Wednesday, March 27, 2019

ප්‍රතිඵල​යේ ව්‍යාජ මැවීම

මෙවර සටහනෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධව මේ රටේ ඇතිවී තිබෙන එක්තරා ආකාරයක සංවාදයක් පිළිබදවය. විශේෂයෙන් එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් පසු මේ රටේ පවත්වන මැතිවරණවලට උතුරේ සහ නැගෙනහිර පළාත්වල ඡන්දදායකයන් කුමන ආකාරයෙන් බලපෑමක් සිදු කරයි ද යන ප්‍රශ්නය බොහෝ අවස්ථාවල මතු වෙන බව අප හොඳින් දන්නා කාරණයකි.
මේ ප්‍රශ්නය අපේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට ඉතාමත්ම සංවේදී කාරණයක් බවත් ඉතාමත් පැහැදිලිය. මේ කාරණය පිළිබඳවම අපේ මිත්‍රයකු 2014 කාලයේ සිදුකළ සමීක්ෂණයක් පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඉමහත් ආන්දෝලනයකට පත්වූ බව ද මෙහිදී තවමත් මා හට මතකය. ඔහුගේ සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ ප්‍රභාකරන් නැති උතුරක් හා නැගෙනහිරක් තුළ ඒ පළාත්වල ඡන්දදායකයන් සියලුම දෙනා පාහේ ඡන්දය පාවිච්චි කළ හැකි බවත් එවැනි තත්වයකදී කිසිකෙනෙකුට සියයට පනහකට වඩා වැඩි ඡන්දයක් ලැබිය නොහැකි බවත්ය. මේ අනුව ඔහු තර්ක කළේ ඊළඟ ජනාධිපතිවරණයේදී (ඒ කියන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණයේදී) පළමු මනාපයෙන් පමණක් ජනාධිපතිවරයකු තෝරා පත්කරගත නොහැකි බවත් ඒ සඳහා දෙවැනි මනාපයත් ගනින්නට සිදු වෙන බවත්ය. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී පෙන්නුම් කළේ ඒ නිරීක්ෂණය නිවැරැදි එකක් නොවන බවය. අප කවුරුත් දන්නා පරිදි ඒ ජනාධිපතිවරණයේදී දෙවන මනාපයක් ගැනීමට අවශ්‍යතාවක් සිදු නොවූ අතර 1989 හා 2005 වර්ෂවල පැවැති ආකාරයෙන්ම (සාපේක්ෂක වශයෙන් වැඩි ඡන්ද ලක්ෂ දෙකක පරතරයකින්) ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක අපේක්ෂකයා ඒ ජනාධිපතිවරණයෙන් ද ජය ගත්තේය.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වූ අතර මුලදී මා සඳහන් කළ මිත්‍රයාගේ නිරීක්ෂණය වූ ‘ජනාධිපතිවරණයේදී දෙවන මනාපය ගැනීමට සිදුවීම’ හුදු සිතිවිල්ලක් බවට පත් විය. ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මගින් සමීක්ෂණය බොරු කර තිබුණත් රටේ සමහරුන්ගේ මතක ශක්තියේ ඇති දුර්වලකම නිසා සමීක්ෂණාගාරයට දහසින් බැඳි පියලි ලැබෙන ඉල්ලමක් බවට ඒ තත්ත්වය වර්ධනය වූ බව දේශපාලනය ගැන උනන්දුවක් දක්වන අය දන්නා කාරණයක්ය.

