Friday, March 20, 2020

කොරෝනා කාලේ ඡන්දේ

මහ මැතිවරණයට නාම යෝජනා භාර දීමේ අවසාන දිනය යෙදී තිබෙන්නේ අද දවසටය. මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් මේ වනවිටත් නාම යෝජනා පත‍්‍ර භාර දී අවසන්ය. ‘‘මෙවර මහ මැතිවරණයේ උණුසුම යම් පමණකින් හෝ අඩු වෙන්නට හේතු වී තිබෙන්නේ මේ දවස්වල මුළු ලෝකයේම වගේ ගලා යමින් තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන්ය“. අපේ රටටත් කොරෝනා වයිරසය බරපතල ආකාරයෙන් බලපෑම් කරන තත්වයක් තුළ රටේ අවධානය මහ මැතිවරණය වෙතින් ඉවතට ගමන් කිරීමේ තත්වයක් ගොඩනැගී ඇති බව පැහැදිලි කාරණයකි. 

කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීම් මේ වනවිට ඉතාමත් හොඳින් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන කාරණයකි. රටේ ජනතාව මේ වගේ වෙලාවක හැසිරිය යුත්තේ කෙසේද යන කාරණය ගැන දැනට ලබා දී ඇති උපදෙස් සමාජයේ බහුතරයක් අය පිළිගනිමින් සිටින බවද නොරහසකි. මා මේ සටහනින් ලියන්නට බලාපොරොත්තු වන්නේ කොරෝනා වයිරසයට සම්බන්ධ දෙයක් පිළිබඳව නොව ලඟ එන මහ මැතිවරණයට සම්බන්ධ කාරණා කීපයක් පිළිබඳවය.

මුලින් ම අවධානයට ගත යුතු කාරණය වන්නේ මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සමාජ හා දේශපාලන සන්දර්භය කුමක්ද යන කාරණය අවධාරණයට ගැනීමය. මේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ අලුත් ජනාධිපතිවරයෙකු පත්වී මාස කීපයකට පසුව වන අතර ජනාධිපතිවරණයේදී රටේ ජනතාව විසින් අනුමත කළ දේශපාලන වැඩ සටහන ඉදිරියට ගෙනයාම මෙහිදී අවධානයට ගත යුතු ප‍්‍රධාන කාරණයක්ය.