Friday, September 2, 2016

ලාබයි ඇපල්

ලාබයි ඇපල් 


මේ සතියේ සටහනින් මා මතු කරන්නේ අපේ රටේ දේශපාලන නායකයන්ට අදළ වැදගත් කාරණයක් පිළිබදවය. එනම් මාධ්‍යයේ ඩිජටෙල් අවකාශය සහ දේශපාලනමය වගවීම පිළිබදවය. මේ ගැන සටහන් ලිවිය යුතු යැයි සිතුණේ අපේ රටේ දේශපාලන නායකයන් ඩිජටෙල් අවකාශය ස්වකීය දේශපාලන භාවිතාවන් සදහා පරිහරණය කිරීම ගැන සාකච්ජා කිරීමවැදගත් නිසාය. මේ යුගයේ සන්නිවේදන තාක්ෂණයේ සිදූවී ඇති දියුණුව නිසාම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනමය ක්‍රියාකාරීත්වයන් සදහා එය යොද ගැනීමට බොහෝ රටවල දේශපාලන නායකයන් කටයුතු කරන බව පැහැදිලි කාරණයකි.

එහෙත් අපේ රටේ දේශපාලනඥයන් මේ අවකාශය හරහා ස්වකීය සමාජයේ ජනතාවට තමන් සමග සංවාදයක් ගොඩ නැංවීමට ලබා දෙන ඉඩ ප්‍රමාණය ඉතාම සීමිතය. 
මා මේ ගැන මීට පෙර ලියූ ඉංග්‍රීසි ලිපියක සදහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම වෙනුවෙන් සමාජ මාධ්‍ය යොද ගත හැකි ආකාරය ගැන අපේ රටේ දේශපාලන නායකයන් මීට වඩා සිතිය යුතු බවය.
මේ ප්‍රශ්නය ගැන යළිත් වරක් සිතන්නට මා පෙලඹවූයේ පසුගිය දිනක මෙරට ප්‍රධාන දේශපාලන නායකයෙකුගේ ටුවිටර් ගිණුම ගැන සටහනක් ලියන්නට යෑමේදිය. මා මේ කියන තරුණ දේශපාලන නායකයා අපේ රටේ නායකයා වීමට පවා සිහින දකිමින් සිටින තවමත් රටට දැනෙන ආකාරයේ කිසිදූ දේශපාලන මැදිහත්වීමක සිදූ කර නැති අයෙකි. 
ඔහුගේ ටුවිටර් ගිණුම තූළ පසුගිය වසර පුරාම ඔහු ලියා තිබුණේ එකම ආකාරයේ පණිවිඩයක් බව මගේ නිරික්ෂණය විය. ඔහුගේ ටුවිටර් පණිවුඩ මගින් හැමදාම කියන්නේ ‘තමන්ගේ පේස්බුක් ගිණුමට ජායාරූප මෙච්චර ගණනක් (හතරක්/පහක්) වැනි ගනනක් අප්ලෝඩ් කළා’ කියාය. මේ පණිවිඩය පමණක් හැමදාම නිකුත් කරන්නට ටුවිටර් ගිණුම භාවිතා කරන්නේ ඇයි දැයි මම විමසීමි. ඊටත් ඔහුගෙන් පිළිතුරක් නැති අතර ඊළඟ සතියේ තවත් ෆොටෝ තොගයක් අප්ලෝඩ් කළා යැයි ටුව්ට් කළහොත් පුදූම විය යුතු නැත. 
අපේ රටේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සමාජ මාධ්‍යයන් ධනාත්මක ආකාරයෙන් භාවිතා නොකිරීම ළිබදව අපි එළිපිටම කථා කළ යුතු යැයි මට සිතුණේ මේ කාරණයත් සමගය.
අපි සමාජයක් විදියට ඉදිරියට ගමන් කිරීමේදි මහජන නියෝජතයන්ගේ සමාජ වගවීම සදහා සමාජ මාධ්‍යයන් මගින් ලබා ගත හැකි සහාය ගැන පළල් ආකාරයෙන් සිතිය යුතු බව මේ නියෝජතයන්ට තේරුම් කර දිම ඉතා වැදගත්ය.
ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදයේ රට ලෙසින් සලකන ඉන්දියාවේ නම් මේ වන විට සමාජ මාධ්‍යයන් සමග ගනුදෙනු කරන ආකාරය එහි සියලූම දේශපාලනඥයන් හොදින් දන්නා කරුණක් වී ඇත. සමාජ මාධ්‍යය වරද්ද ගතහොත් ඒ දේශපාලනඥයාගේ ඊ්ළඟ මැතිවරණයට එය බරපතළ ආකාරයෙන් බලපෑමත් සිදූ කරන තරමට ඉන්දියාවේ තත්ත්වය දියුණු වී ඇත. 
