Friday, July 13, 2018

අලූත් දේශපාලන තත්වයක්

සෑම පැත්තකින්ම පෙනෙන්නට තිබෙන සාධකවලින් තහවුරු කෙරෙන්නේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය සම්පුර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බවය.  මේ ‘වෙනස්වීම’  යන වචනය  මා කියන්නේ රටේ අනාගතය පැත්තතෙන් කිසිදු කල් පවත්නා සංවර්ධනයක් භෞතිකව හෝ ව්‍යවස්ථාමය වශයෙන් මේ ආණුඩුව එකතු කළා යන අදහස නොවේ. සංවර්ධනය පැත්තතෙන් බැලූවහොත් නම් මේ ගතවෙමින් තිබෙන්නේ නිදහසින් පසුව මේ රටේ තිබූ ඉතාමත් දුර්වලම පාලන කාලය  යැයි කීමේ වැරුද්දක්ද නැති බව මගේ මතයය. අනෙක් අතට ව්‍යවස්ථාව පැත්තෙන් කරන ලද කිසිදු ධනාත්මක වෙනසක්ද නැතිබව පැහැදිලිය.  මේ ආණ්ඩුව සිදු කළ ආණ්ඩු ක‍්‍රමයේ  ප‍්‍රතිසංස්කරණය යැයි කියන්නේ  19 වන ව්‍යවස්ථා සංශෝධනයටය.  ඒ සංශෝධනයත්  මේ වන විට එකම අවුලක් බවට පත්වී ඇතැයි කියන්නේ අපි නොව ආණ්ඩුවේ නායකයින් විසින්මය. මේ ආණ්ඩුවේ මැතිවරණ ක‍්‍රමයන් සංශෝධනය කිරීම යනුම ජන්ද කල් දැමීමට යොද ගන්නා බොරුවලවල් බව දැන් නොදන්නා කෙනෙක් නැති ගානය.  ඒත් 2015 පසුව මේ රටේ දේශපාලනය වෙනස් වී ඇතැයි මා කියන්නේ මේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනයේ තියෙන මේ අවුල් සහගතභාවයට වඩා එහාට ගිය කාරණයක් අදහස් කරගෙනය.

මගේ තේරුම් ගැනීමට අනුව නම්  2015 ජනාධිපති මැතිවරණය විසින් නිමාවට පත් කරන ලද්දේ 1977 සිට මේ දක්වා අපි කරමින් සිටි සාම්ප‍්‍රදයික දේශපාලනයේ එක අවධියක් බය. 2015 ජනාධිපතිවරණය මගින් මේ ‘පශ්චාත් 1977 දේශපාලනය’ නිමාවට පත්වූ බව පැති කීපයකින්ම පෙන්නුම් කරන බව පැහැදිලිය.  මුළින්ම මේ ජනාධිපතිවරනයෙන් පෙන්නුම් කළේ දේශපාලනමය වූ සම්මුතීන් යැයි ජනතාව සිතා සිටි ‘යහපාලනය’ ‘සාධාරණ සමාජයක්’ වැනි  අපේකෂාවන් යනු  හුදු භාෂාවේ තිබෙන  විශේෂන පද මිස වෙන කිසිම දෙයක් නොවන බවට ස්තීර වීමය. ඒවා හුදු
 දේශපාලන අලංකාරිකයන් මිස වෙනත් යමක් නොවන බවය. දැන් තත්වය වෙනස් යැයි කීවේ නැවත වරක් යහපාලන කථා කියන්නට දේශපාලනඥයින්ට තිබූ අවකාශය 2015 ජන්දයත් සමගින්ම නිමා වී ඇති බවය.

දෙවනුව සාම්ප‍්‍රදයික සටන් පාඨවලට අමතරව  සාම්ප‍්‍රදයික මාධ්‍යයන්ට දේශපාලනයේ තිබූ බලය හා ඉඩ බරපතල ආකාරයෙන් අර්බුදයට යාමක්ද 2015 ජනාධිපතිවරණයත් සමග සටහන් වෙන බව අපගේ අවධානයට ගැනීම වැදගත්ය. රටේ ජනතාව වැඩියෙන්ම සන්වේදි වන්නේ සමාජ මාධයයන් මගින් ගොඩ නගන සංවාදයන්ට වීම හේතුවෙන් දිනපතා හා ෂතිපතා ප‍්‍රවෘත්තිමය වූ මාධ්‍ය මැදිහත්වීම්වලට තිබුනු ඉඩ බරපතල ආකාරයෙන් සීමා වී ඇත. ප‍්‍රධාන මාධ්‍ය අයිතිකරුවන් හය හත්දෙනාම එක පැත්තකට ගියත් සමජා මාධ්‍ය මගින් පමණක් වුවත් අදහසක් ‘විකිනිය හැකි’ තත්වයට මේ කාරණය මේ වන විට වර්ධනය  වී ඇත. මේ තත්වය නිසා ඇති වාසි සහගත තත්වයකුත් එක් පැත්තකින් ඇත. එනම් මාධ්‍යයේ ප‍්‍රධාන පොල්මක්කාරවරුන් ටික තරහ වුනත් ජාතිකමය වූ දේශපාලනයක් කරගෙන යා හැකි බවය.

