Friday, July 29, 2016

අනගාරික ධර්මපාල සමාජවිද්‍යාවෙන් ගලවමු

අනගාරික ධර්මපාල සමාජවිද්‍යාවෙන් ගලවමු 


අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව ලියන්නට තීරණය කළේ ආචාර්ය සරත් අමුණුගම විසින් ධර්මපාල පිළිබඳව ලියූ කෘතිය ප්‍රකාශයට පත්වූ බව කියවෙන ටුවිටර් පණිවිඩය ලැබීමත් සමඟය. ආචාර්ය අමුණුගමගේ වර්තමාන දේශපාලන චර්යාව ගැන එතරම් පැහැදීමක් මට නැති වුවත් ඔහුගේ ශාස්ත්‍රීය මැදිහත්වීම් සහ ඒ සඳහා ඇති ඔහු තුළ ඇති උනන්දුවට මාගේ විශාල ගෞරවයක් ඇත. මීට වසර ගණනාවකම සිටම අපි කවුරුත් දැනගෙන සිටි අමුණුගමගේ මේ කෘතිය කියවීමට තිබූ බලාපොරොත්තුව සෑහෙන කාලයක් අල්ලාගෙන සිටින්නට සිදු වුණේ කෘතිය එක දිගටම ප්‍රමාද වූ නිසාය. මේ ප්‍රමාදයට හේතුව කුමක්දැයි පැහැදිලි සිංහලෙන් කියනවා කියන්නට වන්නේ අපි කාටත් වගේම අමුණුගමටත් තියෙන බල දේශපාලන උත්ෙප්‍ර­්රකත්වය නිසා මේ වැඩේ ප්‍රමාද වී ඇති බවය. අමුණුගම‍යන් ජේ.ආර්. ප්‍රේමදාස, ලලිත්-ගාමිණී, විජේතුංග, රනිල්, චන්ද්‍රිකා, මහින්ද හරහා මෛත්‍රී දක්වා රවුමේ ගොස් එන තුරු මේ කෘතිය කියවන්නට අපිට බලා සිටින්නට වූයේ ඒ නිසාය. මා මෙහෙම කීවේ ඔහුට අමනාපයෙන් හෝ අපහාසයක් ලෙසින් නොව අපි කාටත් වෙන දේවල් ගැන මෙනෙහි කිරීමක් ලෙසින්ය. 

එහෙත් තරමක් ප්‍රමාද වී හෝ කෘතිය නිකුත් කළ බව අසන්නට ලැබීම සතුටට කාරණයක් වූ අතර එය වෙළෙඳපොළට මුදාහළ දිනයේ ම එහි පිටපතක් මිලදී ගත්තේ එක් අතකින් මේ අධ්‍යයනය පිළිබඳව මා තුළ ඇති ශාස්ත්‍රීය කුතුහලය නිසාත් අනෙක් අතින් ධර්මපාල පිළිබඳව මා විසින් 2003 නිමා කරන ලද අධ්‍යයනය මුද්‍රණය කිරීමට මේ දිනවල මා සූදානම් කරමින් සිටින නිසා අමුණුගමගේ අධ්‍යයනය කියවීම වැදගත් වන නිසාත්ය.

