සභ්‍යත්ව රාජ්‍යයක් කරා...?
ගුණදාස අමරසේකර මහතා ලියූ සමාජ දේශපාලන විචාරයක් වූ ‘සභ්‍යත්ව රාජ්‍යයක් කරා’ කෘතිය එළි දැක්වීම පසුගියදා සවස කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්විණි. ගෙවිඳු ඇතුළු යුතුකම සංවාද කේන්ද්‍රයේ කණ්ඩායම ඒ වැෙඩ් ඉතාමත් අගේට සංවිධානය කර තිබුණි. රටේ ජාතික බලවේගයක් හැදෙමින් පවතින බව ඒ රැස්වීම දෙස බැලීමෙන්ම පැහැදිලි වන තරමට ඒ උත්සවය සංවිධානය කර තිබූ බව එහි පැමිණි හැමෝගේම අදහස විය.
අපේ යුගයේ මේ රටේ සමාජ දේශපාලන චින්තනයට බරපතළ බලපෑමක් අමරසේකර මහතාගෙන් ලැබුණු බව අප කවුරුත් පිළිගන්නා කාරණයකි. 90 දශකයේ විශ්ව විද්‍යාලවලට පැමිණි අපිට අමරසේකර සහ නලීන් ද සිල්වා දෙපොළගේ දේශපාලන ලියවිලි එවකට සිටි මාක්ස්වාදි චින්තකයින් පරදවා ආකර්ෂණය වූයේ 1989 සිට යුරෝපයේ සිදුවෙමින් පැවති නව සමාජ වෙනස්කම් දාර්ශනික කෝණයෙන් මේ සමාජය තුළ සාකච්ඡා කිරීමට ඔවුන්ගේ කෘතීන් හා ලියවිලි මඟින් ලැබුණු බලපෑම නිසාය. අමරසේකරගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදිද’ කෘතියත් නලීන් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ කෘතියත් තුළින් ඒ යුගයේ අප ලැබූ බුද්ධිමය උත්තේජනය ඉමහත්ය. ඒ වගේම ඒ කෘතීන් මත ගොඩ නැගුණු දර්ශනික සාකච්ඡාවන්ට එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ තිබූ ස්වාධීන ශිෂ්‍ය සංගමය සතුව තිබූ බුද්ධිමය ආධිපත්‍යය පරාජය කරන්නට ගෙවිදූ ඇතුළු කණ්ඩායමට (මාලක පැස්කුවෙල් පරණවිතාන වීරසේකර ජානක බණ්ඩාර වරුණ තවත් බොහෝ අයත් ඊට ඇතුළත්ය) හැකිවූයේ ඒ කාලයට සාපේක්ෂව ලෝකය පිළිබඳව න්‍යායික තේරුම් කිරීම අපේ පැත්තට දර්ශනිකවම හරවාගෙන තිබූ නිසාය. විශේෂයෙන්ම වික්‍රමබාහු, සුමනසිරි ලියනගේ, වසන්ත දිසානායක, මහාචාර්ය ශ්‍රියානන්ද වැනි මාක්ස්වාදින් සමඟ ‘දේශපාලන ගනුදෙනු’ බේරා ගැනීමට අපි බොහෝ විට යොමු වුණේ මේ බුද්ධිමය ශක්තිය නිසාය. කොළඹ මේ තත්වය මොරටුවේ චම්පික අශෝක ප්‍රියන්ත දයාරත්න වැනි අයත් සහ පේරාදෙණියේ රතන හිමිගේ මූලිකත්වයෙන් මාලින්ද අමරකෝන් ඇතුළු අපේ කණ්ඩායමත් ගොඩ නැඟුණේ මේ සන්දර්භය තුළින්ය.
