Friday, June 29, 2018

‘පළාත් සභා අහෝසිකිරීම’ යහපාලනයද?

අපේ රටේ දැන් පවතින පළාත් සභා ක‍්‍රමය පිහිටවූයේ ඉන්දු ලංකා ගිවිසුමේ ප‍්‍රතිඵලයක් ලෙසින් බව අපි හැමෝම දන්නා කාරණයක්ය. ඒ ගිවිසුම අත්සන් කරන්නට ගොස් මුලූ රටම ගිනි ගත්තා යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ කාලයේ ශ‍්‍රීලනීපයත් ජවිපෙයත් පෙනී සිටියේ මේ පලාත් සභා ක‍්‍රමයට විරුද්ධවය. පළමුවෙන්ම පැවති පලාත් සභා මැතිවරණයට ඒ පක්ෂ දෙකම තරග කෙරුවේද නැත. තරග කෙරුවේ නැතිවා පමණක් නොව එසේ තරග කළ වාමාංෂික පක්ෂවල නායකයින්ට ජවත්වීමේ අයිතිය පවා ‘දේශප්‍රෙමීන්’ යැයි කියු අය විසින් පැහැර ගනිමින් තිබුනි. දැන් තියෙන පළාත්  සභා ක‍්‍රමය  හැදුවේ (හැදුනේ)  එවැනි ආකාරයෙන් දිවි පුද යැයි කීමේ වැරුද්දක් ද නැත.

උතුරේ ප‍්‍රශ්නයට පිළිතුර යැයි කියා පලාත් සභා ක‍්‍රමය ගෙනාවාට උතුරේ පළාත් සභාව හරියට පිහිටවන්නට ඒ කාලයේ සිටි එජාප රජයට  හැකියාවක් ලැබුනේ ද නැත. යම්තම් අටවා ගත් වර්ධරාජා පෙරුමාල්ගේ පලාත් සභාව විසුරුවා හරින්නට පේ‍්‍රමදස මහතාට බලකෙරුණු බව අපි හැමෝමට තවමත් මතකය. ඊට පසුව එජාපයෙන් හා ශ‍්‍රීලනීපය ප‍්‍රධාන සන්ධානයෙන් ආණ්ඩු හා ජනාධිපතිවරුන් බලයට පැමිනියත් උතුරේ පළාත් සභාවක් පිහිටවන්නට ඒ කාටවත් හැකියාවක් ලැබුනේ නැත. විශේෂයෙන් 1994 පසුව 2005 දක්වා පහලවූ නායකයෝ හැමෝම වගේ තමන්ම තමන්ට සාමයේ දුතයෝ හා දුතිකාවෝ යැයි කියා ගත්තාට ඒ කාටවත් ප‍්‍රභාකරන් කැමති දේ මිසක් එයට වෙනස් දේවල් කරන්නට හැකියාවක් තිබුනේත නැත. අද උතුරේ තියෙන්නේ ඒ ප‍්‍රභාකරන්ව පරාජයට පත් කරමින් දිනාගත් ප‍්‍රජාතන්ත‍්‍රවාදි අවකාශය මත මහින්ද රාජපක්ෂ විසින් යම්තම් පිහිටවූ පළාත් සභාවය.

මා මේ කාරණය කීවේ පලාත් සභා පිළිබදව මේ ආණ්ඩුවේ අයගේ ආකල්පය හා හැසිරිම ගැන යම් නිරීක්ෂනයක් කිරීම සදහාය. මේ ආණ්ඩුව මීට කලින් කළේ   පලාත් පාලන මැතිවරණය අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් දමමින් සිටියේය. ඒ ජන්දය පැවැත්වුයේ රටේ පලාත් පාලනය නැත්තටම නැතිවී ගියාටත් පසුවය. කොළඹ කුණු කන්දක් පුපුරා ගියාටත් පසුවය.

2015 ජනවාරියේ හා ඒ වසරේම අගෝස්තුවේ බලයට පැමිනි මේ ආණ්ඩුව ප‍්‍රධානීන් පෙනී සිටියේ හා පෙනී සිටින්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ‘සුපිරිම වැඩකාරයන්’ තමන් බවට චරිත සහතික ද දි ගනිමිනි. මේ ආණ්ඩුවේ නායකයින් නිතරම කියන්නේ එක්කෝ තමන් ‘යහපාලන කාරයන්‘ බවය. ඒසේත් නැත්නම් ඒ අය කරන්නේ ‘සාධාරණ සමාජයක්’ හැදිම බවය. ඒ දෙකම නැති තැන්වල කියන්නේ ඒ අය කරමින් සිටින්නේ ‘ලිච්චවී’ ක‍්‍රමයට රට පාලනය තිරිම බවය.   මේ සියලූ විශේෂන පදවලින් තමන් ව හදුන්වා ගන්නා ගමන්  ව්‍යවස්ථානුකූලව ජන්දයක් තිබිය යුතු වෙලාවක් පැමිනි ගමන්ම ආණ්ඩුව කරන්නේ ඒ ජන්දය කල් දමන්නට උපක‍්‍රම සෙවීමය.

