පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා මේ ආණ්ඩුවේ ඇතිවූ ‘පැල්ම’ හෙවත් ‘අර්බුදය’ තවමත් සමහන් වී නැතිවා ගානය. එපමණක් නොව එදිනෙදා සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඒ අර්බුදය දිනෙන් දිනම තව තවත් වර්ධනය වන බවය. අනෙක් අතට ආණ්ඩුවේ මේ අර්බුදය හේතුවෙන් රටේ පාලනයේ ඇතිවී තිබෙන කඩා වැටීම සමහන් කරගන්නට ඒ අය යෙදූ කිසිදු උප්පරවැට්ටියක් වත් හරියට වැඩ කළේ නැති බව කාටත් හොඳින් පැහැදිලිය.

එජාපයට යම්තමින් වත් පණක් ලැබුණේ ඒකාබද්ධයේ පැත්තෙන් යැවුණ ‘වැරැදි පන්දුවක්’ වූ විශ්වාසභංගයෙන් ඒ අය ලැබු ජයග්‍රහණය නිසා බව සැබෑය. එහෙත් ඒ ජයග්‍රහණයවත් ‘මාකට්’ කරගන්නට ඉඩක් නොදෙන තරමට මහින්ද පැත්තේ මාධ්‍ය හැසිරවීම් ශක්තිමත් කරන්නට හැකිවීම ගැන මහින්ද බලවේගයේ හැමෝම සතුටට පත්විය යුතුය. ඒ සියල්ලත් සමගින් දැන් මහින්ද යළිත් දකිමින් සිටින්නේ විශ්වාසභංගය ගේන්න පෙර පටන්ම පැවති ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයේම දිගුවක් යැයි කීමේ වැරැද්දක් නැත. රටක රාජ්‍ය පාලනය වසර කීපයක් තුළ මෙච්චර අවුලක් බවට පත් කරන්නේ කෙසේදැයි මුළු ලෝකයටම ටියුෂන් දිය හැකි ගානට ආණ්ඩුවේ කඩා වැටීම හැම පැත්තෙන්ම පෙන්නුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ආණ්ඩුව පැමිණියාට පසුව කඩා වැටෙන්නේ නැතිව ඉහළටම යන්නේ ඩොලරයට සාපේක්ෂකව ඇති රුපියලේ අගය පමණක්ය. එය දිනපතාම ඉහළ යන බව අප හැමෝම දන්නා කාරණයකි. එමගින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබෙන බවත් ඒ වගේම සැබෑවක්ය.මේ සතියේ සටහනින් ලියන්නට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුවේ ඇති මේ කඩා වැටීම ගැන හෝ මේ අයගේ ආර්ථික කෙරුවාවේ ඇති භයානකත්වය ගැන නොවේ. මේ ලිපියෙන් විශේෂයෙන්ම සාකච්ජා කරන්නේ ආණ්ඩුවට විරුද්ධ පැත්තේ දේශපාලනය කරන අය අතර මේ දිනවල ඇති වී තිබෙන සමහර අපහැදිලිතා හා ගැටලුකාරීත්ව කීපයක් පිළිබඳවය. මහින්ද බලවේගය අතර ගොඩනැඟෙන විරසක කීපයකට හේතු වන කරුණු කීපයක් පිළිබඳව යම් විමසීමක් කරන්නටය. ඒ හරහා එම අපැහැදිලිතාවලට යම් ආකාරයක පිළිතුරක් ලබා ගන්නට ඇති හැකියාව සොයා බලන්නටය.

