Friday, May 14, 2021

කොරෝනා සන්නිවේදන කලාව

මෙවර කිවිදා දැක්ම සඳහා ලිවිය යුතු මාතෘකා කීපයක්ම තිබෙන බව පැහැදිලිය. එක් පැත්තකින් කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ලේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත්ය. තවත් පැත්තකින් පසුගිය සතියේ කිවිදා දැක්මෙන් මා මිත්‍ර ධම්ම දිසානායකයන් විසින් මතු කර තිබූ වෙළඳපොළ ක්‍රමය සහ රාජ්‍යයේ වගකීම පිළිබඳ කාරණයක් තවදුරටත් සාකච්ඡා කළ යුතු විෂයයක්ය. විශේෂයෙන්ම වරාය නගරය පනත ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා තත්ත්වයක් තුළ ආර්ථික ක්ෂේත්‍රයෙන් රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාම අවශ්‍යය.

එහෙත් ඒ හැම කාරණයක්ම තිබෙද්දී මා මේ සතියේ ලියන්නට බලාපොරොත්තු වන්නේ මේ දවස්වල රට මුහුණ දෙන වසංගත තත්ත්වය (සෞඛ්‍යමය ගැටලුකාරිත්වය) සහ රටේ ජන මාධ්‍යයේ හැසිරීම සම්බන්ධවය. විශේෂයෙන් ඩිජිටල් අවකාශය වර්ධනය වීමේ වේගයෙන් රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු යැයි බලාපොරොත්තු වෙන බොහෝ වෙනස්කම් හා වර්ධනයන් සිදුවී නැතැයි සමහරුන් තර්ක කරන මෙ කාලයේ මේ විෂය ඉතාමත් තීරණාත්මක වැදගත්කමක් ලබා ගන්නා බව ඉතාමත් පැහැදිලිය. ඒ නිසාම මේ වසංගත තත්ත්වය හමුවේ මාධ්‍යයේ වගකීම පිළිබඳව සහ නිශ්චිත ආකාරයෙන් යම්කිසි පණිවිඩයක් සමාජගත කිරීමේ ගැටලුකාරීත්වය පිළිබඳව අදහසක් පළ කිරීම ඉතාමත් අවශ්‍ය බව මගේ අදහසයි.

මේ පිළිබඳව අවධානය යොමු කරද්දී සිහියට ගත යුතු මූලිකම කාරණයක් වන්නේ ‘‘සන්නිවේදන අවශ්‍යතාව’’ (Communicative Rationality) කියන්නේ මිනිසාගේ මූලිකම සහ නෛසර්ගිකව පිහිටන අවශ්‍යතාවක් බවයි. මේ පිළිබඳව සාකච්ඡාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ක්ෂේත්‍රයේත් රාජ්‍ය පාලනය පිළිබඳ කරුණක්ය. ජනමාධ්‍යයේ භූමිකාව සිව්වැනි ආණ්ඩුවේ භූමිකාව යැයි කියන්නේත් රාජ්‍ය පාලනයේදී එහි ඇති වැදගත්කම නිසාය. දැනට ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙක් වන හබර්මාස් (Jurgen Habermas) කියා සිටියේ ‘‘සන්නිවේදන තාර්කිකත්වය’’ හෙවත් සන්නිවේදන අවකාශයට මිනිසා තුළ ඇති අභිලාෂය මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙසින් අප හැමෝම තුළ පවතින තත්ත්වයක් බවයි. ඒ කියන්නේ මිනිසාට තමා තුළ පවතින සන්නිවේදන කාමය හෙවත් සන්නිවේදන අභිලාෂය වසා දැමිය නොහැකි දෙයක් බවයි.

කථාකිරීමෙන් ආරම්භවී විවිධ අකාරයෙන් හා විවිධ ක්‍රමෝපාය මගින් අදහස් සන්නිවේදනය හරහා යමින් ඇහුම්කන් දීම දක්වා පැතිරී පවතින්නේ මේ කියන සන්නිවේදන කාමයේ පරාසයයි.

වෙළඳපොළ ආර්ථිකය විසින් සන්නිවේදනය යනු ඉතාමත් ලාභදායක ආදායම් ක්ෂේත්‍රයක් බවට පිළිගෙන ඇත්තේ මෙහි ඇති ‘‘එයටම ආවේනික වූ’’ වෙළඳපොළ (niche market) හැකියාව නිසාය. මානව සමාජයේ මුල් යුගයේ සිට පැවති සන්නිවේදන ක්‍රියාකාරීත්වය ගල් පුවරුවක අකුරු කැපීම සිට පුවත්පත් තාක්ෂණය දක්වා වර්ධනය වීමේදී එහි තිබුණේ වෙළඳපොළ අවශ්‍යතාව පමණක් නොව ජාතික විමුක්ති අරගල, භාෂා සටන් වැනි දේවල්ද ඇතුලත් වපසරියකි. එහෙත් 20 වැනි සියවසේ අගභාගයේ සිට වර්ධනය වන වේගවත් ඩිජිටෙල් තාක්ෂණික මාධ්‍ය අවකාශය වෙළඳපොළ ධනවාදයේ ඉතාමත් ලාභදායක සහ දේශපාලනිකව ඉතාමත් බලපෑම් සහගත තත්ත්වයක් බව පිළිගැනීම නිවැරැදිය.

මා මේ කාරණා සියල්ලම කීවේ කොරෝනා වසංගතය සම්බන්ධ සාකච්ඡා අවකාශයේ ජනමාධ්‍යයට තිබෙන වැදගත්කමේ ප්‍රමාණය පැහැදිලි කරන්නටය.

