Tuesday, October 16, 2018

යථාර්ථය හා භාෂාවේ දේශපාලනය

මෙවර ඉන්නිසයෙන් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ භාෂාවක් මිනිස් ජීවිතයට සම්බන්ධ වන ආකාරය පිළිබදවයි. වෙනත් ආකාරයකින් කිවහොත් මා බලාපොරොත්තු වන්නේ මිනිසාගේ පැවැත්මට භාෂාවක් සම්බන්ධ වෙන ආකාරයේ තිබෙන දර්ශනික තත්වය හා දේශපාලනමය ස්වරූපය පිළිබදව සාකච්ජා කිරීමට ය. මේ මාතෘකාව දකින විටම සමහරෙකුට මතුවිය හැකි ප‍්‍රශ්නයක් වන්නේ භාෂාව ගැන එච්චරම බරපතළෙට කියන්නට තියෙන්නේ කුමක්ද කියායි. භාෂාව යනු බරපතලෙට ගත යුතු දෙයක් නොව් යැයි අපට හිතෙන්නේ හේතු දෙකක් නිසාය. ඒ එකපැත්තකින් අපිත් හොද භාෂා කප්පිතන් යැයි සමාජයේ සිටින බොහෝ අය සිතාගෙන සිටින නිසාය. අනෙක් පැත්තෙන් එහෙම හිතෙන්නේ භාෂාව අපේ ජීවිතයට සිදුකරන බලපෑම ගැන හරිහමන් අදහසක් ලබා ගැනීමට තරම් නිහතමානීත්වයක් අපි කාටවත් නැති නිසා ය.මා මුලින් කී ආකාරයටම මේ සටහනින් ආමන්ත‍්‍රණය කරන්නේ භාෂාවේ තිබෙන ප‍්‍රධාන තත්වයන් දෙකක් පිළිබදවය. ඒ කියන්නේ එක් අතකින් භාෂාවේ තිබෙන දාර්ශනික අංශය පිළිබදවය. අනෙක් අතින් එහි තිබෙන දේශපාලනික තත්වයන් පිළිබදව ය.

දාර්ශනික අර්ථයෙන් භාෂාවක් යනු අපේ පැවැත්මේ බරපතලම කලාපයක් නියෝජනය කරන වපසරිය යැයි කීමේ වැරුද්දක් නැත. භාෂාව සහ ආශාව අතර තීරණාත්මක සම්බන්ධයක් තිබෙන බව ඉන්දීය දර්ශනිකයින් පිළිගත්තේ මීට බොහෝ කාලයකට පෙර සිටන්මය. භාෂාවේ ඇති එක් ප‍්‍රධාන කාර්යභාරයක් වන්නේ මිනිසා සතුව ඇති අශාව කළමනාකරණය කිරීම යන්න ෆ්‍රොයිඩියානු මනෝවිශ්ලේෂණවාදයේ සාකච්ජාවෙන ප‍්‍රධාන මාතෘකාවක් වන බවද මෙහිදි මතකයට ගැනීම ඉතාමත් වැදගත්ය.