මෙහිදී මුලින්ම කිව යුතු කාරණය වන්නේ ආණ්ඩුවේ සමහරුන් විසින් මේ මොහොතේ අටවන උගුල්වල ඒකාබද්ධය නොවැටිය යුතු බවත් ඒ පැත්තෙන් එන ‘හැම බෝලයකටම බැට් එක අල්ලන අලස දේශපාලන’ ක්‍රීඩාවලින් ඒකාබද්ධය ඉවත් විය යුතු බවත්ය. විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව මේ රටේ විශාල වශයෙන් ගොඩ නැඟී ඇති ප්‍රධානතම දේශපාලන ව්‍යාපාරය බවට ශ්‍රී ලංකා පොදුජන පක්ෂය හෙවත් පොහොට්ටු බලවේගය පත්වී ඇති තත්ත්වයක් තුළ විරුද්ධවාදීන්ගේ බොරුවළවල් වලින් බේරී සිටින්නට විශේෂයෙන්ම උත්සාහ විය යුතුය. මේ වන විට ඒ පක්ෂයේ ගාස්තු ගෙවා සාමාජිකවී ඇති සංඛ්‍යාව ලක්ෂ 20 ඉක්මවා තිබෙන අතර ශාඛා සමිති 12000 පිහිටුවා හමාර කර ඇත. එයට අමතරව රටේ පළාත් පාලන ආයතන තුන්සිය ගණනකින් 220 බලය ඒ පක්ෂයට ලැබී ඇතිවා පමණක් නොව මුළු කාලයම පක්ෂයේ දේශපාලනය කරන 3500 ෆුල් ටයිමර්ලාගේ සංචිතයක් ද ඒ පක්ෂයට ලැබී ඇත. අනෙක් කාරණය වන්නේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ මේ වගේ ශක්තියක් පරණ ශ්‍රීලනිපයටවත් කවමදාවත් ලැබී තිබුණේ නොතිබූ බවය. පක්ෂය වටා ගොඩ නැඟී ඇති මේ බලය නිසාම එම දේශපාලන ව්‍යාපාරය සහ මහින්ද බලවේගයේ අනෙක් අය අතර විරසකයක් හදමින් ඒ අය එකිනෙකා කෙටවීමට සමහරුන් උත්සාහ දරන බව ඉතාමත් පැහැදිලිය. ඒකාබද්ධය මේ උගුලේ හසු නොවිය යුතුය. මේ කාරණය සිදුවීම් කීපයක් හරහා වඩාත් පැහැදිලිව තේරුම් කර ගත හැකිය.

පළමුවෙන් ම ජවිපෙ ඉදිරිපත් කිරීමට සූදානම් වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීම සම්බන්ධ කාරණය මත ඒකාබද්ධ විපක්ෂය සහ පොදුජන පක්ෂය අතර ගැටුමක් හදන්නට සමහරුන් උත්සාහ කරන බව පසුගිය සති කීපයේ මාධ්‍ය තුළ වාර්තා වූ දේවල්වලින් පෙන්නුම් කළ බව බොහෝ අයට මතක ඇත. ජාතික ව්‍යාපාරයේ සමහරුන් කියන්නේ 13 වැනි සංශෝධනය සහ විධායක ජනාධිපතිධුරය අතර ඇති සම්බන්ධතාව නොසලකා හරිමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය ලබා දිය යුතු නැති බවය. මේ ප්‍රශ්නය සම්බන්ධව බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයක් විශාල ආන්දෝලනයක් බවට පත් වූයේ මේ කාරණය නිසාය.