මීළඟ වර්ෂය සඳහා රජයේ අයවැය පාර්ලිමේන්තුවෙන් සම්මත වූයේ මේ සතියේය. දින 19 ක් පමණ පැවති අයවැය සංවාදය නිමාවූයේ ඊයේ දිනයේය. මේ වර්ෂයේ අයවැය සම්බන්ධව පැවති මුළික අභියෝගයක් වූයේ පවතින කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියන කාරණය ය. වෙනත් ලෙසකින් කිවහොත් රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට තල්ලුවීමේ ප‍්‍රවනතාවන් වළක්වා ගනිමින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන කාරණය ය. මේ අභියෝගය හමුවේ රජය විසින් ඉදිරිපත් කළ අයවැය පිළිබඳව විවිධ පාර්ශවයන් වෙතින් එල්ලවූ විවේචනයන්ට සාර්ථක ලෙසින් පිළිතුරු ලබා දෙන්නට පාර්ලිමේන්තුවේ පැවති මේ අයවැය සංවාදය තුළ ආණ්ඩුවේ පාර්ශවයන්ට හැකිවූ බව මගේ අදහස ය.
මේ අයවැය සංවාදයේ රජයට මුහණ දෙන්නට සිදුවූ අභියෝගයන් දෙකක් තිබුණු බව මගේ තේරුම් ගැනීම ය. එයින් එක් අභියෝගයක් වන්නේ උග‍්‍ර ධනවාදී සාම්ප‍්‍රදායික අදහසින් සංවාදයට පැමිණෙමින් ‘රාජ්‍යයේ වගකීම සම්පූර්ණයෙන්ම මකා දැමියයුතු’යැයි තර්ක කරන ආර්ථික කොන්සවේටිව්වාදීන්ගේ මතවාදයයි. (පැරණි එජාපයේ සහ වර්තමාන සජබයේ ආර්ථික විශේෂඥයන්ගේ අදහස් තුළින් මතු වන්නේ මේ තර්කයයි. අයවැය සංවාදයේ ආණ්ඩුව හමුවේ තිබු අනෙක් අභියෝගය වන්නේ මෙරට ආර්ථිකය පිළිබදව වෙළදපොළ විරෝධී ඌනතාවාදයක සිටිමින් සියල්ල රජයෙන් විය යුතුයි යන තර්කය ඉදිරිපත් කරන වාමාංශික මතවාදයයි. මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මෙහි සඳහන් දෙවන සමාජ කණ්ඩායමේ මතවාදයේ ඇති ගැටළුකාරිත්වය පිළිබඳවයි.
අයවැය සංවාදය කෙරෙන අතරතුර මා සහභාගී වූ වෙනත් වැදගත් ‘ඔන්ලයින් සංවාදයක් පිළිබඳව සටහනක් කරමින් මේ ලිපිය ආරම්භ කිරීම සුදුසු යැයි සිතුනේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව සමාජයේ වාමාංෂික යැයි පිළිගත් සමහර කොටස් වෙතින් මතුවන විවේචනය මනෝරාජක ස්වරූපයේ ස්වභාවය පැහැදිලි සංවාදයෙන්ද හැකියාවක් ඇතිනිසා ය.