දාර්ශනික අර්ථයෙන් ගත් විට භාෂාවේ ඇති එක් වැදගත් කාරණයක් වන්නේ එය මිනිසාගේ ඥානය ගොඩ නැංවීමේ ක‍්‍රියාවලියේ මුලික සාධකයක් ලෙසින් පවතින බවයි. අපි මිනිසුන් ලෙසින් අපේ දැනුම නිර්මාණය කරගන්නේ අපි සතුව ඇති සංකල්ප නිර්මාණය කිරීමේ හැකියාව සහ අපිට ඇති භාෂාත්මකභාවය (භාෂාවක් කතාකිරීමේ හැකියාව) යන හැකියාවන් දෙක එකිනෙකට මිශ‍්‍ර කර ගැනීමෙන් යැයි සරළව තේරුම් ගැනීම නිවැරිදිය. ස්වභාවිකව මේ ලෝකයේ අපි උපත ලබන්නේ නිශ්චිත භාෂාවක් සහිතව නොව ඕනෑම භාෂාවකට හුරුවීමේ ‘භාෂාත්මකභාවය’පමණක් උරුම කර ගනිමින්ය. එසේ උපදින ලංකාවේ දරුවෙක් සිංහල භාෂාව කතාකරන්නටත්, ඉන්දියාවේ උපදින දරුවෙක් හින්දි භාෂාව කතාකරන්නටත් ක‍්‍රමානුකූලව පුහුණුවන්නේ තමන් උපත ලැබූ සංස්කෘතීන් දෙකේ වෙනස අනුව මිස උපත සමග ගැට ගැසුණු ස්වභාවික හේතුවක් නිසා නොවේ. වෙනත් ලෙසකින් පැවසුවොත් කිව හැක්කේ ලංකාවේ ඉපදුණු දරුවා ඉන්දියාවටත් ඉන්දියාවේ ඉපදුණු දරුවා ලංකාවටත් මුල් අවධියේදිම මාරුකළ හොත් ඒ අය කතා කරන්නට පුහුණුවන්නේ ඒ රටේ තමන්ගේ වටාපිටාවෙන් උගන්වන භාෂාව මිස ඉපදුණු රටේ භාෂාව නොවන බවයි. මේ කාරණයෙන් තේරුම් යන්නේ අපි සතුව පවතින භාෂාත්මකභාවය හෙවත් භාෂාවක් කතා කරන්නට ඇති හැකියාව උපතින්ම එක එකක් වුනත්, එතැනින් එහාට අපි කතාකරන්නට පුහුණුවෙන භාෂාව යනු අපේ උපතින් තීරණය කරන එකක් නොව සංස්කෘතියෙන් තීරණය කරන එකක් බවය. මේ අර්ථයෙන් ගත් විට අපි අපේ පුංචි අත දරුවාගේ සිටම (ඒ දරුවන්ට කතාකරන්නට හැකියාවක් නැති කාලයේ සිටම) ඒ අයට වචන කතා කරන්නට හුරු කිරීම යනුවෙන් කරන්නනේ ඒ දරුවාව ස්වභාවික ලෝකයෙන් එළියට ගෙනෙමින් සංස්කෘතිකමය වූ භාෂා ලෝකයක් ඇතුළට සම්බන්ධ කිරීමය. අනෙක් අතින් මේ භාෂා ලෝකය දරුවාගේ සංකල්ප හැදීමේ හැකියාව වර්ධනය කරන අතර ඔහුව ස්වභාවිකත්වයෙන් සම්පූර්ණයෙන්ම වෙන් කරමින් සංස්කෘතික මිනිසෙකු බවට පත් කරන්නේය.

