Friday, June 17, 2016

‘ඔබ දුටුවා මා දුටුවා - වළ නොදමා පිලිස්සුවා’



‘ඔබ දුටුවා මා දුටුවා - වළ නොදමා පිලිස්සුවා’ 

මේ සටහනේ මාතෘකාවට මා යොදගත්තේ අපේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඉගැන්වූ ආචාර්යවරයකු වූ 
ගාමිණී හත්තොටුවේගමයන්ගේ ප්‍රසිද්ධ වීදි නාට්‍යයක එන ඉතා ජනප්‍රිය ගීතයක කොටසකි. මේ ගීතය රටේ හුඟක් අය 
දන්නේ නැති වුණාට මේ ගීතයට පාදක වන සමාජ දේශපාලන තත්ත්වය රටේ හුඟක් අය දන්නවා විය හැකිය. මගේ 
තීරු ලිපියට මේ ගීතය එතරම් අදාළත්වයක් නැතත් මා කථා කරන්නට යන මාතෘකාවට ගාමිණී හත්තොටුවේගමයන්ගේ
 ශාස්ත්‍රීයත්වය සහ සාහිත්යික භාවිතාව අදාළ නිසාත්, මේ ගීතයට අපේ කාලයේ මිතුරන් කැමැති නිසාත් එය මාතෘකාවට 
යොදා ගත්තේමි.

මගේ සටහනට හත්තොටුවේගම පාදක කර ගන්නේ අපේ රටේ දේශපාලනයට ඉතා වැදගත්
විෂයයක් වන විශ්වවිද්‍යල ආචාර්යවරයකුගේ ශාස්ත්‍රීය භාවිතාව සහ සමාජ වගකීම ගැන 
කථා කරන්නට සිතාගෙනය. වසර කීපයක් පරිපාලන රැකියාවක් සඳහා විශ්වවිද්‍යාලයේදීය. 
1990 සිටම විශ්වවිද්‍යාල ඇසුරේ සිටි මා එතෙක් ලබා තිබූ ‘විශ්වවිද්‍යාල ගැන වූ චිත්‍රය’ 
මගේ දෙවැනි පේරාදෙණි ආගමනය සමඟ බරපතළ ලෙස වෙනස් වන්නට පටන් ගත් නිසා 
මේ වෙනසින් පලා යන්නට මා තුළ සිදු වන අභ්‍යන්තර උත්සාහයක කොටසක් ලෙසද අවශ්‍ය 
නම් මේ සටහන නම් කළ හැකිය. ප්‍රොයිඩ් කීවේ අපේ අවිඥානය තුළ‘වර්තමානයෙන් 
ගැලවෙන්නට අතීතයට ගමන් කිරීමේ’ උත්ප්‍රේරකත්වය තිබෙන බවය. මේක එහි ප්‍රතිඵලයක් 
විය හැකිය. මට සිදු වී ඇති අනෙක් අකරතැබ්බය වන්නේ ඒ කාලයේ වයසට වැඩි අය 
ආශ්‍රය කරන්න යෑමේ පුරුද්ද මේ වන විට වැරදියට වැඩ කර තිබීමය. එදා විශ්වවිද්‍යාලයේ 
සිටි මා ආශ්‍රය කළ බොහෝ මිතුරන් දෙවන වර මා පේරාදෙණියට යන විට එක්කෝ මිය 
ගිහින්ය; නැත් නම් විශ්‍රාම ගිහින්ය. ඒ නිසාම වැඩ කරන්නට සිදු වී තිබෙන්නේ ‘සත්තුවත්තට 
අලුත් සතෙක්’ ගිය ආකාරයේ ‘ඇවැත්’ සිතකින් නිසා ඒ කාන්සිය යන්නත් එක්ක මේ සටහන
 ලියන්නට සිතුවෙමි. 

දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාලය විශාල වශයෙන් ගත වන්නේ මීටින්වලටය. මේ 
මීටින් සමහර විට අත්‍යවශ්‍යම සහ වැදගත්ම ඒවා විය හැකිය. ඒත් ඒවා කොච්චර වැදගත් 
වුනත් දවසම මීටින්වලට හිර වුණෝතින් උගන්වන්නට හා ශාස්ත්‍රීය වැඩවල යෙදෙන්නට 
කැමති අයට එසේ කරන්නට තියෙන කාලය සීමා වන්නේය; සංවාද කරන්නට කැමති අයට
 තියෙන කාලය අඩු වන්නේය; සිතන්නට සිතෙන අයට සිතන්නට තියෙන කාලය අඩුවන්නේය. මම මෙහිදී ‘කැමති අයට’ 
යැයි කීවේ මීටින්වලටම කැමති අයත් සිටිය හැකි නිසාත්, ඒ අයගේ අපේක්ෂාවට කරදර කරන්නට අකමැති නිසාත්ය.

