Saturday, June 11, 2016

හතර වැනි ආණ්ඩුව පහේ පන්තියෙන් ඔබ්බට

හතර වැනි ආණ්ඩුව පහේ පන්තියෙන් ඔබ්බට

මෙවර සටහන ලියන්නට සිතාගෙන සිටියේ රටේ ආර්ථිකයේ අද පවතින තත්ත්වය ගැනය. එහෙත් පසුගිය සති කීපයක සිට රටේ ඇතිවෙමින් පවතින ස්වභාවික විපත් සහ ඒවා පිළිබඳව සමාජ මාධ්‍යයන් තුළ ඉදිරිපත් වෙන දේවල් දෙස බැලු විට පෙනී ගියේ අපේ රටේ මාධ්‍ය අවකාශය ගැන කථා කිරීම ආර්ථිකයට වඩා වැදගත් බවය.ජනමාධ්‍ය හඳුන්වන්නේ රටක තියෙන හතර වැනි ආණ්ඩුව ලෙසින්ය. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය හැරුණු විට වැදගත් සමාජ සංචරකය ලෙසින් මාධ්‍ය හඳුන්වන්නේ එහි ඇති බලපෑම් සහගතභාවයේ ඇති බරපතළකම නිසාය. සමාජයක ඉදිරිගාමී සිතන්නා වන්නේ ජනමාධ්‍යය යැයි පිළිගැනීමක්ද මේ සමඟ ගැට ගැසී තිබේ. මාධ්‍ය හැසිරිය යුත්තේ 'අනාගතය පෙනෙන වැහිලිහිණියෙකු ලෙසින් මිස කුණු ගොඩවල් පමණක් පෙනෙන කපුටෙකු ලෙසින් නොවේ යැයි කියමනක්ද තිබේ. මේ අදහස මඟින් කියවෙන්නේ මාධ්‍යයට අයිතිකාරිය වන්නේ සමාජයේ වැසීගිය ගැටලු (දුෂණ) මතු කිරීමෙන් ඉවත්වීම යන්න නොවේ. මාධ්‍යය කුණු ඇවිස්සීමත් කළ යුතුය. නමුත් එය කළ යුත්තේ වෙන කරන්නට දෙයක් නැති නිසා හෝ කුණු ඇවිස්සීම යනුම යැපීම් ආර්ථිකයක් යැයි සිතා නොවේ. වැරදි මතු කළ යුත්තේ එම විසමාචාර තත්ත්වයන් මතු කිරීම හරහා සමාජයෙන් ඒවා තුරන් කිරීමටය.

