Friday, April 6, 2018

බස් එක මිස්වීම


අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පෙරෙද පාරලිමේන්තුවේදි පරාජයට පත්වූ බව දැන් කවුරුත් දන්නා කාරණයක්ය. ආණ්ඩුවට හා අගමැතිවරයාට විරුද්ධව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ කීපයත් විපක්ෂ නායකයාගේ ටී. එන්. ඒ. පක්ෂයත් එකට එක්වී ජන්දය දිමෙන් පරාජයට පත් කරණ ගානට ‘අමුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තියෙන’ රටක් බවට මේ සිද්ධියත් අපේ රට පත්වී ඇති බවත් මෙහිදි අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. ඊටත් අමතරව නිළ ශ‍්‍රීලනීපයේ කණ්ඩායම් මේ විශ්වාසභංග යෝජනාවට ජන්දය දිමෙන් වැලකී සිටීමෙන් පෙන්නුනම් කළේ ඒ අය පසුගිය පලාත් පාලන මැතිවරණය පුරාම කියූ රනිල්ගේ මහ බැංකු හොරකම පිළිබද කථාව තමන්වත් පිලිනොගන්නා බොරුවක් බව යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ සියල්ල එසේ තිබියදි අපේ සමහරුන් සිතන්නේ මේ වෙළාවේ අනවශ්‍ය සටනක් කරන්නට ගොස් බලාපොරොත්තු වූ ජයග‍්‍රහනය ලබා ගන්නට අපට නොහැකි වී ඇති බවය. මේ සටන මේ මොහොතේ නොකළා නම් වඩා හොද යැයි මගේත් අදහසය. මා එසේ කියන්නේ අනවශ්‍ය කඩා වැටීමක් සදහා නොව මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් සදහා වඩාත් ශක්තියක් නිර්මාණය කර ගැනීමේ පැත්තෙන් මේ ප‍්‍රශ්නය දෙස බැලීම හරහාය. අනෙක් අතට ඊලග සටන් මීට වඩා වෙනස් තැනකින් පටන් ගැනීම සුදුසු යැයි යෝජනා කිරීම සදහාය. ඒ නිසාම මේ සටනේ ජයග‍්‍රහනයන් මොනවාද පරාජයන් මොනවාද කියා තෝරා ගැනීම මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් තේරීම සදහා පමණක් නොව ඒවා ජය ගැනීම සදහා විශාල පිටුවහලක් වනු නොඅනුමානය.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් මේ විශ්වාසභංගය ඉදිරිපත් කළේ ඇයිදැයි ඇසීමෙන් දැන් එතරම් වැඩක් වෙන්නේ නැති නමුත් දේශපාලන වශයෙන් මේ තෝරාගැනීම නිවැරිදි දැයි යලිත් වරක් විමසා බැලීම අනාගතය පැත්තෙන් ඉතාමත් වැදගත්ය. දේශපාලනයේ දි සටන් තේරිය යුත්තේ විරුද්ධවාදියාට වඩා තමන්ගේ ශක්තිය වැඩිකර ගැනීමේ අර්ථයෙන් මිස තමන් සතුව තියෙන බලය අවුල් කරගන්නා ආකාරයෙන් නොවන බව තේරුම් ගැනීමට විශේෂඥ දේශපාලන ඥනයක් අවශ්‍ය වන්නේ නැත. අනෙක් අතට මේ විශ්වාසභංගය පන්නයේ දේශපාලන උපක‍්‍රම මගින් අපි බලාපොරොත්තු වන ජයග‍්‍රහනයන් නොලැබී ගියහොත් හෝ එසේත් නැතිනම් ඒ උපක‍්‍රමය වැරදියට යෙදුනහොත් දේශපාලනයේ ඇතිවිය හැකි පසු තත්වයන් තමන්ගේ පිළේ දේශපාලනය කරන හැමෝම අර්බූදයට යාහැකි නිසා එවැනි ආකාරයේ දේශපාලන උපක‍්‍රම තේරිය යුත්තේ ඉතාමත් පුහුණු දේශපාලන පරිචයකින් බව අපි හැමෝම පිළිගත යුතුය. අනෙක් අතට මේ ක‍්‍රියාදමයෙන් පෙන්නුම් කරන්නේ හුදු තමන්ට සම්බන්ධ නැති බලවේගවල අවශ්‍යතාවයන්ට අනුව දේශපාලන උපක‍්‍රම තේරීම්වලට අපි සම්බන්ධ විය යුතු නැති බවය. දැන් මේ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වී ඇති නිසා මේ කාරණා පිළිබදව එළිපිටම කථා කිරීමේ වැරුද්දක් ඇතැයි මා සිතන්නේ නැත.

