Sunday, October 7, 2018

අලුත් දේශපාලනයක්

මේ රටේ දේශපාලනය අලූත් විය යුතු යැයි මේ දවස්වල වැඩියෙන්ම කියන්නේ 2015 ජනවාරියේ ආණ්ඩු වෙනසට මුල්වුණුු කණ්ඩායමේ සිවිල් සංවිධාන නායකයෝ ය. මේ කාණ්ඩයට ධම්ම දිසානායක මහතා කියන්නේ ‘ජනවාරිවරු’ කියාය. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ මේ සමහර සිවිල් සංවිධාන සාමාජිකයෝ අනිද්දා පත‍්‍රයේ ලියන ලිපි දෙස බැලූවිට පෙනීයන්නේ ඒ අයට සිදුවී තියෙන්නේ සැත්කම වැරැදී ලෙඩා මරණයට පත් වූ විටෙක දෙස්තර මහතාට මුහුණ දෙන්නට වෙන ආකාරයේ සන්තෑසියකට බව ය. ඒ කෙසේ වෙතත් දැන් රට මුහුණ දෙන්නේ අලූත් නායකයෙකු හදන්නට නොව අලූත් දේශපාලනයක් හදන්නට හැකි ව්‍යාපෘතියක් හදන්නේ කෙසේද කියන කාරණය නිරවුල් කර ගැනීමයට ය.
බි‍්‍රතාන්‍යයන්ගේ පාලනයෙන් පසුව අපි තනියම රට පාලනය කර අද පැමිණ තියෙන තත්වය කුමක්දැයි කියන කාරණය ගැන සිතීම මෙහිදි ඉතාමත් වැදගත්ය. මේක හරියට සමාන වන්නේ කොම්පැණියක් විදේශීය අධ්‍යක්ෂ මණ්ඩලයක් පාලනය කරගෙන ගොස් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ට භාරදී අපේ පාලනයක් යටතේ වසර 70 ගතවූවායින් පසුව කොම්පැණියේ තත්වය නිරීක්ෂණය කිරීම වැනි කාරණයකටය. බැලූ බැල්මටම පේන්නේ ලාභ ලබමින් තිබූ කොම්පැනියක් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු කොම්පැනියම නැත්තටම නැතිවී ගිය සේයාවක් ය. ලාභ ලැබීම නැවතුනා පමණක් නොව පාඩු ලැබීමේ සීමාවත් පැන ගොස් ණය ගැනීමේ සිමාවත් නැතිවන තැනට වසර 70 ක් අපේ පාලනය යටතේ කොම්පැනිය පත් වී ඇත. දැනටත් අධ්‍යක්ෂවරුන් ලෙසින් මන්ත‍්‍රීවරුන් 225 වසර 6 වරක් රටේ ප‍්‍රතිපත්ති හා නීති සදන්නටත්, නිසි උපක‍්‍රමික තීන්දු තීරණ ගැනීම පිනිස පත්වෙන අතර ඒ අය වැඩි වශයෙන් උනන්දු වන්නේ තව තවත් ණය ගනිමින් තම තමන්ට හොද වාහන, හොද ගෙවල් නිතර විදේශ සංචාර වැනි දේවල් ලබාගැනීම ගැන මිස කොම්පැණියේ අනාගතය (රටේ අනාගතය) ගැන නොවේ.

මේ මොහොතේ අපි ඇසිය යුතුම ප‍්‍රශ්නය වන්නේ නිදහසින් වසර 70 කට පසුව රටට මෙහෙම වූයේ ඇයි සහ දැන් අපි කළ යුත්තේ කුමක්ද යන ප‍්‍රශ්නයයි.

