Friday, March 20, 2020

කොරෝනා කාලේ ඡන්දේ

මහ මැතිවරණයට නාම යෝජනා භාර දීමේ අවසාන දිනය යෙදී තිබෙන්නේ අද දවසටය. මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් මේ වනවිටත් නාම යෝජනා පත‍්‍ර භාර දී අවසන්ය. ‘‘මෙවර මහ මැතිවරණයේ උණුසුම යම් පමණකින් හෝ අඩු වෙන්නට හේතු වී තිබෙන්නේ මේ දවස්වල මුළු ලෝකයේම වගේ ගලා යමින් තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන්ය“. අපේ රටටත් කොරෝනා වයිරසය බරපතල ආකාරයෙන් බලපෑම් කරන තත්වයක් තුළ රටේ අවධානය මහ මැතිවරණය වෙතින් ඉවතට ගමන් කිරීමේ තත්වයක් ගොඩනැගී ඇති බව පැහැදිලි කාරණයකි. 

කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීම් මේ වනවිට ඉතාමත් හොඳින් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන කාරණයකි. රටේ ජනතාව මේ වගේ වෙලාවක හැසිරිය යුත්තේ කෙසේද යන කාරණය ගැන දැනට ලබා දී ඇති උපදෙස් සමාජයේ බහුතරයක් අය පිළිගනිමින් සිටින බවද නොරහසකි. මා මේ සටහනින් ලියන්නට බලාපොරොත්තු වන්නේ කොරෝනා වයිරසයට සම්බන්ධ දෙයක් පිළිබඳව නොව ලඟ එන මහ මැතිවරණයට සම්බන්ධ කාරණා කීපයක් පිළිබඳවය.

මුලින් ම අවධානයට ගත යුතු කාරණය වන්නේ මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සමාජ හා දේශපාලන සන්දර්භය කුමක්ද යන කාරණය අවධාරණයට ගැනීමය. මේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ අලුත් ජනාධිපතිවරයෙකු පත්වී මාස කීපයකට පසුව වන අතර ජනාධිපතිවරණයේදී රටේ ජනතාව විසින් අනුමත කළ දේශපාලන වැඩ සටහන ඉදිරියට ගෙනයාම මෙහිදී අවධානයට ගත යුතු ප‍්‍රධාන කාරණයක්ය.
රටේ දේශපාලන දිසාව වෙනස් වූයේ පසුගිය ජනාධිපතිවරණයත් සමගින්ය. 2015 ජනවාරියේ සිට මෙරට ක‍්‍රියාත්මක වූ දේශපාලන ආකෘතිය හා ගමන් මාර්ගයේ සම්පූර්ණයෙන්ම වෙනස්වීමක් පසුගිය ජනාධිපතිවරණය සමගින් සිදුවූ බව මගේ තේරුම් ගැනීමය. මේ තත්වය මුලික වශයෙන් පෙන්නුම් කරන්නේ රටේ ආර්ථිකය රටේ ආරක්ෂාව  හා විදේශ සම්බන්ධතා  යන ක්ෂේත‍්‍රවලය. ඒ අලුත් තත්වය හේතුවෙන් රටේ ඇතිවී තිබෙන ධනාත්මක තත්වය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාම මේ මහ මැතිවරණයේ එක් ප‍්‍රධාන කාරණයක් බව මගේ අදහසය. 

තවත් පැත්තකින් අපේ රටේ විධායක බලය සහ ව්‍යවස්ථාදයක බලය යන දෙක දෙපැත්තකට තල්ලුවී යාම හේතුවෙන් පසුගිය කාලයේ පෙන්නුම් කළ දෙමුහුම් ස්වභාවය ඇති නොකිරීමට මේ මැතිවරණයේදී කටයුතු කිරීම  ඉතාමත් වැදගත් බව මගේ අදහසය. විධායක බලය ලැබෙන දේශපාලන පක්ෂය හා පාර්ලිමේන්තුවේ බලය ලැබෙන පක්ෂය අතර පරස්පරයක් ගොඩනැගෙන විට රටේ සංවර්ධනයට එය මගින් ඇති කරන බරපතල බලපෑම පසුගිය ආණ්ඩුව කාලයේ රටේ හැමෝම අත්දුටු බරපතල සත්‍යයක් ය. ඒ තත්වය නිසා 2015 පසු රටේ ආණ්ඩු දෙකක් තිබූ බව හැමෝටම මතකය. 2019 ජනාධිපතිවරණයෙන් නිමා කර දැමූවේ ඒ ආකාරයේ ආණ්ඩු දෙකේ පාලනය යැයි කීමේ වැරුද්දක් නැත.  

