Friday, May 13, 2016

අපිට වෙච්ච දේ

අපිට වෙච්ච දේ


අපිට වෙච්ච දේ යනුවෙන් මුළින්ම පොතක් ලීවේ පියදස සිරිසේන මහතාය. යටත් විජත පාළනයෙන් හෙම්බත්ව සිටි අපේ රටේ ජනතාවගේ සැබෑ ස්වභාවය ගැන පැහැදිළි කිරිම ඔහුගේ කෘතියේ මූලික අරමුණ විය. යම්කිසි අර්බූදයකින් ගොඩ ඒමට නම් තමන් වැටී සිටින වළේ තරම තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. තරමක් උපහාස්මක අයුරින් රටට වෙච්ච දේ අමුවෙන්ම එද පියදස සිරිසේන මහතා  කථා කළේ ඒනිසා විය යුතුය. මේ ලිපියෙන් මා අදහස් කරන්නේ රටේ ජතික ප‍්‍රශ්නය ගැන පැහැදිළි කිරීමට හෝ රටට වෙච්ච දේ සාකච්ජා කිරීමට  නොවේ. මේ ලිපියෙන් මගේ අදහස වන්නේ රටේ ප‍්‍රශ්නයට ඝෘජුවම සම්බන්ධතාවක් ඇති කාරණයක් වන ශ‍්‍රීලනීපයට පසුගිය ජනාධිපතිවරනයත් සමග වෙච්ච දේ පැහැදිලි කර ගැනීමටය. තවත් පැහැදිලිව කිවහොත් පසුගිය ජනාධිපතිවරණයෙන් පසු කාලයේ එම පක්ෂයට සිදුවෙමින් පවතින දේ කුමක්දැයි විභාග කර ගැනීමය. වර්තමාන දේශපාලන සන්දර්භයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වැටී තිබෙන වළේ තත්වය පැහැදිලි කර ගැනීමය. වලකට වැටීම මොළයට හොදයි යැයි පැරනි කියමනක්ද තිබේ. ඒ වළේ වැටීම නිසා මොළේ පෑදිය හැකි යැයි උපකල්පනය නිසාය. එහෙත් ඇත්තටම ශී‍්‍රලනීපයට වෙමින් තියෙන්නේ එකේ අනෙක් පැත්තය. එක වලකට නොව දිනපතා විවිධ වලවල්වල  වැටෙන තරමට මොළේ වැඩ නොකරන තත්වයකට පත්වී සිටීමය.  ශ‍්‍රීලනීපය වර්තමාන අවුලෙන් ගොඩ ගත හැක්කේ ඒ පක්ෂයට වෙච්ච දේ හරියට  පැහැදිළි කර ගැනීමෙන් මිස එය මග හැර යාමෙන් නොවේ. අපිට වෙච්ච දේ කථාකිරීම වැදගත් වන්නේ ඒ නිසාය.