මේ අතර තවත් සමහරුන් මේ තත්ත්වය මත අලුත් කථාවක් ලෙසින් දැන් කියන්නේ උතුරේ ඡන්දය ලබා ගන්නේ නැතිව කාටවත් මේ රටේ ජනාධිපතිවරණයක් දිනන්නට හැකියාවක් නොමැති බවයි. මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්වන්නේ කවුරුන්දැයි තීරණය කරන තීරකයා වන්නේ උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ බහුතරයකගේ බලය තිබෙන ටීඑන්ඒ සංවිධානය යැයි සමහරුන් සිතන්නේ මේ ‘උතුරේ ඡන්දයේ ඇති බල මහිමය’ ගැන දකුණේ සමාජයට කාවද්දා ඇති අදහසත් සමඟය. මේ වන විට ජිනීවා මානව හිමිකම් කොමිසම වැනි විදේශ ජාත්‍යන්තර සංවිධානවලට පවා මේ රටේ ආණ්ඩුවලට බරපතළ බලපෑමක් කරන්නට හැකියාවක් ඇත්තේ එක් පැත්තකින් දකුණේ නායකයන්ගේ සිත් තුළ තිබෙන මේ ‘උතුරේ ඡන්දය’ ලබා ගැනීමේ අවිඥානිකමය වූ ආශාව නිසාය. සුමන්දිරන් මහතා යනු මේ රටේ සිටින සියලු නායකයන්ගේත් නායකයා බවට ඉබේම පත්වී තිබෙන්නේ ද දකුණේ නායකයන්ගේ මනසේ තිබෙන මේ කියන ‘උතුරේ ඡන්දය’ ජනාධිපතිවරණයකදී ජයග්‍රහණයේ අනිවාර්ය සාධකයක් බවට අධිනිශ්චය (Over-determined) වී ඇති තත්වයක් යටතේය. දැන් හැමෝම බලන්නේ මේ ‘උතුරේ කෑල්ල’ හරියට කළමනාකරණය කරගන්නේ කෙසේද කියාය.

දකුණේ නායකයන් අතර ‘වැඩියෙන්ම උතුරට සේවය කළ’ කෙනා පිළිබඳව තරගයක් වැනි තත්ත්වයක් ඇතිවී තිබෙන්නේත් මේ කාරණය නිසාමය. ආණ්ඩුවේ සමහර පාර්ශ්ව එංගලන්තය සමඟ හෝ එක්වී රටට හොඳ නැති යෝජනාවකට වුවත් ජිනීවා මානව හිමිකම් සැසියේදී එකට හිට ගන්නේ උතුරේ ඡන්දය පිළිබඳව ඇති මා ඉහතින් කියූ අවිඥානික පිළිගැනීම නිසාය. උතුරේ ඉඩම් යළි ලබා දීම වැනි ක්ෂේත්‍රවල අගමැතිවරයාත් ජනාධිපතිවරයාත් යන දෙදනා අතර ‘එකිනෙකා පරයා ඉඩම් නිදහස් කිරීමට දරන උත්සාහයක්’ වැනි දෙයක් පසුගිය කාලයේ අපට පෙනී ගියේත් මේ කියන කාරණයම නිසාය.

මෙහිදී මා අවධාරණයට ලක් කරන කාරණය දකුණේ දේශපාලනයට උතුරේ ඡන්දයෙන් බලපෑමක් ඇත්තේ නැත කියා සරල අර්ථයෙන් තේරුම් නොගත යුතුය. මා එසේ කියන්නේ ද නැත. එහෙත් මේ දවස්වල සාකච්ඡා වෙන ආකාරයෙන් උතුරේ ඡන්දය මේ රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාවලියේ එකම හා බලගතුම සාධකය ලෙසින් සැලකීමේ එතරම් පදනමක් නැති තර්කයක් බව මගේ අදහසය.

මා එසේ කියන්නේ හුදු කියන්නන් වාලේ නොව පසුගිය මැතිවරණවල පෙන්නුම් කරන සමහර දත්ත දෙස බැලූ විට මේ බව හොඳින්ම පැහැදිලි වෙන නිසාය. එසේම මේ රටේ සුළු ජාතීන්ගේ දේශපාලන අභිලාෂ පිළිබඳව දකුණේ සමාජයේ ඇති උනන්දුව අඩු කිරීමේ කිසිඳු අවශ්‍යතාවක් මේ කාරණය මඟින් මා මතු කරන්නේ හෝ ඉඟි කරන්නේ හෝ නැති බව ද මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

