යාපනයේ සිදුවීම සහ අපේ අනාගතය
යාපනය විශ්වවිද්‍යාලයේ සිදූවූ ගැටුම මේ වන විට නිමා වී තිබුණත් ඒ හරහා ඇතිවූ සමාජමය තිගැස්ම සහ එයින් මතුවූ දේශපාලන සාකච්ඡාව තවමත් නිමා නැත. සංවාදයේ සමහරුන් මේ කාරණය කිසිදූ වැදගත්කමක් නොමැති සිදූවීමක් ලෙසින් නොසලකා හැර යන්නට උත්සාහ කරන අතර තවත් සමහරුන් මේ සිද්ධිය බරකළ අගයකින් උඩට ගන්නට උත්සාහ කරන බව බැලූ බැල්මට පෙනී යයි. (අවතක්සේරුව එක් පැත්තකිනුත් අධිතක්සේරුව අනෙක් පසෙනුත් මතු වෙමින් පවතියි). මෙම සිද්ධිය ගැන ලිවීම සුදූසු යැයි සිතුණේ කාරණා කිපයක්ම නිසාය. මූලික වශයෙන්ම මේ සිදූවීම වැරදියට කළමනා කෙරුවහොත් අනාගතයේදි ඇතිවිය හැකි බරපතළ ප්‍රතිවිපාක ගැන සමාජය තුළ ශක්තිමත් සාකච්ඡාවක් ඇතිවීම ඉතාමත් අවශ්‍යය යැයි මම සිතන නිසාය. අනෙක් අතට දෙමළ දේශපාලන සමාජය මේ කාරණය ගැන තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රශ්න කළ යුතු යැයි දැනෙන නිසාය. එවැනි නිහඬතාවක් දෙමළ සමාජයේ දේශපාලනය තුළින් මතු වන්නේ ඇයි දැයි විමසීම අත්‍යාවශ්‍යම කාරණයක් වන්නේ මේ ආකාරයේ නිහඬතාවක් 1975 සිට දෙමළ දේශපාලනයේ මතු වී ආ ආකාරයත් එය 1976 වඩුක්කොඩෙයි සම්මේලනය හරහා රට බෙදීමේ දේශපාලනයක් දක්වාම ගොඩ නැඟුණු ආකාරය ඉතිහාසය තුළින් පෙන්නුම් කරන නිසාය. තුන්වනුව දකුණේ සිටින අධි වාමාංශික පන්නයේ අයත් එජාපයේ ප්‍රධාන ශාඛාවක් යැයි සිතිය හැකි කොළඹ සිවිල් සමාජයේ අයත් මේ සිද්ධියට සුදූ හුනුගාමින් සිංහල සිසුන් යාපනයේ ඉගෙන ගැනීම 'උතුරේ සිංහලකරණය කිරීමක්' ලෙසින් කියන්නට පටන් ගෙන තිබීම ප්‍රශ්න කළ යුතු නිසාය. හතරවනුව මේ ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු යැයි මට සිතුණේ ඇත්ත වශයෙන්ම යළිත් වරක් උතුර දකුණ ගිනිගන්නා පරිසරයක් ගොඩනැඟීම යනු අපේ රටේ අනාගතයට පමණක් නොව මගේ අනාගතයට බරපතළ ගැටලුවක් නිර්මාණය වන නිසාය. සිංහල-දෙමළ සහජීවනය සමහරුන්ට හුදූ කයිවාරුවක් වූවාට මගේ ආසන්නම මිතුරන් දන්නා පරිදි මා හට එය එදිනෙදා ජීවන අත්දැකීමක් වන බැවින් පසුගිය කාලයේ අප ගත කළ ආකාරයේ අවිනිශ්චිත තත්ත්වයක් යළිත් උදාවීමට කොහොමටවත් දිය නොහැකි නිසා මේ සිද්ධිය ගැන ලියන්නට සිතුණි.