ඒත් අපේ රටේ සම්මත ප්‍රධාන මාධ්‍යයන් සහ වෙබ් මාධ්‍ය තරගයට කරන්නේ විසමාචාර ඇදිම මත ගොඩ නඟාගත් ආර්ථිකයක් ගෙන යාමය. අපේ රටේ මාධ්‍යයේ වෘත්තීයභාවය පිළිබදව මතු වී ඇත්තේ කනගාටුදයක තත්ත්වයක්ය. මේ තත්ත්වයට රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයන් වගකිව යුතු යැයි ලාබෙට කියා දැමිය හැකිය. එසේ කී විට ඒ චෝදනාවට මමත් අල්ලාගත හැකි යැයි සමහරෙකුට සිතෙන්නට පුළුවන. ඒත් මේ තත්ත්වය එසේ ආණ්ඩුවක හෝ පුද්ගලයෙකුට පවරා අපි කාටවත් ඇඟ බේරාගත නොහැකිය.
ජනමාධ්‍යයේ අපේ රටේ පැවති පැරණි සම්ප්‍රදායයන් සහ වෘත්තීය බව යළිත් ඒ තුළට කැඳවන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරි කාලයේ ප්‍රධානතම දේශපාලන මාතෘකාවක් වීම අනිවාර්ය බව මගේ හැගීමයි. ඒ වගේම දැනුම ආධිපත්‍යය දරන සහ දැනුම මත පදනම් වූ ජනමාධ්‍යවේදයක් ගොඩනඟන්නේ කෙසේද යන්න දේශපාලන මාතෘකාවක් බවට පත්වීම අත්‍යවශ්‍යය. මේ සියල්ල රජයේ වැඩ යැයි කීම ප්‍රශ්නය හරියට නොතේරෙන නිසා කියන දෙයක්ය.
රජයේ පැත්තෙන් මේ සඳහා කෙරෙන්නට තියෙන දේවල් තිබෙන නමුත් වගකීම ඇත්තේ මේ පෞද්ගලික අවකාශයේ බහුතර බලයක් තියෙන මාධ්‍ය ක්ෂේත්‍රයේය. මේ සඳහා සුදනමක් මාධ්‍ය අයිතිකරුවන් තුළ තිබේද යන්න තම තමන්ම විමසා බැලිය යුතු කාරණයකි. චොකලට් හදන කොම්පැනියක් මාධ්‍ය හදන්න තීරණය කිරීම හොද නමුත් හොඳ චොකලට් එකක් හැදිමට තමන් දරන මහන්සිය සහ වියදම (වැටුප් නව දැනුම් පර්යේෂණ සහ සේවක පුහුණුව) ඒ වගේම තමන් හදන මාධ්‍ය වෙනුවෙනුත් වියදම් කරන්නට පෙලඹෙන්නේ දැයි සිතීම වැදගත්ය. මේ කාරණය අනෙක් හැම මාධ්‍ය කොම්පැනියකටම එක වගේම සමානය.
මාධ්‍යයේ වෘත්තීයභාවය සහ දැනුම සම්බන්ධ තවත් බලපෑමක් සිදු කරන්නනේ වෙබ් මාධ්‍ය සහ සමාජ මාධ්‍යයන්ය. වෙබ් අවකාශයන්ටත් වඩා සමාජ මාධ්‍යයන් මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ මැදිහත්වීමක් සිදු කරමින් පවතින බව කවුරුත් පිළිගන්නා කාරණයකි. එක් අතකින් පසු ගිය ජනාධිපතිවරණයෙන් පසුව ලංකාවේ මැතිවරණ දේශපාලනය පාලනය කරන මාධ්‍ය වන්නේ සාම්ප්‍රයික පුවත් පත් හෝ විද්‍යුත් මාධ්‍යයන් නොව සමාජ මාධ්‍ය යැයි තර්කයක් වුවද මතු කළ හැකිය. මා සිතන ආකාරයට ඉදිරි මැතිවරණව තීරණාත්මක සාධකයක් වන්නේ ඒ ඒ අපේක්ෂකයන් සහ පක්ෂ ඩිජිටෙල් අවකාශය තුළ කොපමණ දරිතාවයන් පෙනී සිටින්නේද යන්න ඒ අයගේ ජයග්‍රහණයට සෘජුවම බලපානු ඇති බව මගේ හැඟීමයි. 
සමාජ මාධ්‍ය යනු ඉතාම තීරණාත්මක බලයක් සහිත මාධ්‍යයක් වන අතර ඒවා මඟින් සමාජයට සිදු කරන බලපෑම ඉතාම තීරණාත්මකය. පසුගිය සතියේ සාලාව හමුද කඳවුරේ පිපිරීම ගැන වැරදි වාර්තා නොකරන්නැයි පරණවිතාන ඇමතිතුමාට විශේෂ පනිවිඩයකින් කියන්නට සිදු වුණේ ඒ නිසා විය යුතුය. සමාජ මාධ්‍යයන් නියාමනය කරන්නට නොහැකි විශේෂ කාණ්ඩයක මාධ්‍යයන් බව මෙහිදි අපගේ අවධානයට ලක්විය යුතුය. එය නියාමනය විය යුත්තේම ආචාර ධර්මීය පදනමක සිටය. 

