Friday, May 13, 2016

ගෙවිඳුගේ දේශනය සහ අපේ දේශපාලනය

ගෙවිඳුගේ දේශනය සහ අපේ දේශපාලනය

මා මිත්‍ර ගෙවිඳු (කුමාරගුංග) පසුගියදා පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ පැවැත්වූ ආරාධිත දේශනය අසන්නට ශාස්ත්‍ර පීඨයේ සම්මන්ත්‍රණ ශාලාවට ගියේ මේ සතියේ මගේ නූතන කුමාරයා සටහනට පාදක කර ගත යුතු වැදගත් කාරණයක් ගැන සිතමින් සිටින අතරතුර දිය. රට හමුවේ ඇති අභියෝග යන මාතෘකවෙන් යුත් ගෙවිඳුගේ කතාව විය යුතු ආකාරයෙන්ම විශිෂ්ට ගණයේ එකක් විය. පසුගිය යහපාලන රජය පත් කරන්නට වෙහෙස වූ අයගේ රජ දහනක් බඳු පේරාදෙණියේ අපේ විශ්වවිද්‍යාලයේ දීම එම රජයේ අය විසින් සිදු කරන වැඩ නිසා ගොඩ නැඟී ඇති නෛතික හා මුල්‍යමය අර්බුදයන් ගැන කථාකරන්නට ගෙවිඳුව ගෙන්වූ මහාචාර්ය ලමාවංශ හා සුමේධ වීරවර්ධන යන ආචාරවරුන්ට අපේ ස්තුතිය මෙහිදි හිමි විය යුතුය. මා ලියන්නට සිතාගෙන සිටි කාරණය ඊළඟ සතියට කල් තබා මේ කතාව ගැනත් සහ ගෙවිඳුත් ඇතුළත් 90 දශකයේ ඇරැඹි අපේ දේශපාලනය ගැනත් සටහනක් තැබීම සුදුසු යැයි මට සිතුණේ ඒ කතාව ශ්‍රවණය කරන අතරතුරදිය.
තමාගේ දේශනය තුළ ගෙවිඳු ප්‍රධාන තර්ක තුනක් මතු කළේය. ඔහුගේ පළමු කාරණය වූයේ කැබිනට් මණ්ඩලය 30 වඩා වැඩි කිරීමට නම් (19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව) පාර්ලිමේන්තුවේ පළමු හා දෙවැනි විශාල පක්ෂ අතර එකඟතාවක් ඇති විය යුතු වුවත් එසේ තිබියදි පාර්ලිමේන්තුව පක්ෂයක් ලෙසින් නියෝජනය නොකරන ශ්‍රීලනිපය (ඒ අය පාර්ලිමේන්තුවේ ඉන්නේ එජනිස යටතේ වෙනත් ලේකම්වරයෙකු යටතේ බැවින්) හා එජාපය අතර ගිවිසුමකින් එම ව්‍යවස්ථාමය නෛතික කාරණය සම්පූර්ණ නොවන බවය. ඔහුට අනුව මෙය යහපාලන මූලධර්ම එහෙම පිටින්ම කඩා දැමීමකි. මේ තත්ත්වය පුර්වාදර්ශය කරගෙන ඉදිරියට පත් වන ඕනෑම රජයක ඇමැති මණ්ඩලයක් 30කට වඩා වැඩි කරගනු ලැබිය හැකි බව ගෙවිඳුගේ පූර්වකථනය විය. ඔහු මතු කළ දෙවැනි කාරණය වන්නේ පාර්ලිමේන්තුව තුළ ඇති ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතාවන් කීපයක් ගැනය. පාර්ලිමේන්තුවේ තනතුර බෙදී ඇත්තේ රටේ ජනතාවගේ ඡන්දය නියෝජනය වන පරිදි නොව එයට හාත්පසින්ම එරෙහිව යමින් බවය. ෙමෙත්‍රී