මේ වන විට අපේ රටේ ජනමාධ්‍ය (සමාජ මාධ්‍යයද ඇතුළත්ව) වැඩ කරමින් සිටින ප්‍රධානතම කලාපය වන්නේ කොරෝනා වසංගත තත්ත්වය හා එයින් මතුවී ඇති ගැටලුකාරීත්වය වාර්තා කිරීම්ය. පසුගිය 2008-2009 වර්ෂවල උතුරේ මෙහෙයුම වාර්තා කරන කාලයේ මෙන්ම විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය සැදී පැහැදී සිටින්නේ මේ පිළිබඳව ‘‘හොට් නිවුස්’’ එකක් ගසන්නටය. ඒ නිසා මාධ්‍යවල කැමරා සහ මයික් හමුවන ඕනෑම දේශපාලනඥයකු දෙසට යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය. ඒ ඒ දේශපාලනඥයන්ද (රජයේ හෝ විපක්ෂයේ භේදයකින් තොරව) මේ පැන්ඩමික් තත්ත්වය (වසංගතය) පිළිබඳව තම තම නැණ පමණ විවිධ ආකාරයේ කථා සමාජයට මුදා හරිමින් සිටින බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මේ තත්ත්වය නිසා රජයේ පැත්තේ නිශ්චිත අදහස සෞඛ්‍ය සම්බන්ධ ඇමතිතුමියන්ට හා ඇමතිතුමන්ලාට කියන්නට ඇති ඉඩ කඩ පවා සීමා වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන කාරණයක්ය. එසේම එන්නත්කරණය වැනි තාක්ෂණික කරුණු පවා මාධ්‍යයේ පෙනී සිටින හැමෝම පාහේ කියන්නට පටන් ගෙන තිබීම නිසා සමහර සංවේදී කරුණු පවා සමාජයට යන්නේ එක්තරා දුරකට අවුල් සහගත තත්ත්වයෙන් බව මගේ නිරීක්ෂණය.

සන්නිවේදන අවකාශය වසංගතය සම්බන්ධ ප්‍රවෘත්ති හරහා පිටාර ගලා ඇති (Media flood) අවස්ථාවක එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම පැති කීපයකින්ම ඉතාමත් වැදගත් බව කිව යුතුමය. මේ වසංගතය පිළිබඳව ජනතාවගේ බිය සහ තැතිගැන්ම හේතුවෙන් මාධ්‍යවල ඒ පිළිබඳව ඇති තොරතුරු මගින් ජනතාවගේ මනස බරපතළ අවුල් සහගත තැනකට තල්ලු කිරීමේ විශාල ඉඩක් පවතින බව පැහැදිලිය. ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවැන්න සඳහා බලාපොරොත්තුවෙන් සිටින සමහරුන්ට වෙනත් එන්නතක් නිර්දේශ කරන්නට යන සමහරුන් ඒ විෂය සම්බන්ධව කිසිදු ප්‍රාමාණික භාවයක් නොලත් අය බව දකින විට මේ මාධ්‍ය ක්‍රියාවලියේ ඇති බියකරුභාවය මැනවින් තේරුම් ගත හැකිය.

මෙහි ඒ ඒ ජනමාධ්‍ය ආයතන මෙම කාරණය පිළිබඳව යොදා ගන්නා දත්තවල සහ ඒ ඒ දත්ත යොදා ගන්නා ආකාරය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමත් ඉතාමත් අවශ්‍යය.

උදාහරණයක් වශයෙන් රූපවාහිනි නාලිකාවල සමහර ඉලක්කම් යොදා ගන්නා ආකාරය ඉතාමත් ගැටලු සහගතය. මේ දක්වා 2020 මාර්තු මාසයේ සිට මේ රෝගය වැළඳී සුව වී සිටින සංඛ්‍යාව ලක්ෂයකට වැඩිය. ඒ අනුව මේ දක්වා කොරෝනා රෝගය ආසාදනය වී නැවත සුව වී සිටින ලක්ෂයට අධික සංඛ්‍යාව සමහර රූපවාහිනී නාලිකාවල පෙන්නුම් කරන්නේ ලක්ෂයකට අධික ජනතාවක් මේ රෝගයෙන් පීඩා විඳිනවා වැනි හැඟීමක් එන පරිදිය. පසුගිය යුද සමයේ මාධ්‍ය තුළ පෙන්වූ ‘‘ආබාධිතයකු වීම’’ සහ ‘‘කොරෝනා පොසිටිව් වීම’’ යනු එකම ආකරයේ තත්ත්වයක් මෙන් පෙන්නීමට මාධ්‍ය ආයතන දරන උත්සාහය නිසා සමාජයේ ඉතාමත් වැරදි සෘණාත්මක අදහසක් ගොඩනැගෙන්නට ඉඩ තිබෙන බව මගේ අදහසය. යුද්ධයේදී ආබාධිතයකු වීම වනාහී ඒ පුද්ගලයාගේ ජීවිතයේ මීළඟ කාලයටම බලපාන තත්ත්වයක් නිසා ආබාධිත සංඛ්‍යාව පැහැදිලි කිරීමේ වැරැද්දක් නැත.

