කොළපාට සමාජය කියා සී ඒ චන්ද්‍රපේම විසින් පොතක් ලීවේ අනුව දශකයේ මුල භාගයේය. ඒ කාලයේ දේශපාලනය කළ අපේ කණ්ඩායම් අතර ඒ පොතට විශේෂ අවධානයක් ලැබුනේ එජාපයේ දේශපාලනය විසින් රටට තුළ ගොඩ නැගූ ‘තත්වය’ (Condition) එම පොත මගින් සංකල්පනාත්මක ව හා තාර්තිකව වෙනස් ආකාරයකින් යුක්තිසහගත කර තිබු නිසාය. 1977 වර්ෂයෙන් පසුව මේ රටේ සිදු වූ දේශපාලන පරිවර්තනය ගැන එයට ප‍්‍රතිවිරුද්ධ පැත්තෙන් පමණක් බලමින් සිටි කණ්ඩායම්වලට ජෙ. ආර්. ගේ දේශපාලනය වෙනස් ආකාරයකින් හා වෙනස් ආකල්පයකින් (භෞතිකවාදි ආකල්පයකින්) බැලීමට චන්ද්‍රපේම විසින් යෝජනා කළ බව සමහරුන්ගේ මතය විය. එහෙත් එකල මෙරට වැඩ කළ වාමාංෂික බුද්ධිමය කේඩරය සහ ජාතිකවාදි බුද්ධිමය කේඩරය මේ කෘතියේ තිබු ප‍්‍රධාන තර්කයට තදින් පහර දුන් බව අපට තවමත් හොදින් මතකය. කොළපාට සමාජය මගේ මතකයට හදිසියේ ආවේ මේ දවස්වල දේශපාලනයට අලූතින් එක්වෙමින් තිබෙන එජාප-වාමාංෂික හවුල හෙවත් ‘කොළපාට වාමාංෂය’ ගැන සටහනක් ලියන්නට සිතුන නිසාය.
වාමාංෂිකයින් යැයි තමන් කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලනය ‘කැත නැතිව’ ආරක්ෂා කරන්නට තරම් ‘නිර්භය’ කණ්ඩායමක් වමේ දේශපාලනයෙන් මේ මතුවී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. වමේ පක්ෂවලට සම්බන්ධව සිටි විශාල කණ්ඩායමක් තමන්ගේ යටතට මේ ආකාරයෙන් ගැනීමට එජපයට මේ හැකි වූයේ 2015 ජනාධිපතිවරණයට පිං සිදුවන්නටය. ඊට පෙර හුගක් පැරනි කාලයේ පැවති 1965 මැතිවරණයෙන් පත්වුනු එජාප ආණ්ඩුවේ පිලිප් ගූණවර්ධන වැනි වාමාංෂිකයින් සිටියේ යැයි සමහරෙක් තර්ක කළ හැකි වුනත් මේ සිදුවෙමින් පවතින්නේ එයට වඩා බරපතල ආකාරයකින් වෙනස් දෙයකැයි මගේ අදහසය. අනෙක් අතට එජාපයෙන් බිහිවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදිම නායකයා යැයි සැළකිය හැකි ඩඞ්ලි සේනානායකගේ 1965 රජයට පිලිප් සම්බන්ධවීම එද වුවත් සැළකූයේ වමේ යැයි කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලන කරන්නට යාමක් ලෙසින් නොවේ. පිලිප් එජපයට ගොස් ‘වමේ’ කථා කීවේ නැති ගානය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්ය. සමසමාජ හා කොමිනියුස්ට් පක්ෂවල සිටි සමහරුන් සහ නව සමසමාජ පක්ෂයේ සමහර නායකයින්ද ඇතුලත් මේ කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය තුළ හැසිරෙන්නේ ‘ඇන්. ඇම්ටත් වඩා වමේ සහ රනිල්ටත් වඩා එජාපයේ වගේ’ විකාර රංගනයක් පෙන්නවමින් ය.