වාමාංෂික ඌනතිවාදය
රටේ ආර්ථිකය පිළිබඳව මා කියන මේ ‘ඔන්ලයින් සංවාදය සඳහා මා ද, ඇතුළුව තවත් තිදෙනෙක් සහභාගී විය. ධම්ම දිසානායක, ශිරාල් ලක්තිලක, සුමිත් චාමින්ද යන මහත්වරුන් මා හැරුණු විට ඒ සඳහා සහභාගි වූ අය ය. එහිදී සාකච්ජා වුණු එක් ප‍්‍රධාන මාතෘකාවක් වූයේ අපේ රටේ තිබෙන ආර්ථිකයේ අභියෝගය ජයගන්නේ කෙසේද යන කාරණය ය. මේ සංවාදය පුරාම සමහර වාමංෂික සම්බන්ධයක් ඇති අයගේ අදහස වූයේ ‘රටේ ධනය බෙදෙන ආකාරය නිවැරිදි නැහැ යන අදහස මිස ‘රටේ ධනය නිපදවන්නේ කෙසේද යන කාරණය පිළිබඳව නොවන බව මගේ අදහස විය. අපේ රටේ වාමාංෂික ව්‍යාපාරයේ හැමදාම මතුවූ පෙනෙන මේ ‘ධනය උපයන ආකාරය ගැන ‘නොසිතා‘ ‘ධනය බෙදහරින ආකාරය’ පිළිබඳව පමණක් සිතීමේ ඌනතිවාදය නිසා මේ සමහරුන් කරන්නේ හුදු සාකච්ඡා ශෛලියක් වර්ධනය කිරීම පමණක් බව ඒ සංවාදය තුළ මා මතු කළ එක් නිරීක්ෂණයක් ය. ඒ කියන්නේ රටේ දේශපාලනය පිළිබඳව බිම තියෙන අභියෝග සමග මිශ‍්‍රවූ විවේචනයක් කරන්නේ නැතිව හුදු වචන හරඹවලින් සෑහීමකට පත්වෙන්නට මේ රටේ සමහර වාමාංෂික බුද්ධිමතුන් කටයුතු කරන බවයි.
මේ අයවැය පිළිබඳ සංවාදය නිමාවෙමින් පවතින මේ අවස්ථාවේදී රටේ ආර්ථිකයේ තත්වය පිළිබඳව යම් ආකාරයක ‘බිම තියෙන ගැටළු සමග සම්බන්ධවූ සාකච්ජාවක් අවශ්‍ය බව මා සිතන්නේ මේ වාමාංෂික ඌනතිවාදී විවේචනයේ ඇති ගැටළුකාරිත්වයත් නිසා ය.
වෙළඳපොළ
1977 සිට අපේ රටේ ආර්ථිකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සැළකිල්ලට ගත්විට අපේ අවධානයට යොමු විය යුතු කාරණයක් වන්නේ අපේ ආර්ථිකය පවතින්නේ විචෘත වෙළඳපොළ ක‍්‍රමයක් තුළ බව ය. රටේ වෙළඳපොළ පිළිබඳව 1977 පත්වූ ආණ්ඩුව විසින් ගත් ඒ තීරණාත්මක වෙනස්කම සමගින් කල්පනා කරන විට තේරුම් ගත යුතු වැදගත් කාරණා රාශියක් තිබෙන බව පැහැදිලිය. ඒ කියන්නේ දැන් අපි කටයුතු කරන්නේ රජය සහ වෙළදපොළ යන බලවේග දෙකම හරි හරියට ආර්ථිකයේ පංගුකාරිත්වයක් දරන තත්වයක බව ය. ඒ නිසා මෙරට වාමාංෂික ව්‍යාපාරයේ යටි අදහසක් ලෙසින් මතුවන ‘වෙළදපොල යනු ස්වභාවයෙන්ම නරක දෙයක් යන අදහසත්‘ ‘ආණ්ඩුවක් යනු වෙළදපොළේ තරහකාරයෙක්ය යන අදහසත්‘ මේ කාලයට ගැලපෙන්නේ නැති යල්පැන ගිය කල්පනාවක් බව කිව යුතුය.
වෙළඳපොළ කියන්නේ මේ වනවිට අපි කවුරුත් පිළිගත යුතු ධනය නිෂ්පාදනය කරන සහ ආර්ථික වටිනාකම් නිර්මාණය කරන පළල් පදනම බව ඉතාමත් පැහැදිලිය. ඒ නිසා අපේ දේශපාලන ආර්ථිකයේ ප‍්‍රශ්න විසඳාගත යුත්තේ වෙළඳපොළ තුළ ප‍්‍රායෝගිකව සිතමින් හා ප‍්‍රායෝගිකව සිටිමින් මිස වෙළඳපොල විරෝධීව සාම්ප‍්‍රධායික වාමාංෂිකවාදයේ කිමිදෙමින් නොවන බව මගේ යෝජනාවය.