අනගාරික ධර්මපාල (1864 - 1933) මේ රටේ පසුගිය සියවස් දෙක අතරතුර (එනම් 19 සියවසේ අගභාගයේ 20 සියවසේ මුල්භාගයේත්) ජීවත්වූ බරපතළම ශ්‍රී ලාංකික දේශපාලන චරිතය වූ ලෙසින් පිළිගැනීම නිවැරදිය. බ්‍රිතාන්‍ය යටත්විජිතකරණ වැඩසටහන තුළ එවකට මෙරට ජනතාව මුහුණ දුන් තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට ඔහු උත්සුක වූවා යැයි සරලව තේරුම් ගැනීම නිවැරදි වුවත් එසේ සිතීම ඔහුගේ දේශපාලන බලපෑම හා එකතුකිරීම් (influences and contributions) ගැන පාර්ශ්වීය තේරුම් ගැනීමක් පමණකි. ධර්මපාල අභියෝග කරමින් සිටියේ තමාගේ අනෙකා වූ (the other) බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ එවකට සිදුවෙමින් පැවති දේශපාලන කාරණාවන්ට පමණක් නොවේ. එම කාලය වන විට රටින් පිටව ගොස් සිටි එහෙත් ඊට පෙර කාලයේ මෙරට පාලනය කළ විදේශිකයන් වූ පෘතුගීසි සහ ලන්දේසි පාලනයන් වෙතින් මෙරට සමාජය සිදුවී තිබූ බරපතළ ව්‍යුහාත්මක හා චර්යාත්මක බලපෑම (structural and behavioral influences) හේතුවෙන් ඒ වන විට මෙරට සමාජයේ සිදුවෙමින් තිබූ බරපතළ වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමත් ධර්මපාල ව්‍යාපෘතියේ ප්‍රධාන කාරණයක් ලෙසින් අන්තර්ගතව තිබිණි. 

පෘතුගීසි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රිස්තියානිකරණයට හසුවූ මෙරට වෙරළබඩ තීරය සහ ලන්දේසි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් වර්ධනය වූ මත්පැන් පානය එක් අතකිනුත් මේ දෙඅංශයේම බලපෑම හේතුවෙන් හුදු ‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා’ ආකාරයෙන් කල් ගෙවූ මෙරට බෞද්ධයාගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීම අනෙක් අතිනුත් මේ ව්‍යාපෘතියේ ඇතුළත්ව තිබුණි. මෙය එක්තරා දුරකට බෙලභීනත්වයට හා දුගීකරණයට පත්ව සිටි මෙරට සිංහල සමාජය යම් ආකෘතියකට ගෙන ඒමට දරන බරපතළ උත්සාහයක් යැයි පිළිගැනීම නිවැරදිය. 

මෙරට බෞද්ධ සමාජයේ පැවති ආචීර්ණ කල්පිත පිළිගැනීම් හා අන්ත පසුගාමීත්වයන් පරාජය කිරීම එක් අතකිනුත් බුදුසමය තුළ ඇති හරයාත්මක භාවිතාවන් ‘යළි කියවීමකට’ ලක් කරමින් ‘නවීකරණය හා ප්‍රතිසංස්කරණය’ පිළිබඳ අලුත් න්‍යායක් ගොඩනැඟීම අනෙක් අතනුත් තමාගේ දේශපාලන ව්‍යාපෘතිය බවට ධර්මපාල පත් කරගන්නේ ඒ නිසාය. මේ තත්වයන් හේතුවෙන් තමාගේ වැඩ සටහන හුදු ‘විවේචනයක් සමාජගත කිරීමකින් නොනැවතී සම්පූර්ණ ‘සමා සංශෝධනමය’ වැඩ සටහනක් බවට පත් කිරීමටට ඓතිහාසික තත්වයන් විසින් සහ තමාගේ තාර්කික බුද්ධිය විසින් ධර්මපාල වෙත බලකරනු ලැබුණු බව පිළිගැනීම නිවැරදිය. 
ඒ නිසාම ඔහුට සිදුවූයේ අරගල ගණනාවක්ම එකවිට සිදුකිරීමටය. පෙරමුණු ගණනාවක එකවිට සටන් කිරීමටය. මේ සියල්ල එකවර සිදුකරනවා යනු මේ කපේ කළ හැකි වැඩක් නොවේ යැයි සමහර අයෙකුට සිතෙන්නේ නම් එය පුදුමයට කාරණයක් නොවේ. එක පැත්තකින් බලන විට එහෙම සිතීම නිවැරැදි යැයි සිතෙන්නේ ධර්මපාල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම පාහේ නොනිමි අරගලයක් බවට පත්වූ නිසාය. ධර්මපාලගේ උත්සාහය හරියටම සමාන වන්නේ ‘මහ කැ‍ෙල්ක අතරමං වූ මිනිසෙකු හේනක් කරන්නට සිතා කැලේ කැපීමට අවශ්‍ය උපකරණ තනියෙන්ම තමන්ම හදාගෙන කරන්නට යන ගොවිතැන ගැන දැනුමත් තමන්ම නිර්මාණය කරගෙන හේනේ වපුරන බීජ තනියෙන්ම තමන්ම හොයාගෙන හේන අන් සතුන්ගෙන් බේරා ගැනීමට හේනේ පැළේ තනියෙන්ම පැල් රකින්නට සිදුවන හුදකලා මිනිසෙකුට අත්වන ඉරණම වගේ දෙයකටය. මේ නිදර්ශනය සරල සාම්‍යයක් මිස ධර්මපාලගේ ව්‍යාපෘතිය තනුක කිරීමට ගත් උත්සාහයක් නොවන බව මෙහිදි විශේෂයෙන් කිව යුත්තේ සමහර ධර්මපාලවාදින් මේ වගේ කාරණයක් ගැන කලබල විය හැකි නිසාය.

