Friday, June 15, 2018

ඇලෝසියස්ට ගිය පාර්ලිමේන්තුව

පාර්ලිමන්ට් ජොක්ස් කියා චිත‍්‍රපටියක් ආවේ මීට වසර කීපයකට පෙරදිය. ඒ චිත‍්‍රපටියෙන් පෙන්නූයේ මේ රටේ පාර්ලිමේන්තුවේ අද තිබෙන හාස්‍යජනක ස්වරූපය පිළිබදවය. හුගක් දුරට මේ කාලයේ රාත‍්‍රීයේ රූපවාහිනී නාලිකා වල පෙන්වන ප‍්‍රවෘත්තිවල වුනත් ‘හිනායන කෑලී’ ටිකක් ලෙසින් දමන්නේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් කරන විහිලූ සහගත කථා හෝ කුණුහරප කථාවලින් කපා ගත් කොටස් ටිකක්ය. පාර්ලිමේන්තුව යනු අපේ රටේ තිබෙන වැඩියෙන්ම අපයෝජනයට ලක් වූ ආයතනය බවට මේ වන විට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. බිතාන්‍ය යටත් විජතයේ අයිතිකාර සුද්දන් මේ රට හැර ගිය පසු වැඩිම වේගයකින් දරුණුම ආකාරයෙන් කඩා වැටුන ආයතනය වන්නේ පාර්ලිමේන්තුව යැයි සිතෙන තරමට මේ ආයතනය විකාර රූපී පැත්තකට ගමන් කරමින් තිබෙන බවට සාක්ෂි  ඕනෑ තරම් මේ දිනවල මතුවෙමින් තිබෙන්නේ ඒ නිසාය. මට මේ කාරනය ගැන ලියන්න හිතුනේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත‍්‍රීවරුන් කීප දෙනෙකු පදනම් කරගනිමින් මේ දවස්වල සිදුවූ  ප‍්‍රධාන සිදුවීම් කීපයක් දෙස බැලීමෙන්ය.

මේ සිදුවීම් අතරින් වැදගත්ම  එක් සිදුවීමක් වන්නේ ඇලෝසියස් විසින් මුදල් ගෙවා නඩත්තු කරන මන්ත‍්‍රීවරුන් පිළිබදව මතුවූ ආරංචියත් සමග රටේ ඇතිවී තිබෙන තත්වයයි.

පාරලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකුට ඇලෝසියස් විසින් මුදල් ලබාදුන්නේ යැයි කියන ආරංචිය සමාජය තුළ සෑහෙන කාලයක සිට තිබුණක් දයාසිරි හා සුජවගේ සිද්ධි දෙක මතුවෙන කල් ඒ කාරණය ගැන එච්චර දෙයක් අපි කවුරුවත් දැනගෙන සිටියේ නැති ගානය. දයාසිරිට මිලියනයක් සහ සුජව සේරසිංහට ට මිලියන තුනක් වශයෙන් මුදල් චෙක් පත් හරහා මහබැංකු හොරකමේ ප‍්‍රධාන විත්තිකරුවන් වන ඇලෝසියස්ගේ කොම්පැනිවලින්  ලබාදි ඇතැයි මේ වනවිට ඒ මහත්වරුන් දෙදනාමත් පිලිගත් ෂත්‍යයක්ය.  මේ ආරංචිය ආ විගස මේ මන්ත‍්‍රීවරුන් දෙදනාගේ පැත්තෙන් කියවෙන කථාවලින් පෙනී යන්නේ මේ කාලයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා යනු මොන තරම් පහතට වැටෙන තුට්ටු දෙකේ මිනිහෙක්ද කියන කාරනයය. දයාසිරි කියන විදියට ඔහු යන එන තැනවලදි අතට දෙන චෙක්පත් වැනි දේවල් දුන්නේ කවුද කියා හොයා බලන්නට මැතිවරණ කාලයේ මන්ත‍්‍රීවරුන්ට වෙළාවක් නැත. එහෙම වෙලාවක් තිබුණත් ඒ වගේ දේවල් සොයා බලන්නට අවශ්‍යතාවයක්ද නැත. ඔහු කියන්නේ මේ මැතිවරණ ක‍්‍රමයේ  තියෙන ‘කැත’කම නිසා ඒ වගේ වැඩ තමන් වැනි මන්ත‍්‍රීවරුන්ට කරන්නට සිදු වෙන බවය. ඔහු නොකියා කියන්නේ මේ වගේ ‘චෙක් දෙන අයගේ අවුලක්’ මිස ඒවා ගන්න අයගේ එච්චර අවුලක් නැතිවා වැනි කථාවක්ය. අනෙක් අතට දයාසිරි ඉගි කරන්නේ  සාමාන්‍ය ජනතාව වශයෙන් අප  කළ යුත්තේ ඒ වගේ දේවල් ගැන සානුතම්පිතව බලන්නට පුරුදු වෙන එක  බවය.