උතුරේ ඡන්දයේ බල මහිමය ගැන කියන බොහෝ අය පෙන්වන එක ‘සාම්පල් එකක්’ වන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් එවකට බලයේ සිටි මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමේ කාරණයය. ඒ පරාජයට මූලික හේතුව ලෙසින් රාජපක්ෂ මහතාගේ පාක්ෂිකයන්ගේ සිත් තුළ පවා ස්ථාපිත කර ඇති මතවාදය වන්නේ උතුරේ ඡන්ද මහින්දට නොලැබීම නිසා ඔහු පරාජයට පත්වූ බවය. එහෙත් 2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විමර්ශනය කරන විට පෙනී යන්නේ උතුරේ ඡන්දය යනු ඒ ජනාධිපතිවරණ ජයග්‍රහණය කළ කණ්ඩායමට සහායක කොන්දේසියක් (A sufficient condition) වූවා මිස අවශ්‍යතම කොන්දේසිය: (The Necessary condition) නොවූ බවය.
මගේ තේරුම් ගැනීම අනුව නම් 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද ජනාධිපතිවරයා පරාජයට පත්වී විපක්ෂ කණ්ඩායමේ අපේක්ෂකයා ජයගත්තේ ප්‍රධාන වශයෙන් කොළඹ ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක තුනේ සිදු වූ බරපතළ දේශපාලනමය වෙනස්වීමක ප්‍රතිඵලය නිසා බවය. (මේ දිස්ත්‍රික්ක තුන මේ රටේ බලය වෙනස් කිරීමට පදනම් වෙන ‘ලාංකික දේශපාලනයේ ගාසා තීරය’ යැයි කීමේ වැරැද්දක් නැති බව මගේ අදහසය).

2015 ජනාධිපතිවරණයේදී මේ දිස්ත්‍රික්කවල මැතිවරණ ප්‍රතිඵල දත්ත මගින් පෙන්නුම් කරන්නේ රටේ බලය වෙනස් කරන ප්‍රධාන මැතිවරණයකදී මේ ‘ගාසා තීරයේ’ සිදුවන දේශපාලන චලනයන්ට සමස්ත ප්‍රතිඵලය වෙනස් කිරීමේ විශාල ඉඩක් (විභවතාවක්) තිබෙන බවය.

මෙම දිස්ත්‍රික්ක තුනේ ඡන්දවල ඇති අස්ථාවර හා වෙනස්වීමේ ස්වභාවය හොඳින් අධ්‍යයනය කළ විට මේ රටේ පසුගිය කාර්තුවේ සිදුවූ දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමේ හැකියාවක් ඇත. (1) මේ කියන ජනාධිපතිවරණයට කෙටි කාලයකට පෙර පැවැත්වුණු බස්නාහිර පළාතේ පළාත් සභා මැතිවරණයේදී (එනම් 2014 වර්ෂයේ මැද කාලයේ) කොළඹ දිස්ත්‍රික්කයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පක්ෂයට වැඩි ඡන්ද එක් ලක්ෂ පහළොස් දහසක් (115000) පමණ තිබූ නමුත් ඊට මාස කීපයකට පසුව පැවති 2015 ජනාධිපතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ හැට තුන්දහසකින් (163000) පමණ පරාජයට පත් වීමත් (2) 2014 වර්ෂයේ පළාත් සභා මැතිවරණයෙන් ගම්පහ දිස්ත්‍රික්කය වැඩි ඡන්ද තුන් ලක්ෂ එක් දහකින් (301000) ජයගත් නමුත් ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද විසිහය දහසකින් (26000) පරාජයට පත්වීමත් (3) 2013 පැවැති පළාත් සභා මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කය වැඩි ඡන්ද එක් ලක්ෂ පනස් අට දහකින් (158000) ජයග්‍රහණය කළත් 2015 ජනාධිපතිවරණයේදී එම දිස්ත්‍රික්කය එම වැඩි ඡන්ද ප්‍රමාණය ඡන්ද අසූ නම දහස (89000) දක්වා අඩුවී තීබීමත් මෙහිදී අපගේ අවධානයට ගත යුතු එක් මූලික කාරණයක්ය.

