Friday, May 17, 2019

හඳ පෙන්නද්දී ඇඟිල්ල දෙස බැලීම

අප්‍රේල් 21 දින සිදූවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ආරම්භ වූ කනගාටුදයක හා අවිනිශ්චිත තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබෙන බව මේ වනවිට හොඳටම පැහැදිලි කාරණයක්ය. ප්‍රශ්නයෙන් ගොඩ එන්නට ජනතාව උත්සාහ දරද්දී සමහරුන් උත්සාහ දරන්නේ මේ ප්‍රශ්නය මාකට් කර ගනිමින් තමන් ගොඩ එන්නට බව පෙනෙන්නට ගත්තේ බෝම්බ ප්‍රහාරය සිදූවූ දවසේ සිටමය. 2015 මේ ආණ්ඩුව බලයට පත්වූ දවසේ සිටම පෙන්නුම් කළ ‘ආඬි හත්දෙනාගේ කැඳ හැළිය’ බඳු වූ ආණ්ඩුවේ කෙරුවාව මේ වනවිට පත්වී ඇත්තේ ‘කැඳ හැළි හතක් තිබෙන ආඬි හත්දෙනෙක් එක ආණ්ඩුවක් කරන්න ගියා’ වැනි අර්බුද ජනක තැනකටය. රටේ ආරක්ෂාව ගැන හෝ
ජනතාවගේ ආරක්ෂාව ගැන මේ දවස්වල කාටවත් විශ්වාසයක් නැත්තේ මේ තත්ත්වය නිසාය. රාජ්‍යය පිළිබඳ ජනතාව විශ්වාස කරන්නේ නැතිවූ විට සිදූවිය හැකි සියල්ලම මේ දවස්වල සිදුවෙන්නේ ඒ හේතුවෙන්ය. 

මේ තත්ත්වයේ තිබෙන නරකම පැත්ත වන්නේ ආණ්ඩුවේ ප්‍රධානීනුත් තමන්ගේම ආණ්ඩුව විශ්වාස කරන්නේ නැති තත්ත්වයක් පෙනෙන්නට තිබෙන නිසාය. ජනාධිපතිතුමාගේ ආණ්ඩුව යැයි පෙනෙන පැත්තේ අය (ආණ්ඩුකාරවරු සහ ආරක්ෂාවට වග කියන අය) හදන්නේ අගමැතිතුමාගේ ආණ්ඩුවට ‘බෝලේ පාස් කිරීමට’ය. අගමැතිතුමාගේ ආණ්ඩුව යැයි පෙනෙන පැත්තේ අය (මුල් පෙළේ ඇමැතිවරු සහ රජයේ මාධ්‍යයට වගකියන අය) හදන්නේ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවට ‘බෝලේ පාස්කිරීමටය’. මේ තත්ත්වය තවත් විකාරරූපී තැනකට පත්වී තිබෙන බව පෙනෙන්නේ 2015 සිටම යහපාලන දේශනා කරමින් පැමිණි සිවිල් සමාජයේ අය කියන දේවල් ඇසෙන විටය. 2015 සිටම ආණ්ඩුවේ ආරක්ෂකයන් ලෙසින් මතවාදී කලාපයේ වැඩ කළ මේ සමහර සිවිල් සමාජකාරයන් අද හැසිරෙන්නේ ආණ්ඩුව තවමත් කරන්නේ මහින්ද රාජපක්ෂ පාලනයකින් වැනි කල්පනාවක් යටි හිතේ තියාගෙනය. ‘මහින්ද මෙහෙම කළ යුතුයි’ හෝ ‘ගෝඨා මෙසේ කළ යුතුයි’ වැනි අමුතු කථා ඒ අය කියන්නේ රාජ්‍ය පාලනයෙන් මානසිකව වියෝ වීමේ අවඥානයක් විසින් මේ කාණ්ඩය පාලනය කරන නිසාය.
මේ සියල්ලේම ප්‍රතිඵලය ලෙසින් මේ වන විට සිදුවෙමින් පවතින්නේ සමාජයේ අවධානය මූලික කාරණය වෙතින් ඉවතට තල්ලුවීමත් ඒ හිදැසෙන් ත්‍රස්තවාදීන් ගැලවී පලායා හැකි ඉඩක් මේ අවුල නිසාම නිර්මාණය වීමත්ය. වයඹ පළාතේ සිදූවූ අවාසනාවන්ත සිදූවීම් වැනි දේවල් නිසා සිදුවන්නේ මේ අවුල තවදුරටත් වෙනත් ප්‍රශ්න බවට තල්ලු කිරීමට ඉඩක් විවරවීම බව සිංහල සමාජයේ අය තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. 