සුජව සේරසිංහගේ උත්තරය මීටත් වඩා අපුරුය. ඔහුට අනුව මැතිවරණ කාලයේ තමන් වැනි මන්ත‍්‍රීවරුන්ට ලැබෙන මේ වගේ පරිත්‍යාග භාර ගන්නවා මිසක් එවැනි පරිත්‍යාග  කරන අය ඒ මුදල් හම්බ කළේ කෙසේදැයි සොයන්නට ‘අව්වේකී මන්ත‍්‍රීවරුන්ට’ හැකියාවක් නැත. මේ මුදල ඇලෝසියස්ගේන් ලැබුනු බව දැනගත් ගමන් තමන්ට ලැජජාවක් ඇතිවුනු බව කියන සුජව සේරසිංහ තවදුරටත් කියන්නේ මේ මුදල් ආපසු දෙන්නට වුවත් තමන් දැන් සූදනම් බවය. ඔහුගේ කථාව අසන විට පෙනී යන්නේ රටක මන්ත‍්‍රීධරය යනු කුමක්ද කියාවත්  හරි හමන් වැටහීමක්වත් මේ මන්ත‍්‍රීවරුන්ට නොමැති බවය. පාරලිමේන්තුවේ කාරක සභාවක විශේෂ පර්යේෂනයක් පැවැත්වෙන සැක කටයුතු කොම්පැනියකින් මිලියන ගනනක් තෑගි ලෙසින් ලබා ගැනීම තමන්ගේ තනතුරේ පදනම සම්පුර්ණයෙන්ම පටහැනි බව ‍්‍රීමේ මන්ත‍්‍රීවරුන් දෙදනාට අඹමලූ රේනුවක් වත් තේරෙන්නේ නැති ගානය.

මෙසේ මුදලාලිලාගෙන් නඩත්තු වෙන හෙවත්  කොම්පැනියෙන්  පඩි ලබන මන්ත‍්‍රීවරුන්ට අමතරව මේ පාර්ලිමේන්තුවේ සිටින තවත් මන්ත‍්‍රී කාණ්ඩයක් වන්නේ කිසිදු හිරිකිතයකින් තොරව ප‍්‍රතිපත්තිමය වශයෙන් කිසිම ස්ථාවරයක් නොසිටිමින්  ඒ පැත්තෙන් මේ පැත්තට හෝ මේ පැත්තෙන් ඒ පැත්තට පනින මන්ත‍්‍රීවරුන්ගේ කණ්ඩායමය. මේ සමහර අය සිතාගෙන ඉන්නේ තමන් ඉපදිලා සිටින්නේම පාර්ලිමේන්තු යන්නට යැයි වගේය. ඒ නිසා මේ සංචාරක පන්නයේ මන්ත‍්‍රීවරුන් කරන්නේ ඒ ගමනට (පාර්ලිමේන්තු යන ගමනට) ඉඩක්  තියෙන  ඕනෑම පැත්තකට පැනීමට තමන්ට දෙවියන්ගෙන් ලද වරමක් තිබෙනවා වැනි අදහසක් සමාජයට කාවද්දවීමය. මේ වැඬේට දැනට නම් 'කප් එක' ගසා තියෙන්නේ 16 දෙනාගේ කණ්ඩායමය.

මේ ආකාරයේ කොම්පැනිකාරයන්ගේ උවමනාවට හෝ ස්වකීය පෞද්ගලික උවමනාවන්ට පාවිච්චි වෙන තැනක බවට පත්වී ඇති  පාර්ලිමේන්තුව එයි මුදවාලීම මේ කාර්තුවේ අප ඉදිරියේ ඇති බරපතලම අභියෝගයක් යැයි කීමේ වැරුද්දක් නැත.

- චරිත හේරත්




No comments:

Post a Comment