තවත් පැත්තකින් බලන විට මේ වෙළඳපොළ පදනම් කරගත් ආකෘතියේ අපේ රටට ලබා ගත යුතුව තිබූ සමහර මුළික ජයග‍්‍රහණ ලබාගන්නට නොහැකිවූ බව සත්‍යයක්ය. එයට හේතුවූ කරුණු අතරින් වැදගත් වන මුළික කාරණා දෙකක් තිබෙන බව මගේ අදහසයි. එයින් එකක් වන්නේ වෙළඳපොල ධනවාදය මෙරට තුළ යම් ආකාරයක ගජමිතුරු සම්බන්ධතාවක් තුළ හිරවූ නිසාය. ඒ කියන්නේ වෙළඳපොල පිළිබඳව සාම්ප‍්‍රදායික එජාපයේ තිබූ අදහස නිසා එය තැරැව්කාර වෙළඳුන් කීපදෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලඝු කරන්නට 77 න් පසු සමහර රජයන් කටයුතු කළ නිසාය. ලංකාවේ වෙළඳපොළ ධනවාදයේ බලාපොරොත්තුවූ ජයග‍්‍රහණයන් ලබා ගන්නට නොහැකිවීමට හේතුවන අනෙක් කාරණය වන්නේ අපේ රටේ සාම්ප‍්‍රදායික වාමාංශික ප‍්‍රවණතාවන් වෙළඳපොළ පිළිබඳව සමාජගත කරන මා ඉහතින් සඳහන්කළ මතවාදය නිසාය. සාම්ප‍්‍රදායිකවම මෙරට වාමාංෂික ව්‍යාපාරය සංකල්පගත කරන්නේ ‘වෙළෙන්දා යනු නරක මිනිහෙක්ය සහ වෙළඳාම යනු නරක වැඩක්ය‘ යන උපවිඥානය සහිත විවේචනයක් බව මේ අදහසේ පදනමයි. මේ අදහස සමාජගත වූයේ 60 සහ 70 දශකයේ අපේ රටේ දේශපාලන ආර්ථිකය තුළ අධිනිශ්චය වූ මතවාදය වූ එක්කෝ ඌනතික ජාතිකවාදය නැත්නම් ඌනතික වාමාංෂිකවාදය නිසාය. මේ මතවාදයන් දෙකම මගින් ජනිත කළ ගැටළු රාශිය යම් තරමකට හෝ කළමනාකරණය කරගත්තේ වෙළඳපොල පිළිබඳව වෙනස් ආකාරයෙන් කල්පනා කරන්නට අපේ සමාජය පටන් ගත් නිසා බව මගේ අදහසය.
අපේ රටේ ආර්ථිකයේ සියළු මර්මස්ථාන තිබිය යුත්තේ සම්පූර්ණ වශයෙන්ම රාජ්‍යයේ අත්අඩංගුවේ සමහරුන් සිතන්නේ ඉහත සඳහන් වාමාංෂික ඌනතිවාදය නිසාය.
අනෙක් අතට වාමාංෂික ඌනතිවාදයේ තවත් සමහරුන් සිතන්නේ රටේ ධනය බෙදාහරින්නේ කෙසේද කියා මිස රටේ ධනය උපදවන්නේ කෙසේද කියා නොවේ. ඒ නිසා ඒ තර්කය මතුකරන බොහෝ අයගේ විවේචනයන් තුළින් පෙනෙන යටි අදහස වන්නේ මේ රටේ තිබෙන ගැටළුව වන්නේ ධනය බෙදාගැනීම මිස ධනය උපදවා ගැනීම නොවන බවයි. මේ අදහස තනිකරම වැරදි අදහසක් බව අපි එළිපිටම කථා කළ යුත්තේ මේ අදහසින් සිදුවන්නේ රටේ ජනතාවගේ යැපුම් මානසිකත්වය වර්ධනය කිරීම පමණක් නිසාය.