ජනාධිපතිතුමන්ගේ මැතිවරණ සංවිධාන ව්‍යාපෘතිය (එජාප ටීඑන්ඒ ජවිපෙ මුකො හෙළ උරුමය) යන කණ්ඩායමට තනතුරු දෙන්නට (අගමැති කථානායක සභානායක විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක) මිස රටේ ජනතාවගේ සැබෑ නියෝජනයට ගරු කිරිමක් මෙහිදි සිදුවී නොමැති බව ගෙවිඳුගේ තර්කය විය. 
ඒ අනුව 42 ලක්ෂයක් ජනතාව මහ මැතිවරණයේ දි පෙනී සිටි මතයට කිසිදු පිළිගැනීමක් ව්‍යවස්ථාදයකයේ ලැබී නැත. මෙහි ඇති බරපතළම කාරණය වන්නේ 19 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවේ මේ තනතුරවල විශේෂත්වය වැඩිවීමත් සමඟ ඇති වී තිබෙන තත්ත්වයක් තුළ ඒවායේ බලය එක කණ්ඩායමක් වෙත පමණක් ලැබීමෙන් ප්‍රජතන්ත්‍රවාදය පැත්තෙන් ඇතිවී තිබෙන විකෘතියය.
රටේ ප්‍රධාන නිලතලවලට පුද්ගලයන් තෝරන ව්‍යවස්ථාදායක සභාව උදහරණයක් ලෙසින් ගතහොත් තත්ත්වය හොඳින් පෙනී යයි. එහි නිලබලයෙන්ම අගමැති කථානායක සහ විපක්ෂනායක නියෝජනය කරයි. ඒ තුන්දෙනාම යහපාලන කණ්ඩායමේ අයය. ඊට අමතරව ඉන්නේ ජනාධිපතිගේ නියෝජතයාය. ඔහු චම්පික ඇමැතිතුමාය. ඔහුත් මේ කණ්ඩායමේ නායකයෙකි.
ඊළඟට ඉන්නේ කුඩා පක්ෂ නියෝජනය කරමින් විජිත හේරත්ය. ඔහුත් යහපාලන කණ්ඩායමේය. මේ නිල නියෝජිතයන් හැරුණු විට ඉන්නේ තවත් මන්ත්‍රීවරු දෙදෙනෙකි. ඒ අගමැතිගේ හා විපක්ෂ නායකගේ එකඟතාවෙන් පත්වෙන දෙදෙනාය. ඒ විජේදාස රාජපක්ෂත් ජෝන් සෙනෙවිරත්නත්ය. මේ දෙදෙනාම මේ ආණ්ඩුවේ ඇමැතිවරුය. ගෙවිඳුගේ විග්‍රහයට අනුව මේ ආකාරයෙන් අමුතු අර්ථකථනයක් 19 වැනි සංශෝධනයට ලැබී තිබීම පාර්ලිමේන්තුව හාස්‍යයට ලක් වීමක් බවයි. එදා තනියෙන් ජනාධිපතිට තිබු බලය අද ජනාධිපතිට නැත. ඒත් ඒ බලය අද ජනතාවගේ නියෝජනයටද නැත. එය දැන් ඇත්තේ බලයට පත්වු රජයේ දේශපාලන කණ්ඩායමටය. එය 19 වැනි සංශෝධනයේ පසු පස තිබූ දර්ශනය වන රටේ ආණ්ඩු පක්ෂයටත් ඊළඟට ආණ්ඩුව ගත හැකි ප්‍රධාන විපක්ෂය (සම්බන්දන්ගේ ලක්ෂ 5 නොව ශ්‍රීලනීපයේ ලක්ෂ 42) අතර එකඟතාවකින් විධායක බලයේ සමහර පත් කිරීම් කරන බවට ඇති අදහස මහ දවල් උල්ලංඝනය කිරීමක් බව මෙහිදි මතුවූ තර්කයයි. ගෙවිඳුගේ මේ තර්කය බරපතළ ආකාරයෙන් තේරුම් ගත යුතු බව මගේත් අදහසය