මා මීට පෙර වෙනත් පුවත්පතක ලියූ සටහනකින් කියු පරිදි අපි මුළින්ම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ ලැබුණු දේශපාලන නිදහසත් සමග අපේ රටේ නිසි ආකාරයෙන් ගොඩ නගන්නේ කෙසේ දැයි මෙරට සිංහල සමාජයේ සිදුවූ සාකච්ජාව ප‍්‍රධාන දාර්ශනික ධාරාවන් තුනක් මත පදනම් වූ  බවය. මේ දාර්ශනික පදනම් තුන මා නම්නරන්නේ එක් පැත්තකින් වෙළදපොළ ආර්ථිකය පදනම් වූ ධනේශවර අර්ථ ක‍්‍රමයෙන්ද, දෙවනුව එම ධනේශ්වර සාමාජ ආර්ථික ක‍්‍රමයට ප‍්‍රතිපක්ෂ ව්‍යාපෘතිය ලෙසින් මතුවූ මාක්ස්වාදී දේශපාලනය ද, තුන්වෙනුව යටත්විජත පාලනයට එරෙහිව නැගී සිටි ස්වදේශිකවාදි දේශපාලනයද ලෙසින් වූ ස්ථාවරයන් තුනක් අපේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය කෙරෙහි බරපතල අයුරින් බලපානු ලැබු බවය. හැමෝටම තේරුම් ගැනීමට පහසුවන පරිදි කිවහොත් මේ දාර්ශනික ස්ථාවර තුන මේ රටේ සාකච්ජා වන්නේ පිළිවෙලින් ඇඩම්ස්මිත්, කාල්මාක්ස් සහ අනගාරික ධර්මපාල යන චින්තකයින්ගේ මතවාද හරහා යැයි සරළව කීමේ වැරුද්දක් ද නැත. නිදහසින් පසු මේ රටේ දේශපාලනය සංවිධානය කළ මුරගල් තුන වන්නේ මේ තුන්දෙනාගේ දාර්ශනික ධාරාවන් තුනය. එජාපය හැමදාම සිටියේ වෙළදපොළ ධනවාදය පැත්තේය. ඇඩම් ස්මිත්ගේ පැත්තේය. සාම්ප‍්‍රධායික වාමාංශය හා ජවිපෙ වැනි පක්ෂ ආරම්භ වූයේ ම මාක්ස්වාදය පැත්තෙන්ය. කාල් මාර්ක්ස්ගේ පැත්තේය. ශ‍්‍ර‍්‍රීලනීපය හා ජාතිකමය වූ පක්ෂ මතුවුනේ ස්වදේශිකවාදයේ පැත්තෙන්ය. ඒ කියන්නේ ධර්මපාලගේ පැත්තෙන්ය.

මේ බෙදීම තනිකරම නිශ්චිත හා ‘හරි හතරුස්’ දෙයක් නොවුවත්, පසුගිය වසර 70 මේ රටේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලනය සංවිධානය වූයේම මේ චින්තන ති‍්‍රකෝණයේ සීමාව ඇතුළේය.  දැන් මේ සීමාවන් ඇතුළත නිදහස් ශ‍්‍රීලංකාවේ ප‍්‍රතිපත්ති සහ නීති සම්පාදනය පැත්තෙන් අපි සිටින්නේ එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි බරපතල අවුලක පැටලිලාය. එක කාණ්ඩයක් හදන්නේ රාජ්‍ය හකුලූවා වෙළදපොල පමණක් තියා ගන්නටය. අනෙක් කාණ්ඩය හදන්නේ වෙළදපොළ නිර්ධන පන්තිය අතට ගෙන ඒ අයගේ පන්ති ආඥදයකත්වයක් හරහා රට පාලනය කරන්නටය. මේ දෙකටම නැති අය හදන්නේ සුභසාධනයට ප‍්‍රමුකත්වය දීමට එක් පැත්තකිනුත්, යටත් විජිතය පටන් ගත් කාලයේ තත්වයට යලිත් ගමන් කිරීම තව පැත්තකිනුත් එල්ල කරගත් පාලනයකටය. 1948 සිට 1977 වෙනකල්ම පැවතුනේ මේ වගේ විසම කෝණී ත‍්‍රිකෝණයක් ආකාරයේ දේශපාලන හුවමාරුවක් බව පැහැදිලි කාරණයක්ය. එක්කෝ අපි නැවතුනේ ඇඩම් ස්මිත් ලගය. නැත්නම් කාල් මාක්ස් ලගය. එහෙමත් නැත්නම් ධර්මපාල ලගය.

දැන් අපි සිටින්නේ මේ ත‍්‍රිකෝණයේ කොයි පැත්තේද යන කාරණය තේරුම් ගැනීමත් නායකයින් මාරු කිරීමට වඩා පළල් දේශපාලනමය වූ ප‍්‍රතිපත්ති පිළිිබද තේරුම් ගැනීමක් දක්වා අලූත් වූ දේශපාලනයක් හදන්නේ කෙසේද යන කාරණය අපේ න්‍යාය පත‍්‍රවලට ඇතුළත් කිරීමත් මේ මොහොතේ වැදගත්ම කාරණා බව මගේ අදහසයි. 

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ 
දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්




No comments:

Post a Comment