මා කල්පනා කරන ආකාරයට පක්ෂය මේ අගාධයට වැටෙන්නට හේතු වූ මූළිකම කැරණා කීපයක්ම තිබේ. ශ‍්‍රීලනීපය මේ අවුලට වැටෙන්නට හේතු වූ අපට වෙච්ච පළවෙනිම දේ පක්ෂයේ දේශපාලනය ප‍්‍රජාතනත‍්‍රවාදයෙන් එළියට ගොස් නායකයාගේ සිතැගියාව බවට පත්වීම බව බොහෝ අය කියන කාරණයකි. මෙහි යම් සත්‍යයක් තිබේ. එහෙත් මෙහි ඇත්තේ තරමක සත්‍යයක් මිස එය එකම හේතුව ලෙසින් දක්වීමේ කිසිදු සත්‍යතාවක් ඇතැයි මා සිතන්නේ නැත. හිටපු නායකයා හෝ වර්තමාන නායකයාගේ කි‍්‍රයා කළාපය නිසා පක්ෂය අර්භුදයට වැටුනේ යැයිි 'සිල්ලරට ඔහේ’ කියා දැමීමේ එතරම් තේරුමක් නැත. අනෙක් අතට මහින්දට හෝ මෛතී‍්‍රට පමණක් ප‍්‍රශ්නය හේත්තු කර සියලූ කුණු බේරුවල බොක්කට න්‍යායෙන් වැඩ කිරීම කාරණයත් විදියටත් වැරදිය. තර්කයක් විදියටත් වැරදිය. ඒ වගේම දේශපාලන උපක‍්‍රමයක් විදියටත් වැරදිය. මා සිතන ආකාරයට මේ ගැටලූවේ මූළිකම  නිර්මාපකයා වන්නේ මේ නායකයින් දෙදනා හෝ එම පක්ෂයේ පාක්ෂිකයින් නොවේ. එහි මුලිකම වරදකරුවා ශ‍්‍රීලනීපයේ මැද පෙළේ සිටින මනත්ී‍්‍රවරුන් අයත් කන්ඩායමය. පසුගිය ජනාධිපතිවරණයේ සිට මෙපිටට ගත්තත් මේ මන්තී‍්‍ර කන්ඩායමේ අයගේ වැඩ ශෛලිය පෙන්නුම් කළේ තනිකර පෞද්ගලීක බල දේශපාලනයේ  තර්කයෙන් පක්ෂයත් නායකයෝත් පාක්ෂිකයෝත් පාවිච්චි කරන්නට යාමය. නායකයාත් පාක්ෂිකයාත් මන්ත‍්‍රීවරුන් විසින් තම තමන්ගේ බල දේශපාලනය වෙනුවෙන් කඬේ යැවීමය. ඇත්තටම  රටට පක්ෂයට හෝ පාක්ෂිකයාට ඉහලින් තමන්ගේ පටු බල ලෝභී දේශපාලනය තබා කටයුතු කිරීම හැරෙන්නට මේ කන්ඩායමේ බොහෝ අය කරන වෙනත් දේශපාලනයක්් අද දවසේ වත් නැත. මේ කේන්ද්‍රීය සාධකය ගැන වැඩි දුර කථා කිරීම ටිකක් පසුවට තබා අපට වෙච්ච දේට සම්බන්ධ මුලින් දැක්වූ පක්ෂයේ ප‍්‍රජතන්ත‍්‍රවාදය ගැන හා නායකයින්ගේ හැසිරිම ගැන පළමුවෙන්ම කථා කිරීම සු¥සුය.