පසුගිය සති කීපයේ ඇති වූ තත්ත්වය මේ වනවිට මුල් සිදුවීමෙන් එහාට මෙහාට තල්ලු වෙමින් සමාජයම අවිනිශ්චිත තත්ත්වයකට ගමන් කරමින් තිබෙන නිසා මේ සිදුවීම නිවැරැදිව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය බව මගේ අදහසය. හරියට ප්‍රශ්නය තේරුම් ගත්තේ නැත්නම් සිද්ධ වෙන්නේ රටේ අවධානය වෙනත් පැත්තකට යොමු කරමින් අන්තවාදය හා ත්‍රස්තවාදය හැදෙන්නට බිමක් රට තුළ යළිත් නිර්මාණය වීමය. 

පළමුවෙන්ම අප තේරුම් ගත යුත්තේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරය යනු ජාත්‍යන්තර සම්බන්ධයක් සහිත දේශීය සුළුතර මුස්ලිම් ආගමික අන්තවාදයක් විසින් සිදු කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවක් බවය. එයට සාමාන්‍ය මුස්ලිම් ජනතාවගේ වගකීමක් නැති බව සැබෑවක් වුවත් ඒ අන්තවාදය වර්ධනය වූයේ මුස්ලිම් සමාජයේ අභ්‍යන්තරිකව ගොඩ නැඟුණු වහබ්වාදී කණ්ඩායම්වලින් බව ඉතාමත් පැහැදිලිය. මේ කාරණය නිවැරැදිව හා පැහැදිලිව පිළිගැනීම ඉතාමත් වැදගත් කාරණයක් වන්නේ එවැනි පැහැදිලි කර ගැනීමක් නොමැතිවිට ඒ අන්තවාදය හෝ ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාවද ගිලිහී යා හැකි නිසාය. මේ රටේ අහිංසක මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් නොවන බව ඉතාමත් සත්‍යයක් වන අතරම මේ ඉස්ලාම් අන්තවාදයේ ගොදුරු බවට පත්වූ සියලු දෙනාම මුස්ලිම්වරුන් බව පිළිගැනීම ද මෙහිදී ඉතාමත් අවශ්‍ය කාරණයක්ය. දැන් මේ සිද්ධිය අප තේරුම් ගත යුත්තේ බොරු සිවිල් සමාජකාරයන් කියන ආකාරයේ වයඹ පළාතේ හෝ මිනුවන්ගොඩින් ආරම්භ වූ අර්බුදයක් ලෙසින් නොව මුස්ලිම් අන්තවාදයේ ජාත්‍යන්තර හා දේශීය කණ්ඩායම් විසින් සිදුකරන ලද ත්‍රස්ත ක්‍රියාවක් හේතුවෙන් බවය. 

දෙවැනිව මේ සිද්ධියට ඒ ඒ සමාජ කණ්ඩායම් ප්‍රතිචාර දැක්වූ ආකාරය අපේ අවධානයට හා තේරුම් ගැනීමට ලක් කිරීම ඉතාමත් අවශ්‍ය කාරණයක්ය. මේ ත්‍රස්ත ප්‍රහාරයේ බරපතළම ගොදුර බවට පත්වූයේ කිසිම ආකාරයකින් මෙයට සම්බන්ධයක් නැති අහිංසක කතෝලික ජනතාව බව අප පිළිගත යුතු දෙවැනි වැදගත් කාරණයය. ඒ ජනතාවගේ පැත්තෙන් මේ ප්‍රශ්නයේ වේදනාව නිමාකර ගත්තේ මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමා වැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ බුද්ධිමත් හැසිරීමත් නිසා බව සඳහන් කරන්නේ උන්වහන්සේට ගෞරවයක්ද පිණිසය. තමන්ගේ ආගමිකයන්ගේ මරණයේ වේදනාව විඳිමින් සති දෙකක් පමණ කතෝලිකයන් තමන්ගේ ආගමික මෙහෙයන් පවා කල් දමමින් මේ තත්ත්වය සමනය කරන්නට උත්සාහ ගත්තේ මේ ප්‍රශ්නයටම සම්බන්ධ අනෙක් අය ස්පීකර් දමා ආගම සිහිකරමින් සිටි පරිසරයක බවද මෙහිදී සඳහන් කළ යුත්තේ අපේ සමාජයේ අනෙකාගේ දුක ගැන කථා හුඟක් අය කියන තරම් ලොකුවට ඒවා තම තමන් කරන්නේ නැති බව පෙන්නා දීම සඳහාය. 