මේ දාර්ශනික හා දේශපාලනික ව්‍යාපෘතිය බල දේශපාලනයේ ඓතිහාසික කාර්යභාරයක් දේශපාලන පක්ෂයක් හරහා ගොඩ නැගිය යුතුද එසේත් නැතිනම් ඒ සඳහා පළල් ජාතිකමය වූ ව්‍යාපෘතියක් හරහා අනගාරික ධර්මපාලතුමන් මතු කළ ආකාරයේ ජාතික ආමන්ත්‍රණයක් ගොඩනැගිය යුතුද යන කාරණය ගැන එදත් අපි අතර එකඟතාවක් තිබුණේ නැති ගානය. ජාතික චින්තනය සහ ජනතා මිතුරෝ ව්‍යාපාරය යනුවෙන් බෙදීම හරහා මතු වුණෙත් එක අතකට මේ ප්‍රශ්නයමය. ඒ ඉතිහාසය යළිත් සාකච්ඡා කරන්නට මා යන්නේ නැත. ඒ කෙසේ වෙතත් පක්ෂයක් හරහා එක් පැත්තකිනුත් පක්ෂයකින් තොරව ජාතික මතවාදයක් හරහා තවත් පැත්තකිනුත් ඒ දේශපාලන මතුවීමේ කණ්ඩායම් පසුගිය දශක එකහමාර (1900 - 2015) දක්වා මේ රටේ දේශපාලනයට විශාල බලපෑමක් සිදුකළ බව බොහෝ අයට පිළිගත හැකි කාරණයක් බව මගේ අදහසය.
රැස්වීමේ නිමිත්ත වශයෙන් නිවේදකයා කීවේ මේ පටන් ගන්නේ ජාතික චින්තන දේශපාලන සංවාදයේ තුන්වන අදියර කියාය. (පළමු අදියර 1989-90 ජවිපෙ මැදිහත්වීමෙන් නිමා වූ අතර දෙවැනි අදියර පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් කෙළවර වූ බව එහි තේරුම් ගැනීම විය යුතුය.) අමරසේකරගේ කෘතිය මතු කරන්නේ මූලික වශයෙන්ම වැදගත් කේන්ද්‍රීය ප්‍රශ්නයකි. එනම් බටහිර යටත් විජිතයක් ලෙසින් සිටි කාලයේ එංගලන්තයෙන් මේ රටට හඳුන්වා දුන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යටතේ වූ රාජ්‍ය පාලන ක්‍රමය තවදුරටත් මේ රටට වලංගුද යන ප්‍රශ්නයය. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය යටතේ අපේ රටේ පාලන යාන්ත්‍රණය පැති කීපයකින්ම අර්බුදයට ලක් වී ඇති බවත් එය යළිත් වැඩකට ගත හැකි මට්ටමටත් වඩා පරිහානියට පත් වී ඇති බවත් ඔහුගේ තර්කය වී තිබේ. ඒ නිසාම ක්‍රමය එහෙමම තියාගෙන මිනිසුන් වෙනස් කරන දේශපාලනයෙන් ඉවත්විය යුතු කාලය පැමිණ ඇති බවත්, මේ ක්‍රමය මෙරටට ගැළපෙන්නේ නැති බව ප්‍රායෝගිකත්වයෙන්ම පෙන්වා දී ඇති බවත් අමරසේකර මහතා පෙන්වා දෙයි. මේ තත්ත්වයෙන් වෙනස් විය යුත්තේ නව රාජ්‍ය ආකෘතියක් වෙතට බව පෙන්වා දෙන ඔහු ඒ නව ආකෘතිය ලෙසින් ‘සභ්‍යත්ව රාජ්‍යය’ යන්න යෝජනා කරයි. මාටින් ජැක් නමැති චින්තකයකු විසින් චීනයේ දේශපාලනය පිළිබඳව 2009 වර්ෂයේ ලියවුණු When China Rules the World: The end of the Western world and the birth of a new global order කෘතිය මත පදනම් වෙමින් අමරසේකර මහතා ඉදිරිපත් කරන්නේ චීනය යනු වෙනම ආකාරයක රාජ්‍යයක් පවත්වාගෙන යන රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාද බටහිර ආකෘතියට පිළිතුරක් සපයා ඇති බවය. චීනයේ රාජ්‍යය එරට සභ්‍යත්වය සමඟ ගැට ගැසී ඇති අතර ඒ ආකෘතියේ ඇති සුවිශේෂ ගුණාංග නිසාම ඒ සමාජය යම් ජයග්‍රහණයක් අත් කරගනිමින් සිටින බව ජැක්ගේ තර්කයේ පදනම ලෙසින් පෙන්වා දී තිබේ.
