Friday, August 26, 2016

මහ පාරේ දේශපාලනය

මහ පාරේ දේශපාලනය

මෙවර සටහනට මා යොදාගත්තේ තරමක් සරල යැයි බැලු බැල්මට හිතෙන එහෙත් දේශපාලන කෝණයෙන් බැලු විට බරපතළ සංකීර්ණ කාරණයක් ලෙසින් ගත හැකි මාතෘකාවක් ගැන ලිවීමටය. එනම් ‘මහ පාර’ ගැන දේශපාලනමය තේරුම් ගැනීමක් සිදූ කිරීමය. සමහරුන්ට අනුව එතරම් වැදගත්කමක් නැති යැයි අවශ්‍ය නම් සිතිය හැකි මේ ගැටලුව අපේ සමාජයේ දේශපාලන සිතීමේ හා අපගේ එදිනෙද ජවිතයේ අරගල භූමියක් බවට පත් වී ඇති බව මගේ පිළිගැනීමය.
මුලින්ම තෙරුම් ගත යුත්තේ මාවත හෙවත් මහපාර පිළිබදව අපිට අද ඇති අත්දැකීම මෙරටට පැමිණයේම යටත් විජිත ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් බවය. යටත් විජිතකරණයට පෙර මෙරට මිනිසුන්ගේ ගමන් මාර්ගයන් පිළිබදව විවිධ තැන්වල සඳහන් වුවත් ඒ ගමන් මාර්ග සහ අද අපි අත් දකින ‘පාර’ ලෙසින් තේරුම් ගන්නා ප්‍රපංචය අතර විශාල වෙනසක් තිබෙන බව මෙහිදි තේරුම් ගැනීම වැදගත්ය. රොබට් නොක්ස්ගේ සටහන්
වලට අනුව 17 වන සියවසේ රටේ අභ්‍යන්තර මාර්ග පිළිබදව යම් තේරුම් ගැනීමක් එකල ජනතාවට තිබූ නමුත් ඒ කාලයේ මාර්ග යනු නියං කාලයට කැලේ එක පැත්තකින් ගමන් කරමින් එහා ඉමට යන අතර වර්ෂා කාලයේ වෙනත් පැත්තකින් ගමන් කරනා ආකාරයේ ‘ස්ථාවර නොවූ’ එහාට මෙහාට වෙනස් වන එහාට මෙහාට දූවන පාරවල්ය. දැන් අපි පාරේ දූවන නමුත් එකල තිබුණේ දූවන පාරවල්ය. රොබට් නොක්ස් කියන පරිදි ඔහු මෙරට සිරකරුවෙක් බවට පත් වූවාට පසුව ‘සරම් ඇදිමට පුරුදූ වූයේ’ තමන් සතුව තිබූ එකම කලිසම පාවිච්චි නොකළ හැකි ගානට ඉරි ගිය නිසා පමණක්ම නොව ‘ලංකාවේ පාරවල්’ යනු නිශ්චිත ගමන් මාර්ගයක් නොවන හෙයින් හැම ගමනකදිම වතුර ගලායන ඇළවල් හෝ ඔයවල් හරහා ගමන් කරන්නට සිදු වන බැවින් වතුරේ යද්දි උඩට උස්සාගෙන යා හැකි අපූරු ගතියක් සරමේ තිබෙන නිසාත් කියාය. ඒ කෙසේ වෙතත් අද තියෙන ආකෘතියෙන් පාරවල් ලැබුණේ අපට බාන්ස් ආණ්ඩුකාරයාගේ කාලයෙන් පසුව යැයි පිළිගැනීමක්ද වෙයි.
පාරක් යනු එහා ගෙදරින් මෙහා ගෙදරට යන අඩිපාරක ආකෘතියෙන් සිතන විට එවැනි පාරවල් අයිතිවන්නේ ‘පෞද්ගලීක’ අවකාශයේ පවතින දෙවල් වශයෙන්ය. ගෙවල් දෙකක් අතර ඇති එවැනි අඩිපාරක් ඒ ගෙවල් දෙක අතර සම්බන්ධතාවයේ සංඥකාරකය (signification) වශයෙන් පෙන්නුම් කළ හැකි අතර එම අඩිපාර මැකී යන්නේ ඒ ගෙවල් දෙක අතර සම්බන්ධතාව ඈත් වීමේ ක්‍රියාවලියට සාපේක්ෂකවය.
මහ මාවත ලෙසින් අපි අද පිළිගනු ලබන පොදූ භූමිය ගොඩ නැගුණේ නුතනත්වයේ මතු වීමත් සමඟ යැයි පිළිගැනීම මෙහිදි වැදගත් කාරණයකි. හැමෝම එකඟ වන හැමෝටම අයිති හැමෝම පොදූවේ පරිහරණය කරණ පොදූ අවකාශයක් වශයෙන් ගොඩ නැඟෙන ‘මාවත’ සංකල්පයට නෛතික වපසරියකින් ප්‍රතිනිර්මාණය වුණේ නුතනත්ව ව්‍යාපෘතියේ එක් වර්ධනයක් ලෙසින් යැයි පිළි ගැනී නිවැරිදි වන්නේ එවැනි හුදූ එහා ගමින් මෙහා ගමට
නියං කාලයට හෝ වැසි කාලයට ‘ගමන් කරද්දි’ හැදෙන පාරේ සිට නිශ්චිත ස්ථාන යා කරමින් විධිමත්ව ගොඩ නඟන නෛතිකව බැදුණ ‘පොදූ සේවා අවකාශයක්’ වූ නූතන පාරක් හැදිම යනුම බරපතළ දේශපාලනික වෙනස් වීමක් වශයෙන් තේරුම් ගන්නා විටය.