වසර විස්සක් පමණ කාලයක් නායකයින් කීපදෙනෙකු යටතේ රටේ බලය හිමිකරගෙන  සිටීම හේතුවෙන් ශි‍්‍රලනීප පක්ෂයේ අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදය බරපතල අර්බුදයකට පත් වූ බව සැබෑය. සමහර කාලවල මේ තත්වය කොතරම් බරපතල වුවාද යත් පක්ෂය යනු නායකයන්ගේ ගෙදර තියෙන පෞද්ගලික දෙයක් බවට පත් වන තරමටම මේ තත්වය සංකීර්ණ වූ බවත් සැබෑය.  එහි මෑත කාලීන තර්කානුකූල අන්තය වූයේ පක්ෂයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන සහ සභාපති මහින්ද රාජපක්ෂ එකම රටේ එකම ජනාධිපතිවරණයට දෙපැත්තෙන් ඉල්ලන තරමටම එම තත්වය නරක්් වීමය. එකම පක්ෂයේ ප‍්‍රධානින් දෙදනා දෙපිළකට බෙදි ජනාධිපතිධුරයට තරග කරද්දි පාක්ෂිකයින් පත්වූයේ කවරදකවත් අත් නොදුටු තත්වයකටය. තරගය නිමා වූයේ පක්ෂයේ එවකට සිටි සභාපතිවරයා සහ පාක්ෂික අභිලාෂය පරාජයට පත් කරවමිනි. ජනතා ජන්දය පක්ෂයට එරෙහිව ගියේ විවිධ හේතු නිසා විය හැකිය. එය පක්ෂයේ ප‍්‍රතිපත්ති නිවැරිදි නොවීම හෝ ප‍්‍රතිපත්ති අලුත් නොවීම නිසා වූවා විය හැකිය. එසේත් නැතිනම් විපක්ෂයේ පැත්තෙන් ඉදිරිපත්වූ ලැම්බුගිනී පන්නයේ අසත්‍ය වූ අලංකාරිකයන්  පිළිගන්නා තත්වයට සමාජයේ මතවාදි ආධිපත්‍ය පක්ෂය සමබන්ධයෙන් පරිහානියට ලක් වී තිබීම නිසා විය හැකිය.  ඒ කුමන හේතුව මත වුව දේශපාලන පක්ෂයක් හා එම පක්ෂයේ අපේක්ෂකයා පරාජයට පත් විය හැකිය. එය ප‍්‍රජතන්ත‍්‍රවාදයේ හැටිය. එහෙත් එසේ මැතිවරණයක් පරාජයට පත් වූ විට පක්ෂයක් කළ යුතුව ඇත්තේ පරාජය නිවැරිදිව බාර ගනිමින් ඉදිරි ක‍්‍රීයාමාර්ග තේරීමය. ශී‍්‍රලනීපයට වෙච්ච දෙවැනි බරපතලම දේ සිදු වුනේ මෙතැනදිය.  පක්ෂයේ දෙවැනි පෙළ නායකයෝ පරාජයෙන් පසු දිනම දිව ගියේ පරාජයෙන් බිම වැටී සිටි පාක්ෂිකයා හමුවට නොව ජයග‍්‍රහනය කළ අපේක්ෂකයා වෙතය. මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා වුවත් එවැනි ක්ෂනික වෙනසක් බලාපොරෙත්තු නොවුවා විය හැකිය. මෙතැනදි නායකයින් දෙදනාගේ හෝ පාක්ෂිකයින්ගේ පැත්තට චෝදනාව විසි කිරිමේ කිසි¥ සාධාරන හේතුවක් නොමැත්තේ එනිසාය. ඒ මොහොතේ මන්ත‍්‍රීවරුන් ට පෙනුනේ තමන්ට අහිමි වන ඇමතිකම් සොයා වේගයෙ න් දිව යන මැරතන්  තරගයක් බදු ආකාරයේ දෙයක් මිස වෙනත් යමක් නොවේ. නායකයන්ගේ ප‍්‍රජාතනත‍්‍රවාදය පිළිබද ප‍්‍රශ්නය පක්ෂය පරාජයට හේතු වූවා විය හැකි වුවත් අද තිබෙන ප‍්‍රශ්නය වන දිනන්නට හෝ පරදින්නට පාක්ෂිකයාට පක්ෂයක් නොමැති වීමේ ප‍්‍රශ්නය යනු මේ දෙවන පෙළ නායකයින්ගේ වැරද්දක් නිසා හැදුනු ප‍්‍රශ්නයක් මිස වෙන යමක් නොවේ.

