මේ ආණ්ඩුව බලයට පත් වෙන විට කියූ එක ප‍්‍රධාන තර්කයක් වූයේ පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය යහපත් නොවන බවත්, ඒ පාලනය වෙනුවට යහපාලනය නම් වූ අලුත් ආකාරයක පාලන ව්‍යුහයක් මගින් මේ රට පාලනය කළ යුතු බව ය. එයට අමතරව ඒ තර්කයේ තවත් දිගුවක් ලෙසින් පැවසුනේ මේ කියන යහපාලනය පැමිනි විට මේ රටේ පාලනය යම් ආකාරයකට ‘තිබුනාට වඩා වැඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ව්‍යුහයකට පරිවර්තනය කරන බව ය. ඒ අදහස වඩාත් සංවිධිතව අගමැතිවරයා විසින් ඉදිරිපත් කරමින් පැවැසුවේ ඔවුන්ගේ අනාගත පාලන ව්‍යුහය හරියටම සමාන වන්නේ ඉන්දියාවේ ‘ලිච්ඡවී’ ජනපදයේ තිබුනා යැයි කියන පළල් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුවට බවයි.
දැන් මේ රජය පත්වී වසර තුනක් ගත වෙමින් පවතින බැවින් මේ කියන යහපාලනයේ ශේෂ පත‍්‍රය ගැන යම් අදහසක් ලබා ගැනීමට එම කාලය ප‍්‍රමාණවත් බව මගේ හැගීම ය. මා මේ සටහනින් කතා කරන්නේ ඒ යහපාලන යැයි කියන භාවිතයේ ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ කෙරුවාව ගැන පමණකි.
මේ යහපාලන රජය වැඩ පටන් ගත්තේම ජනාධිපති ඡන්දයෙන් පත් වූ ජානාධිපතිවරයා දිවුරුම් දෙන අවස්ථාවේම රටේ තුනෙන් දෙකක බලයක් සහිත එවකට සිටි අගමැතිවරයා බලයේ සිටිද්දිම ඔහුව නෙරපා හැර, මන්ත‍්‍රීවරුන් පනහකටත් අඩු සංඛ්‍යාවක් සිටි පක්ෂයේ නායකයා අගමැති තනතුරට පත්කිරීමෙනි. මේ ආකාරයේ පාලනයකට යහපාලනය යැයි කියන්නේ කෙසේදැයි ඒ දවස්වලම අප විමසූ නමුත්, සමාජ අවකාශයේ තිබූ ‘අලූත් දේශපාලනයක්’ සදහා යන ගමනේ රැස්වළල්ල නිසා ඒ විමසීම කාගේවත් වැඩි අවධානයට ලක් වූයේ නැත. මෙම සිද්ධිය හා සම්බන්ධ නෛතික වශයෙන් වැදගත් වන තවත් කාරණයක් වන්නේ නව ජනාධිපතිවරයා පත්වූයේ හංසයා ලකුණින් වෙනත් පක්ෂයකින් වීමත්, මේ කියන මන්ත‍්‍රිවරුන් පනහක් සිටි එක්සත් ජාතික පක්ෂය ඒ ජනාධිපතිවරණයට තරග කළේවත් නැති වීමත් වේ. එම මැතිවරණයේදී අලූත් ජනාධිපතිවරයෙක් පත්වූ බව සැබෑය. ඒ අර්ථයෙන් ජනතාවගේ කැමැත්ත පැවැති ජනාධිපතිවරයා වෙතින් හංසයා ලකුණට මාරුවූ බවත් සැබෑය. එහෙත් පාර්ලිමේන්තුවේ එතෙක් බලය හිමි පක්ෂය එදින රාත‍්‍රීයේම වෙනත් මැතිවරණයක ප‍්‍රතිඵල මත වෙනස් කරමින් ජනාධිපතිවරයා පත්වූ පක්ෂයටවත් අයිති නැති අයෙක් අගමැති බවට පත්කිරීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැයි තවම කවුරුවත් අපිට පහදා දී නැත. මෙවැනි ‘මහ දවල් සිදුකරන දේශපාලන රොබරි’ අපි ‘නොදන්නා යහපාලනයට’ ගැලපුනාට අපි හොදින් දන්නා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට නම් කිසිදිනක ගැලපෙන්නේ නැති බව විශේෂයෙන් කිව යුතු යැයි මා සිතන්නේ නැත.