දැන් අපේ රටේ ‘පාර’ යන සංසිද්ධිය/ක්‍රියාවලිය යටත්විජත වැඩසටහනේ ප්‍රතිඑලයක් වශයෙන් මෙරටට පැමිණියාට පාර සම්බන්ධව ඇති දැනුම නිසි පරිදි මෙරටට නොපැමිණිමේ බරපතළ අර්බූදයට රටක් වශයෙන් අපි මුහුණ දෙමින් සිටන බව මෙහිදි තේරුම් ගත යුතු කාරණයය. අපි එදිනෙද ජවිතයේ උදේ හවස පොර බදින ‘අරගලයේ’ එක් කලාපයක් බවට ‘පාර’ පත්වී ඇත්තේ පොදූ අවකාශයක් පිළිබද දැනුම නැතිව එවැනි අවකාශයක් ලැබීම මෙරටට නිසාය. මෙය හරියට සමාන වන්නේ ‘මැනුවල් එක නැතිව
පාවිච්චි කරන ආකාරය නොදන්නා උපකරණයක් ගෙදර ගෙනාවා’ වැනි ක්‍රියාවකටය.
ගෙදර අය තම තම නැණ පමණ එම භාණ්ඩය තමන් කැමති වැඩවලට යොද ගනිමින් සිටිනවා වැනිය. අද මෙරට ‘පාර’ පාවිච්චි වන්නේ එවැනි විකාර රූපී ආකාරයෙන්ය. සමහරු පාරේ රඹුටන් විකුණති. සමහරු තැඹිලි කපති. තවත් සමහරු පාරේ වාහන සෝදති. ත්‍රීවීල් හදති. සෙනඟ එනතුරු විශාල බස් රථ පාර මැද නවත්වා ගෙන ඩ්‍රැයිවර්ලා ළඟ කඩෙන් ප්ලේන්ටී බොමින් සිටිති. මෙවැනි අට අනුවක් රෝග පාරට බෝ වී ඇත්තේ මැනුවල් එක නැතිව ගෙදරට ගෙනා භාණ්ඩයක් අපි කැමති කැමති ආකාරයෙන් පාවිච්චි කරන ආකාරයට අපි මහ මාවත පාවිච්චි කරන තත්ත්වයකට පත් වී ඇති නිසාය.
දැන් මේ තත්ත්වය තේරුම්ගැනීමත් මෙයින් ගොඩ ඒමත් සම්බන්ධ වී ඇත්තේ තනිකරම රාජ්‍යමය වූ දේශපාලනමය මැදිහත් වීමක බව මගේ අදහසය. මා පසුගිය සතියේ සටහනින් මතු කළ කාරණයක් වූ රජයේ දේශපාලන වපසරිය තුළ තීරණාත්මක මැදිහත් වීමක් කරන ක්ෂේත්‍රයක් වශයෙන් මාර්ග කළමනාකරණය හා නියාමනය පැවතිය යුතු බවත් ඒ ක්ෂේත්‍රයට බරපතළ ආකාරයෙන් ආයෝජනය කළ යුතු බවත්ය. මාර්ග නීති කළමනාකරණය සහ නියාමනය වඩාත් විද්‍යාත්මක දත්ත මත පදනම්ව සිදූ කිරීමේ නියාමන අධිකාරියක් පිහිටුවීම වුවත් සුදූසු බව පසුගිය රජය කාලයේ මා ඇතුළත් කණඩායමක් යෝජනාවක්ද කළ බව මතකය. මේ ක්ෂේත්‍රය පිළිබදව පර්යේෂණ කරන මොරටුව විශ්ව විද්‍යාලයේ සහායද මෙහිදි ලබා ගත හැකි බව අපගේ මතය විය.
පසුගිය රජය කාලයේ මාවත් යන පළල් කලාපය තාක්ෂණික ආකාරයෙන් දියණු කළ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඒ ආකාරයේ යටි තළ පහසුකම් ආකෘතියෙන් පාරවල් හැදිම හොඳ නමුත් පාර යනු හුදු කාපට් දැමීමෙන් නිමාවන ව්‍යාපෘතියක් කර නොගත යුතුය. පාරක් කළමනාකරණය කිරීම යනු විද්‍යාත්මක හා නෛතික ක්‍රියාවලියක් බවට පත් නොවන තුරු මහපාරේ අරගලයක අපි හැමෝටම යෙදෙන්නට සිදූ වීම අනිවාර්යය.
මේ තත්ත්වයෙන් අත් මිදිමට සහ මාවත යනු පොදූ අවකාශයක් ලෙසන් වෙනමම නෛතික පද්ධතියක තබා කටයුතු කරන සහ නව විද්‍යාත්මක ඥනයෙන් සංයුක්ත නියාමන කලාපයක් බවට පත් කිරීම වෙනුවෙන් දේශපාලන සාකච්ජාවක් ගොඩ නැඟීම ඉතාම අවශ්‍ය කාරණයක් ලෙසින් පෙන්වා දිය යුතුය.




2 comments:

  1. Hi Charitha,

    Great read.

    It's so unfortunate that Sri Lankans havn't seen the true potential of social media yet.I think it will at least take another 10 year for them to realise and understand it.

    It's great to connect with such geat minds.Good work keep it up.

    ReplyDelete
  2. Hi Charitha,

    Great read.

    It's so unfortunate that Sri Lankans havn't seen the true potential of social media yet.I think it will at least take another 10 year for them to realise and understand it.

    It's great to connect with such geat minds.Good work keep it up.

    ReplyDelete