මේ දිස්ත්‍රික්ක තුනේ 2013/14 වර්ෂවල එජනිස පක්ෂය ලැබූ වැඩි ඡන්ද ප්‍රමාණය පන් ලක්ෂ හැත්තෑ හතර දහසක් (574000) වූ අතර එය 2015 ජනවාරි ජනාධිපතිවරණයේදී කොළඹ හා ගම්පහ යන දිස්ත්‍රික්කවල ඍණ අගයක් දක්වාත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ අවම අගයක් දක්වාත් පහතට වැටීම හරහා මේ කලාපයෙන් පමණක් ලක්ෂ හතරකට වැඩි ඡන්ද ප්‍රමාණයක් ජනාධිපතිවරණයේදී එජනිස අපේක්ෂකයා වෙතින් විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයා වෙත දෝලනය වී ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. ඇත්තටම පසුගිය ජනාධිපතිවරණයේ ජය ගත් අපේක්ෂකයා හා පරාජිත අපේක්ෂකයා අතර ඡන්ද වෙනස මේ දිස්ත්‍රික්ක තුනේ වැඩි ඡන්දවල ගලා යාමේ ස්වභාවයට සමානව පැවති බව ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ විට තේරුම් යන කාරණයක්ය.

මේ හරහා මා මතු කරන කාරණය වන්නේ උතුරේ ඡන්දය මේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය කෙරෙහි කිසිම බලපෑමක් සිදු කරන්නේ නැති බව නොවේ. මගේ තර්කය වන්නේ ජනාධිපතිවරණයකදී මේ රටේ ඡන්දදායකයාගේ හැසිරීම උතුරේ සිට දකුණ දක්වා අනෙක් සෑම දිස්ත්‍රික්කයකම පාහේ යම් ආකාරයක ස්ථිර හා නිශ්චිත බවක් ගන්නා නමුත් ඉහතින් සඳහන් කළ දිස්ත්‍රික්ක තුන බරපතළ ආකාරයේ දෝලනයක් පෙන්නුම් කරන බවත් ඒ දෝලනය විසින් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය තීරණය කරන බවත්ය. ඡන්ද දායක ප්‍රවණතාවේ මෙම වෙනස්වීම සඳහා හේතුවන සාධක කවරේද යන මාතෘකාව මෙහිදී මා සාකච්ඡා කරන්නේ නැත. මේ රටේ ඡන්ද දායකයන් අතරින් අවිනිශ්තව පවතින (පාවෙන ඡන්ද) හා කරුණුමය පදනම් හරහා එක් දිසාවක් වෙතින් අනෙක් දිසාවට වෙනස් කළ හැකි ඡන්ද (තාර්කික ඡන්ද) ප්‍රමාණයේ විශාලතම කොටස තිබෙන්නේ මවිසින් ඉහතින් සඳහන් කළ දිස්ත්‍රික් තුනේය. එම ඡන්ද වෙනස්වීමේ ක්‍රමවේදය අනෙකුත් දිස්ත්‍රික්කවල පෙන්නුම් කරන ආකාරයේ නිශ්චිත තත්ත්වයක් (ජාතික ආගමික හෝ කුලය මත පදනම් වූ නිශ්චිත තත්ත්වයක්) පෙන්නුම් නොකෙරේ.

ඒ අනුව මේ කරුණු දෙක නිරීක්ෂණය කිරීමෙන් තේරුම් ගත හැකි තත්ත්වයක් වන්නේ මීළඟ ජනාධිපතිවරණයේ බලය වෙනස් කිරීමේ හෝ බලය තබා ගැනීමේ කේන්ද්‍රීයම කලාපයක් රැඳී ඇත්තේ උතුරේ නොව මේ ගාසා කලාපයේ බවය. එම කලාපය ජයගන්නට හැකි අපේක්ෂකයා ඊළඟ ජනාධිපතිවරණයේ ජයගන්නා අපේක්ෂකයා බවට පත්වීම ඉතාමත් පැහැදිලියයි කීවොත් නිවැරැදිය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන 
අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්





No comments:

Post a Comment