එහෙත් කොරෝනා පොසිටිව් වීම යනු එසේ එම රෝගය සුවවීමෙන් පසුව ජීවිත කාලයටම රැගෙන යන තත්ත්වයක් නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. ‘‘මේ දක්වා කොරෝනා පොසිටිව් වූ ප්‍රමාණය දැන සිටීමේ වැරැද්දක් නැතත්, මේ වන විට ලක්ෂයකට අධික ජනතාවක් මේ කොරෝනා රෝගය නිසා ආබාධිතව සිටිනවා’’ වැනි අදහසක් මාධ්‍ය මගින් සමාජගත කිරීම ඉතාමත් වැරදි බව මගේ අදහසය.

මේ සෞඛ්‍යමය සංකීර්ණත්වයට එහා ගිය අර්බුදජනක තත්ත්වයක් පරිපාලනමය වූ ගැටලුකාරීත්වයන් පැත්තෙන්ද මතුවී තිබෙන බවද පැහැදිලිය. ‘‘සංචරණ සීමා’’ වැනි රෙගුලාසි සම්බන්ධයෙන් සමාජයට කාන්දුවෙන අදහස බරපතළ ආකාරයෙන් ප්‍රශ්නයට සහ විහිලු සහගත තත්ත්වයකට පත්වී තිබූ බව සමාජ මාධ්‍ය බැලූවිට පෙනී යන කාරණාය. මේ තත්ත්වය අවසාන වශයෙන් පවතින රජයට එල්ලවෙන විවේචනයක් ලෙසින් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් වන හෙයින් සමහර නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ දිග හරින ගැටලුකාරීත්වයක් පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

මෙහිදී අපගේ අවධානය යොමු විය යුත්තේ ප්‍රධාන කොටස් 03ක් පිළිබඳවය. පළමුවෙන් මේ වසංගත තත්ත්වය පිළිබඳව රජය පැත්තෙන් ඉදිරිපත් වෙන ප්‍රතිපත්ති තීරණ පිළිබඳව මාධ්‍යයට සිදුකරන මැදිහත්වීම කළ යුත්තේ සෞඛ්‍යයට හා මාධ්‍යයට සම්බන්ධ අමාත්‍යංශ වෙතින්ය. රජයේ ප්‍රතිපත්ති සම්බන්ධ කාරණා නිලධාරීන්ට වඩ වඩාත් උචිත ආකාරයෙන් ඉදිරිපත් කළ හැක්කේ ඒ ඒ විෂයන්ට සම්බන්ධ අමාත්‍යවරුන් හා අමාත්‍යවරියන් විසින් බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.

දෙවනුව කොරෝනා රෝගය හා රෝගීන්ගේ සෞඛ්‍යයට අදාළ කරුණු සහ එන්නත්වල ගුණාත්මකභාවය පිළිබඳ කරුණු මාධ්‍යයට ඉදිරිපත් කළ යුත්තේ ඒ පිළිබඳව විශේෂඥභාවය ඇති වෛද්‍යවරුන් විසින් පමණක් බව මගේ යෝජනාවය. විශේෂයෙන් කොරෝනා රෝගය සම්බන්ධ වෛද්‍ය ක්ෂේත්‍රයේම අදහස් කීපයක් එකම දිනයේ ප්‍රකාශයට පත්වීමත් මෙහිදී පෙන්නුම් කරන කාරණයක් බව සැබෑය. එහෙත් එවැනි වෙනස්කම් සහිතව හෝ ඒ මතය වෛද්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික මතයක් හෙයින් ඒ මතවාද කීපය ඉදිරිපත්වීම පිළිගත හැක්කේ විශේෂඥභාවය මත පිහිටාය.

තුන්වෙනුව ආරක්ෂක අංශයේ යුදහමුදාව ඇතුළු කණ්ඩායම් සහ පොලිසියේ ප්‍රධානීන්ගේ කරුණු පැහැදිලි කිරීම්ද වැදගත් බව පැහැදිලිය. ඒ කාණ්ඩයේ අයගේ මාධ්‍ය ඉදිරිපත්කිරීම් මහජන සාමය සහ රාජ්‍ය පරිපාලනයේ නීති - රීති පවත්වාගෙන යාම වැනි ක්ෂේත්‍ර තුළට සීමා කරමින් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් බව මගේ මතයයි. එහෙම නොවන තත්ත්වයක් තුළ එතුමන්ලා ඉදිරිපත් කරන ආරක්ෂක විධිවිධාන පවා හෑල්ලුවට ලක්වීමේ ඉඩක් තිබෙන බව සමාජ මාධ්‍ය අවකාශය දෙස බැලීමේදී පෙනී යයි.

කොරෝනා කාලේ මාධ්‍ය හැසිරීම පිළිබඳව පැහැදිලි ස්ථාවරයකට පත්වීම මේ කාරණය සම්බන්ධ ඉතාමත් වැදගත් බව මේ කිවිදා දැක්මේ මගේ යෝජනාවය.




Friday, April 30, 2021

වරාය නගරය - වාමවාදය ජාතිකවාදය අවස්ථාවාදය

මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ යෝජිත වරාය නගරය ආර්ථික කොමිසම පනත හරහා ගොඩනැගී ඇති සංවාදය පිළිබඳවය. මේ දිනවල හදිසි කොරෝනා තත්ත්වය හමුවේ යම් ආකාරයකට යට ගොස් තිබෙන නමුත් පසුගිය සති කීපයේ දේශපාලන අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ වරාය නගරය සම්බන්ධයෙන් යෝජනා වී ඇති පනත් කෙටුම්පත පිළිබඳවය.

මේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේය. ඒ අවස්ථාවේ සිට මේ පනත සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් කරුණු කියන්නට සමහරු උසාවි ගොස් ඇති අතර තවත් සමහරු බරපතළ ආකාරයේ දේශපාලනික සාකච්ඡාවක් සමාජ මාධ්‍ය තුළ ආරම්භ කර ඇත්තාහ. නෛතික කරුණු සම්බන්ධයෙන් ගරු අධිකරණයේ ගොනුවී ඇති නඩු පිළිබඳව කිසිදු කාරණයක් සාකච්ඡා කිරීම මගේ මේ ලිපියේ අරමුණ නොවන බව මුලින් ම අවධාරණය කළ යුතුය. මා මෙහිදී සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව මතුවී ඇති දේශපාලන සාකච්ඡා කීපයක් පිළිබඳවය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබඳව පනත් කෙටුම්පත සභාගත වූ දිනයේ සිට මේ දක්වා ඒ පිළිබඳව මතුවී ඇති විවේචන විවිධ දේශපාලන හා දර්ශනික ආස්ථානයන් නියෝජනය වෙන බව සැබෑවක්ය. එහෙත් මා මේ ලිපියෙන් මතු කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස් තුනක් පිළිබඳවය. මේ අදහස් තුන මගේ ගණන් බැලීම අනුව නම්කළ හැක්කේ එකක් අති වාමාංෂිකවාදය මගින් මතුවෙන විවේචනය කියාය. අනෙක ඌණතිවාදී ජාතිකවාදය මගින් මතුකරන විවේචනය කියාය. තුන්වැනි එකට මා කියන්නේ පටු දේශපාලන අවස්ථාවාදය විසින් මතුකරන විවේචනයය කියාය. ඒ නිසා කෙටියෙන් කිවහොත් මේ ලිපියෙන් අභිමුඛ කරන්නේ මගේ තේරුම් ගැනීමට අනුව වාමවාදය (leftism) ජාතිකවාදය (nationalism) සහ අවස්ථාවාදය (opportunistism) යන පදනම් මත සිට වරාය නගරය පනත ගැන මතු කරන විවේචන තුනක් පිළිබඳවය.

මේ විවේචන පිළිබඳව කථා කරන්නට පෙර වරාය නගරය කියන්නේ කුමක්ද කියන කාරණය ගැන කරුණු කීපයක් පැහැදිලි කර ගැනීම අවශ්‍යය. ඉහතින් සඳහන් කළ සමහර විවේචකයන් මේ පිළිබඳව මූලික කරුණු පවා වරදවා තේරුම් ගනිමින් සිටින නිසා රටේ ජනතාවගේ පැත්තෙන් ඒ කාරණය පැහැදිලි කර ගැනීම වැදගත්ය.

අපේ රට ඉතිහාසයේ සිටම ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ වරාය ආශ්‍රයෙන් බව කවුරුත් දන්නා කාරණයක්ය. කොළම්තොටට රටේ ප්‍රමුඛත්වය ලැබුණේත් කොළඹ වරාය නිසාය. ඒ කෙසේ වෙතත් මේ වරාය ආශ්‍රය කර ගනිමින් ගොඩනගන වරාය නගරය පිළිබඳව අදහස මුලින්ම මතුවුණේ 2010 පත්වූ රජය කාලයේය. ඒ අනුව 2012 සිට මේ ව්‍යාපෘතිය ආරම්භ විය. එයින් අදහස් කළේ මුහුදින් කොටසක් පුරවා ඉදිකරන අලුත් නගරයක් ගොඩනැගීමය.

මේ වන විට ඒ මූලික ගොඩකිරීමේ අදියර නිමාවට පත්වී ඇති අතර මෙතැනින් ඉදිරියට මේ ව්‍යාපෘතිය ගෙනයාමේ ක්‍රියාදාමය 2017 වර්ෂයේ සිටම මේ දක්වා පසුගිය ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් යන ආණ්ඩු දෙකම උත්සාහ ගිනිමින් සිටින බව කීම නිවැරදිය. මේ මුහුද ගොඩකිරීම සඳහා ගිවිසුම් ගතව වැඩ කළේ CHEC Port City Colombo යන චීන සමාගම විසින් වන අතර ඒ සඳහා ඔවුන් විසින් මේ වන විට ඇ.ඩො. බිලියන 1.4 මුදලක් ආයෝජනය කර ඇත. මේ මුදල ලංකාවේ මුදල්වලින් ගතහොත් රුපියල් බිලියන 250 අධික විශාල මුදලක්ය. මෙසේ ගොඩකරන ලද වරාය නගරයේ සම්පූර්ණ භූමි ප්‍රදේශය හෙක්ටයාර් 269 හෙවත් අක්කර 664 කි. මෙයින් ගොඩනැගිලි සැදිය හැකි භූමි ප්‍රදේශය ආසන්න වශයෙන් හෙක්. 178 (අක්. 439) පමණ වන අතර අනෙක් හෙක්. 91 (අක්. 225) යෙදවිය යුත්තේ මහා මාර්ග, වෙරළ, උද්‍යාන, ඇළ මාර්ග ආදී පොදු පහසුකම් සඳහාය.

ගොඩනැගිලි සහ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා සුදුසු හෙක්. 178 (අක්. 439) න් හෙක්. 116 (අක්. 286) ආයෝජකයන් ගෙන්වා ගනිමින් සංවර්ධනය කිරීම සඳහා මුල් චීන සමාගමට වසර 99 ක් සඳහා බදු වශයෙන් ලබා දීමට තීරණය කර ඇත. (මේ තීරණය ගනු ලැබුවේ පසුගිය යහපාලනය යැයි කියා ගත් රජය කාලයේ බවද මෙහිදී සඳහන් කළ යුතුය.) ගොඩනැගිලි සැදිය හැකි ඉතිරි ඉඩම් ප්‍රමාණය ඒ කියන්නේ හෙක්. 62 (අක්. 153) ප්‍රමාණය ආයෝජකයන් මගින් සංවර්ධනය කරන්නේ ශ්‍රී ලංකා රජයේ ඍජු මැදිහත්වීම හරහාය.