අපි දන්නා පරිදි මේ විශ්වාසභංග යෝජනාව මේ මොහොතේ ඉදිරිපත් කිරීම ගැන මහින්ද මහතාට සම්බන්ධ බලවේගවල තිබුනේ සම්පුර්ණ එකගතාවක් නොවන බවත් කාටත් පැහැදිලි සත්‍යයක්ය. විශේෂයෙන්ම මහින්ද ජනාධිපතිතුමන්ගේ පැත්තෙන් පාර්ලිමේන්තුවේ සිිටින්නේ ඒකාබද්ධ විපක්ෂය පමණක්ය. පොදුජන පක්ෂයට (පොහොට්ටුවේ පක්ෂයට) බලය තියෙන්නේ ගමේ තියෙන මහින්දවාදි බලවේගය තුළ පමණක් බව කවුරුත් දන්නා කාරණයක්ය. එකම මහින්ද බලවේගයේ වුනත් මේ දෙගොල්ලන් අතර මේ විශ්වාසභංගය ගැන තිබුනේ අදහස් දෙකක්ය. ඒකාබද්ධ විපක්ෂයේ අය සිතා සිටියේ මේ විශ්වාසභංගයට ශ‍්‍රීලනීපයේ (මෛත‍්‍රී ජනාධිපතිතුමන් ඇතුලූ) සියලූ දෙනාගේම සහායත් එජාපයේ රනිල් විරෝධීන්ගේ සහායත් අරගෙන ජයග‍්‍රහනය කරන්නට හැකියාවක් තිබෙන බවය. ඒත් පොදුජන පක්ෂයේ පාක්ෂිකයෝ මේ විශ්වාසභංගය දෙස බැලූවේ මේ මොහොතේ අත්හද බලන්නට අවශ්‍ය දෙයක් නොවන ලෙසින් පමණක් නොව ගමේ ගොඩ නැගෙමින් තිබෙන පොහොට්ටුවේ බලවේගයට යම් ආකාරයක ‘උදැල්ලක්’ වැටීමක්ද ලෙසින්ය. විශ්වාසභංගය පරාජයට පත්වී ඇති තත්වයක් තුළ ගමේ පාක්ෂික බලවේගය ආරක්ෂා වන පරිදි මීලග උපක‍්‍රම තේරීමට ඒකාබද්ධයේ හා පොදුජන පක්ෂයේ නායකයෝ පරිසම් විය යුත්තේ ඒ නිසාය. යම් ආකාරයකට මේ විශ්වාසභංගයේ කොළඹ පාර්ලිමේන්තුවේ උදේ හවස පක්ෂ මාරු කරන නායකයින්ව ඒ ආකාරයෙන්ම ගමේ පොහොට්ටුුවේ සාමාජකත්වය ඉදිරියේ කෘතීම නායකයින් කරන්නට ගියහොත් සිදුවිය හැක්කේ 2015 ජනවාරියේ අපට සිදුවූ දේමය. (මා මේ කාරණය කියන්නේ තරමක් පළල් තේරුමකින්ය. ඒ නිසා ජෝන් සෙනෙවිරත්නලා අනුරලා ඩිලාන්ලා වැනි හැමදම ශ‍්‍රීලනීපයේ සිටි අය මේ කාරණය සමග ලාබෙට ගැට ගැසෙන්නට අවශ්‍ය වන්නේ නැත).

