Wednesday, June 5, 2019

රතන සූත‍්‍රය

අතුරලියේ රතන හිමියන් විසින් දළද මාළිගය අසල සිදුකළ උපවාසය නිමා වූයේ ඊයේ පෙරදය. පාස්කු ඉරිද සිදුවීමෙන් මේ රටේ දේශපාලනයට සිදුකළ බලපෑම මේ උපවාසයත් සමගින් තවත් සංකීර්ණ වූ බව සැබෑවක්ය. රතන හිමියන් උපවාසයට ඉදගන්නා විට ඒ පිළිබදව විහිලූවෙන් බැලූ අය පවා අද ඉන්නේ තරමක් තිගැස්සීමකින් බව සත්‍යයක්ය. මෙතැන සිදු වුනේ කුමක්ද සහ සිදු වෙන්න යන්නේ කුමක්ද යන කාරණා ගැන විවිධ නිර්වචන ඉදිරිපත් වෙමින් පවතින බව සැබෑවක්ය. මා මේ සටහනෙන් ලියන්නට යන්නේ මේ සිද්ධිය පිළිබදව හා එහි බලපෑම පිළිබදව මා දකින යම් නිරීන්ෂණ කීපයක්ය.

මුළින්ම අපි හැමෝම දන්නා කාරණයක් වන්නේ රතන හිමියන් යනු විවිධ කාල වකවානුවලට  සාපේකෂකව මේ රටේ දේශපාලනයේ විවිධ ස්ථාවරවලට ගමන් කළ දේශපාලනමය වශයෙන් සංවේදිත්වයක් ඇති භික්ෂුන් වහන්සේ නමක් බවය. උන්වහන්සේ 1989 කාලයේ සිටියේ අන්තර් විශ්ව විදයාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ශිෂ්‍ය නැගිටීම පැත්තේය. ඒ අරගලයේ ප‍්‍රතිඵලයක් ලෙසින් විවිධ තාඩන පීඩනවලට ලක්වී නැවත නිදහස් වී පැමිනි පසුව ඔහු 1991 වසරේ සිට ජනතා මිතුරෝ නමින් අලූත් දේශපාලන සංවිධානයක වැඩ කළ බවත් ඊට පසුව හෙළ උරුමය ජාතික හෙළ උරුමය යනාදි දේශපාලන ව්‍යාපෘතිවල සිට බවත් අපි දන්නා කරුණුය. 2004 මැතිවරණයේ සිට පාරලිමේන්තුව නියෝජනය කරන උන්වහනස්යේ මේ තුන් වතාවට පාර්ලිමේන්තුවට පිවිසියේ ව්‍යාපෘතීන් තුනක් හරහා බවත් සැබෑවක්ය. ඒ කියන්නේ 2004 ජාකිත හෙළ උරුමයෙන් පාර්ලිමේන්තුවට පැමිනි අතර 2010 එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජන්දයට ඉදිරිපත්වී ජයගැනීමෙන්  හා 2015 එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් යන ආකාරයෙන්ය. ඒ ගමන් මාර්ගය කෙසේ වෙතත් රතන හිමියන් යනු මේ රටේ දේශපාලනයේ තීරණාත්මක අවස්ථාවලදි ඝෘජුවම ඒ තත්වයන්ට අභියෝග කරමින් ඉදිරියට එන දේශපාලන චරිතයක් බව පිළිගැනීම උන්වහනස්ගේ දේශපාලන භාවිතාව ගැන විනිශ්චයක් සිදුකිරීමේදි ඉතාමත් වැදගත්වන කාරණයක්ය.
රතන හිමියන් 2015 ජනාධිපතිවරණය කාලයේ මතුවූයේ පිවිතුරු හෙටක් ජාතික ව්‍යාපාරය යන නමින් ඉදිරිපත් කළ වැඩ සටහනක් ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට ඉදිරිපත් කරමින්ය. ඒ වැඩ සටහන ඉදිරිපත් කරන කාලයේ ඔහුට තිබුනේ රටේ ඉදිරිය පිළිබදව යම් ආකාරයක අසංවිධානාත්මක චිත‍්‍රයක් බව මගේ තේරුම් ගැනීමය. තමන්ගේ අතේ තිබෙන වැඩ සටහන සහ ඔහු සතුව තිබෙන ආත්ම ශක්තිය හැරුණු විට වෙනත් බලවේගයක් උන්වහන්සේ පසුපස මුලදි  හිටියේ ද නැත. මේ වැඩසටහන සමගින් රතන හිමියන් ගිය ගමන් මාර්ගය ඊට පසු අත්පත් කරගත්තේ කවුරුන්ද යන වග ඉතිහාසයේ පාඩම් ලෙසින් තවමත් අපේ මතකයේ තිබෙන දේවල්ය. මේ රටේ දේශපාලන බලය කොල්ලකෑමට සුදනමින් සිටි සියලූ බලවේගවල තෝතැන්න බවට පත්වූයේ මේ වැඩ සටහනත් සමගින් මතුවූ දේශපාලන ගමන් මාර්ගය බව පැහැදිලිය. 2015 කාලය වනවිට නිකම්ම නිකම් කොළඹ නගරයේ එන් ජ  ඕ කාරයෝ ටිකක් වටකරගනිමින් සිටි මාදුලූවාවේ සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජ කථාව ට ශක්තියක් හැදුනේ රතන හිමියන්ගේ බලපෑම හා මැදිහත්වීම නිසාය. 