දැන් මේ අලුත් වරාය නගරය ආර්ථික කොමිසම මගින් යෝජනා කරන්නේ මේ කියන සමස්ත ඉඩම් ප්‍රමාණය ඇතුළත් කලාපය (චීන සමාගම මගින් ආයෝජකයන් ගෙනෙනු ලබන අක්. 286 සහ ඍජුව ලංකා රජය ගෙනෙන ආයෝජනවලින් සංවර්ධන වන අක්. 153 යන සම්පූර්ණ කලාපය) පාලනය කිරීම සඳහා රටේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් පිහිටුවීමය.

මූලික වශයෙන් ම මේ වරාය නගරය පිහිටුවීමේ වාසිය රටේ ආර්ථිකයට ගත හැකි ආකාරයෙන් ඒ භූමිය සඳහා නීති සකස් කිරීම මිස හුදු නීති හදන්නන්වාලේ මේ නීතිය හැදීමේ කිසිදු තේරුමක් නැති බව මගේ මතයයි. ඒ කියන්නේ වරාය නගරය ලෙසින් අලුතින් පිරවූ බිමක් රටේ කොටසක් බවට පත් කරන්නට තීරණය ගත්තේ රටට තවත් හෙක්. 178 බිමක් මදිවී තිබුණ නිසා නොවන බව තේරුම් ගැනීමය. ඉතාමත් පැහැදිලිව කිවහොත් මේ බිම මුහුද ගොඩකර නිර්මාණය කළේ රටට මදි පාඩු වූ බිම්කඩක් රටේ කොළඹ දිස්ත්‍රික්කයට එකතු කිරීමේ පරමාර්ථයෙන් නොවේ. මේ ගොඩකිරීම සිදු කළේම ඒ කියන ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව නිසා මිස හුදු මුහුද පිරවීමක් සඳහා නොවන බව පිළිගැනීම මෙහිදී සිදුවිය යුතු අංක එකේ අවශ්‍යතාවයි.

අනෙක් කාරණය වන්නේ මේ වරාය නගරය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපක්ෂයම පසුගිය මැතිවරණවලදී ජනතාව සමග ගොඩනගා ගත් සමාජ සම්මුතිය වන්නේත් මෙම භූමිය රටේ විශේෂ ආර්ථික කලාපයක් ලෙසින් නෛතිකව පිහිටුවන බවයි. මේ පිළිබඳව පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වී තිබූ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ ඊටත් වඩා නිශ්චිතව මේ කාරණය පැහැදිලි කර තිබූ බව සඳහන් කළ යුත්තේ වර්තමානයේ විපක්ෂයේ අය කියන කරන දේවල්වල තිබෙන අවස්ථාවාදී තත්ත්වය නිසාය. ප්‍රේමදස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ 35 වැනි පිටුවේ සඳහන්ව තිබුණේ ‘කොළඹ වරාය නගර සීමාව ආවරණය වන පරිදි සේවා සඳහා විශේෂ ආර්ථික කලාපයක් නිර්මාණය කරන්නටත් ඒ සඳහා ආයෝජන වේගවත් කරන නීති ඇතුළත් පනතක්’ (අවධාරණය මගේ) ගෙනෙන බවත්ය.

දැන් ආණ්ඩුවේ වරාය නගර කොමිසම් සභා පනත අපි කියවිය යුත්තේ මේ සන්දර්භය තුළයග ආණ්ඩුවේ උත්සාහය වන්නේ මේ කියන නව නීතිය යටතට චීනයේ ආයෝජන සහ ලංකාවේ ආයෝජන ගොණු කර ගත් නව ආකෘතියක් යටතේ මෙම කලාපය කළමනාකරණය කිරීමය'

මේ පිළිබඳව මා මුළින් සඳහන් කළ කණ්ඩායම් තුනේ  විවේචනයන් පිළිබඳව සිතිය යුත්තේ මෙම තත්වය යටතේය'

මුලින්ම අපේ රටේ සිටින සමහර සමහර වාමවාදින් තවමත් සිටින්නේ වෙළඳපොළ ක‍්‍රමයෙන් එළියට ගොස් සංවිධානගත විය හැකි ආකෘතියක් පිළිබඳව පරණ කොමිනිස්්ට්වාදයේ තැටිය සිතේ තියාගෙනයග වාමවාදයේ න්‍යායයන් මත පදනම් වෙමින් වරාය නගරය කොමිසම ගැන ලියන ධම්ම දිසානායක සුමනසිරි ලියනගේ වැනි මිතුරන් මේ දවස්වල තර්ක කරන්නේ වෙළඳපොළ ධනවාදයේ මුලිකාංග මුලින් උපුටා දමා හදන සමාජයක් පිළිබඳව සිතේ තියාගෙනය. එවැනි අධිභෞතිකවාදයක් සිතේ තබා ගනිමින් 1977 න් පසු ඇතිවූ සියලූ තත්වයන් විවේචනය කිරීමෙන් ඒ අතිවාමවාදය සිදුකරන්නේ හුදු අහිංසක විවේචකයින්ගේ කණ්ඩායමක් නිර්මාණය කරමින් රට පිළිබඳව සන්තාපයට පත්වීම හුරු කිරීම පමණක් බව මගේ තේරුම් ගැනීමය. වෙළඳපොල ධනවාදය ලෝකයේ පහළවූ හොදම විකල්පය හෝ අවසානම විසඳුම නොවන බව සැබෑවක්ය. එසේ නමුත්, ඒ වෙළඳපොළ අවකාශය තුළ සිට ගත යුතු ප‍්‍රතිපත්තිමය අලූත්වීම් පසෙකට තල්ලූ කරමින් රටේ තත්වය පිළිබඳව සන්තාපය බෙදාහැරීමෙන් හෝ හුදු වාමාංශික කවි ගායනා කිරීමෙන් පමණක් රට මුහුණ දෙන වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීමේ හැකියාවක් නැති බව සිහියට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