මේ ක‍්‍රියාවලියේ ඇති තවත් සංකීර්ණ කාරණයක් වන්නේ උපතින් අපට ලැබෙන ස්වභාවික වූ ‘ආශාවන් සියල්ලම සංස්කෘතියෙන් අපට ලැබෙන ‘භාෂාවෙන් කියන්නට හැකියාවක් නොමැති වීමයි. මා මුලින් සදහන් කළ මනෝවිද්‍යාඥයෙකු වූ සිග්මන් ෆ්‍රොයිඩ් පැවසුවේ මෙසේ භාෂාවෙන් කියන්නට බැරි ආශාවන් විසින් අපේ ජීවිතවල විශාල කලාපයක් වසාගෙන තිබෙන බවයි. ෆ්‍රොයිඩ් පැහැදිලි කරන්නේ ‘භාෂාවක් මගින් සිදුවන්නේ අපගේ ආශාවන් යම් ආකාරයකට නීති රීතිවලට යටත් කරවීමක් වුවත්, මේ භාෂාමය වූ නීතින්ට ශරිරයේ ඇති සියලු ආශාවන් ඒ ආකාරයෙන්ම තේරුම් කිරීමට හැකියාවක් ලැබෙන්නනේ නැති බවය. මෙසේ භාෂාවේ නීතිරිති හා අණපනත් මගින් කියන්නට හැකියාවක් නැති (තහනම් කරන ලද) හෝ අත්හැර දමන ලද ආශාවේ ක‍්‍රියාකාරීත්වයන් සොයා බැලීම මනෝ විශ්ලේෂණයේ ප‍්‍රධාන අපේක්ෂාව බව ඔහුගේ අදහස විය. මෙහි ඇති වැදගත් හා බරපතල තත්වය වන්නේ ‘මෙසේ නොසලකා හැරදමන හෝ අත්හැර දමන ආශාවන් යනු භාෂාවේ වචන මගින් හරියටම ඉදිරිපත් කළ නොහැකි දේවල් ලෙසින් අත්හරින බව පෙන්වුවත් අපේ ජීවිත වලින් ඒ ආශාවන් අත් නොහැරී තිබීමයි. ෆ්‍රොයිඩ් කීවේ ‘මෙසේ භාෂාවේ අණ පණත් හේතුවෙන් වැසී ගිය නැතහොත් අත්හැර දමන ලද ආශාවන්ගේ ශක්තිය අපේ මනසේ සෘජු තේරුම් ගැනීමේ සීමාවෙන් පිටතට තල්ලුවෙමින් (භාෂාවක් නොමැතිකම නිසා) වැසී තිබෙන කළාපයක් ලෙසින් අපේ අවිඥානය තුළ තැන්පත් වෙන බවයි. ඒ කියන්නේ අපේ ජීවිතවල පෙනෙන පැත්ත භාෂාත්මක කළාපයක කොටුවී තිබෙන අතර නොපෙනෙන පැත්ත වන්නේ ‘අත්හැර දමන ලද ආශාවන් කිසිදු සමාජමය අපේක්ෂාවකින් තොරව ඒ මේ අතට අපිව මෙහෙයවන බලවේග ලෙසින් ඔහේ පවතින බවයි. ලිංගිකත්වය ආගමික භක්තිය වැනි දේවල් හරහා රූපිකව පෙන්වන්නේ මේ වැසීගිය ආශාවේ භාෂාත්මක නොවූ කලාපය යැයි දර්ශනික ලෝකයේ ගොඩ නැගී ඇති දැනුම් මගින් දිර්ඝව සාකච්ජා කර තිබේ.

මා මුළින් කියූ දෙවැනි කාරණය වන භාෂාවේ තිබෙන දේශපාලනික පැත්තද මේ ආකාරයෙන්ම ඉතාමත් සංකීර්ණ ස්වභායක් ගනු ලබන ක්ෂේත‍්‍රයක්ය. භාෂාවක් යනු ස්වභාවික දෙයක් නොවන නිසාත්, එය සංස්කෘතික භාණ්ඩයක් ලෙසින් තේරුම් ගත හැකි නිසාත් ඒ ඒ භාෂාවන් ට ලෝක සමාජ දේශපාලන අවකාශයේ තැනක් ලැබෙන්නේ ඒ ඒ භාෂාවන් කතාකරන සමාජයන්ට ඇති බල දේශපාලනයේ පංගුකාරීත්වය හේතු කොට ගෙනය. අපි ඉංග‍්‍රීසි කතා කරන්නට අනවරත උත්සාහයක් ගන්නේ ඒ භාෂාව අනෙක් භාෂාවන්ට වඩා ගුණාත්මකභාවයකින් යුක්ත නිසා නොව බල දේශපාලනයේ ඉංග‍්‍රීසි භාෂාව අල්ලාගෙන සිටින බලය වැඩි නිසාය. සමහරෙක් කියන්නේ 20 සියවසේ බලවත්ම භාණ්ඩ දෙක වන්නේ එංගලන්තයේ ‘ඉංග‍්‍රීසියත්‘, ඇමරිකාවේ ‘ඩොලරයත් බවය. මේ බඩු දෙකේම බලය 21 වන සියවසේ බල දේශපාලනය තුළ කඩා වැටෙමින් වෙනත් ‘භාණ්ඩ ඉදිරියට එන බව මේ කාලයේ පෙන්නුම් කරමින් තිබෙන බවද සැබෑවක්ය. චීන භාෂාවත් ඔවුන්ගේ මුදල් ඒකකයත් ඉදිරියේ අපිව පාලනය කරන බලවේග බවට පත්වීමේ විශාල ඉඩක් පවතින බව ලෝක පරිමාණවම මේ වන විට පෙන්නුම් කරමින් තිබෙන කාරණයක්ය. (ලංකාවේ නම් මේ යන ආකාරයට කොහොමත් චීන භාෂාවත්, චීන මුදලත් ප‍්‍රධාන බලවේගය බවට පත්වීමේ දිනය වැඩි ඈතක නොවන බවද ඉතාමත් පැහැදිලිය)