මේ විශ්වාසභංගයෙන් ලැබුනු එක් ජයග‍්‍රහනයක් වන්නේ ආණ්ඩුවේ බලවේග අතර එතෙක තිබු ‘නොගැලපීම’ (mismatch) යම් ආකාරයක ‘හැප්පීමක්’ (conflict) දක්වා වර්ධනය කරන්නට හැකියාවක් ලැබීමය. ඊලග වසරේ ජනාධිපතිවරණයක් පවත්වන්නට තියෙන නිසා මේ හැපිපීම තවත් තීව‍්‍ර වෙනවා මිස සමහන් වෙන්නේ නැති බව පෙනී යන කාරණයක්ය. අනෙක් අතට ආණ්ඩුවේ කණ්ඩාම් මේ හැප්පීම කෙළවරක් වෙන කෙත් ගෙන යා යුත්තේ ඊලග ජනාධිපතිවරණයට අපේක්ෂකයා වන්නේ කවුරුන්ද කියන ප‍්‍රශ්නයත් යටි හිතේ තියාගෙනය. මේ ප‍්‍රශ්නය යටි සිතේ තියාගෙන පක්ෂ දෙකක් එක්වී ආණ්ඩු කරන්නට යාම නිසා මේ දක්වා සිදුවූ විකාරරූපී පාලනයට වඩා තවත් සංකීර්ණ තත්වයක් මේ හරහා ගොඩ නැගෙන්නට නියමිත බව මගේ මතයය.
අනෙක් අතට මේ විශ්වාසභංගයේ ගනන් (numbers) මගින් පෙන්නුම් කරන තවත් වැදගත් කාරණයක්ද තිබෙන බවද නිරීක්ෂනය කළ හැකිය. එනම් ප‍්‍රධාන පක්ෂවලට මෙතෙක් තිබූ පාරලිමේන්තු ආධිපත්‍ය යම් ආකාරයයම් ආකාරයකින් අර්බුදයට පත් වෙමින් තිබෙව බවය. මේ පාර්ලිමේන්තුවේ බහුතරය හදන්නට නම් ආණ්ඩු පක්ෂයට විපක්ෂ නායකයා සමග එකට සිට ගත යුතු ගානට මේ අවිනිෂ්චිතභාවය මේ මගින් වර්ධනය වී ඇත. ඒ වගේම තනියෙන් ගත් විට පාරලිමේන්තුවේ ශක්තිමත් නායකත්වය බවට මහින්ද ජනාධිපතිවරයා පත් වෙමින් තිබෙන බවද මේ නිරීක්ෂණයේම අනෙක් නොකියවෙන කාරන ය. පාරලිමේන්තුවේ බහුතරයේ ගනන දෙළනයවීමේ මේ අලූත් තත්වය ඉදිරි කාලයේ මහ මැතිවරණයක් ලබා ගැනීම වැනි කාරණා සදහා පාවිච්චි කළ හැකි බව මගේ මතයය.

තුන්වෙනුව මේ විශ්වාසභංගය නිසා ලැබුනු වඩාත් වැදගත් ජයග‍්‍රහනයක් වන්නේ ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය ගැන කථාව සම්පුර්ණයෙන්ම ලොප් කරන්නට හැකියාව ලැබීමය. මේ ආණ්ඩුවට අද විපක්ෂ නායකයාගේ පක්ෂයත් එකතු කළ විට ඝෘජුව ඉන්නේ මන්ත‍්‍රීවරු 122ක්ය. සාමාන්‍ය ආණ්ඩුවක් ගෙනියන්නට ඒ බහුතර හොදටම ප‍්‍රමාණවත්ය. එහෙත් අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වැනි දේවල් ඊලග මහ මැතිවරණයෙන් නව රජයක් පත් වෙන තුරු යථාරාථයක් නොවන හුදු කථාන්දරයක් බවට පත් කිරීමට මේ විශ්වාසභංගයේ ප‍්‍රතිඵල මගින් පෙන්නුම් කරන බව සැබෑවක්ය.

මේ විශ්වාසභංගයෙන් පෙන්නුම් කළ අනෙක් වැදගත්ම කාරණය වන්නේ නිල ශ‍්‍රීලනීපයේ දේශපාලනය යම් ආකාරයක නිමාවක් සටහන් කරන බවය. මේ විශ්වාසභංගය ජයග‍්‍රහනය කිීමට නම් ඒ සදහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ මතය කුමකදැයි බැලිය යුතු බව මා කීවේ මීට ෂති කීපයකට පෙරදිය. මේ කොළමටම මා මීට පෙර සතියේ මේ ගැන ලියුවේ මෙසේය.

