මෙවර සටහනෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධව මේ රටේ ඇතිවී තිබෙන එක්තරා ආකාරයක සංවාදයක් පිළිබදවය. විශේෂයෙන් එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් පසු මේ රටේ පවත්වන මැතිවරණවලට උතුරේ සහ නැගෙනහිර පළාත්වල ඡන්දදායකයන් කුමන ආකාරයෙන් බලපෑමක් සිදු කරයි ද යන ප්‍රශ්නය බොහෝ අවස්ථාවල මතු වෙන බව අප හොඳින් දන්නා කාරණයකි.
මේ ප්‍රශ්නය අපේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට ඉතාමත්ම සංවේදී කාරණයක් බවත් ඉතාමත් පැහැදිලිය. මේ කාරණය පිළිබඳවම අපේ මිත්‍රයකු 2014 කාලයේ සිදුකළ සමීක්ෂණයක් පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඉමහත් ආන්දෝලනයකට පත්වූ බව ද මෙහිදී තවමත් මා හට මතකය. ඔහුගේ සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ ප්‍රභාකරන් නැති උතුරක් හා නැගෙනහිරක් තුළ ඒ පළාත්වල ඡන්දදායකයන් සියලුම දෙනා පාහේ ඡන්දය පාවිච්චි කළ හැකි බවත් එවැනි තත්වයකදී කිසිකෙනෙකුට සියයට පනහකට වඩා වැඩි ඡන්දයක් ලැබිය නොහැකි බවත්ය. මේ අනුව ඔහු තර්ක කළේ ඊළඟ ජනාධිපතිවරණයේදී (ඒ කියන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණයේදී) පළමු මනාපයෙන් පමණක් ජනාධිපතිවරයකු තෝරා පත්කරගත නොහැකි බවත් ඒ සඳහා දෙවැනි මනාපයත් ගනින්නට සිදු වෙන බවත්ය. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී පෙන්නුම් කළේ ඒ නිරීක්ෂණය නිවැරැදි එකක් නොවන බවය. අප කවුරුත් දන්නා පරිදි ඒ ජනාධිපතිවරණයේදී දෙවන මනාපයක් ගැනීමට අවශ්‍යතාවක් සිදු නොවූ අතර 1989 හා 2005 වර්ෂවල පැවැති ආකාරයෙන්ම (සාපේක්ෂක වශයෙන් වැඩි ඡන්ද ලක්ෂ දෙකක පරතරයකින්) ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක අපේක්ෂකයා ඒ ජනාධිපතිවරණයෙන් ද ජය ගත්තේය.