රාජ්‍යයේ භූමිකාව පිළිබඳව නව සංවාදයක් මේ රටට අවශ්‍ය යැයි සිතිය යුතු කාලයකට අපි පැමිණ ඇති බව මගේ යෝජනාවයි.
රාජ්‍යයේ භූමිකාව
අපේ රටේ ඌනතිවාදී වාමාංෂික ප‍්‍රවණතාවන් රජය පිළිබඳව සිතන ආකාරයත් ඌනතිවාදී දක්ෂිණාංෂිකයින් රජයේ භූමිකාව පිළිබඳව සිතන ආකාරයත් යන අංශ දෙක ගැනම බරපතල ආකාරයේ යළි සළකා බැලීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ ආර්ථිකයේ අපි මුහුණ දෙන අභියෝගත් සමගින් මේ තත්වය සිතන විටය. සියල්ල කළ යුත්තේ රජය විසින් යැයි සිතන්නටත් සුබසාධනය සම්පූර්ණ වශයෙන් සි¥කරන ආර්ථිකයක් අපිට අවශ්‍ය යැයි සිතන ආකෘතියටත් එරෙහිව විප්ලවීය ආකෘතියකින් සිතන්නට අපට බල කරමින් තිබෙන බව මගේ අදහසය. මා විශ්වාස කරන ආකාරයට සෞඛ්‍ය සේවය හා අධ්‍යාපන සේවය රාජ්‍යයේ මූලිකත්වය යටතේ ඉදිරියට යා යුතු සුභසාධනයන්ය. එහෙත් මා එයින් අදහස් කරන්නේ ව්‍යතිරේඛයන් දෙකක් පිළිබඳව අපගේ අවධානයට යොමුකළ යුතුයි යන පදනම යටතේය. ඒ ව්‍යතිරේඛයන් දෙක වන්නේ අපේ අධ්‍යාපන ක‍්‍රමය හා සෞඛ්‍ය සේවය වේගවත් නවීකරණයකට රාජ්‍යයට ඇති හැකියාව සමගය. නවීකරණය නොවූ අධ්‍යාපනයක් හෝ සෞඛ්‍ය සේවයක් මගින් රටට ඇතිවන සේවයක් නැති බව පැහැදිලිය. අනෙක් ව්‍යාතිරේඛය වන්නේ පුද්ගලික අංශයේ මැදිහත්වීම මෙම ක්ෂේත‍්‍රවල පවා අපි යම් ආකාරයක විවෘතභාවයක් පෙන්නුම් කළ යුතු බවය.
මේ අංශ දෙකටම සමාන බරක් රාජ්‍යයේ පංගුකාරිත්වයෙන් යෙදවිය යුතු ක්ෂේත‍්‍රයක් වන්නේ ප‍්‍රවාහනය ය. අපේ රටේ ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ඛාදනය වන ප‍්‍රධානතම අංශයක් වන්නේ නවීකරණය නොවූ ප‍්‍රවාහන පද්ධතියයි.
මේ ක්ෂේත‍්‍ර කීපය හැරුණු විට පොදු රෙගුලාසිකරණයකට යටත්ව අනෙක් බොහෝ ක්ෂේත‍්‍ර රාජ්‍යය හා වෙළදපොළ තුළ එක්ව වර්ධනය විය යුතු බව මගේ යෝජනාවය. අපේ රටේ මුළික ප‍්‍රශ්නය වන්නේ හොඳ රාජ්‍යයක් නැති නිසා නොව හොඳ පෞද්ගලික ව්‍යවසායකත්වයක් වර්ධනය නොවීමය.
මේ කාරණය පිළිබඳව පළල් සංවාදයක් සිදුකිරීම ඉතාමත් වැදගත්ය.
No comments:
Post a Comment