Saturday, April 28, 2018

විප්ලවයද ප‍්‍රතිසංස්කරණයද


පසුගිය කාලයේ මවිසින් රාවයට ලියු තීරු ලිපියම යලිත් වරක්  ජනරංජන සංස්කරණය කරන අලූත් පුවත් පතට ලියන්නැයි යෝජනාව ආවේ ටික දවසකට පෙරදිය.  රාවය  පුවත් පතේ සිටි කණ්ඩායම් අතර  අභ්‍යන්තර ගැටුම් හේතුවෙන්   හා තවත් අපි නොදන්නා කාරණා හේතුවෙන් ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමගම ඒ පුවත්පතට මා ඇතුලූ කීපදෙනෙකු ලියූ තීරු ලිපි ඇතුලත් පිටුව  නවත්වන්නට සිදුවූ  බැව් සමහරුන් දන්නා කාරණයක්ය. කොහොමටත් රාවය පාඨකයින්ගේ බහුතරයට ඔවුන්ගේ දේශපාලන සිතීමේ අනෙක් පැත්තේ සිටින මා වැනි අයගේ ලිපි කියවීමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තන්ද නොමැති බවද සත්‍යයක් වුවත් මා ඒ ලිපිය මගින් බලාපොරොත්තු වූයේ සමාජ සංවාදයේ අපේ පසමිතුරන්ගේ පිටියට ගොස් කරන සංවාදයක් කිරීමය. වෙන වෙනම කරන දේශපාලන කෑකෝ ගැසීම් එකිනෙකා අභිමුඛව සිදු කිීමේ වැදගත්කමක් තිබෙන නිසාය.  ඒත් රාවයේ බලදේශපාලනය විසින් එකිනෙකා අතර ගැටුමක් හද ගත් නිසා ඒ වැඬේ එතැන දිගටම කරන්නට නොහැකි විය.


ජනරංජනගේ මුළිකත්වයෙන් අලූතින් පටන් ගන්නා ‘අනිද්ද’  පුවත් පතට ඒ ලිපිය නැවතත් ලිවීමට තීරණය  කෙරුවේ රාවය පුවත්පතේ ඒ  තීරු ලිපිය දිගටම ලියන්නට නොහැකි වූ නිසාය. රාවයේ වගේම මෙතැනදිත් මගේ කොන්දේසිය වන්නේ මේ පුවත් අයිතිකරුවන් ඒකපාක්ෂිකව මේ තීරු ලිපිය නවත්වන්නට තීරණය කළහොත් අවසාන සටහනක් පල කරන්නට මට ඉඩක් දිය යුතු බවය.

ඒ හැදින්වීමත් සමගින් මේ සටහනේ මට මතු කරන්නට අවශ්‍ය වන මුළික කාරණය වන්නේ පසුගිය ෂතියේ බදද දවසේ දෙරන රූපවාහිනයේ අලූත් පාරලිමේන්තුවට සහභාගී වූ අවස්ථාවේ ඇති වූ සාකච්ජාවක්ය. ඒ සාකච්ජාවේ මාතෘකාව වූයේ මේ ‘රටේ අද තියෙන අස්ථාවරත්වය නැති කරන්නේ’  කෙසේද කියාය. මේ පිළිබදව අපි එකිනෙකා වෙන වෙනම වූ අදහස් දැක්වූ නමුත්  ඒ සංවාදයේ දි සුමනසිරි ලියනගේ නිර්මාල් රංජත් දේවසිරි සහ ඩියුඩර් වීරසිංහ යන විදවතුන් තුන්දෙනා යම් යම් වෙනස්කම් සහිත ඉදරිපත් කළ සමාන අදහසක් වූයේ ‘මේ රටේ ආර්ථිතයේ තිබෙන ව්‍යුහාත්මක වූ ගැටලූකාරිත්වයන් විසදන්නේ නැතිව අද තිබෙන අස්ථාවරත්වය විසදිය නොහැකි බවයි’. ඔවුන් ස්වකීය ඉදිරීපත් කිරීම් ඉල්ලක්ක කළේ ආණ්ඩු මාරුව වැනි පැලැස්තර විසදුම්වලින් තේරුමක් නැති බවත් විප්ලවීය ආකාරයෙන් එන ව්‍යුහාත්මක වෙනසක් රටට අවශ්‍ය බවත්ය. මේ අදහස කොතරම් තදින් මේ අය විසින් කීවේද යත් එක් විට සුමනසිරි කීවේ වරාය නගරයෙන් ආර්ථික වාසියක් නැති බවත් ඒ ගොඩ කළ අක්කර 600 ගෝල්ෆේස් ඉඩමේ විශාල කැලෑවක් වැවිය යුතු බවයි. අනෙක් අතට නිර්මාල් එක් විටෙක යෝජනා කළේ මේ රටේ පරිභෝජනයට අනවශ්‍ය තරම් දේවල් එකතුවීම ගැටලූවක් බවත් උදහරණයක් ලෙසින් මෙච්චර ප‍්‍රමාණයක් ‘ටූත්ෆේස්ට්’ (දන්තාලේප) අපි  ඕනද කියාය. අනෙක් අතට ඩියුඩර්ගේ අදහස් දැක්වීම මේ කාරණයේම ලෝක පරිමාණයේ තත්වයන් ගනනාවක් පෙන්නුම් කරන්නක් විය.

