Friday, April 29, 2016

චීන පටස් ආර්ථිකය

චීන පටස් ආර්ථිකය

මේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන විවිධ කථා මේ දිනවල හැම තැනකම පාහේ අහන්නට සහ  දකින්නට ලැබෙයි. මේ කථා අතර ප‍්‍රධානත්වය ගන්නේ ආණ්ඩුව මුලදි චීනයට බැන බැන සිට පසුව චීනයේම සරන පැතීම ගැන ඉදිරිපත් වන අවඥ සහගත විවේචනයන්ය. පෝට් සිටි ව්‍යාපෘතිය ගැන මුලදි බරපතල කථා කීවාට අන්තිමේදි නවතින්නට වුනේම චීන මහා ප‍්‍රාකාරය ලග යැයි ඒකාබද්ධ විපක්ෂයෙන් මතුවන විවේචනයට එතරම් ශක්තිමත් පිළිතුරක් රජයට නොමැතිවීම තේරුම් ගත හැකිය. එසේ වුනත් චීනයෙන් ආර්ථික ආධාර ගැනීම ගැන රජයට එක මතයක් නොමැති බව පෙනෙන්නට තිබීම තරමක් ගැටලූ සහගතය. අනෙක් අතින් අමාරුවෙන් චීනයෙන් යම් ආධාර මුදලක් හොයාගත්ත බව දැන දැනම ඒ ගැන වැඩි තැකීමක් නොමැතිව චීනයේ  ඕනකමට අපිට ආධාර කළා වගේ ගතියකින් ඇමතිවරුන් කථා කිරීම හරිම විහිලූ සහගතය. රටේ ආර්ථිකය සම්බන්ධව ගන්නා තීරනවලදි ලැජජා සහගතවීමෙන් එතරම් ප‍්‍රයෝජනයක් නොමැති වනවා පමනක් නොව සමහර විටක එවැනි පිළිවෙතක් නිසා රටට අතීශයෙන් ම භයානක ප‍්‍රතිඵල  උද කිරීමටද ඉඩ තිබේ.  ජෙ. ආර්. ජයවර්ධන මහතාගෙන් ඉගෙනගත යුතු වැදගත් පාඩමක් විය යුත්තේ ආර්ථිය සම්බන්ධ තීරනවලදි තමා නිවැරිදි යැයි සිතෙන තීරණ පැහැදිලිව  ගැනීම පමනක් නොව ගත් තීරණය තුළ කිසි විචිකිච්ජාවක් නොමැතිව පෙනී සිටීමත්ය. ගුනදස අමරසේකර මහතාගේ නවකථාවල දැක්වෙන වචනයකින් කීවොත් කළ යුත්තේ ඇවැත් සිතකින් තොරව (වරදක් කළා යැයි නොසිතෙන පරිදි තමා ගත් තීරණය වෙනුවෙන් පෙනී සිටීමය. මේ අතින් මේ ආණඩුව හැසිරෙන්නේ ඉතාමත් අපැහැදිලි ආකාරයටය. ඇමතිවරු කියන්නනේ අගමැතිවරයා කියන දේට පටහැනි දේවල්ය. ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනීප ඇමතිවරු කියන්නනේ ඒ සියල්ලටම වඩා වෙනස් දේවල්ය. ජනාධිපතිතුමන් පසුගිය දිනක ඉගි කළේ මේ කිසිවක් එතුමන් සමග සාකච්ජා නොකරන බවයx මේ තත්වය ඉදිරි වසර කීපයේම පැවතුනහොත් රටේ ආර්ථික පිළිවෙත් රාශියක් එක විට අත්හද බලන මැලේ අච්චාරුවක් බවට ආර්ථික පත් වීමේ බරපතල අවධානමක් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මතු වූ එක් ප‍්‍රධාන කාරණයක් වූයේ රටේ මුදල් අයථා අයුරින් තම තමාගේ අවශ්‍යතාවන් සදහා පාවිච්චි කරන බවය. රටේ සම්පත් වටේ සිටින අය අතර බෙද දෙන බවය. ඒ නිසා එජාපය ඇතුලූ අය කල්පනා කළේ (කල්පනා කරන බව පෙනී ගියේ) රටේ මුදල් නම්  ඕනෑතරම් තිබෙන බවත් ප‍්‍රශ්නය තියෙන්නේ ඒවා හරියට බෙදන්නේ නැති බවත් වගේ හැගීමකි. මෙය හරියට එළදෙනගේ කිරි  ඕනෑ තරම් තිබෙන නමුත් කිරි දෙවන්නා ඔක්කොම කිරි ටික තමන්ගේ පවුළේ අය අතර බෙදගන්නා බවත් අලූතින් කවුරු හෝ පැමින මේ කිරි ටික සාධාරනව  බෙදිය යුතුය වගේ හැගීමකි. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු හිතන්නේ එළදෙනට  ඕනෑ තරම් කිරි තිබෙන බැවින් රනිල් වික‍්‍රමසිංහ මහතා කළ යුත්තේ කිරි ටික හැමෝටම හරියට සාධාරනව බෙදිම කියාය. එහෙත් බෙදන්නට කිරි නැති බව දන්නේ කිරි දෙවන්නා පමනි. එළදෙනට කෑම නැති බව දන්නේ කිරි දෙවන්නා පමනි. අගමැතිතුමා චීනයට යනවා ඇත්තේ  මේ නිසාය. කිරි ගන්න ආපු අය නොදන්නා අගමැතිතුමා පමණක් දන්නා කාරණය මෙයය. දැන් මේ තත්වය අවබෝධ කර ගැනීමට අනෙක් අයට බැරි වන්නේ බරපතල දේශපාලන න්‍යායික ගැටලූවක් නිසාය.