දෙවනුව ජාතිකවාදය පැත්තෙන් වරාය නගරය කොමිසම පනත ගැන ඉදිරිපත් වෙන තර්කය මගින් පෙන්නුම් කරන්නේ ජාතික රාජ්‍ය සීමාව තුළ මතුවිය හැකි ‘එළියෙන් එන අනතුර’ පිළිබඳ තමන් නිෂ්පාදනය කරන මතවාදයේ ඇති බරපතලභාවයයි. චීනයෙන් එන බලපෑමක් හෝ චීනයට යටත්වීමක් ලෙසින් මේ කාරණය පාට කරන්නේ ඉහතින් සඳහන් කළ ‘අනෙකාගේ පැවැත්ම විසින් තමන්ව නිෂ්පාදනය කරගන්නා’ සහ ඒ සඳහා ඇති කර ගත් ‘බිය’ විසින් ගොඩ නගන තර්කයක් මතින්ය. ජනාධිපති විසින් පත් කරන කොමිසමක් යටතට චීනයේ ආයෝජන සහිත අක්. 286 පත් කිරීම යටත්වීමක් ලෙසින් තේරුම් ගැනීම වැරදි සහගත බව පමණක් නොව උපක‍්‍රමිකව බැලීමේ නොහැකියාවක් ලෙසින් ද පෙනෙන බව මගේ මතය ය. බොහෝ කරුණු සම්බන්ධව යම් ආකාරයක මධ්‍යස්ත කෝණයකින් බැලූ විජේදාස රාජපක්ෂ මහතා වැනි අය මේ මතවාදයට ගමන් කිරීම ඉතාමත් කණගාටුදායක ය.

තුන්වෙනිව මේ කාරණය සම්බන්ධව විපක්ෂයේ දේශපාලනයේ සිටින සමහරුන් වැඩ කරන්නේ සම්පුර්ණයෙන්ම අවස්ථාවාදි ස්ථාවරයක සිට බව මගේ නිරීක්ෂණය ය. ස්වකීය මැතිවරණ ප‍්‍රකාශයේ මෙයටත් වඩා බලසම්පන්න සහ වෙනම ම ආකෘතියක් මගින් වරාය මුල්‍ය නගරය කළමනාකරණය කරන්නට සමාජය සමග සම්මුතියක් ඉල්ලූ විපක්ෂයේ අය මේ වන විට මෙම පනතට විරුද්ධ වන්නේ තමන්ගේ රජයකින් එය සිදු නොවන නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. රොහාන් සමරජීවගේ ලිපයකින් උපුටා කිවහොත් මෙයට කියන්නේ දේශපාලන කුහකත්වය (political hypocrisy) මිස වෙන යමක් නොවේග තමන්ගේ ජීවිත කාලයම පළාත් සභාවලටත් එහා යන ව්‍යුහයකට බලය බෙදන්නට වෙහෙසුණු ජයම්පතී වික‍්‍රමරත්න වැනි අය මේ පනතට විරුද්ධ වන්නේ රටේ ඒකීයභාවයට එයින් පහරක් වදින නිසා යැයි කීම විහිළුවක් පමණක් නොව දේශපාලන වංචනිකත්වයක් ද වන බව මගේ යෝජනාවය. මේ අවස්ථාවාදයේ නියෝජනයන් පැරණි ආණ්ඩුවේ සිටි උපදේශකයින් ගණනාවකගේ හඬින් මතුවෙන්නට පටන් ගෙන තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

අපිට එරෙහි මතවාදයේ සිටින නමුත් මේ අවස්ථාවාදයෙන් මිඳී දේශපාලනය කරන දිප්ති කුමාර ගුණරත්න විසින් මතුකළ කාරණයක් වන්නේ මේ බොහෝ පෙඩරල්වාදින්ගේ දේශපාලනයේ විරුද්ධාභාෂය (Paradox in politics) වරාය නගරයට ඔවුන්ගේ එරෙහිවීමෙන් පෙන්නුම් කරන බවය. එය මේ සම්බන්ධයෙන් මතුකළ වැදගත් නිරීක්ෂණයක් බව කිව යුතු අතර මේ පනත සම්බන්දයෙන් සිදු විය හැකි පළදායී සංවාදයක් ගොඩනැගිය හැක්කේ නුතනවාදී දිප්තිලාගේ සහ ධනවාදී රොහාන් සමරජීවලාගේ මතවාදයන් සමගින් මිස අතිවාමවාදි, ඌනති ජාතිකවාදී සහ දේශපාලන අවස්ථාවාදී තර්කයන් සමගින් නොවන බව මගේ මතය ය.


(***)
(මහාචාර්ය - චරිත හේරත්)

Saturday, March 20, 2021

පරිසරය කොයිබටද?

පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ රටේ සමහරුන් පරිසර ආරක්ෂාව ගැන කතා කරන්නේ එවැනි සාපේක්ෂ ආකල්පයකින් නොව ඔහේ කතා කරන්නන් වාලේය. නිරපේක්ෂ අර්ථයකින්ය. බිම තියෙන තත්ත්වය ගැන කිසිම තේරුම් ගැනීමකින් තොර වියුක්ත ආකාරයකින්ය. මාධ්‍ය අවකාශයට ගැළපෙන පරිදිය. ලැබෙන ජනප්‍රියත්වය දෙස බලාය.

මේ දිනවල මාධ්‍ය අවකාශයේ තියෙන සාකච්ඡා අතර එක් ප්‍රධාන මාතෘකාවක් වන්නේ පරිසරය පිළිබඳවය. පරිසරය කීවාට ඒ සාකච්ඡා තුළින් මතුවෙන්නේ ගස් කැපීමක් පිළිබඳව වෙනත් අය කියන වෘත්තාන්තමය ආකාරයේ කතාය. මේ අලුත් තත්ත්වය මතුවුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇති ගසක් පිළිබඳව මතුවූ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ රූපවාහිනී පෙනී සිටීමත් සමගය. (පසුව මට දැන ගන්නට ලැබුණේ මේ අධිවේගී මාර්ගය සඳහා කරන ලද පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව -Environmental Impact Assessment EIA -සඳහා වනජවී දෙපාර්තමේන්තුවත් මුලදී එකඟ වී අනුමැති ලබා දී ඇති බවය.) මුලදී තමන්ගේ දෙපාර්තමේන්තුවම අනුමැතිය දුන් ව්‍යාපෘතිය සියලු වියදම් දරමින් සැලසුම් කිරීමෙන් පසු රූපවාහිනී දර්ශනය සඳහා එයට එරෙහි වෙන තැනකට මේ ක්ෂේත්‍රය ගමන් කරන්නේ ඇයිදැයි මා මේ අවස්ථාවේ අසන්නේ නැත. එහෙත් අද තියෙන මෙම පරිසර සාකච්ඡාව සමාජ මාධ්‍ය තුළ පදනම් විරහිත තත්ත්වයක් දක්වා ගමන් කළේ මේ සිදුවීමත් සමගය.  

අපේ රටේ පරිසරය රැකීම පිළිබඳව සාකච්ඡාව හුදු රොමෑන්තික බවකින් යුක්තව ආරම්භ වුවත් මේ වනවිට එය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බව පැහැදිලිය. මේ දේශපාලනමය මැදිහත්වීම හේතුවෙන් මෙම ගැටලුව පිළිබඳව පළල් අදහසක් සමාජය තුළ ගොඩනඟා ගැනීමේ අපහසුවක් ද මතුවී ඇත. සමහරුන් මෙම මාතෘකාව පිළිබඳව සිදුකරන කතා බහ මගින් පෙන්නුම් කරන්නේ එක්කෝ ඔවුන් මේ මේ විෂය පිළිබඳව දන්නේ නැති බවය. එහෙම නැත්නම් දැනුවත්වම ඔවුන් මේ පිළිබඳව බොරු කියන බවය. මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ පරිසරය සම්බන්ධ කරුණු කීපයක්ය. 

පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ රටේ සමහරුන් පරිසර ආරක්ෂාව ගැන කතා කරන්නේ එවැනි සාපේක්ෂ ආකල්පයකින් නොව ඔහේ කතා කරන්නන් වාලේය. නිරපේක්ෂ අර්ථයකින්ය. බිම තියෙන තත්ත්වය ගැන කිසිම තේරුම් ගැනීමකින් තොර වියුක්ත ආකාරයකින්ය. මාධ්‍ය අවකාශයට ගැළපෙන පරිදිය. ලැබෙන ජනප්‍රියත්වය දෙස බලාය.

පරිසර නීතිය

අප රටක් ලෙසින් පසුගිය වසර 72 පුරාවටම විවිධ සංවර්ධන උපක්‍රම අත්හදා බලා ඇති ජාතියක්ය. අපේ උත්සාහයන් අතරින් සමහර ඒවා ජයගෙන ඇති අතර සමහර උත්සාහයන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ජයග්‍රහණය කර නැත. දැන් අප සිටින්නේ පරිසර ජයගැනීම වගේම ආර්ථික වශයෙන් හොඳ ජීවන ක්‍රමයක්ද ගොඩනඟා ගැනීමේ අභියෝගය සමගය. අප ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත්වීම සඳහා තව බොහෝ වැඩ කළ යුතුය. මේ නිසා අපේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව සිදුකරන සාකච්ඡා සමස්තම ආකල්පයකින් කළ යුතු බව මගේ අදහසය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව කථා කිරීමේදී සංවර්ධන පැත්ත පිළිබඳවත් අවධානය යොමු කරමින් එය සිදුකළ යුතු බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

වන සංරක්ෂණය පිළිබඳව සහ වනජීවීන්ගේ ආරක්ෂාව පිළිබඳව සමහර නීති අපේ රටේ තිබුණේ යටත්විජිත පාලන කාලයේ සිටය. එසේ වුවත් පරිසරය සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය පිළිබඳව නිශ්චිත නීති පද්ධතියක් රටට පැමිණියේ 80 දශකයේදීය. ඒ 1980 සම්මත වූ ජාතික පරිසර පනත සහ වෙරළ සංරක්ෂණ පනත සමගින්ය. මේ පනත් දෙක මගින් මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩනැගුණු අතර ඒ ආයතන දෙක සමග වන සංරක්ෂණ සහ වනජීවී යන දෙපාර්තමේන්තු දෙක මේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව පසුගිය වසර 40 පුරාවට සිදුකර ඇති සේවය විශාලය.