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒකාබද්ධයේ එක් පක්ෂයක නායකයකු විසින් තරමක බරපතළ ප්‍රකාශයක්ද කර තිබුණේ බන්දුලගේ මේ ප්‍රකාශයට පිළිතුරක් විධියටය. ඒකාබද්ධ විපක්ෂය යනුවෙන් හඳුන්වන්නේ පක්ෂයකට නොව පක්ෂ සමූහයකට නිසා ඒ ඒ පක්ෂවල අදහස් විභාග කොට එක තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව කවුරුත් පිළිගන්නා මතයය. අනෙක් අතට ඒකාබද්ධ විපක්ෂයේ වාසු, තිස්ස සහ කොමිනියුනිස්ට් පක්ෂය වැනි අය 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වුවන් වන අතර දිනේෂ්, විමල් වැනි අය එයට විරුද්ධ වූවෝ වෙති. එවැනි තත්ත්වයකදී ඒකාබද්ධ විපක්ෂයේ මතය විය යුත්තේ බන්දුලගේ තනි මතය හෝ විමල්ගේ තනි මතය නොවන බව කවුරුත් පිළිගත යුතු කාරණයක්ය. ඒත් ඒ මත දෙක මාධ්‍ය සංදර්ශන හරහා එකිනෙකට ගැටෙන විට පාක්ෂිකයන් අතර ඇති වෙන්නේ යම් අපැහැදිලිතාවක්ය. ජනාධිපතිධුරය අහෝසි කරන්නට යන ඕනෑම උත්සාහයකදී පළාත් සභා ක්‍රමයට ජනාධිපතිධුරයේ ඇති සම්බන්ධතාව ගැන යළි සිතිය යුතු බවට හැමෝටම එකඟ විය හැකි නිසා එවැනි මූලික පිහිටීමක සිට උපක්‍රම තේරීම ඒකාබද්ධය පැත්තෙන් ඉතාමත් වැදගත්ය. අහක යන ජවිපෙ බෝලයකට බැට් එක දමන්නට ගොස් අභ්‍යන්තර අවුල් හදා ගැනීමෙන් කිසිම සෙතක් ඒකාබද්ධයේ පාක්ෂිකයන්ගේ පැත්තෙන් සිදුවන්නේ නැති බව සිහියට ගැනීම ඒකාබද්ධයේ හැමෝගේම වගකීමකි. අනෙක් අතට මේ සිද්ධිය අල්ලාගෙන තමන්ට විරුද්ධ හැමෝටම ‘රෝ කාරයෝ’ යැයි හංවඩු ගැසීම වැනි දේවල්වලට යොමුවීමෙන් සිදු වන්නේ අවුලක් හැදීම පමණක් නොව නායකයන් වශයෙන් තම තමන්ගේ දේශපාලන පරිණතභාවය ගැන අනෙක් අය තුළ සැකයක් ගොඩ නැඟීමක් පමණක් බව විද්වත් අදහසය. ජවිපෙ විසින් 20 වැනි සංශෝධනය ගේන්නේ තව කාගේ හෝ වුවමනාවකට බව ඉතාමත් පැහැදිලි තත්ත්වයක් තුළ ඒ වුවමනාවට ප්‍රතිචාර දක්වන්නට ගොස් තවත් පිරිසක් අවුල් හදා ගැනීමට අවශ්‍යතාවක් නැත.

අනෙක් අතට අද රට මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ ආර්ථිකය හා ඒකීයභාවය පිළිබඳව එකක් නම් ඒ ප්‍රශ්නය විසඳිය හැක්කේ ජනාධිපති ඡන්දයකින් නොවන බවද අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මහින්ද බලවේගය ලෙසින් උපක්‍රම තේරිය යුත්තේ තම පැත්තේ අවශ්‍යතා හා හැකියා යන පැති දෙකම රටේ අවශ්‍යතාව සමඟ එකට ගළපමින් මිස විරුද්ධවාදියාගේ අවශ්‍යතා හා හැකියා උඩට ඉස්සෙන පරිද්දෙන් නොවන බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය. ඒකාබද්ධයේ බලවේගයේ තියෙන ශක්තිය හා හැකියා පැත්තෙන් බැලුවත් රටේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම පැත්තෙන් බැලුවත් අංක එකේ අවශ්‍යතාව වන්නේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් හදා ගැනීම බව කාගේත් පිළිගැනීමයි.