දෙවනුව අධානයට ලක් විය යුතු කාරණයක් වන්නේ මේ ආණ්ඩුව කියන අද තියෙන සමගි සන්ධාන රජය පිහිටවීම ම ප‍්‍රාජතන්න‍්‍රවාදයේ රීතීන්ටත්, නීතියේ සමහර පදනම්වලටත් විරුද්ධව බව ය. මේ ආණ්ඩුව ගෙනෙන ලද 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය 35 කට වඩා වැඩි කළ හැක්කේ දෙන ලද මැතිවරණයක පළමුවෙනියාට ජයගත් පක්ෂය හා දෙවනියාට වැඩියෙන් මන්ත‍්‍රී ආසන දිනු පක්ෂය අතර ගිවිසුමක් අත්සන් කිරීමෙන් ඒ පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් සැදිමෙනි. එහෙත් පවතින භාවිතය තුළ පැහැදිලි වන්නේ මේ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කණ්ඩායම් දෙක මේ කාරණයත් වැරැදියට තේරුම් ගෙන ඇති බව ය. එම කටයුත්තේ දී ශ‍්‍රීලනීපයේ ලේකම් සහ එජාපයේ ලේකම් ගිවිසුමක් අත්සන් කළ බව සත්‍යයකි. එහෙත් මේ පාර්ලිමේන්තුවේ ශ‍්‍රීලනීපයෙන් තරග කර ජයගත් එක් මන්ත‍්‍රීවරයෙක් වත් නෛතිකව බැලූ විට ඇත්තේ නැත. ශ‍්‍රීලනීපය කියන්නේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක්වත් නොවන බව නෛතික තත්වයයි. ඒ අර්ථයෙන් මේ කියන සමගි සන්ධාන රජය සහ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අතර නෛතිකමය වූ ගැටලූ රාශියක් පවතින බව බොහෝ අයගේ මතයයි.
තුන්වෙනුව විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මේ රජය ගෙන ඇති ස්ථාවරය මගින් පෙන්නුම් කරන්නේ තනිකරම යහපාලන කණ්ඩායමේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී දේශපාලන භාවිතයයි. 2015 ජනාධිපතිවරණයෙන් පසුව හැදූ දින 100 ආණ්ඩුව නියෝජනය කළේ එජාපය ත්, එජනිස යත් යන කණ්ඩායම් දෙකේ ඇමතිවරුන්ය. ඒ අවස්ථාවේ එජනිස පක්ෂයටම විපක්ෂ නායක ධුරය දිය යුතු යැයි කථානායකවරයාට එජනිස යෙන් දැනුම් දුන් අතර ඒ අනුව නිමල් සිරිපාල විපක්ෂ නායකවරයා වශයෙන් පත්කරනු ලැබීය. එය සිදුවූයේ ශ්‍රීලනිප ය නියෝජනය කරන දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, සියඹලාපිටිය වැනි මන්ත්‍රීවරු අද මෙන්ම ආණ්ඩුවේ ඇමැතිවරුන් ලෙසින් සිටින විට ය. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 70 ක් සිටින එජනිසයේ විපක්ෂ මන්ත‍්‍රී කණ්ඩායමට විපක්ෂ නායකධුරය දිය යුතුයැයි ඉල්ලද්දි එජනිස ලේකම්වරයා කියන්නේ එය දිය නොහැකි බවයි. අද ඔහු පෙනීසිටින්නේ එදා නිමල් සිරීපාලද සිල්වාට එය ලබාදීමට ගත් තීරණයට ප්‍රතිවිරුද්ධ මතයක යැයි කීමේ වැරුද්දක් නැත. ඒ අනුව ”එක්කෝ එදා නිමල් සිරිපාල ඇමැතිවරයාට විපක්ෂ නායකකම ලබාදීම වැරැදි විය යුතුය. එසේ නැත්නම් ඒ විපක්ෂනායක ධුරය දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට දැන් ලබා නොදෙන එන වැරැදි විය යුතුය.
මේ දෙකෙන් කුමක් වැරැදි දැයි හරියටම ඒ අය නොකියන්නේ යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන දෙක එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දෙකක් ලෙසින් ඒ අය අතර පිළිගැනීමක් තිබෙන නිසා දැයි පැහැදිලි නැත.
මේ දෙකෙන් කුමක් වැරැදි දැයි හරියටම ඒ අය නොකියන්නේ යහපාලනය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන දෙක එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ අදහස් දෙකක් ලෙසින් ඒ අය අතර පිළිගැනීමක් තිබෙන නිසා දැයි පැහැදිලි නැත.
- චරිත හේරත් -
මෙවර (2018.08.10) දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූ ලිපිය
No comments:
Post a Comment