තුන්වැනිව මේ ප්‍රශ්නයේදී සිංහල බෞද්ධ ජනතාව ඉවසිලිවන්තව හා මධ්‍යස්ථව සිටිමින් රට තුළ අවුලක් ඇතිවීමේ ඉඩක් ලබා නොදුන් බවද පිළි ගැනීම ඉතාමත් අවශ්‍යය. මේ අන්තවාදයට සම්බන්ධ යැයි සිංහල සමාජයේ චෝදනාවලට ලක් වූ ඇමැතිවරුන් හා ආණ්ඩුකාරවරුන් රජයේ පාර්ශ්ව දෙකේම දැවැන්තයන් ලෙසින් විවිධ ‘පාට්’ දමද්දී සිංහල සමාජයේ පිළිකුල දේශපාලන අධිකාරිය වෙතට එල්ලවී තිබූ බව සැබෑවක් වුවත් ඒ පිළිකුල පාවිච්චි කරමින් මුස්ලිම් සමාජයත් සමඟ ගැටුමකට යවන්නට සමහරුන් දරන උත්සාහය මහා පරිමාණයෙන් පරාජයට පත් කිරීමට හැකියාව ලැබී ඇත්තේ සිංහල සමාජයේ බහුතරයේ තිබෙන මේ මැදිහත්භාවය හේතුවෙන්ය. 


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 
දර්ශන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
ආචාර්ය චරිත හේරත් 
වයඹ පළාතේ හා මිනුවන්ගොඩ පැත්තේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම් කීපයට සම්බන්ධ අය නීතියේ රැහැනට හසුකර අදාළ දඬුවම් දිය යුතු අතරම මේ සිදුවීම් දෙක පදනම් කර ගනිමින් සිංහල බෞද්ධ සමාජයටම අපහාස හා උපහාස කිරීම මගින් මේ සිදුවන්නේ බහුතර සිංහල සමාජය මුස්ලිම් සමාජය සමඟ අනවශ්‍ය ගැටුමකට තල්ලු කිරීම බවද මෙහිදී පිළිගැනීම වැදගත්ය. අප්‍රේල් 21 ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් මුස්ලිම් වූවාට සියලු මුස්ලිම්වරුන් ත්‍රස්තවාදීන් නොවන බව කියන ආකාරයෙන්ම වයඹ සිදුවීම් කළ සමහර අන්තවාදීන් සිංහල බෞද්ධ වූවාට සියලු සිංහල බෞද්ධයන් අන්තවාදීන් නොවන බවත් කියන්නටත් ලිබරල් අයගේ දිව නැමිය යුතු බව මෙහිදී විශේෂයෙන්ම කිව යුතු කාරණයක්ය. සමහර සිවිල් සමාජකාරයන් හදන්නේ සියලු මුස්ලිම්වරුන් අන්තවාදීන් නොවන බව පිළිගන්නා ගමන් සියලු සිංහල බෞද්ධයන් අන්තවාදීන් බව ලාබෙට කියා දමන්නටය. අප්‍රේල් 21 සිද්ධියට එරෙහිව වචනයක් නොකියා ගෙවල්වලට වී සිටි සමහර කොළඹ සිවිල් සමාජයේ අය ඊයේ පෙරේදා වයඹ සිද්ධීන් අල්ලා ගනිමින් හදිසි උද්ඝෝෂණ කරන්නට යාම පෙන්නුම් කරන්නේ කෝලම්කාරයන්ගේ ජවනිකාවක් බව මගේ මතයය. 