තුන්වෙනුව මේ අලූත් තත්වය විසින් ගොඩ නගා ඇති අනෙක් වැදගත් කාරණය වන්නේ මන්ත‍්‍රීවරුන් යැයි මෙතෙක් කාලයක් යම් ගෞරවයකින් ලබා ගෙන සිටි මහජන නියෝජතයා ඉතාමත් විහිලූ සහගත තත්වයකට කඩා වැටීමය. මන්ත‍්‍රීවරුන් යනු තමන්ගේ වාසිය ගැන යම් ආකාරයකට සිතන සාමාන්‍ය මිනිසුන් යැයි හැමදම තිබුන ආකල්පයක් වුවත් මේ යහපාලනය හා සමගි සන්ධාන ආණ්ඩු කෙරුවාව විසින් පෙන්නුම් කර ඇත්තේ දැන් මන්ත‍්‍රීවරු කියන්නේ තනිකරම තමන්ගේ පැවැත්ම හා තම අඹුදරුවන්ගේ පැවැත්ම පමණක්ම සිතන ජනතාවගේ කර පිටින් රක්ෂාවක් ලබා ගන්නා කාණ්ඩයක් බවය. විශේෂයෙන්ම 2015 පසුව නිළ ශ‍්‍රීලනීපයේ මන්තී‍්‍රවරුන් ආණ්ඩුවට යන ආකාරය හා ආණ්ඩුවෙන් එන ආකාරය යන දෙකම පෙන්නුම් කරන්නේ තමන්ගේ දේශපාලනයේ මේ ඇතිවී තිබෙන අර්බුද ජකන වෙනස්වීමය.

මේ සන්දර්භය  තුළ මේ රටේ දේශපාලනයේ අලූත් තත්වයක් නිර්මාණය වී ඇති බව මගේ ගනන් බැලීමය. 1977 පසු ඇරබුනු ‘පශ්චාත් ජයවරධන දේශපාලනය‘ විසින්  උතුරේ යුද්ධයක් හා දකුනේ යුද්ධයක් ඇති කළා පමණක් නොව අමුතුම පන්නයේ රාජ්‍ය නායකයෙක් හා තනිකරම තමන්ගේ පුද්ගලිකත්වය ගැන සිතන මන්ත‍්‍රීවරයෙක් සහිත දේශපාලනයක් නිර්මාණය කර තිබු සහ තිබෙන බව අපිට පැහැදිලිය. 2015 සිට මේ සි¥වෙමින් පවතින්නේ ඒ දේශපාලනයට එරෙහිව නව ගමන් මාර්ගයක් ගොඩ නැංවීමේ ෙසෙධාන්තික හා ප‍්‍රායෝගික ඉඩ විවර වෙමින් තිබීමය.

මේ අලූත් තත්වය තුළ සාම්ප‍්‍රදයික දේශපාලන න්‍යාය පත‍්‍රයන්ට වඩා අලූත් දේශපාලන ක‍්‍රියාදමයක් පිළිබදව ජනතාවගේ බලාපොරොත්තුවක් තිබෙන බව ඉතාමත් පැහැදිලිය. අලූත් වැඩසටහනක් අලූත් දේශපාලන සිහිනයක් හා අලූත් සමාජ සිිතීමක් ඉදිරිපත් නොකරන්නේ නම් රටේ දේශපාලන බලය ලබා ගැනීම අසීරූ වන තරමට මේ තත්වය මේ වන විට වරධනය වී ඇත. සෑම වැහි වලාවකම රිදි රේඛාවක් ඇතැයි කීවාක් මෙන් මේ දේශපාලන අවුල් සහගත තත්වයේ ඇති එකම හොද දේ මේ අලූත් දේශපාලන තත්වයක් නිර්මාණය වීමය.

අලූත් දේශපාලන ව්‍යාපාරයක් පිළිබදව සමාජයේ ගොඩ නැගී ඇති මේ තත්වය තේරුම් ගැනීමේ ශක්තියක් තිබෙන්නේ මේ රටේ දේශපාලකයින් කීපදෙනෙකුට පමණ බව පෙනී යන අතර රටේ ඉදිරි  දේශපාලන සංග‍්‍රාමය වන්නේ අලංකාරික හෝ පොරොන්දු දේශපාලනයෙන්  එහාට  ගිය ‘කරුණුමය වූ ශක්තිමත් සංවාදයක්’  බව මගේ තේරුම් ගැනීමය.

චරිත හේරත්



No comments:

Post a Comment