මේ සිද්ධිය හරහා මුලින්ම පෙනී යන්නේ පසුගිය කාලයේ අපි භෞතිකව සිදූකළ සංවර්ධනයන් සහ ප්‍රතිසන්ධානයන් මඟින් ලැබී ඇති පශ්චාත් යුද සමාජයේ ජයග්‍රහණයන් පිළිබඳව දකුණේ අපගේ කියවීම සහ දෙමළ සමාජයේ පහළ කොටස්වල කියවීම අතර බරපතළ වෙනසක් ඇති බවය. අනෙක් අතට මේ සිද්ධියෙන් පෙනී යන්නේ යුද්ධයෙන් පසුව ගතවූ වසර හය හත තූළ මේ ජන කණ්ඩායම් දෙක එකිනෙකා ගැන විශ්වාශයකින් සිටින බව මතු පිටින් පෙන්නුම් කළත් දෙමළ සමාජයේ පහළ තට්ටුව තවමත් ඉන්නේ වෙනම අදහසක බවය. තමන්ගේ පැවැත්මේ අයිතිය සිංහල සමාජය පැහැර ගන්නේ යැයි දෙමළ සමාජයේ පහළ තීරුව කල්පනා කරන්නට පටන් ගත්තේ එසේ කල්පනා කරන්නට දෙමළ දේශපාලන නායකයින් ඉගැන්වූ නිසා යැයි අපි ඒ කාලයේ කීවෙමු. මෙතැන පෙන්නුම් කරන්නේ ඒ ඉගැන්වීම තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවදැයි අවශ්‍ය නම් ප්‍රශ්නයක් මතු කළ හැකිය. තවමත් දෙමළ සිසුන් සිතන්නේ 'තමන්ගේ මඟ හැරුණු වසන්තය'ට හේතුව සිංහල ජනතාව බවය. සිංහල සමාජය සිතන්නේ මේ තත්ත්වයේම අනෙක් පැත්තෙන්ය. ඔවුන්ට අනුව 'සියලු කැප කිරීම්' සිංහල ජාතිය සිදූ කරමින් දෙමළ ජාතිය සමඟ සමගිව වැඩ කරන්නට උත්සාහ කළත් ඒ අය කරන්නේ මිත්‍රත්වයේ දෑත සපා කෑම බවය.
ජාතිය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයන් මඟින් කියන එක් වැදගත් අදහසක් වන්නේ 'ජාතිය' යනු ඇගැයුම් පද්ධතියක හා නිශ්චිත ජීවිතාකාරයක පරිකල්පනාත්මක පිහිටීමක් (imaginative existence of values system and a particular forms of life) ලෙසින් ආරම්භ වී එය 'ජාතික දෙයක්' (nation a 'thing') බවට පත් වන බවයි. දැන් යාපනයේ දෙමළ සිසුන් සිතන්නේ මේ තමන්ගේ 'ජාතික දෙය' විනාශ කිරීමට දකුණෙන් වෙනත් 'ජාතික දෙයක්' පැමිණ ඇති බවය. තමන්ගේ 'දෙය' රැකගන්නට විරුද්ධවාදියාගේ 'දෙයට' එරෙහි වන්නට හදන්නේ ඒ නිසාය. දකුණේ සිංහල සිසුන්ගේ වෙස් නැටුම (වෙස් නැටුමට දමිළ සම්බන්ධයක් නුවර අවසාන රජවරුන්ගේ කාලයේ සිටම පවතින බව මගේ මිතුරෙක් මා සමඟ කීවේය. මෙය සැබෑවක් නම් වැඩේ තවත් අපූරුය) යනු 'දෙමළ දෙයට' විරුද්ධව එන 'සිංහල දෙය' බවට පත්වන්නේ ඒ නිසාය. දැන් මේ තත්වය හරහා පරිකල්පිත යථාර්ථයක් සිද්ධිවාචකමය තත්වයක් බවට පත් කරගනිමින් ඒ කියන්නේ ජාතිය ලෙසින් අපි පිළිගන්නා ඇගැයුම් පද්ධතියක් කල්පනා ලෝකයක සිට භෞතික ලෝකයේ පවත්නා 'දෙයක්' බවට පත් කරගනිමින් ඒ මත විනිශ්චයන් තබා තීරණ ගැනීමේ ක්‍රියාවලියකට යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් පෙලඹෙන්නේ මේ තර්කය හරහාය. 1970 දශකයේ ආරම්භ වූ තත්වයත් මෙයටම සමාන බවක් දක්වන අතර එහිදි සිදූ වූයේ මේ තත්ත්වයට තවත් සාහිත්‍ය සහ ශාස්ත්‍රීයත්වය එක් වීමත් එයට දේශපාලන වැඩ සටහනක් නිර්මාණය වීම හරහා'ජාතික දෙය රැක ගැනීමේ' දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ විමත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සිතෙන තරමේ කණ්ඩායමක් නිර්මාණය වීමත්ය.