ඔහු මතු කළ තුන්වැනි කාරණය වූයේ මේ ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණයේ ඇති බංකෙ­ාලොත්භාවය සහ විසමාචාර ක්‍රියාවන් ගැනය. මේ කාරණය ගැන ගෙවිඳුගේ විග්‍රහය ඉතාම සංගත හා පැහැදිලි එකක් විය. ආර්ථික කාරණය ගැන වැඩි විස්තර ලියන්නට මේ තීරු ලිපිය ප්‍රමාණවත් නොවන නිසා ඒ හරිය ලියන්නට අහස් නොකරමි. 
මේ දේශනය අසාගෙන සිටින විට මට මතක් වූ දෙවැනි කාරණය වූයේ ගෙවිදුත් ඇතුළත් අපේ කණ්ඩායම් 1990 සිට විශ්වවිද්‍යාලයන් හරහා මතු කරමින් සිටි දේශපාලනය ගැනය. මහාචාර්ය නලීන් සිල්වා මහතාගේ මැදිහත්වීම හා මුලිකත්වයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඇරඹි ‘ගවේෂකයෝ’ සංවිධානයත් පසුව ගොඩ නැඟුණු චින්තන පර්ෂදයත් හරහා 90 දශකයේ විශ්වවිද්‍යාවල සිටි අපි එදා සිටි බරපතළ එජාප රජයටත් අනෙක් අතින් නැවත මතුවෙමින් තිබූ ජවිපෙ දේශපාලනයටත් එරෙහිව වැඩ කරමින් සිටියෙමු. 
මොරටුවේ චම්පිකත් (චම්පික රණවක) පේරාදෙණියේ රතන හිමිත් (අතුරලියේ රතන හිමි) කොළඹ ගෙවිඳුත් අපේ කණ්ඩායම්වල ඉහළින් සිටි ජ්‍යෙෂ්ඨ අයය. හරියටම මීට වසර 25 පමණ ඉහත 1991 හෝ 92 දවසක පේරාදෙණියේ කලාගාරයේ අපි ගෙවිඳුගේ දේශනයක් සංවිධානය කළෙමු. මේ දේශනයට කඩා වැදුණු එවකට ශිෂ්‍ය සභාව අල්ලාගැනීමට උත්සාහ කළ ජවිපෙට හිතවත් කණ්ඩායම එදා අපේ දේශනය කඩාකප්පල් ක‍ෙළා්ය. මේ සිද්ධිය ගැන සහ අපේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන විශ්ලේෂණය කරමින් මාක්ස් ශාලාවේ අමරකෝන්ගේ නමට චම්පික එවූ ලිපිය (ඒ කාලයේ මොබයිල් තිබුණේ නැත) සතුරන් අතට පත් වීමෙන් පසු ඇරඹි අපේ සහ එකල ජවිපෙ හිතවාදින්ගේ දේශපාලන විරසකය නිමා වූයේ පසුව සිදුවුණු බරපතළ සිදුවීම් ගණනාවක්ම හරහාය. 
අපි ජනතා මිතුරෝ ව්‍යාපාරය (මෙයට ගෙවිඳුගේ සම්බන්ධයක් තිබුණේ නැත) හරහා මෙයට මැදිහත්වීමු. කොළඹ පරණවිතාන (කරුණාරත්න පරණවිතාන) ඇතුළු කණ්ඩායමත් මොරටුවේත් ප්‍රියන්ත සහ පේරාදෙණියේත් අපිත් විශ්වවිද්‍යාල පැත්තෙන් සිදුකළ මේ දේශපාලන මැදිහත්වීම් ගැන පසුව ලියන්නට අදහස් කරන්නෙමි.

1 comment:

  1. However I want tell no need sinhala buddist extremes to Sri lanka politicals. It no good to country and all people.

    ReplyDelete