අපට වෙච්ච අනෙක් දේ වන්නේ මෙසේ ජනාධිපතිවරණ පරාජය හමුවේ ආණ්ඩුවත් පක්ෂයත් අහිමීවීමේ බරපතල තත්වයක සිටිමින් ශ‍්‍රීලනීප පාක්ෂිකයින් මහින්ද සමග දෙවැනි වතාවේ ගොඩ නැගු ජනබලවේගයත් යලිත් වතාවක් මේ මන්ත‍්‍රීවරුන්ගේ කරණ්ඩායම කොල්ලකෑමය. එයත් නායකයින්ගේ වරදින් හෝ පාක්ෂිකයිනගේ වරදින් සිදු වුන දෙයක් නොවේ. පාක්ෂිකයින් සිතුවේ එජාපයේ ආණ්ඩුවට එරෙහිව යන්නට පක්ෂයක් නොමැතිව වුවත් ඉදිරිපත් විය යුතුයි කියාය. නායකයින් දෙදනාගේ එක් අයෙක් කීවේ තමන් අගමැතිකමට ඉදිරිපත්වෙමින් පක්ෂය දිනවන්නේ යැයි කියාය. අනෙක් නායකයා කීවේ පක්ෂය දිනන්නේ නැති බවත් දිනුවත් කියන අය අගමැති වන්නේ නැති බවත්ය. මේ ස්ථාවර දෙකම ඉතාමත් පැහැදිලි ඒවාය. එහි කිසි¥ රුවටීමක් තිබුනේ නැත. ජන්දයට පෙර නායකයින්ගේ ස්ථාවරයන් පාක්ෂිකයින්ට නිවැරිදිව දැක ගත හැකි විය.  මේ තත්වය හමුවේ  පාක්ෂිකයන් සිතුවේ පක්ෂය දිනවීමටත් රනිල් සමග නොයනු ඇතැයි සිතන අයව ජයග‍්‍රහනය කරවීමටත්ය. විජතමුනි, මහින්ද සමරසිංහ, ලක්ෂමන් යාපා, එස් බී, තිලංග වැනි අයව පැරදුනේ  ඒ අය සමග ඇති පෞද්ගලීක තරහකට නොව දිනුවෝතීන් ඒ අය රනිල් සමග ආණ්ඩුවක් හදන්නේ යැයි පාක්ෂිකයින් තුළ තිබූ බිය නිසාය.  මෙතනදි මේ පරාජයට පත්වූ අය සම්බන්ධයෙන් කිව යුතු හොදක් ද තිබේx මේ අය හැමෝම පැරදුනුනේ කෙළින්ම මෛත‍්‍රී වෙනුවෙන් අවංකව කථා කරමින් සහ පෙනී සිටිිමින්ය. ඒ අය ඒ අතින් අවංකය. මහින්දගේ පින්තූරය ඉදිරියෙන් ගසා ගෙන පාක්ෂිකයිනගේ ජන්දය පිට් පොකැට් ගැසීමක් එතන සිදු වුනේ නැත. දුමන්ද සහ අමරවීර හැර අනෙක් හැමෝම දිනුවේ මහින්දගේ ගෝලයෙක් ලෙස පෙනී සිටිය නිසාය.

පාක්ෂිකයන්ගේ ම්නුම් දණ්ඩ වූයේ තමන් සමග කොච්චර කාලයක් දේශපාලනය කළත් එජපය සමග එක් වන්නේ යැයි සිතෙන කාට වුවත් ජන්දය නොදි සිටීමය. උදහරනයක් ලෙසින් කුරුණැගල ශාන්ත බන්ඩාරත් මහනුවර එරික් වීරවර්ධනත් ගත හැකියx මේ දෙදනාම හොද ශී‍්‍රලන්කා කාරයෝය. පක්ෂයට සිටිය යුතු දක්ෂ තරුණයෝ දෙදෙනෙකි. අනෙක් අතට මේ දෙදනාගෙන් පෞද්ගලිකව ඇසුවහොත් ඒ අය මහින්ද ජනාධිපතිතුමන්ට ද ඉතාමත් ගෞරවයෙන් කථා කරන අයය. ඒත් මේ දෙදනාම මෛත‍්‍රී ජනාධිපතිතුමන් සමග පක්ෂයේ වැඩ කටයුතු කරන්නටත් දින සීයේ ආණ්ඩුවේ ඇමතිකම් ගන්නටත් යාම නිසා පාක්ෂිකයින් ඔවුන්ව පරාජයට පත්කළා යැයි සිතිය හැකිය. ඒ අය පැරදුනේ අවංකවම තමන්ගේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටීම නිසාය. ශාන්තත් එරිකුත් තමන්ගේ දේශපාලනය දයාසිරිත් අනුරාධත් කරපු ආකාරයට මහින්දගේ මිනිසා ලෙස පෙනෙන පරිදි කරමින් රනිල්ගේ ආණඩුවට යන්න සිතුවා නම් ඔවුන්ටත් පාර්ලිමේන්තු යා හැකිව තිබුනි.