සමාජ මාධ්‍යයන් හැමෝගේම මොබයිල් ෆෝන් එකේ තිබීම යනු එය මඟින් තමන්ගේ කාන්සිය මඟ හරවාගැනීමට තම තම පෞද්ගලික අසනීපයන් සමාජගත කරන ලැබුණු උපකරණයක් බවට පත් කර ගැනීම කනගාටුද­ායකය. මේ තත්වය වෙනස් කළ හැක්කේ ශක්තිමත් අධ්‍යාපන හා දැනුවත් කිරීම් මාලාවක් හරහාය. අනෙක් අතට මාධ්‍යයේ නව ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකි 'හැමෝම මාධ්‍යවේදින්' බවට පත් වීමේ මෙම සමාජ මාධ්‍යයන් යනු උපකරණයක් හා සම්බන්ධතාවක් ජාලයක් තමන් අතව පත්වීමක් ලෙස පමණක් සැලකීමෙන් ඉවත් වී එය වගකීමක් ලැබීම ලෙසින් තේරුම් ගැනීම දක්වා මේ සමාජය පරිවර්තනය කිරීම කළ හැක්කේ එවැනි අධ්‍යාපන කාර්යයක් මගින්ය.

මාධ්‍යය ක්ෂේත්‍රයේ පුහුණුව සහ ආචාර ධර්ම එකිනෙකට පලපෑම් කරන වැදගත් අවශ්‍යතා දෙකක් වශයෙන් පිළිගැනීම අවශය වන්නේ ඒ මඟින් මාධ්‍යයේ ස්වයං නියාමනයක් කෙරෙන නිසාය. මාධ්‍ය අධ්‍යාපනය පැත්තෙන් අපේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල සිට සියලූ ක්ෂේත්‍රයන්හි තිබෙන බුද්ධිමය සීමාසහිතකම් පරාජය කිරීමද මෙහිදි ඉතාම වැදගත්ය. ලෝකයේ දියුණු රටවල මාධ්‍ය අධ්‍යාපනයන් අපේ රටේ මාධ්‍ය අධ්‍යයනයන්ට සහාය කර ගැනීමට අවශ්‍ය දැනීම ලබා දිම මෙහිදි වැදගත්ය.
මෙහිදි තේරුම් ගත යුතු තවත් කාරණයක් වන්නේ හතරවන ආණ්ඩුවේ හෙවත් මාධ්‍යය ක්ෂේත්‍රයේ විශිෂ්ට ගණයේ අයද තවමත් අපේ රටේ මාධ්‍යයන් අතර සිටින බවය. මගේ මේ සටහනින් ආමන්ත්‍රණය කරන්නේ එවැනි මාධ්‍යවේදීන්ගේ තත්ත්වයට අනෙක් අයත් ගෙන ඒමේ අවශ්‍යතාවයය. මාධ්‍යවේදියෙකු ලෙසින් දිනමිණ පුවත්පතේ වැඩ කළ මහා ගත් කතුවරයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහයන් එක් වරක් තම පුවත් පතේ අයිතිකරුවා වූ විජයවර්ධන මහතා විසින් කළ සාකච්ජාවක් සඳගෝමි කෝපරහේවා වික්‍රමසිංහගේ මාධ්‍ය කලාව ගැන පළ කළ පොතක සඳහන් කර තිබේ. මාක්ස්වාදය ජනප්‍රිය වෙමින් ආ ඒ කාලය තූළ හෝමාගම පැත්තේ එක් මාක්ස්වාදි ගැරුවරයෙකු ස්වකීය දරුවෙකු දුෂණය කිරීමේ සිදුවීමක් පුවත්පතේ ලිපියක් ලෙසින් දැම්මොතින් එය මාක්ස්වාදයට හොඳ පහරක් විය හැකි බැවින් එසේ කරන මෙන් විජයවර්ධන මහතා වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. එහෙත් වික්‍රමසිංහයන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ එවැනි ලිපියකින් සමාජයට වැරදි බලපෑමක් ඇති කරන බැවින් එය කෙසේවත් ඉටු කළ නොහැකි බවය. වැඩේ එතැනින්ම නැවතිණි. විජයවර්ධන මහතාද කාරණය තේරුම් ගත් බැවින් මාධ්‍යයේ සදචාරය එද සුරැකිණි. අද ප්‍රශ්නය වී ඇත්තේ විජයවර්ධන මහතාගේ වැනි ඉල්ලීම් අදත් තිබෙන නමුත් වික්‍රමසිංහ මහතාගේ වැනි ප්‍රතික්ෂේප කිරීම් නොමැති වීමය.

No comments:

Post a Comment