දැන් හත්තොටුවේගමයන් මට මතක් වුණේ මේ සන්දර්භය තුළය. ඔහුට ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ අයත් ළඟම මිතුරනුත් 
කීවේ GK කියාය. ඒ ඔහුගේ සම්පූර්ණ නම වූ Gamini Kalyanadarsha Haththotuwegama de Silva යන්නෙහි 
කෙටි යෙදුම වු නිසා විය හැකිය. හත්තෙට්ටුවේගමයන් කතා කළේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉතා වැදගත් පැත්තක් වූ 
අපේ ඥානය සහ මිනිස් අපේක්ෂා අතර සම්බන්ධයක් තියෙන බව විශ්වාශ කරමිනි. අප දර්ශනය උගන්වද්දී කතා කරන 
ප්‍රධාන මාතෘකවක් වන තාර්කික යථානුභූතවාදි (Logical Positivism) ප්‍රවේශය වන්නේ මිනිස් ව්‍යවහාරයෙන් ඈත්ව සිදු 
කරන ඥාන ගවේෂණක් තිබෙන බවය. සමාජය විද්‍යා ඥානය ස්වාභාවික විද්‍යාවේ වගේ විද්‍යාගාරයේ සිදු කරන ඥානය 
පිළිබඳ වූ ගවේෂණයක් බවට ඔවුහු මේ තත්ත්වය වර්ධනය කළෝය. එහෙත් එයට විරුද්ධව මහ හඬක් නැඟුවේ මාක්ස්වාදි 
පදනමකින් ඥානය පිළිබඳ අධ්‍යයනය කළ ෆ්රැන්පර්ඩ් ගුරුකුලයේ චින්තකයන්ය. හර්බර්ට් මාකූස්ගේ One Dimension Man 
සම්පූර්ණයෙන්ම තර්ක කළේ යථානුභූතවාදය හදන ඒක මානීය මිනිසාට එරෙහිවය. දැන් හත්තෙට්ටුවේගමයන් හැම විටම වැඩ 
කළේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය අධ්‍යයනය මේ ඒකමානීය බවෙන් ගලවා ගත යුතුයැයි කියාය. ඔහු කීවේ දැනුම යනු ජනතාවට 
හොරෙන් කරන වියුක්ත දෙයක් නොව, සංයුක්ත මැදිහත් වීමක් කියාය; මිනිස් ඥානය සහ මිනිස් අභිලාෂයන් 
(Human Knowledge and Human Interest) එකට තියෙනවා කියාය; සමාජ අභිලාෂයක් නොමැතිව හදන ඥානය 
හුදු පෞද්ගලික භාණ්ඩයක් වගේ කියාය; තමන්ටම කියවන්න තමන්ම පොත් ලියනවා වැනි වැඩක් කියාය.

මිය යන තුරුම යම් ආකාරයක බොහීමියන් වර්ගයේ ජීවිතයක් ගත කළ හත්තෙටුවේගම ලංකාවේ වීදි නාට්‍ය සම්ප්‍රදාය ගොඩ 
නැගූ පුරෝගාමියා විය. ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ ඥාන ගවේෂණය යනු තමන් උගන්වන විෂයය පමණක් කියවන එක 
නොවන බවට හොඳම නිදර්ශනය හත්තෙට්ටුවේගම විය. පේරාදෙණියේ අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායම වුණේ එක තැනක කොටු 
නොවී ස්වකීය අධ්‍යයනයන් පළල් කලාපයක ගෙන යෑමය. සරත්චන්ද්‍ර සිංහල ඉගැන්වූවාට පශ්චාද් උපාධිය කළේ සංජානනය 
පිළිබඳ බෞද්ධ සංකල්පය ගැනය. සිරි ගුනසිංහ සංස්කෘත ඉගැන්වූවාට සත් සමුදුර චිත්‍රපටිය හැදුවේය. සරත්චන්ද්‍ර වික්‍රමසූරිය 
ඉංග්‍රීසි මහාචාර්ය වූවාට ලියුවේ සිංහල නවකතාවේ නැගීම ගැනය. මේ සම්ප්‍රදායේ වැදගත්ම පුරුකක් වශයෙන් හතාගේ මැදිහත් 
වීම සැලකිය හැක්කේ ඔහු තුළ තිබූ විචාරාත්මක ශාස්ත්‍රීයභාවය නිසාය.