Dr Charitha Herath
දැන් 2015 ‘යහපාලන ව්‍යාපාරය’ විසින් මේ රටට උරුම කළ ව්‍යයසනය ආර්ථික කඩා වැටීමෙන් නොනැවතී ත‍්‍රස්තවාදයක් දක්වාම වර්ධනය වී ඇති තත්වයක් තුළ නැවතත් රටේ දේශපාලනයට රතන හිමියන් වෙනත් ස්වරුපයකින් පැමින ඇත. මේ නව තත්වයට රටේ ජනතාවගේ විශේෂ උනන් දුවක් හා පිළිගැනීමක්ද තිබෙන බව අපේ අවධානයට ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය. ‘ඔය රතන හාමු දුරුවන්ගේ වැඩක්නේ‘ හෝ ‘රතන හාමුදුරුවෝ  කළඹල කාරයානේ’ වැනි සරල කථාවලින් ඉවතට විසි කළ නොහැකි තැනකින් නැවතත් වතාවත් රතන හිමියන් දේශපාලනයට සම්බන්ධවී තිබෙන බව පිළිගන්නේ නැතිව මේ තත්වය කළමනාකරණය කිරීමට නොව හරියට තේරුම් ගැනීමටවත් හැකියාවක් ලැබෙන්නේ නැත. මේ මොහෙතේ එජාපයේ නායකත්වය ඉන්නේ 2015 එවකට සිටි රජය සිටි තැන වගේ යැයි සිතීමේ වැරුද්දක් නැත. ඒ කියන්නේ රතන හිමියන් කරන්නට යන්නේ කුමක්දැයි හරියට තේරෙන්නනේ නැති තත්වයක සිටිමින් ඔහුව  අව තක්සේරු කිරීමය. අපේ අවධානයට යොමු විය යුත්තේ ආණ්ඩුව කෙසේ සිතන්නේද යන්න නොව විපක්ෂයේ අය මේ තත්වය තේරම් ගත යුත්තේ කෙසේද යන කාරණය පිළිබදවය. රතන හිමියන්ගේ දේශපාලන මැදිහත්වීම ගැන උපක‍්‍රමිකව සිතන්නේ නැතිව මේ ප‍්‍රශ්නයට හැගීම්බරව එක්වීමෙන් හෝ හැගීම්බරව තරහාවීමෙන් සිදුවන්නේ දේශපාලන වැරුද්දක් බව මගේ යෝජනාවය. මේ තත්වය සම්බන්ධයෙන් ප‍්‍රායෝගික වශයෙන් බලන දේශපාලයක් කරා වහාම මාරුවීම විපක්ෂය පැත්තෙන් අත්‍යාවශ්‍ය වන්නේ ඒ නිසාය. අනෙක් අතට සිදුවීමක් පිළිබදව කියවීම් පැත්තෙන් හැමදම මහින්ද බලවේගයේ ඉදිරියෙන් සිටි උපක‍්‍රමිකමික ප‍්‍රධානීන් වන බැසිල් රාජපක්ෂ මහතා වැනි අය පෙරට පැමිනීම මෙහිදි අත්‍යාවශ්‍ය බව මගේ අදහසය. එවැන්නක් අත්‍යාවශ්‍ය වන්නේ පසුගිය වසර කීපයේම විපක්ෂයේ ඇතැමුන් ගත් සමහර දේශපාලන තීරණයන් උපක‍්‍රමික ලෙසින් සේවය කළේ ආණ්ඩුව පැත්ත ශක්තිමත් කිරීමට මිස එය  දුර්වල කිරිමට නොවන පෙනී යන නිසාය.