අද මෙරට ජනතාව හැමෝටම පාහේ ජංගම දූරකථනයක් තියෙන බව සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දිය හැකි ගානට ජංගම දූරකථන භාවිතය වැඩි වී ඇත. මෙරට දූරකථන සම්බන්ධතාවන්ගේ ගණන මිලියන 20 ඉක්මවා ඇති අතර මේ අය අතරින් ස්මාට් ෆෝන් භාවිතා කරන අයගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5-6 විතර වන බව පෙන්වා දි ඇත. 
ඒ අනුව තමන්ගේ ජංගම දූරකථනය හරහා වෙබ් අවකාශයට යන සහ සමාජ මාධ්‍යයන් සමග නිතර ගනුදෙනු කරන කාණ්ඩය බරපතළ ආකාරයෙන් වර්ධනය වී ඇත. 
පසුගිය ජනාධිපතිවරණයේ දි පෙනී ගිය ආකාරයට සමාජ මාධ්‍යයන් මගින් මෙරට දේශපාලන සමාජයට වර්තමානයේ සිදූ කරන බලපෑමද ත තීරණාත්මක බව පිළිගත හැකිය.
සමාජයේ බොහෝ අය ස්වකීය ජවිතයේ එක් ප්‍රධාන අංගයක් ලෙසින් ‘සමාජ මාධ්‍යගතවීම’ සිදූ කරන බව පිළිගැනීම නිවැරිදිය. 
එවැනි තත්ත්වයක අපේ මහජන නියෝජතයන් සමාජ මාධ්‍ය යොදගන්නා ආකාරය පළල් ආකාරයෙන් ගත් විට පවතින්නේ ඉතාම පහළ තත්ත්වයකය. බොහෝ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පවතින්නේ තමා යටතේ ඇති නිලධාරියෙකුගේ ආධිපත්‍ය යටතේය. 
අපේ රටේ ඇමති මණ්ඩලයේ කී දෙනෙකුට සක්‍රීය ලෙසින් තමාම සමාජ මාධ්‍යයන් සමග සම්බන්ධ වන්නේද යන්න මුලින්ම බැලිය හැකිය. 
පසුගිය රජය කාලයේ මා ද රජයේ නිලධාරියෙකුව සිටි සමයේ මේ ගැටලූව අපේ දේශපාලන නායකත්වයන් සමග සාකච්ජා කරන්නට අපි උත්සාහ ගත්තෙමු. එහෙත් එදත් එය ධනාත්මකව භාරගත් දේශපාලන නායකයන්ගේ සංඛ්‍යාව ඉතා සීමිතය.
මා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ධුරය දරන කාලයේ එවකට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකධුරයක් දැරූ අනුරාධා හේරත් මෙනෙවියත් මමත් බොහෝ අවස්ථාවල පේස් බුක් සහ ටුවිටර් රාජකාරී මැදිහත්වීම් සදහා යොද ගැනීමේ වැදගත්කම දේශපාලන අධිකාරියට සහ රාජ්‍ය නිලධාරීන්ට පෙන්වා දූන් අවස්ථා විශාල ගණනක් ඇතත් ඒ බොහෝ අය ඒ සදහා දූන් මැදිහත්වීම මන්දගාමී බව පෙනී ගිය කාරණයකි. 
අපේ මන්ත්‍රීවරුන් හැමෝටම වගේ හොද මිල අධික ජංගම දූරකථන තිබෙන බව බැලු බැල්මටම පෙනී යන කාරණයකි. 
ඇමතිවරුන් සහ නියොජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් වැනි ඉහල නිලධාරීන්ට අත තාක්ෂණික හා මිල අධික ජංගම දූරකථන තිබෙන බවද සත්‍යයකි. 
මේ අයගේ දූරකථනයන් ස්වකීය පෞද්ගලික ඒවා නොව ඒ ඒ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු හා ආයතනවලින් ඔවුන් වෙනුවෙන් මිලට ගෙන ඇති ඒවාය. දැන් මේ අය තමන්ගේ මේ මිල අධික නවීන ජංගම දූරකථනය හරහා සමාජ මාධ්‍ය අවකාශයේ ස්වකීය මැදිහත්වීම ජනතාවට සේවයක් ලබා දිම හුදූ පෞද්ගලීක කාරණයක් ලෙසින් සලකනවාට වඩා තමන්ගේ වෘත්තීය කටයුත්තක් ලෙසින් තේරුම් ගැනීම නිවැරිදිය. එහෙත් මේ අය අතරින් මෙම මැදිහත්වීම තමන්ගේ වගකීමේ කොටසක් යැයි සිතන අය ඉන්නේ බොහෝම කලාතුරකිනි. 