වාමාංෂික පක්ෂවල සිට 2015 ජනාධිපතිවරණය හරහා මෛත‍්‍රී වෙතට ගමන් කර එතැනින් රනිල් වෙතට මාරුවී ඇති මේ කණ්ඩායම් මුළින් රටට පෙන්වූයේ ඒ අයගේ අභිලාෂය වී තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනසක් රටට යෝජනා කිරීම බවය. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම බලය බෙදිම වැනි කාරනා පෙරට දමා ගනිමින් ඉදිරියට පැමිනි මේ කණ්ඩායම් මේ වන විට සිටින්නේ එජාපයේ අයවැය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්නට පුදුම සහගත ආකාරයේ තර්ක ඉදිරිපත් කරමින්ය. තමාගේ වැඩිහිටි කාලය ම පාහේ වෙනත් රටක ජවත්වී මේ දවස්වල රටට පැමින ‘හදිසියේ විප්ලවය කරනවා වැනි වේගයකින් වගේ ලිපි ලියාගෙන ලියාගෙන’ යන කුමාර් ඬේවිඞ් මහතා ඉංග‍්‍රීසි පුවත්පතකට ලියා කියා තිබුනේ මේ අයවැය ඉතාමත් ඉදිරිගාමී එකක් බවය. අනෙක් අතට ඉතිහාසයේ පළමු වතාවට අලියා ලකුනින් පාරලිමේන්තු ගොස් සිටින සමසමජයේ (බහුතර පිළ යැයි කියාගන්නා පුංචිම කණ්ඩායමේ) නායකයා රනිල්ගේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන කිසිවක් ප‍්‍රසිද්ධියේ කියන්නේ කියන්නේ නැත්තේ ඬේවිඞ් මහතා ආකාරයේම ‘ඉදිරිගාමී‘ බවක් මේ අයවැයේ තිබෙන නිසා දැයි මා දන්නේ නැත. හම්බන්තොට වරායෙන් පටන් ගෙන රජයේ සම්පත් විකිනීම ගැන කිසිවක් ඒ ‘වාමාංෂිකයින්’ කථා කරන්නේ නැත්තේ එසේ රජයේ සම්පත් විකිනීමට එහෙිවීම පසුගාමී නිසා දැයි අපි දන්නේ නැත. මහ බැංකු කොල්ලය ගැන සුසිරිපාල සහෝදරයා වැනි පැරනි වෘත්තීය සමිති නායකයින් මතු කර ඇති අභියෝගයන් ගැන කිසිවක් ‘සමසමාජයේ බහුතර කණ්ඩායම’ කියන්නේ නැත්තේ ඒ කථා සුලූතරයකගේ මතවාද නිසාදැයි දැනගත හැකි ක‍්‍රමයක් ද නැත.
රනිල්ගේ ආණ්ඩුව කියන්නේම රාජ්‍යය හැකි තරම් දිය කරන බවත් වෙලදපොළ හැකිතරම් ශක්තිමත් කරන බවත් ය. සුභසාධන ආර්ථිකය හා සහනාධාර මත ගෙඩ නැගී ඇති සෙසු ක්ෂේත‍්‍ර අහෝසි කරන බවත්ය. දැනටමත් පොහොර සහනාධාරය වැනි දේවල් වලට කප්පාදු කර අවසන් කර ඇත්තේ මේ නිසාය. එජාපයේ ආර්ථික ප‍්‍රතිපත්තිය තනිකරම එල්ලකර තිබෙන්නේ සුභසාධන ආර්ථිකය නිමා කරමින් වෙළදපොල මගින් හසුරුවන ආර්ථිකයක් බවට රට පත් කිරීමය. රාජ්‍යය හැකිලවීමේ හා වෙළදපොලට සියල්ල යට කිරීමේ එජාපයේ මේ දේශපාලනය මාක්ස් කියු ආකාරයේ රාජ්‍යය දියකර හැරීමක් මේ ‘කොළපාට වමෙන්’ ඇසෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ හැගීමය.
චරිත හේරත්
Published on Ravaya in Nov 2017
No comments:
Post a Comment