මගේ යෝජනාව වන්නේ රතන හිමියන්ගේ මතුවීමට සමාජය තුළ ඉඩක් නිර්මාණය වුනේ එක් ප‍්‍රධාන කාරණාවක් නිසා බවයි. ඒ කාරනාව වන්නේ  පාස්කු ඉරිද ප‍්‍රහාරය හරහා මෙරට සමාජය තුළ මුස්ලිම් අන්තවාදයට එරෙහිව මතුවූ බරපතල විරෝධය ප‍්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂවලින් පෙන්නුම් නොකිරීම හේතුකරගෙන සිංහල සමාජයේ ඇතිවූ බරපතල දේශපාලන ආතතිය හේතුවෙන්ය. ‘මුස්ලිම් මුලධර්මවාදය ආරක්ෂා කරන ගමන් මුස්ලිම් අන්නවාදය පරාජය කිරීමේ’ බොරු උත්සාහයක ප‍්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ සියල්ලම යෙදි සිටිනවා වැනි හැගීමක් සමස්ත සිංහල සමාජයේම ඇතිවෙමින් තිබෙන්නේ මේ කාරනාව නිසාය. මුලධර්මවාදය සහ මුස්ලිම් ආගමික අන්තවාදය යනු එක ලගින් යන වැඩ සටහන් දෙකක් බව සිංහල සමාජයේ පිලිගැනීම බව මෙහිදි අපේ අවධානයට ගැනීම වැදගත්ය. දැන් ප‍්‍රධාන ධාරවේ පක්ෂ සියල්ලම මුස්ලිම් ජන්ද ටික වෙනුවෙන් මුලධර්මවාදය රකින ගමන් අන්තවාදය බොරුවට ප‍්‍රතිකේෂප කරනවා වැනි හැගීමක් සිංහල සමාජයට දැනී තිබුනු බව ඒ අයගේ ප‍්‍රතිචාරයන් තුළින් පෙන්නුම් කරන්නට පටන් ගත්තේ ඒනිසාය. රිෂාඞ්ට පක්ෂව ජන්දය දි ගමට එන්නට එපා යැයි පෝසටර්  හැම නගරයකම එල්ලා තිබුනේ මේ කාරණය නිසා බව අපි තේරුම් ගත යුතුය. රතන හිමියන්ගේ ව්‍යාපෘතියට සිංහල සමාජයේ විශාල පිළිගැනීමක් ලැබුනේ ප‍්‍රධාන ධාරවේ දේශපාලන පක්ෂ පිළිබදව තිබු මෙම සැක මුසු පිළිගැනීමත් නිසාය.

තමා අයිති දේශපාලන පක්ෂය පැත්තකට විසිකර රට වෙනුවෙන් ඉදිරියට එන තත්වයකට සමාජය දෙළනය වීම අපි තේරුම් ගත යුත්තේ මෙවැනි පසුබිමක් සමගය. එජාපය කියන්නේ මේ රටේ සිංහල බෞද්ධ අන්‍යනතාවය හෑල්ලූවට ලක්කරන පක්ෂයක් බව සිංහල සමාජයේ බහුතරය 1994 සිටම පිලිගෙන තිබු තත්වයක් බව පැහැදිලි කාරණයක්ය. මංගල සමරවීර මහතාගේ ප‍්‍රකාශය යනු ඒ පක්ෂයේ බොහෝ අයගේ අභ්‍යන්තර කල්පනා එළියට ඒමක් ලෙසින් පිළිගැනීමේ වැරුද්දක් නැත. සමරවීර මහතාගේ ප‍්‍රකාශයට එජාපයේ ප‍්‍රධානීන්ගෙන් කිසිම විරෝධයක් මතු නොවුනේ ද ඒ හේතුව නිසාය. එහෙත් එජාපය නොවන අනෙක් දේශපාලන ව්‍යාපාරයන් මේ කාරණයේදි මැද සිටින්නේ නැතිව මුලධර්මවාදයටත් (fundamentalism)  අන්තවාදයටත්  (Extremism)  යන දෙකමට විරුද්ධව නැගී සිටිය යුතු බව සිංහල සාමජයේ පිළිගැනීම බව මේ සියල්ලෙන් තේරුම් ගත යුතු ප‍්‍රධාන පාඩම යැයි කීම නිවැරිදිය. 