ලංකාවේ බොහෝ ඇමතිවරුන් සිතන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් ජනතාව සමග සම්මුකවීම තමාගේ වැඩක් නොව තමා යටතේ වැඩ කරන ලේකම්වරුන්ගේ කටයුත්තක් ලෙසිනි. ඒ නිසා මේ ලේකම්වරු තම තම නැණ පමණ අදළ ඇමතිවරයාගේ සමාජ මාධ්‍ය තමන්ගේ කරගන්නා අතර ඒ ඒ ඇමතිවරුන්ගේ රුස්වීම්වල ජායාරූප සමාජගත කිරීමේ කාර්යයේ පමණක් යෙදි සිටිති. 
ජනාධිපති අගමැති වැනි අයගේ සමාජ මාධ්‍යයන් ලේකම්වරුන් කළමනාකරණය කිරීම පිළිගත හැකි වුවත් ඇමතිවරුන් ලෙකම්වරුන් හා ආයතන ප්‍රධානීන්ගේ සමාජ මාධ්‍යයන් සමග ගනුදෙනු කිරීම ඒ අය විසින්ම කළ යුතු බව මගේ අදහසයි. 
දැනට පෙනී යන ආකාරයට ඇමති මණ්ඩලයේ බොහෝ අය අතරින් සමාජ මාධ්‍යයන් හරහා ජනතාවට ‘වගවීම’ පෙන්නුම් කරන කිසිම අයෙකු සිටිනවා යැයි මට නම් පෙනෙන්නේ නැත.
කරු පරණවිතාන සහ හර්ෂ ද සිල්වා වැනි නියෝජ්‍ය ඇමතිවරුන් තමන් විසින්ම ඔවුන්ගේ ටුවිටර ගිණුම සහ පේස් බුක් ගිණුම් යාවත්කාලීන කරන පෙනී යන අතර අනෙක් හැමෝම කරන්නේ කාට හෝ කියා පිංතූර ටිකක් අප් ලෝඩ් කිරීමය. සමාජ මාධ්‍ය භාවිතය කිරීම යනු තමන්ගේ පබ්ලිසිටි වැඩක් ලෙසින් සිතනවා හැර තමන්ගේ රාජකාරිමය වගකීම ඉටු කිරීමට ඇති අවකෘශයක් ලෙසින් ඒ අය සිතන්නේ නැති ගානය. 
නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ තමන්ගේ පෞද්ගලීක ජීවිතයේ දේවල් පෙන්වීමට මිස රාජකාරිමය පැත්තෙන් ජනතාවට සම්මුඛ වීමට නොවීම මගින් පෙන්වන්නේ මෙයය. 
මා සිතන ආකාරයට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙනුත් රටේ රාජ්‍ය සේවය පැත්තෙනුත් ඉතා වැදගත්ය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් බෝපගේ මහතාත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක රංග කලංසූරිය මහතාත් ස්වකීය අවධානය මේ සදහා යොමු කිරීම කාලයේ හැටියට ඉතා අවශ්‍යය. මම සිතන අයුරින් සියලූම රාජ්‍ය ලධාරින්ට සමාජ මාධ්‍ය (ටුවිටර් - ලින්ක්ඉන් වැනි) පිළිබද පුහුණුවක් ලබා දිම සුදූසු වන අතර සෑම රජයේ සේවා සපයන ආයතනයකම දිගුවක් සමාජ මාධ්‍ය හරහා ගිණුම් ගත කොට තිබීම ජනයාට ස්වකීය අවශ්‍යතා හා මැදිහත්වීම් සදහා විශාල සහයෝගයක් වනු ඇත. 
ඇපල් කොම්පුටර් හෝ ඇපල් මොබයිල් ෆෝන් සිල්ලරට තමන්ගේ ගෝලයන්ගේ අතේ තියා තමා වෙනුවෙන් සමාජ මාධ්‍ය කරන්නට උත්සාහ කරන ලාබ ඇපල් ව්‍යාපෘතියෙන් අපේ ඇමතිවරුන් ගැලවිය යුතු කාලය පැමිණ ඇති බව මගේ හැගීමය. 

No comments:

Post a Comment