි වූ අතර ඒ සඳහා මූලික වශයෙන්ම පදනම් කර ගෙන තිබුණේ සංවර්ධනය හා නිදහස අතර සම්බන්ධතාව ගැන ඔහු ඉදිරිපත් කළ මතවාදයන්ය. ඔහු ලියු විශිෂ්ටතම කෘතියක් වූ Development As Freedom මඟින් තර්ක කරන්නේ සංවර්ධනය පිළිබඳව ඇති අපේක්ෂාවන් ප්‍රධාන ධාරාවේ චින්තකයන් විසින් එය නිර්වචනය ඉදිරිපත් කරන නිර්වචනයන්ට වඩා බෙහෙවින් වෙනස් විය යුතු බවය. 
දැන් සංවර්ධනය යනුවෙන් අපි අදහස් කරන්නේ කුමක්ද යන මේ කාරණය ගැන සාකච්ජා කිරීමට මා සිතුවේ අපේ රටේ පසු කර්තුවේම (විශේෂයෙන්ම 2009 උතුරේ ගැටුම පරාජය කිරීමෙන් පසු කාලයේ) සංවර්ධනය පිළිබඳව සාකච්ජාව යළි විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යන නිසාය. අපේ රටේ දේශපාලන නායකයින් බොහෝ විට කල්පනා කරන්නේ රටේ සංවර්ධනය යනු තමාගේ හිතේ තියෙන හැටියට එක එක දේවල් කිරීම බවය. මේ තත්ත්වය හිටපු ආණ්ඩුවේ ‘සිල්ලරට’ තිබු අතර මේ ආණ්ඩුවේ 'තොග' ගානට තියෙන බව බැලු බැල්මටම පෙනී යන කාරණයකි. සමහර ඇමතිවරුන්ගේ හැසිරීමෙන් පෙනී යන්නේ ‘රටේ ප්‍රශ්නයක් තියෙන බවත්’ තමන්ගේ 'බ්‍රීෆ්කේස් එකේ' ඒකට උත්තරය තියෙන බවත් ඒ අය සිතා සිටිනවා වගේය. 
විශේෂඥ මතයන් හෝ උපදේශක සේවා හෝ ලංකාවේ දේශපාලනඥයන්ට එතරම් අදාළත්වයක් නැති කලාපයක් වන්නේ ඒ නිසාය. බොහෝ අවස්ථාවල උපදෙස් දෙන්නට ඇමතිවරුන් හමු වීමට යන විශේෂඥයන්ට සිදූවන්නේ මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැති අමාත්‍යවරයා තමන්ට දෙන උපදෙස් සාවධානව අසා සිට සතුටින් විසිර යාමටය. 
අමාත්‍ය සෙන්ගේ අධ්‍යයනයන් මඟින් සිදූ කෙරෙන්නේ රටක සංවර්ධනය යනු කුමක්ද කියා ඉදිරිපත් වන ප්‍රධාන ධාරාවේ තර්කයට (main stream argument of development) අභියෝග කිරීමය. අපේ රටේ පැත්තෙන් මේ කාරණය බැලූවහොත් අපි 1977 ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් ආරම්භ වී මේ දක්වාම ගමන් කරමින් සිටින්නේ සෙන් මතු කරන සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ධාරාවේ නිර්වචනයන් සමඟය. මේ නිර්වචනයේ මූලික පැති තුනක් තිබේ. පළමුව ප්‍රධාන ධාරාවේ සංවර්ධනය පිළිබඳ නිර්වචනය පදනම් වන්නේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය කාර්මිකකරණයේ හා යටිතල පහසුකම්වල මට්ටම මතය. දෙවනුව මේ තර්කය පදනම් වන්නේ ජනතාවගේ ආදයම වැඩි කිරීම පිළිබඳ තීසිසය මතය. තුන්වැනුව සංවර්ධනයේ අනුලංගනීය අංශයක් ලෙසින් වෙ‍ළෙඳපොළට නිදහසේ හැසිරීමට ඇති අවස්ථාව පුළුල් කිරීම මතය. දැන් 77 පසු කොයි ආණ්ඩුවත් අඩු වැඩි වශයෙන් උත්සාහ කළේ මේ ‘සංවර්ධනය’ හැකි තරම් වැඩියෙන් කරන්නටය. 
සංවර්ධනය යනුවෙන් තුන්වන ලෝකයේ රටවල් තේරුම් ගන්නේ පළමුවැනි ලෝකයේ රටවලින් ලැබෙන මුදලින් අපිට ණය අධාර දෙන ජාත්‍යන්තර ආයතනවල කොන්දේසි මිස අන් යමක් නොවන බවට අපේ රටේ තියෙන දේශපාලන කථිකාවට අර්ථයක් එන්නේත් මේ ඉහතින් සඳහන් කළ ප්‍රධාන ධාරාවේ සංවර්ධන තර්කය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට හැම ආණ්ඩුවක්ම උත්සාහ කළ නිසා යැයි පිළිගැනීම ද නිවැරැදිය. 