දැන් අමරසේකර මහතා තර්ක කරන්නේ මේ රටේ ද පූර්ව යටත්විජිත අවධියේ සිට පැවති සභ්‍යත්ව රාජ්‍යයක් තිබෙන අතර එම සභ්‍යත්ව රාජ්‍ය ආකෘතිය යටපත් කරමින් මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයත් එයින් පසුව පැමිණි ප්‍රජාතන්ත්‍රවාදයත් මෙරට සමාජ දේශපාලන දේහය බරපතළ අර්බුදයකට යවා ඇති බවය. මේ යටත්විජිතවාදයට අපේ සභ්‍යත්ව රාජ්‍යයේ පැත්තෙන් විරුද්ධ වුණේ ධර්මපාලතුමන් බව අමරසේකර මහතාගේ පිළිගැනීමයි. ධර්මපාලතුමන්ට විරුද්ධව මෙරට තුළින්ම මතු වූ විරෝධය හුදු බ්‍රිතාන්‍යයේම ‘ස්වදේශීය’ හඬ වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් පසුව අපි භාරගත්තේ යටත්විජිතවාදයේම ‘දේශීය’ ආකෘතිය බව ඒ අනුව පෙන්නුම් කර තිබේ. අමරසේකර මහතාගේ පිළිතුර වන්නේ රටක් ලෙසින් අපට විමුක්තිය උදාකරගත හැක්කේ හුදු චින්තනමය විප්ලවයකින් (ජාතික චින්තන සංවාදයේ පිළිගත් පරිදි) පමණක් නොව නැතිවී ගිය ‘සභ්‍යත්ව’ රාජ්‍යය වෙතට යළි ගමන් කිරීමෙන් බවයි.
මේ කෘතියේ කේන්ද්‍රීය යෝජනාව ලෙසින් ඉදිරිපත් වී ඇත්තේ මෙරට සභයත්ව රාජ්‍යයේ ස්වභාවය ගැන සංවාදයක් මතුවිය යුතු බවයි. මේ මතය ගැන බරපතළ ලෙසින් සාකච්ඡා කළ යුතු බව මගේත් මතයයි. අපේ රටේ ඉංග්‍රීසීන් එන්නට පෙර පැවති රාජ්‍යයට නැවත යා හැකිද? එසේ යෑමේ කිසිදු සාධනීය පදනමක් තිබේද? රාජ්‍යත්වයක් යළිත් යෝජනා කිරීමක් මේ මඟින් සිදු වන්නේද? විධායක ජනාධිපතිධුරය අපිට සිදුකර ඇති බලපෑම ගැන සාකච්ඡා කරන මේ වැනි කාලයක් නැවතත් එවැනි ආකෘතියක් ගැන සිතිය හැකිද? ධනවාදය සහ වෙළඳපොළ සම්බන්ධතා සහිත සමාජයේ සභ්‍යත්වය ලෙසින් තෝරා ගන්නා කලාපය කවරේද වැනි වැදගත් ප්‍රශ්න ගණනාවක් අමරසේකර මහතා යෝජනා කරන සංවාදයේ මාතෘකා ලෙසින් පවතින බව පෙනී යන කරුණකි.
No comments:
Post a Comment