නුතන කුමාරයා ලෙසින් මා මේ තීරු ලිපිය නම් කළේම මතුපිටින් පේන දේවල්වපට  යටින් තිබෙන දේශපාලන න්‍යායික කාරණා සාකච්ජා කිරීම අද දවසේ දේශපාලනය කිරීම පැත්තෙන් අත්‍යාවශ්‍ය තත්වයක් නිසාය. 

රටේ ආර්ථිකයේ මේ තත්වය ආණඩුවේ ඇමතිවරුන්ට හරියට නොතේරෙන්නේ මේ අය පසුගිය මැතිවරණ දෙකෙහි ඉදිරිපත් කළ අලංකාරික දේශපාලනය (Political Retoric) මැතිවරනයෙන් පසුවත් යථාර්ථ දේශපාලන (Real politic) ලෙසින් පවත්වා ගෙන යාම නිසාය. දේශපාලන අලංකාරිකයන් යනු දේශපාලන කථා විශ්වය තුළ ගොඩ නගන නිර්මාණයන්ය.  මෙම නිර්මාණයන් දේශපාලන සංදර්භයන් තුළ ගොඩ නැගෙන අතර මේවා විවාදයේ කරුණු ලෙසින් පවතින ඒවා මිසක සත්‍ය වශයෙන්ම තියෙන ඒවා නොවන බව මුළික වශයෙන්ම පිළිගත යුතු කාරණයකි. මෙවැනි අලංකාරිකයන් බොරු බවට පත්වන්නේ හෝ සත්‍ය ලෙසින් ජනතාව පිළිගන්නේ ඒ ඒ ආණ්ඩුවලට තිබෙන මතවාදි ආධිපතය්‍යයේ තරම අනුවය. සමහර සංදර්භයන් තුළ ආණ්ඩුවට ශක්තිමත් මතවාදි ආධිපත්‍යයක් පවතින විට සත්‍යයන් ලෙසින් පිළිගැනවිය නොහැති අලංකාරිකයන් සමාජයෙන් ඉවත්වී ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවන ආකාරයෙන් ඉවතට විසිවී යයි. ඒත් සමහර සංදර්භයන්හිදි ආණ්ඩුවල මතවාදි ආධිපත්‍යය දුර්වල වී තිබෙන අවස්ථාවලදි මෙවැනි අලංකාරිකයන් සත්‍යයන් ලෙසින් මතුවී ආණ්ඩු කඩා වැටෙන අවස්ථාවන් තිබේ. එහෙත් එසේ අලංකාරිකයන් යොද ගනිමින් ආණ්ඩු වෙනස් කර ගැනීමෙන් පසුවත් තමන්ම හැදු අලංකාරිකය සත්‍යය යැයි රුවටී එයට අනුව කටයුතු කරන්නට යාම නම් මහා මෝඩ කමක්ය. අද සිදුවෙමින් පවතින්නේ ඒ ආකාරයේ දෙයක්ය.  දැන් මේ තත්වය ලංකාවේ දේශපාලනයෙන්ම උදහරණ දක්වමින් පෙන්වා දිය හැකිය. 1994 මහ මැතිවරණට පෙර පේ‍්‍රමදස මහතා සිටින කාලයේ විපක්ෂයෙන් හැදු දේශපාලන අලංකාරිකයක් වූයේ පේ‍්‍රමදස ජනාධිපතිතුමන් කන්‍යාවියන් හත්දෙනෙකු ලවා කිරිකළ හතක් නාවා ගත් බවය. මෙය එකළ මතවාදි ආධිපත්‍යය කඩා වැටෙමින් තිබු එජප රජය වැට්ටවීමට ඉතාමත් සේවයක් කළ අසත්‍ය දේශපාලන අලංකාරිකයක් විය. 1994 රාජ්‍ය බලය ලබාගත් පොදු පෙරමුණු රජය පසුව  මෙම අලංකාරිය විශ්වාස කරමින් කිරි කල සොයන්නට හෝ කන්‍යාවියන් සොයන්නට ගියේ නැත. මෙම දේශපාලන අලංකාරිකය එහෙමම තිබියදි ආණ්ඩුව වැඩ කළේ පැවති දේශපාලන යථාර්ථයන් සමගිනිx පසුගිය මැතිවරණයේදි පැවති රජයට  විරුද්ධව එජපය යොදගත් ලැම්බුගිනි අලංකාරියත් හරියට මේ වගේය. ලැම්බුගිනි යනු දේශපාලන අලංකාරිකයක් මිස ඇත්ත යමක් නොවන බව අවබෝධ කර නොගෙන ඒවා සෙවීම යථාරථවත් දේශපාලනයෙන් පිටත යාමක් වන්නේ එනිසාය. මේ රජයේ සමහරුන් තවමත් ලැම්බුගිනී සොයන්නට උත්සාහ ගැනීම හරියට සමාන  වෙන්නේ 94 ජයග‍්‍රහනයෙන් පසුව කිරි කල සෙවීමට හෝ කන්‍යාවියන් සෙවීමට උත්සාහ දැරීම වැනි දේකටය.  