දැන් මා මේ කාරණයේ දි නියෝජනය කළේ යම් ආකාරයකට වෙළදපොළ ක‍්‍රමය පිළිගන්නා හා එය රාජ්‍යය මගින් කළමකානරණය හා රෙගුලාසිකරණය කරගෙන යන දේශපාලන ක‍්‍රමයක් මගින් මේ අස්ථාවරත්වය නිමා කළ හැකි බවයි. වඩාත් සරළව කීවෝතින් මා අදහස් කළේ එජාපයේ ‘වෙළදපොළ ඌනතිවාදයෙන්’ ගැලවී සමාජ සුභසාධනය ශක්තිමත්් කළ වෙනත් ආණ්ඩුවක් මගින් මේ අස්ථාවරත්වය සමහන් කළ හැකි බවයි.

නමුත් මේ සාකච්ජාව හරහා සුමනසිරි ලියනගේ හා ටියුඩර් වීරසිංහ මහාචාර්යවරුන් දිගින් දිගටම පෙනී සිටි කාරණය වන මේ මොහොතේ අපි ඉදිරියේ තිබෙන අස්ථාවරත්වය විසදිම සදහා විප්ලවීය හා ව්‍යුහාත්මක වෙනසක් සිදු කළ යුතු බවත් එවැනි වෙනසක් සිදු කළ හැකි බවත්ය. අනෙක් අතට මේ අදහස සාම්ප‍්‍රධායික වාමාංෂයේ හා නිළ ජවිපෙ වැනි පක්ෂ ඒ ආකාරයෙන්ම පිළි ගන්නේ නැති වුනත් රටේ සමහර තරුණ දේශපාලන ව්‍යාපාරවල අය ඉහළින්ම පිලිගන්නා නිසා මේ සම්බන්ධව යම් අදහසක්  දිර්ඝ වශයෙන් ලිවීම සුදුසු බව මගේ හැගීමයි.

වෙළදපොළ ධනවාදයේ ආදිනව පසුගිය වසර දෙසීය පුරාවටම විශාල වශයෙන් ලෝක පරිමානවම සාක්ච්ජා කර තිබෙන නමුත් ඒ ආදිනව නිසා  වෙළදපොළ ධනවාදය පරාජයට පත් කරන්නේ කුමන ආකාරයෙන්ද හා ඒ වෙනුවට ගොඩ නගන්නේ මොන ආකාරයේ දේශපාලන ආර්ථික වැඩ සටහනක්ද යන කාරණය හුදු වාමාංෂිකවාදයෙන් ඔබ්බට ගොස් කරන සාකච්චජාවක් මේ මේ රටේ මෑත භාගයේ ගොඩ නැගුනේ ඉතාමත් අල්ප වශයෙන් මගේ තේරුම් ගැනීමය. මගේ මේ තීරු ලිපියේ ඊලග සති කීපයේ මේ පිළිබදව මගේ අදහස් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වෙමි.

ආචාර්ය චරිත හේරත්  

No comments:

Post a Comment