ධර්මපාල බලපෑම ගැන අපේ රටේ වැඩියෙන්ම සාකච්ඡා කර ඇත්තේ සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් විසින්ය. ඇත්තටම අපේ රටෙන් ලෝක පරිමාණව බිහිවී ඇති උගතුන් ඉන්නේ බෞද්ධ චින්තනය පිළිබඳ ක්ෂේත්‍රයේත් සමාජ විද්‍යා ක්ෂේත්‍රයේත්ය. ලංකාවෙන් ඇමරිකාවට හා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සමාජ විද්‍යාඥයන් වන ගනනාත් ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා, එච් ජේ සෙනෙවිරත්න කිත්සිරි මලල්ගොඩ වැනි අය තම තමන්ගේ අධ්‍යයන් ස්ථානගත කරන්නේම ‘ධර්මපාල’ එක පැත්තකින් තබා ගෙනය. එක්කෝ මේ අධ්‍යයනයන් ධර්මපාලව ‘ප්‍රශ්න’ කරති. නැත්නම් ධර්මපාල ‘ප්‍රශ්නය’ බවට පත් කරති. එක්කෝ ධර්මපාලව ‘සංයෝජනය’ කරති. නැත්නම් ‘විසංයෝජනය’ කරති. දැන් අමුණුගමගේ මේ අධ්‍යයනය ස්ථානගත වන්නේද සමාජ විද්‍යාඥයන්ගේ ධර්මපාල කතිකාව තුළ වන අතර ඒ අතින් අනෙක් බො‍හෝ අයට එහා ගිය ‘මූලාශ්‍රමය’ පදනමකින් ස්වකීය තර්කයන් ගෙන ඒමට අමුණුගම උත්සාහ කරන බව පොත යන්තමින් පෙරළා බලන විටම පෙනී යන කාරණයකි. 
මා සිතන ආකාරයට ධර්මපාලගේ මැදිහත්වීම පිළිබඳව අපේ රටේ ඉතිහාසකරණය පැත්තෙන් සහ දාර්ශනික විමර්ශනයන්ගේ පැත්තෙන් සිදු වී ඇති අධ්‍යයනයන් ඉතාම සීමා සහිත බවය. ජනවාර්ගික ගැටලුව සහ මෙරට දේශපාලනයේ ශ්‍රීලනිප හා ජවිපෙ විභවය පිළිබඳව සාකච්ඡාව පැත්තෙන් ධර්මපාල මැදිහත්වීම සාකච්ඡා කර තිබුණත් එයින් ඔබ්බට යන ශාස්ත්‍රීය විමසා බැලීමක් අපේ රටේ සිදුවී නැතිවා වැනිය. අමරසේකර මහතාගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදිද’ යන නිබන්ධනයත්, නලීන් සිල්වා මහතාගේ ලිපි මඟින් මතුකරන දේවල්වලින් එහාට ගිය ධර්මපාල අධ්‍යයනයන් අපේ රටේ විශ්වවිද්‍යාල මඟින් සිදු නොවීම කනගාටුදායකය. 