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ 
දර්ශන අධ්‍යයන අංශයේ මහාචාර්ය චරිත හේරත්  

අලුතින් ජනාධිපතිවරයෙක් පත්වී සිටින්නේ 2015 ජනාධිපතිවරණයේ දී මෙන් හදිසියේ ‘අටවා’ගත් දේශපාලන කණ්ඩායමක් මතින් නොව රටේ ජනතාව අතර ශක්තිමත් පදනමක් සහිත නව දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් බව මෙහිදී පෙනී යන තවත් විශේෂ  කාරණයක්ය. ඒ  නිසාම ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණයක් සඳහා ජනාධිපතිවරයා නියෝජනය කරන දේශපාලන පක්ෂයක් තරඟ කිරීම මෙවර පෙන්නුම් කරන ඉතාමත් වැදගත් කාරණයක්ය. 2015 ජනාධිපතිවරණයට සාපේක්ෂකව පෙන්නුම් කරන මේ කාරණය පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි මා සිතන්නේ 2015 දේශපාලන ක‍්‍රියාදාමය සම්පූර්ණයෙන් අර්බුදයට යැවීමට 2015 අගෝස්තුවේ පැවති මහ මැතිවරණය හේතුවූ බැවින්ය. 2015 ජනාධිපතිවරණය ජයගත් හංසයාගේ පක්ෂය ඒ වසරේ පැවති මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැතිවා පමණක් නොව ඒ ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල මහතාට සහාය දුන් කණ්ඩායම් 2015 මහ මැතිවරණයේදී පිල් ගණනාවකට බෙදී තරඟ කළ බව අපි හැමෝම දන්නා කාරණයක්ය. ඒ කාලයේ රටේ ඇතිවූ අර්බුද ජනක තත්වයන්ට එක් හේතුවක් වූයේ මේ කාරණය බව මගේ අදහසයි. මෙවර මහ මැතිවරණයට තරඟ කරන කණ්ඩායම් අතර වත්මන් ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂය එක් ශක්තිමත් කණ්ඩායමක් ලෙසින් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටීම මගින් පෙන්නුම් කරන්නේ 2015 තත්වයට වඩා ඉතාමත් ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නැගීමට මේ මැතිවරණය පාවිච්චි කළ හැකි බවයි. 

මීලඟට වැදගත් කාරණය වන්නේ රටේ සහ ලෝකයේ අද පවතින තත්වයට ගැලපෙන ආකාරයේ තීන්දු සහ තීරණ ගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් එක් කණ්ඩායමක් වෙත ලබාදීමේ ඇති වැදගත්කම පිළිබඳව සිතීමය. මේ රටේ නිදහසින් පසු ගත කළ වසර 72 පමණ කාලයේ පෙන්නුම් කරන එක් වැදගත් කාරණයක් වන්නේ ශක්තිමත් විධායකයක්,  ඊට ගැලපෙන ව්‍යවස්ථාදයකයක් සහ නිවැරදි ප‍්‍රතිපත්ති මාලාවක් එක්වර ගොඩනගා ගැනීමේ ඇති අපහසුතාවයය. මේ අවශ්‍යතාවන් තුනම (විධායක බලය, ව්‍යවස්ථාදයක බලය සහ වැඩ පිළිවෙල) එකවිට ලැබුනේ අවස්ථා කීපයකදී පමණය. සමහර කාලයක අපිට හොඳ ජනාධිපතිවරයෙක් ලැබෙන විට හොඳ පාර්ලිමේන්තුවක් ලැබුනේ නැත. සමහර විටෙක හොඳ පාර්ලිමේන්තුවක් ලැබුන විට හොඳ ජනාධිපතිරවරයෙක් ලැබුනේ නැත. මේ දෙකම හොඳට තියෙන අවස්ථාවක හොඳ ප‍්‍රතිපත්තියක් ගොඩනගා ගැනීමට හැකි නොවූ අවස්ථාවන් ද ඉතිහාසයේ අවශ්‍ය තරම් තිබෙන බව මගේ අදහසය. මේ බලවේගයන් තුනම එකවිට හොඳ පැත්තට ගොඩනැගුණු  අවස්ථාවක් ලෙසින් මා දකින්නේ 2010 පැවති මැතිවරණ සමූහයයි. එහිදී 2005 සිට මේ රටේ විශාල ජයග‍්‍රහණ මාලාවක් ලබාගත් ජනාධිපතිවරයෙක් සිටි අතර එතුමන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යා හැකි පාර්ලිමේන්තුවක් ලැබුනේ 2010 මහ මැතිවරණයත් සමගින් බව මගේ අදහසය. උතුරු වසන්තය, නැගෙහිර නවෝදය වැනි සංවර්ධනයේ ඉදිරිගාමී පියවර රාශියක් ගෙන ඒමට 2010 ආණ්ඩුවට හැකි වූයේ මා විසින් ඉහතින් කියූ බලවේග තුනම එක විට පිහිටීම හේතුවෙන්ය. නැවතත් 2015 ජනාධිපතිවරණයෙන් සිදුවූයේ මේ තත්වය කඩා වැටීමය. විධායකය (මෛත‍්‍රී) එක පැත්තකටත් ව්‍යවස්ථාදයක (එජාපය) තවත් පැත්තකටත් දේශපාලන වැඩපිළිවෙල (එන්ජී ඕ කාණ්ඩායම) තව පැත්තකටත් තල්ලූවී යාම එහිදි පෙන්නුම් කළ කාරණය විය. 