දැන් අපිට වෙච්ච දේ තල කීපයකින් සාරංශ කර දැක්විය හැකිය. එක් අතකින් එක නායකයෙකු පක්ෂයේ දේවල් ප‍්‍රජාතන්ත‍්‍රවාදිව අභ්‍යන්තරයේ කථා නොකළ නිසා පළමු වටයේ ශ‍්‍රීලනීපය පරාජයට පත් විය. අනෙක් අතට  ඊලග නායකයා පක්ෂයේ අභ්‍යන්තරයේ කථා කළ යුතු දේවල් හැමෝටම ඇසෙන්නට මාධ්‍යවල කථා කළ නිසා පක්ෂය දෙවැනි වටයේ පරාජයට පත්විය. තුනවැනිව මේ කාරනා දෙකටම වඩා මේ සියලූ සිදුවීම්වල මහා පොදු සාධකය ලෙසින් සැලකිය හැකි මේ නායකයින් දෙදනා අතර එහාට මෙහාට පනිමින් පාක්ෂිකයන්ගේ අභිලාෂයන් ඉතාමත් ශූර ලෙස තමන්ගේ බල තන්හාවට පාවිච්ච් කරන මන්ත‍්‍රී කරණ්ඩායමක් නිසා පක්ෂය පරාජයට  පත් විය.

මේ නිසා අපිට වෙච්ච දේ එකිනෙකාට අනුව වෙනස්ය. මහින්දට වෙච්ච දේ බලයත් පක්ෂයත් පක්ෂයේ තමන්ට හිතවත් පළල් මන්ත‍්‍රී කණ්ඩායමක් ගොඩනගා ගැන්මේ හැකියාවත් යන සියල්ලම නැති වීමය. මෛතී‍්‍රට සිදු වුනේ ඔහුට හිතවත් මන්ත‍්‍රී කණ්ඩායම පරාජයට පත්වීමත් පැරදුනු අය ජතික ලැයිස්තුවෙන ගේන්න ගොස් තමන්ගේ ප‍්‍රජතාන්ත‍්‍රීය භාවිතාව හානිකරගැනිමත්ය. පාක්ෂිකයන්ට සිදුවුනේ තමන්ගේ පක්ෂය බලයෙන් පහ වීමත් මහ මැතිවරණයෙන් තමන්ගේ ජන්දය (තමන්ගේ කැමැත්ත) තමන් අකමැතිම දෙයට (රනිල් සමග ආන්ඩු කිරිමට) ඇස් පනාපිටම පාවා දිමත්ය.

මේ සියල්ල මෙසේ වෙද්දි ඉරෙන් අනෙක් පැත්තේ වෙච්ච දේ වූයේ ශ‍්‍රීලංකාකාරයන්ගේ ජන්දයෙන් ගිය මන්ත‍්‍රීවරුත් සමග එජපය අපුරුවට ආණ්ඩුවක් කිරිමය. අපිට වෙච්ච දෙය ඊලග මැතිවරණයේදි නම් කළ යුතු කාරණා බොහෝය.



2 comments:

  1. මහින්දට වැරදුනේ පක්ෂය මැදමුලනට ගෙනිහින්, කැබිනට් එක මැදමුලන නිදන කාමරයක් අස්සට දාගත්ත නිසාය. මෛත්‍රී කැබිනට් එක මැදමුලන බෙඩ් රූම් එකෙන් සිරිකොත පැත්තට ගෙනාවත්, පක්ෂය ඩාලි රෝඩ් එකට ගෙන ඒමට සමත්වූයේ නැත. මහින්දට අපුල්ලන බහිරවයින්ව මැදමුලනටම සීන්න කර, පක්ෂය ඩාලි පාරට නොගෙනාවොත් ඒ මෛත්‍රීගේත් දේශපාලන අවසානය බව මගේ අදහසය. දොන් නම් දොන්ය. දොන් සිමන් දෙකක් බැරිය.

    ReplyDelete
  2. මහින්දට වැරදුනේ පක්ෂය මැදමුලනට ගෙනිහින්, කැබිනට් එක මැදමුලන නිදන කාමරයක් අස්සට දාගත්ත නිසාය. මෛත්‍රී කැබිනට් එක මැදමුලන බෙඩ් රූම් එකෙන් සිරිකොත පැත්තට ගෙනාවත්, පක්ෂය ඩාලි රෝඩ් එකට ගෙන ඒමට සමත්වූයේ නැත. මහින්දට අපුල්ලන බහිරවයින්ව මැදමුලනටම සීන්න කර, පක්ෂය ඩාලි පාරට නොගෙනාවොත් ඒ මෛත්‍රීගේත් දේශපාලන අවසානය බව මගේ අදහසය. දොන් නම් දොන්ය. දොන් සිමන් දෙකක් බැරිය.

    ReplyDelete