මේ වන විට පලාත් සභා තුනක් ස්වභාවිකව ම විසුරුවා හැරි ඇති අතර ඒවා දැන් පාලනය කරන්නේ ජනාධිපතිතුමා විසින් පත් කළ ආණ්ඩුකාරවරුන් විසින්ය. තවත් පළාත් සභා තුනක් මේ සැප්තැම්බර්යේ විසුරුවා හැරෙන්නට නියමිතය. මේ පළාත් සභා ජන්දය පමා කරන්නේ ඒවා අලූත් ක‍්‍රමයකට පවත්වන්නට නව ජන්ද ක‍්‍රමයක් හදුන්වා දෙන බවට පොරොන්දුවක් ලබා දෙමින්ය. ඒත් ඒ කියන අලූත් ජන්ද ක‍්‍රමයෙන් ආණ්ඩුවේ පරාජය තවත් තීවෘ වෙන බවත් පසුගිය පලාත් පාලන ජන්දයෙන් පෙනී ගිය නිසා ඒ වැඩෙත් දැන් කෙරෙන්නේ නැති ගානය. දැන් මේ පලාත් සභා  ජන්දය නොතියන්නේ තනිකරම තමන් පාරජයට පත්වේ යැයි තිබෙන බය නිසාම බව ඉතාමත් පැහැදිලිය.

මේ යහපාලන ආණ්ඩුව රටට උගන්වමින් සිටින්නේ තමන්ගේ බලයට අභියෝගයක් වෙන්නේ නම් යම් මැතිවරණයක් ව්‍යවස්ථාවේ නෙතිකව එන එකක් වුවත් එය නොතියා ඉන්නේ කෙසේදැයි කියන ‘කැත’ දේශපාලන පාඩමය. මේවාට කියන්නේ යහපාලන ‘ටෙක්නික්ස්’ කියා නිසා  කොළඹ සිවිල් සමාජයේ කණ්ඩායම් සිටින පුරවැසි නායකයින් සිටින්නේ  ඒවා එන්නේ  ‘ටෙක්ස් බුක් පොලිටික්ස්’ යැයි සිතාගෙනය. අනෙක් අතට සිවිල් සමාජයේ අයට මේ දවස්වල තියෙන්නේ ‘ගෝටාභයගේ දන ගෙදරට පැමිනි හාමුදුරුවන්ගේ අනුශාසනාව’ වැනි බැරූරුම් දේවල් මිස පලාත් සභා ජන්දය කල් දැමීම වැනි සුලූ දේවල් නොවන බව ද පෙනෙන්නට තිබේ.

මේ යන ආකාරයට පළාත් සභා ජන්දය කල් දැමීමේ උපක‍්‍රමයක් ලෙසින් මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමේ සුත‍්‍රය මේ ආණ්ඩුව ඉදිරියටත් කරගෙන යන බව ඉතාමත් පැහැදිලිය. ඒ වගේම ඒ කල් දැමීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි කියන්නටත් මේ අයට කිසිම ලැජජාවක් නැති බවද ඉතාමත් පැහැදිලිය.

ජන්දයක් නොතියමින් වසර දෙකහමාරක් ආණ්ඩුකාරවරුන් හරහා පලාත් සභා පාලනය කරන්නට මේ ආණ්ඩුව සැරසෙන්නේ නම් එය නිමා විය හැක්කේ ඊලගට එන කොයි  ආණ්ඩුවත්  ඒ වැඬේම ඊලග අවුරුදු 05ට හෝ 10 කල්දමමින් පවත්වාගෙන යන අලූත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයකට පාර කපමින් බව මගේ අදහසය. මේ අලූත් තත්වය අපට කියා දෙන්නේ  යහපාලනයට අනුව 13 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන නව ක‍්‍රමයක් තිබෙනවා යැයි කියා දැයි මා දන්නේ නැත.


චරිත හේරත්

No comments:

Post a Comment