සංවර්ධනය පිළිබඳ සෙන්ගේ අර්ථකථනය වන්නේ අපි එය තේරුම් ගත යුත්තේ 'ජනතාවගේ සැබෑ නිදහස වඩාත් පළල් කරන ව්‍යාපෘතියක්' (Process of expanding the real freedom that people enjoy) ලෙසින් බවය. රටක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය යටිතල පහසුකම් වර්ධනය සහ ආදායම වැඩි කිරීම වැනි දේවල් ජනතාවගේ නිදහස පළල් කිරීමේ මෙම සංවර්ධන ක්‍රියාවලියේ අවශ්‍ය සාධන වන නමුත් ‘නිදහස’ ස්ථානගත වන්නේ ඒවාට එහා ගිය පදනම් රාශියකය. පළමුවෙන්ම පිළිගත යුතු කාරණය වන්නේ ඉහත සඳහන් මෙවලම් රටක සංවර්ධනය පිළිබඳව මාධ්‍යයක් (means) මිස නිෂ්ටාවන් නොවන බවයි. වෙනත් ලෙසකින් පවසතොත් මේ ක්‍රියාමාර්ගයන් හරහා ගොඩ නගන සංවර්ධනයයේ නිෂ්ටාව (end) විය යුත්තේ මෙම මාධ්‍යයන්ට එහායින් පවතින මානව සමාජයේ නිදහස පළල් කිරීමේ මූලික අවශ්‍යතාව මතය. දෙවනුව තේරුම් ගත යුතු කාරණය වන්නේ සමාජය තුළ ගොඩ නගා ඇති සමාජ දේශපාලනික ආයතනික ව්‍යුහයන් පිළිබඳව ඇති පිළිගැනීම හා ඒවා සමාජමය අවකාශය තුළ හැමට ‘පාවිච්චි කිරීමට ඇති ඉඩ’ වෙනත් බලවේගයකින් සීමා කිරීමට ඉඩ නොදිමය. මෙතැන ඇත්තේ තරමක් සංකීර්ණ කාරණයකි. සමහරුන් මේ කාරණය තේරුම් ගන්නේ කිසිදූ බලවේගයකට ‘දේශපාලන අවකාශය’ සීමා කිරීමට ඉඩ නොදිම යනු ‘නිදහස සීමා කිරීමට රාජ්‍යයට නොදිය යුතු ය නමුත් වෙ‍ළෙඳපොළට ඉඩ දිය යුතු ය’ යන නව ලිබරල්වාදි අර්ථයෙනි. සෙන් සඳහන් කරන පරිදිත් මෙය වැරදි තේරුම් ගැනීමකි. මෙහි තේරුම වන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය වැනි මූලික කාරණාවන් පැවැත්මේ මූලික අවශ්‍යතා ලෙසින් වෙළෙඳපොළට එහායින් තැබිය යුතු දේවල් ලෙසින් පිළිගැනීමය. රටක සංවර්ධනයේ පදනම ඒ රටේ ජනතාවට ස්වකීය පැවැත්ම (සෞඛ්‍යය) හා මානසික ගොඩ නැගීම (අධ්‍යාපනය) ඇති නිදහසේ මූලිකාංග ලෙසින් තේරුම් ගැනීමත් අනෙක් අතින් භාෂණයේ නිදහස සථාපිත කිරීමත් රාජ්‍යයේ මැදිහත් වීම ධනාත්මකව හා ප්‍රයෝජනවත් ආකාරයෙන් යොදා ගැනීමට ඇති ආකාරයක් බවය. එසේම (public sphere) තුළ දේශපාලනමය මැදිහත් වීම් සඳහා ඇති නිදහස් අවකාශය සංවර්ධනයේ කේනද්‍රීය තත්ත්වයක් වශයෙන් සලකනු ලැබීමය. මෙහිදී තේරුම් ගත යුතු විශේෂ කාරණයක් වන්නේ මේ පොදූ මහජන පරිමණ්ඩලය අපේ රටේ තියෙන ආකාරයට තෝරා ගත් කීප දෙනෙකුගේ ‘සීමාසහිත සිවිල් සමාජයක්’ පැවැත්ම පමණක් පිළිගැනීම නොවන බවය. 
රාජ්‍යයේ සීමාව සහ වෙළෙඳපොළේ සීමාව පිළිබඳව සාකච්ජාව අපේ රටේ දේශපාලනයේ ඉතාමත් වැදගත් කාරණයක් ලෙසින් තේරුම් ගැනීම අවශ්‍යතාව වැදගත් බව පෙනී යන්නේ මේ රජයේ ‘රාජ්‍යය දිය කර හැරීමේ’ පන්නයේ ප්‍රතිසංස්කරණයන් දෙස බැලීමේදිය.
සංවර්ධනය යනු නිදහස සීමා කරන මූලික අවහිරතා ඉවත් කිරීම ලෙසින් සෙන්ගේ තර්කය ඉතාම වැදගත් වන තවත් කාරණයක් වන්නේ මූලික මිනිස් ස්වභාවයක් ලෙසින් හෙවත් සත්භාවාත්මකව පිළිගනු ලබන සන්නිවේදනමය වූ මානව මැදිහත් වීමට සංවර්ධනයේ විශාල ඉඩක් පවතින නිසාය. දූප්පත්කම යනු තොරතුරුමය මැදිහත් වීමේ අවකාශය ලෙසින් තේරුම් ගැනීමේ සාකච්ජාවක්ද මේ වන විට ලෝකයේ ගොඩ නැගෙමින් තිබීම මෙහිදි වැදගත් කාරණයක්ය. 

No comments:

Post a Comment