තවත් පැත්කින් භාෂාවේ දේශපාලනමය තත්වය රටක් අභ්‍යන්තරයේ බල දේශපාලනයේද සාධකයක් බව මෙහිදි තේරුම් ගත යුතු වැදගත් ම කාරණයකි. එංගලන්තය විසින් ඒ කාලයේ යටත් කරගත් රටවල්වල තිබුණ ස්වදේශීය භාෂාවන් පැත්තකට තල්ලූකරමින් ‘ඉංග‍්‍රීසි භාෂාව’විශේෂත්වයට පැමිණීම තේරුම් කළ හැක්කේ ඒ ආකාරයේ අභ්‍යන්තර බල දේශපාලනයේ ස්වභාවයන් මේ තත්වය සමග එකට සාකච්ජා කිරීම හරහාය. සමහර විද්වතුන් පවසන ආකාරයට 1848 මෙරට සිදුවූවා යැයි කියන ඉංග‍්‍රීසින්ට විරුද්ධ කැරැල්ල හුදු බදු බරට එරෙහිව මතුවූ කැරැල්ලක් ලෙසින් කියනවාට වඩා එවකට මෙරට සමාජයට ඉංග‍්‍රීසින් විසින් මුදා හළ භාෂා ආධිපත්‍යයට එරෙහිවීමක් ලෙසින්ද එය තේරුම් ගැනීම නිවැරිදි බව පෙනී යයි. අනෙක් අතට ඉංග‍්‍රීසියේ ආධිපත්‍යය පිළිබද මේ ප‍්‍රශ්නය අපේ රටේ දේශපාලනයේ යටත් විජිතයෙන් පසු තත්වයට සිදුකර ඇති බලපෑම ද සුලූපටු නොවේ. මේ වන විට අපේ රටේ සමාජය බෙදා පෙන්වන එක ප‍්‍රධාන මිම්මක් වන්නේ ඒ අය කතා කරන භාෂාවයි. මේ බෙදීම (මෙයට ශාස්ත‍්‍රීයව කියන්නේ භාෂාත්මක සමාජ ස්ථරායනය කියාය) ඉංග‍්‍රීසි - සිංහල භාෂා ලෙසින් එක පැත්කිනුත් ලිඛිත සිංහල භාෂාව - කතාකරන සිංහල භාෂාව ලෙසින් තවත් පැත්තකිනුත් ආදී වශයෙන් පෙන්නුම් කරන අතර අනෙක් අතින් ප‍්‍රබුද්ධ සිංහල - පීචං සිංහල ලෙසින් තවත් පැත්කින් සමාජයම බෙදා වෙන් කරන මායිම් රේඛාවක් වශයෙනුත් මෙය පවතින බව පෙනී යයි.

යම් කතාවක බලාපොරොත්තු වන අර්ථය එකක් වුනාට ඒ කතාව කියන භාෂාව - කියන පුද්ගලයා -කියන ස්වරූපය සහ කියන ස්ථානය විසින් එහි අර්ථය නිර්මාණය කරන බව භාෂාව ගැන දාර්ශනික අදහස් ඉදිරිපත් කළ විට්ගන්ස්ටෙයින් නම් වූ දර්ශනිකයා ඉදිරිපත් කළ වැදගත් ප‍්‍රකාශකි. අර්ථය පිළිබදව මේ කියන සන්දර්භීය තේරුම් ගැනීම (Contextual Meaning) දීර්ඝ ලිපියකින් කතාකළ යුතු මාතෘකාවක් වේ.


පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ
දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්


No comments:

Post a Comment