පසුගිය දිනක අරලිය ගහ මන්දිරයේ පැවති මුස්ලිම් දේශපාලනඥයින්ගේ පුවත්පත් සාකච්ජාව මගින් පෙන්නුම් කරන්නේ මුස්ලිම් මුලධර්මවාදය විසින් අන්තවාදය රුකගැනීමේ ක‍්‍රියාදමයට මැදිහත්වන ආකාරයේ බරපතලකමය. උදහරණයක් ලෙසින් කබීර් හසීම් කියන්නේ එජාපයේ ජාකිත මට්ටමේ සිටින සභාපතිවරයාය. ඔහුට ජන්දය  දුන් එක්සත් ජාකික පක්ෂයේ කෑගල්ලේ බහුතරය සිංහල එක්සත් ජාතික පාක්ෂිකයෝ යැයි සිතීමේ වැරුද්දක්ද නැත” එහෙත් කබීර් මේ සිද්ධියේදි පෙන්නුම් කරන්නේ තමාට කවුරු ජන්දය ලබා  දුන්නත් තමන් නියෝජනය කරන්නේ එජාපය නොව මුස්ලිම්බව (Islam-ness) හෝ මුස්ලිම්වාදය (Islamism) වැනි දෙයක් කියාය. එජාපයේ කෑගල්ලේ බහුතරය මුස්ලිම් නොවුනාට හෝ ඔහුට දිස්ත‍්‍රික්කයේ දේශපාලන නායකත්වය ජාතියක් හෝ ආගමක් නොබලා ලබා  දුන්නාට ඔහු සිතන්නේ තමා ඉන්නේ වෙනත් කොටසක් නියෝජනය කරන්නට බවය” සිංහල සමාජයේ තේරුම් ගනිමින් සිටින්නේ මේ මුලධර්මවාදයේ දේශපාලනය වැරදියි කියාය. ඒ දේශපාලනයට යටත් වෙන්නේ නැති සිංහල දේශපාලනයක් අවශ්‍ය යැයි සිතන තරමට සිංහල සමාජය ඈතට යමින් තිබෙන්නේ මේ කාරණය නිසාය. රතන හිමියන්ගේ ව්‍යාපෘතියට සිංහල සමාජයේ අනුමැතියක් එන්නේ මේ කාරණය මත පදනම් වෙමින් බව මගේ තේරුම් ගැනීමය.

මෙහිදි අපි තේරුම් ගත යුතු කාරණය වන්නේ මේ ප‍්‍රහ්නයට පිළිතුර සෙවීමේ ක‍්‍රියාදමයේදි මුස්ලිම් සමාජය මුලධර්මවාදය වෙතින් ගලවා ගැනීමත් සිංහල සමාජය මුලධර්මවාදයක් වෙතට ගමන් කිරීම වැලැක්වීමත් යන සටන්පාඨ දෙකම  අතට ගත් දේශපාලනයක් බවට විපක්ෂයේ දේශපාලනය පත් කිරීමෙන් තොරව මේ වටයේ මේ ප‍්‍රශ්නයට වැදගත් පිළිතුරක් ලබා දිමේ හැකියාවක් නැති බව මගේ අදහසය. ඉදිරි ජනාධිපතවරණයේ අපි ඉදිරියේ තිබෙව ප‍්‍රධානතම අන්‍ියෝගය වන්නේ එයය.  

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ 
දර්ශන අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්

No comments:

Post a Comment