හත්තොටුවේගම ගැන මගේ මතකයන් දෙකක් මෙහි සටහන් කිරිම සුදුසුයැයි සිතුවේ ඒවා වාර්තා කර තිබීමම වැදගත් යැයි 
සිතුණ නිසාත් අපිට වර්තමාන විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ ක්‍රියා කලාපය ගොඩ නගා ගන්නට ඒවා සමහර විට දයක 
වන්නට ඉඩ තිබෙනවා යැයි සිතන නිසාය. දිනක් අපේ මිතුරකු වූ රංජිත් විජේකෝන් (ඔවුත් දැන් විශ්‍රාමිකය) සහ මාත් 
හත්තෙට්ටුවේගමත් ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ කථා කරමින් සිටින අතර රංජිත් තමාගේ දියණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය 
තේරී ඇති බව පවසා, තව මාස 8ක් යන තුරු නවක ශිෂ්‍යයන් බඳවා නොගන්නා බැවින් මේ මාස කීපයේම ඇයට කියවන්න 
දෙන්න සුදුසු පොත් මොනවාදැයි හත්තෙට්ටුවේගම වෙතින් ඇසුවේය. හත්තෙටුටුවේගම ගත් කටටම කීවේ ‘රංජිත් දුව එන්නේ 
ආට්ස් ෆැකල්ටියට නම් මේ භූමියේදී මග හැර යන්න බැරි තුන්දෙනෙක් ඉන්නව. ඒ කාල් මාක්ස්, මැක්ස් වේබර් සහ සීග්මන් ප්‍රොයිඩ්.
ඒ තුන්දෙනා මග හැරල මේ ෆැකල්ටියේ මුකුත් හරියට ඉගෙන ගන්න බැහැ නේ. දුවට ඒ අය කියවන්න දෙන්න’ කියාය.
මේ කියමන අදට එදටත් වඩා ගැළපෙන බව මගේ අදහසයි. මාගේ දෙවන නිරීක්ෂණය වන්නේ අපේ විශ්වවිද්‍යාලයේ සමහරුන්
විශ්වාස කළ විශ්වවිද්‍යාල ආචාරවරයකුගේ ‘හැසිරීම’ ගැන තිබූ අධිභෞතික මතයන් හත්තොටුවේගමගේ හැසිරීමෙන්
අභියෝගයට ලක් වීම ගැන සිදු වූ සාකච්ජාවක්ය. දිනක් හත්තෙට්ටුවේගම සමග අපි කීපදෙනකු එක් වී කථා කරමින් සිටින
තැනකට යම් දෙපාර්තුමේනතුවක ටිකක් උසස් විදියට තමන්ගේ ‘ස්ටේටස්’පවත්වා ගන්න උත්සාහ ගන්නා ආකාරයේ
කථිකාචාරවරියක් (ඇයත් දැන් විශාමිකය) පැමිණ කීවේ ‘GK! ඔයාව හුගක් දවසකට පස්සේ අද දැක්කේ. ඔයා ඔය ළමයි
එක්ක නාට්‍ය කෙරුවට අද උදේ කරපු වැඩේ නම් එච්චර හොඳ නැහැ’ කියාය. එවිට ඔහු පෙරළා ඇයගෙන් ‘මොන වැඩේද ඔය
කියන නරක වැඩේ?’ ඇසු විට ඇය කීවේ ‘නෑ GK, අද මම විශ්වවිද්‍යාලයට එද්දි ඔයා ගලහ හන්දියේ තියෙන බස් හෝල්ට් එක
ළඟ ගහේ මුලක් උඩ ඉදගෙන තැඹිලි ගෙඩියක් බොනව මම දැක්ක. ඒක නම් GK ගුරුවරු විදියට අපිට තියෙන ස්ටේටස්වලට
හොඳ නැහැ නේද?’ කියාය. හත්තෙට්ටුවේගම සිනා සෙමින් කීවේ ‘මොන නරකක්ද? අපූරු තැඹිලි ගෙඩිය! මම ඒක බීව විතරක් නෙවී පළාගෙන මදත් කාලයි ආවේ. ඔයත් නැවතුණා නම් දෙන්න තිබුණා’ කියාය.

GKගේ ශිෂ්‍ය කේන්ද්‍රීය පැවැත්ම නිසාම ඔහුට මිත්‍රයකු තරමේ ඇසුරක් බොහෝ ශිෂ්‍යයන් තුළ තිබූ අතර ශාස්ත්‍රීයත්වය හා 
සමාජ මැදිහත් වීම ගැන ඔහු විශ්වාස කළ දේවල් සමාජයෙන් විශ්වවිද්‍යාලය ඈත් වෙමින් තිබෙන මේ කාලයේ අපේ අවධානයට
 ගැනීම වැදගත් බව මගේ අදහසයි. පසුගිය සතියේ අපේ නව පීඨාධිපතිතුමා සමග කථා කළ විටෙක ඔහු සඳහන් කළ 
කාරණයක් වූ පේරාදෙණියේ අන්‍යතාව වන්නේ අපේ මානව ශෘස්ත්‍ර අංශයේ නැගිටීම බවත් ඒ අංශ බබළන විට අපේ 
ශාස්ත්‍රීයභාවය රට තුළත් ලෝකය තුළත් පෙන්නුම් කරන බවත්ය. 90 දශකයේ අපේ ශිෂ්‍ය සටන් සගයකු වූ ඔහුගේ අදහස 
ඉතා නිවැරදි වන අතර, මේ වෙනුවෙන් උත්සාහ දැරීම අපේ වර්තමාන ‘මීටින් කල්චර් එකෙන්’ මිදීමට ඇති එක මග විය හැකිය.

ප්‍රධාන පිටුවකතුවැකියවිශේෂාංගසත්මඬලව්‍යාපාරිකසිත් මල් යායතීරු ලිපිරසඳුනඅභාවයන්







No comments:

Post a Comment