අපේ රටේ ජාතික ගැටලුව සම්බන්ධව වැඩ කරන බොහෝ අය මේ ප්‍රශ්නයේ දේශපාලන විද්‍යාමය කලාපය හෝ ඉතිහාසමය කලාපය ගැන උනන්දූ වූවාට එහි ඇති දාර්ශනික පදනම ගැන සංවේදි වන බවක් පෙනෙන්නේ නැත. මීට පෙර මවිසින් මෙම තීරු ලිපියෙන් පැහැදිලි කළ පරිදි සමාජය සම්බන්ධ ප්‍රශ්නවලට උත්තරයක් සොයන තරමටම වැදගත් වෙනත් කාරණයක් වන්නේ තමන් පිළිතුරු සොයන්නට උත්සාහ කරන ප්‍රශ්නය පැහැදිලි කර ගැනීමට මහන්සි වීමය. විසි වන සියවසේ සුවිශේෂ දාර්ශනිකයකු වූ විට්ගන්ස්ටෛයින් වරක් පැවසූවේ සමාජමය වූ ක්ෂේත්‍රයන් හි ගොඩ නැඟෙන ගැටලු සම්බන්ධව තාර්කික වූ පිළිතුරු සෙවිය නොහැකි බවය. ඇගැයුම්ශීලි හෝ ප්‍රතීයමාන ක්ෂේත්‍රයන්හි (value based and normative) එකඟතාවන් යනු තාර්කික එකඟතාවන් නොව සමාජමය වූ එකඟතාවන් බවය. මෙම ක්ෂේත්‍රයේ නිගමනයන් යනු තාර්කික වශයෙන් අර්ථශුන්‍ය එහෙත් යම් ප්‍රයොජනයක් තිබිය හැකි ප්‍රකාශයන් (logically meaningless but socially useful) බව ඔහුගේ අදහස විය. මේ කාරණය තවත් පැහැදිලිව කිවහොත් ජාතිය පිළිබඳ සංවාදය රැගත් කලාපය තුළ ගොඩ නැඟෙන විනිශ්චයන් අපිට පැවැත්මට අවශ්‍ය දේවල් විය හැකි වුවත් ඒවා තාර්කික වශයෙන් ඒ ඒ සංස්කෘතික ජීවිත ආකාරයන්ට අදාළව මිස සමස්ත වශයෙන් අර්ථයක් ගොඩ නගන්නේ නැති බව ඔහුගේ අදහස විය. උඩරට නැටුම ඒක සන්දර්භයක ජීවිත ආකාරයක් ලෙසින් වැදගත් වන අතර දෙමළ නැටුම තවත් සන්දර්භයක ජීවිත ආකාරයක් ලෙසින් වැදගත් දෙයක් ලෙසින් සැලකිය හැකිය. මේ දෙකින් හොඳ නැටුම කුමක්දැයි ඇසීමේ අර්ථයක් නැත්තේ එම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර නියෝජනය කරන්නේ පිළිතුර දෙන්නා අයත් වන සන්දර්භයට මිස තාර්කිකව අර්ථය සම්බන්ධ සාකච්ඡාවකට නොවන බවය.
දැන් මේ කාරණය පිළිබදව ගොඩ නැඟෙන සාකච්ජාවේ දී ජාතියේ පැරැණිම සංරචකය දෙමළද නැතහොත් සිංහලද යන ආදිකෘත තර්කයට (Primordial argument) හෝ ජාතිය යනු නූතනත්ව ව්‍යාපෘතියේම ප්‍රකාශනයක් ය යන නුතනවාදි (modernist) පිළිගැනීමටත් පමණක් ලඝු වන්නේ නැතිව මේ ප්‍රශ්නය දෙස බැලීම වැදගත් බව මෙහිදි පෙන්වා දිය යුතුය.
No comments:
Post a Comment