මවිසින් 2003 ඇමරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා සිදු කළ අධ්‍යයනය වූ Modern Anagarika: Dharmapala’s Buddhist Moderism in Sri Lanka මඟින් සාකච්ඡා කළේ ධර්මපාල ව්‍යාපෘතියේ ඇති නූතනවාදි දර්ශනික මූලයන් මතු කරගනිමින් ආසියාතික මානයකින් මැනිය හැකි නූතනත්ව ව්‍යාපෘතියක් ධර්මපාල - ලේඛන මඟින් ගොඩනැඟිය හැකි බවට තර්ක කිරීමය. ආගම යනු නූතනත්වයට එරෙහි බලවේගයක් වශයෙන් පිළිගන්නා සාම්ප්‍රදායික අර්ථකරණය තුළ සිටින අයෙකුට එකවරම ප්‍රශ්නයක් ලෙසින් මතුවිය හැක්කේ බෞද්ධ ආගමික චින්තනය මත ගොඩ නැගුණු ධර්මපාලගේ ඉදිරිපත් කිරීම් නෛසර්ගික වශයෙන්ම නූතනත්වයට එරෙහි ව්‍යාපෘතියක් විය යුතු බවය. එහෙත් ආගම හා නූතනත්වය ගැන සාම්ප්‍රදායික තේරුම්ගැනීම භෞතිකවත් ශාස්ත්‍රීයවත් අභියෝගයට ලක්ව ඇති මේ කාලයේ එවැනි පදනමකින් ඉදිරිපත් වන තර්කයන් ඉතාම ලේසියෙන් පිළිතුරු දිය හැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. මාර්සල් බර්මන්ගෙන් පටන් ගෙන බටහිර සමාජයේ නූතනත්වය පිළිබඳව ගෙතුණු දීර්ඝ කතාවේ එක් වැදගත් කාරණයක් වන්නේ නූතනත්ව ව්‍යාපෘතිය මඟින් ‘අපගේ ජීවිතත් ලෝකයත් තුළ පවතින සියල්ල හා දන්නා සියල්ලත් සහ අපි කවරුන්ද යන්නත් ඇතුළත් සියලු තත්වයන් විනාශ කිරීම පිළිබඳ අභියෝගයට ලක් කරමින් සිදු වන වෙනස (transforming of ourselves and the world threatens to destroy everything we have everything we know and everything we are) හරහා බලය ප්‍රමෝදය හා නවමුභාවය (adventure) වෙත අප රැගෙන යන ව්‍යාපෘතියක් ලෙසින් දේශපාලනමය හා දාර්ශනික තේරුම් ගැනීමක් නූතනත්වයට ගෙන ඒමයි. 

මෙම අර්ථකථනය මත පදනම්ව පුද්ගල නිදහස, සංවර්ධනය, වෙනස, තාර්කිකත්වය සහ නව්‍යයත්වය පිළිබඳ ධර්මපාලගේ ඉදිරිපත් කිරීම ගැඹුරින් සාකච්ඡා කිරීම අවශ්‍ය බව මගේ හැඟීමයි. 

1 comment:

  1. මම නම් හිතන්නේ සත පහක වැඩක් නැති ගෝත්‍රික චරිතයක් කියලයි... අපේ සීයා නම් අපිට කියලා දීලා තියෙන්නේ ඒ යකා ඔක්කෝටම කලින් මිනිස්සුන්ට කතාකරන හැටි ඉගෙන ගත්තා නම් මීට වඩා හොඳයි කියලයි...

    ReplyDelete