රට මෙවර මහ මැතිවරණයට යන්නේ ජනාධිපතිරවරණයෙන් ජයගත් අපේක්ෂකයා ඇතුළත් දේශපාලන පක්ෂයක් මහ මැතිවරණයටද තරඟ කරන පසුබිමක් යටතේ බැවින් ස්ථාවර හා ශක්තිමත් ආණ්ඩුවක් ගොඩ නගා ගැනීමේ විශාල හැකියාවක් තිබෙන බව මගේ අදහසය. අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදී රටේ බහුතර ජනතාව අනුමත කළ රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන ඉතාමත් ශක්තිමත් දේශපාලන වැඩ සටහනක් බවද මෙහිදී පිළිගත යුතු කාරණයක්ය. ඒ මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය සමහර දේශපාලන පක්ෂවල මෙන් හදිසියේ අටවාගත් දේශපාලන වැඩසටහනක්  නොව වසරක් පමණ වෙහෙසවී ‘ගම සමග පිළිසඳරක්’වැනි වැඩසටහන් හරහා ගොඩ නගා ගත් ව්‍යාපෘතියක්ය. මේ රටේ දේශපාලනයේ ඉතාමත් ශක්තිමත් වෙනසක් නිර්මාණය කිරීමට බුද්ධිමය අවකාශයක් ගොඩනැගෙන පරිදි වූ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය කරන දේශපාලන හැකියාව ලැබෙන්නේ ඒ සඳහා ගැලපෙන පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමෙන්ය. 

මීට අමතරව මෙවර මැතිවරණයේදී සලකා බැලිය යුතු කාරණයක් වන්නේ අපේ රටේ ආර්ථිකය සහ විදේශ සම්බන්ධතා ශක්තිමත්ව ගොඩනැගීම සඳහා වත්මන් ජනාධිපතිතුමන්ට අවශ්‍ය කරන දේශපාලන නායකත්වයක් පාර්ලිමේන්තුව හරහා ගොඩනැගීමය. මෙහිදී පැවැසිය යුතු වැදගත් කරුණක් වන්නේ මේ රටේ ඒකීයභාවය හා ජාතික ආරක්ෂාව පිළිබඳව බරපතල ආකාරයෙන් සිතන නායකත්වයක් වන මහින්ද රාජපක්ෂ මැතිතුමන් අගමැතිධූරය සඳහා ඉදිරිපත් වෙන මෙම අවස්ථාව රටේ ස්ථාවරභාවය පැත්තෙන් ඉතාමත් වැදගත් බව මගේ හැගීමය. එසේම රටේ විදේශ ප‍්‍රතිපත්තිය යළිත් වරක් ස්වදේශිකයාගේ පැත්තෙන් සළකා බලන තත්වයකට පරිවර්තනය වීමද වත්මන් පාලනයේ පෙන්නුම් කරන වැදගත් තත්වයක්ය. ආර්ථික වශයෙන් මේ රටේ තත්වය පසුගිය වසර 5 තුළම වැටී තිබුණු අගාධයෙන් ගොඩ ගත හැකි තත්වයක් නිර්මාණය කිරීම මීළග ආණ්ඩුව හමුවේ ඇති තවත් විශාල අභියෝගයක්ය. එය ජය ගත හැක්කේ 2015 වැනි අලංකාර දේශපාලනයකින් නොව ආර්ථිකය පිළිබඳව වූ ශක්තිමත් දැකීමකින් බව මේ වන විට මුලු රටම තේරුම් ගත් කාරණයක්ය. 

මේ තත්වය තුළ කොරෝනා කාලයේ අපේ ඡන්දය වන මේ මහ මැතිවරණය තුළින් අපි කළ යුත්තේ 2015 ජනාධිපතිවරණයෙන් රටට මග හැරුණු දේශපාලන හා ආර්ථික අවස්ථා නැවත කැඳවීමේ අවස්ථාවක් බවට පත් කර ගත යුතු බව මගේ අදහසය.  


No comments:

Post a Comment