දැන් චීනයට  ඕන නිසා අපිට ය දෙනවා වැනි විහිලූ කථා ඇසෙන්නේ යථාර්ථය සහ අලංකාකය අතර තිබෙන වෙනස ආණ්ඩුවේ සමහරුන් නොදන්නා නිසාය.  චීන විරෝධය යනු  පසුගිය මැතිවරණ දෙකේදි ම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යොදගත් අලංකාරිකයක් මිස ඇත්ත යමක් නොවන බව ආණ්ඩුවේ ඇමතිවරුන් තේරුම් නොගන්නා නිසාය. 

අපි කැමතිවුවත් අකමැති වුවත් ලෝකයේ ආර්ථිකය ගැන සැළකිලිමත් වීමේදි චීනයේ ශක්තිය  නොසලකා හැරීමට කාටවත් මේ සන්දර්භයේ නොහැකිය. ඇමරිකාව හෝ යුරෝපය ආණ්ඩු වෙනස් කරන උපදෙස් දුන්නාට සල්ලි දිමට තරම් හැකියාවක් මේ සන්දර්භයේදි නැත. ඒ නිසා අපේ ආර්ථිකයේ චීනයේ මැදිහත්වීම ගැන අලංකාරිකයන්ගෙන් මිදි වැඩකිරීමේ කාලය පැමිණ ඇති බව තේරුම් ගැනීම රට පැත්තෙන් ඉතාමත් වැදගත්ය. 

1 comment:

  1. මැදිහත් සහ හරවත් ලිපියක්. මේ තමයි සැබෑ තත්වය. දොවන්න කිරි නැත්නම් ක්‍රමවත්ව බෙදන්නේ කොහොමද කියන එක තමයි අද ගැටලුව. 'එකාබද්ධ' යැයි කියාගන්නා විපක්ෂයත්, එජාපයත් , රජයේ අනිකුත් අයත් ගැලරියට දෙන ටෝක්ස් නම් අප්පිරියයි. මේ ලිපිය බෙදා හදාගෙන කිවිය යුතු ලිපියක්.

    ReplyDelete