හතරවැනිව මේ සිද්ධිදාමයේ අග හරියෙන් පමණක් අල්ලාගෙන රජය පැත්තේ අය කරන බොරු පුරසාරම් දෙඩවීම දැන්වත් නැවැත්විය යුතු බව මගේ යෝජනාවය. මංගල සමරවීර ඇමතිතුමාගේ සිංහල බෞද්ධයා ගැන කියූ කථාව සම්පූර්ණයෙන්ම පෙන්නුම් කරන්නේ මේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ සිතීමේ අවුලේ බරපතළකමේ තරමය. ඒ මහතාගේ කථාවේ කියන්නේ ‘එංගලන්තය හා ඉතාලිය වගේ ආගමක් නැති සමාන පැවැත්මක් ඇති රටක් ලෙසින් මේ රට පත්විය යුතු’ බවය. මුලින්ම කිව යුත්තේ සමරවීර මහතාගේ නොදැනුවත්කම නිසා කියනවා මිස එංගලන්තය ක්‍රිස්තියානි රටක් බවත්, ඉතාලිය කතෝලික රටක් බවත් ලෝකයම දන්නා කරුණක් බවත්, ඒ රටවල් දෙකේම රාජ්‍ය පාලනයේ අවසාන දිවුරුම දෙන්නේ බයිබලයේ අත ගසා බවත්ය. 

එම රටවල් එසේවීමේ වැරැද්දක් මට පෙනෙන්නේ නැති අතර, ඒ ආකාරයෙන්ම සමාන අයිතීන් තිබෙන බෞද්ධ සංස්කෘතික ඉතිහාසයක් හා උරුමයක් ඇති රටක් ලෙසින් මේ රට පිළිගැනීමට මේ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට හැකියාවක් නැත්තේ ඇයිදැයි විමසීම මෙහිදී ඉතාමත් වැදගත්ය. අඩු ගණනේ එංගලන්නය දෙස බලාවත් රටක සංස්කෘතික ඉතිහාසයේ ඇති වැදගත්කම තේරුම් ගැනීමට මේ ආණ්ඩුවේ නායකයන්ට හැකියාවක් තිබේනම් එය රටට හොඳක් විය හැකි බව මගේ යෝජනාවය. ආගම වුවමනා වූ විට එය ඉදිරියට හෝ පහතට දමන සහ කුලය වුවමනා වූ විට එය ඉදිරියට හෝ පහතට දමන විකාර දේශපාලනයෙන් මිදෙන්නේ නැතිව බොරු ලිබරල්කම්වලින් රටට වෙන සෙතක් නැති බව අවබෝධ කර ගැනීම ඉතාමත් අවශ්‍ය කාලයකට අප පැමිණ සිටින බව මේ කථාවලින් පෙන්නුම් කරන කාරණාවය. 

පස්වැනිව මේ අර්බුදය හමුවේ විපක්ෂයේ අයගේ කාර්යභාරය පිළිබඳව යම් ආකාරයක විචාරශීලිබවක් ගොඩ නගා ගැනීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා පොදුජන පක්ෂයේ ප්‍රාදේශීය නායකත්වයන් සූදානම් විය යුතුය. සිංහල සමාජයේ මුස්ලිම් විරෝධයක් මතුවන්නේ නම් එවැන්නක් ඕනෑම විටක ඒවා සමහන් කිරීමට විපක්ෂයේ දේශපාලන කණ්ඩායම් මේ මොහොතේ ස්වේච්ජාවෙන්ම ඉදිරිපත් විය යුතු බව මගේ යෝජනාවය. විශේෂයෙන්ම මෙහිදී තේරුම් ගත යුතු කාරණය වන්නේ වැරැද්දක් සඳහා සිංහල බෞද්ධයා වෙතට ඇඟිල්ල දික්වෙන ඕනෑම තැනකදී මේ ආණ්ඩුව හදන්නේ ‘ඒක අපේ වැඩක් නොවේ විපක්ෂයේ වැඩක් යැයි’ හැඟෙන පරිදි ක්‍රියා කිරීමටය. ඒ කියන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් පෙනී සිටින්නේ අපි නෙමෙයි අරයා යැයි පෙන්වන පරිදි දේශපාලනය කිරීමය. මේ තත්ත්වය තේරුම් ගනිමින් සිංහල බෞද්ධ බහුතරයේ විශ්වාසය හා ආරක්ෂාව අනෙක් ජනවර්ග සමඟ එකට ගැට ගසමින් ඉදිරියට ගෙන යාහැකි මැද පිළිවෙතකට ගමන් කරමින් මේ අර්බුදජනක අවස්ථාවේ ධනාත්මක ලෙසින් වැඩ කිරීම විපක්ෂය හමුවේ ඇති බරපතළම අභියෝගය බව මගේ අදහසය. 





No comments:

Post a Comment