දෙවැනිව ඒකාබද්ධ කණ්ඩායම් අතර ආරවුලක් බවට පත්වෙමින් තියෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයා කවරෙක්ද යන කාරණයය. සමහරුන් කියන්නේ සිංහල සමාජයේ බහුතරය කැමැති නායකයා වන්නේ ගෝඨාභය බවයි. තවත් සමහරුන් කියන්නේ ජනාධිපතිවරණයකදී සිංහල සමාජයේ බහුතරයේ ජන්දය මහින්ද ජනාධිපතිතුමන් කියන ඕනෑම අයකුට ලබා ගත හැකි බවත් අනෙක් ජනවර්ගවල සාමාන්‍ය ප්‍රතිශතයක්වත් ලබන්නට නොහැකි වුවහොත් ජනාධිපතිවරණය යළිත් වටයකින් සුළු ජනතාවගේ ඡන්දයෙන් තමන්ට විරුද්ධ අපේක්ෂකයකුට තීරණය විය හැකි බවත්ය. ඒකාබද්ධය සිටිය යුත්තේ මේ සාකච්ජාවම මේ මොහොතේ සේවය කරන්නේ ජනාධිපතිවරණයක් දිනා ගැනීමේ දිසාවට නොවන බවයි. ජනාධිපතිවරණයට ඒකාබද්ධයට අපේක්ෂකයකු සිටිය යුතු බව සැබෑවක් වුවත් ඒ කාරණය ප්‍රශ්නයක් ලෙසින් මේ මොහොතේ මතු කිරීමෙන් සිදුවන්නේ ‘තුරුම්පු’ අනෙකාට පෙන්නීමක් සහ තමන්ට ඉන්න අපේක්ෂකයන් අනවශ්‍ය අනතුරකට විවෘත කිරීමක් යැයි සිතීමේ වැරැද්දක් නැත. ඒ නිසා ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් බලවේගයේ අය අතර ‘කා කොටා ගැනීම්’ නවත්වන්නට කාලය පැමිණ ඇති බව මගේ යෝජනාවය.

ඊළඟ වැදගත් කාරණය වන්නේ පසුගිය විශ්වාසභංග යෝජනාවත් සමග මහින්ද බලවේගයට එහා පැත්තෙන් ‘රිංගවන’ අය පිළිබඳව පොදුජන පක්ෂයේ ග්‍රාමීය නායකයන් හා පාක්ෂිකයන් අතර ගොඩ නැඟී ඇති විරෝධය කළමනාකරණය කරගැනීමයි. මේ දක්වාම ආණ්ඩුවේ සිටි සහ තවමත් ශ්‍රීලනිපය ශක්තිමත් කරන්නට පොහොට්ටුවේ ඡන්දදායකයන් ගේ සහාය පතන මේ කණ්ඩායම කරන්නේ මහින්ද බලවේගයට ශක්තිය වැඩිම දිස්ත්‍රික්ක (ගාල්ල මාතර රත්නපුරය කුරුණෑගල ආදී) වලින් ඒ බලවේගයට ඇති ජන ආකර්ෂණය විසුරුවා හැරීම විය හැකි බව තේරුම් ගැනීම මෙහිදී අවශ්‍යම කාරණයකි. එසේ වුවත් දේශපාලනයේදී තේරුම් ගන්නා සියල්ල ඒ ආකාරයෙන්ම සමාජගත කිරීම සුදුසු නොවන තත්ත්වයක් තුළ මේ අර්බුදය සමහන් කළ හැක්කේ ඒකාබද්ධ විපක්ෂයේ මේ විශ්වාසභංගය දක්වාම සිටි මහින්ද බලවේගයේ ස්ථාවර කණ්ඩායම් එක ගොඩකටත් තමන්ගේ පෞද්ගලික දේශපාලන වුවමනා වෙනුවෙන් නායකයන් හා ජනතාව විසින් ‘පාවිච්චි’ කරමින් දේශපාලන සංචාරයේ යන කණ්ඩායම් :ඡදකසඑසජ්ක එදමරසිඑ ටරදමච* තවත් ගොඩකටත් බෙදා කටයුතු කිරීමය. ඒ බෙදීම කොහොමටත් ජනතාව තුළ මේ වන විටත් ගොඩ නැගී අවසන් නිසා නායකයන් ඒ තත්ත්වය හිතේ තියාගෙන කටයුතු කිරීම මහින්ද බලවේගයේ අභ්‍යන්තර අර්බුද ඇති නොවීමට හේතුවක් වනු ඇත.