"දැන් මේ විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබදව ජනාධිපතිතුමන් සිතන්නේ කෙසේදැයි හරියට තක්සේරු කරගැනීමය. එතුමන්ගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස්කළ හැකි යැයි මා සිතන්නේ නැත" (මාර්තු 23)

ඇත්තටම ඊයේ සිදු වූයේ මේ කාරණයටම සමාන දෙයක් යැයි කීමේ වැරුද්දක් ද නැත. ජනාධිපතිතුමාගේ දේශපාලන තීන්දු තීරණ ගන්නා ආකාරය ගැන වැටහීමක් මට ඇත්තේ නැත. එහෙත් මේ මොහොතේ මතුවී තිබූ අර්බුද ජනක ‘දේශපාලන අවකාශයට’ යම් ධනාත්මක මැදිහත්වීමක් නොකළේ මන්දැයි මට නම් තේරෙන්නේ නැත. දැන් සිදුවී තිබෙන්නේ එතුමාට එජාපයත් නැතිවී එජාප විරෝධයත් නැතිවීම නොවෙදැයි එතුමන්ගේ උපදේශකයන්වත් නොතේරෙන්නේ ඇයි දැයි පැහැදිලි නැත. මේක හරියට සමාන වෙන්නේ මුහුදේ අමාරුවෙන් එළාගත් දැළකට මාලූ අසුවූ පසුව එය අදින්නේ නැතිව ‘තොදෙල් කරමින් සිට ආපසු යන්න අත අරිනවා’ වැනි කි‍්‍රයාවකටය. එහෙම කරන්නේ එජාපයේ ඇති බලපෑම හෝ සම්බන්ධතාවය නිසා යැයි අපේ පාක්ෂිකයින් කියන සාමාන්‍ය කථාවය. ඒත් එවැනි සම්බන්ධතාවක් එජාපය පැත්තෙන් වත් පේන්නේ නැති නිසා මේ අප‍්‍රභ‍්‍රංසය තේරුම් ගන්නේ කෙසේදැයි කල්පනා කිරීම හැර වෙනකළ හැකි දෙයක් මෙතැන පේන්නේ නැත. අපි කවුරුවත් නොදන්නා අලූත් සන්ධානයක් ගැන බලාපොරොත්තුවෙන් ශ‍්‍රීලනීපය කල් බලනවා නම් කියන්නට ඇත්තේ ඒ අය මේ කරමින් ඉන්නේ ‘බස් එක මිස් කර ගැනීම පමණක් නොව පාරත් වරද්ද ගැනීම’ බවය. වැරදි පාරක එන ඕනෑම බස් එකක් තමන්ව රුගෙන යන්නේ තමන් කැමති තැනකට නොව ඒ බස් එක යන තැනට බව තේරුම් ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය.
මාගේ පසුගිය සතියේ තීරු ලිපියෙන් තවත් කොටසක් උපුටමින් මේ සටහන නිමා කිරීම සුදුසු යැයි සිතමි.

"මේ එකක්වත් වෙන්නේ නැතිව මේ විශ්වාසභංගය පරාජයට පත්වී හෝ අවසාන මෙහොතේ ශ‍්‍රීලනීපයේ සහාය නොලැබී යාමේ ඉඩක්ද මේ තුළ තිබෙන බව අපි අමතක කළ යුතු නැත. එවැනි තත්වයක් නිසා නැවත වරක් රනිල්ගේ එජාපයත් ජනාධිපතිතුමන්ගේ ශ‍්‍රීලනීපයත් අතර භංගවී ඇති විශ්වාසය අලූතින් හදගැනීමටද ඒ අය මෙය පාවිච්චි කරන්නට ඉඩ ඇත. එවැනි දෙයකට ‘පාවිච්චිවීමට’ හෝ යන එනමං නැතිව සිටින ශ‍්‍රීලනීපයේ නායකයෝ කීපදෙනෙකු යලිත් අපේ ජන්දයෙන් පාරලිමේන්තු යැවිමකට පමණක් මේ විශ්වාසභංගය යොද ගැනීමේ කිසිදු ඉඩක් අපි දිය යුතු නැත". (මාර්තු 23)

අපි මේ මොහොතේ කල්පනා කළ යුත්තේ මේ විශ්වාසභංගයේ ප‍්‍රතිඵල හරහා ගොඩ නැගී ඇති අලූත් තත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමටය” ඒ මගින් ආණ්ඩුවේ තුනෙන් දෙක නිමා කිරීමත් පොහොට්ටුවේ ග‍්‍රාමීය බලවේගයන් දුර්වල නොකරමින් ඉදිරි දේශපාලන ක‍්‍රියාමාර්ග තේරීමත් යන දෙපැත්තම එක පරිදි තුළනය කර ගැනීමය.

No comments:

Post a Comment