මෙහිදී අපේ අවධානයට ගත යුතු තවත් කාරණයක් වන්නේ අපේ රටේ සමහර විශාල ව්‍යාපෘති හදද්දි මේ රටේ පරිසර කළමනාකරණයක් තිබුණේ නැති බවය. අපේ රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් දෙකක් වූ මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ පිහිටු වූ මහා පරිමාණයේ කර්මාන්ත ශාලා ආරම්භ වූ කාලයේ මේ රටේ පරිසර කළමනාකරණය පිළිබඳව නිසි ආකාරයේ නීති පද්ධතියක් තිබුණේ නැත. එසේම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගෙනෙද්දීද එවැනි පරිසර නීතියක් මත කළමනාකරණය කිරීමක් සිදුකළේද නැත. මා ඒ බව කියන්නේ පරිසර නීති දෙස නොබලා සංවර්ධනය කිරීම සුදුසු බව කීමට නොව මේ ප්‍රශ්නයේ ස්වභාවය පැහැදිලි කිරීමටය.

මාධ්‍ය දෙස බලන විට පෙනීයන්නේ වර්තමානයේ සමහරුන් මතුකරන පරිසර ගැටලුව වන්නේ වන විනාශය බවය. සංරක්ෂිත රක්ෂිතයන් තුළ නීති විරෝධී ආකාරයෙන් ගස් කැපීම් සිදුවුවහොත් ඒවා නීතියේ රුහැනට ලක් කරන්නට රජයේ ආයතන උත්සාහ ගන්නා බවද පෙනී යන කාරණයකි. එහෙත් ඒ අතරින් සමහර අවස්ථාවල නීතියේ රැහැනින් රිංගා යන අය සිටින බව හැම කාලයේම පෙනී ගිය තත්ත්වයක්ය.

එහෙත් මගේ වැඩි අවධානය තිබෙන්නේ මේ කියන හුදකලා වන විනාශයන් මත සිට පරිසර ආරක්ෂාව පිළිබඳව වියුක්ත රොමෑන්තික කතා කීම නොව සංයුක්ත ආකාරයෙන් පරිසර කළමනාකරණය පිළිබඳව අප රටක් ලෙසින් කල්පනා කළ යුතු බව සාකච්ඡා කිරීමටය.

පරිසර කළමනාකරණය

මවිසින් මුලින් කී පරිදි මෙහි දී අපේ අවධානය යොමු විය යුත්තේ සංවර්ධනය ප්‍රතික්ෂේප කරමින් සිදුකරන පරිසර ආරක්ෂාවක් පිළිබඳ හුදු ඌනතිවාදයක් දෙසට නොව සංවර්ධනය ඇතුළත් කරගන්නා පරිසර කළමනාකරණයක් වෙතටය. මෑත කාලයේ එවැනි ශක්තිමත් ආකාරයෙන් සංවර්ධනය සහ පරිසරය අතර මිශ්‍රණයක් පෙන්නුම් කළ ව්‍යාපෘතියක් ලෙසින් වත්මන් ජනාධිපතිතුමන් විසින් ඒ කාලයේ සිදු කළ නාගරික සංවර්ධන සැලසුම් ව්‍යාපෘතිය හැඳින්විය හැකි බව මගේ අදහසය.

කොළඹ නගරයේ ජලාශ්‍රිත ප්‍රදේශ ඒ ආකෘතියෙන්ම නව එකතුකිරීම් ද සහිත ගොඩ නැංවුණු එම ව්‍යාපෘතිය හරහා මේ රටේ පරිසරය කළමනාකරණය පිළිබඳව නව අදහසක් ගොඩනැගූ බව ඉතාමත් පැහැදිලිය.

පරිසර කළමනාකරණය ලෙසින් අප දැකිය යුත්තේ අවශ්‍ය ආකාරයට මානව ශිෂ්ටාචාරය ද ආරක්ෂාවන සහ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ පදනමකින් සැලසුම් සකස් කිරීමය. එහිදී පවතින පරිසර සාධක එනම් පස, ජලය, වාතය, වනාන්තර වැනි දේවල් ආරක්ෂා කරගැනීම ලෙසින් අප තේරුම් ගත යුත්තේ ඒවා තිබෙන ආකාරයෙන් තබා ගැනීම පමණක් නොව අවශ්‍යතා සඳහා සැලසුම් සහගතව ඒවා වෙනස් කිරීමත් ඇතුළත් කරගත් වැඩසටහනක් ලෙසින් බව මගේ අදහසය.

නිදර්ශනයක් ලෙසින් ගතහොත් පැරණි දියවන්නා ඔය පිළිබඳව සන්දේශ සාහිත්‍යයේ සැලළිහිනියා මගින් කියන ආකාරයේ කතා කීමෙන් පරිසරය ආරක්ෂා කරන්නට යාම පසුගාමී දෙයක් බව මගේ අදහසය. දියවන්නා ඔය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් ජෙෆ්රි බාවා විසින් යළි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් ඉදිරිපත් කළේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදීය. එම සැලසුම්වලට අනුව අලංකාර පාර්ලිමේන්තුවක් සැදීමටත් සහ දියවන්නා ජල ධාරාව නව ආකාරයකින් කළමනාකරන්නටත් ඒ කාලයේ අයට හැකි විය.

වර්තමානයේ අවශ්‍යතා සඳහා භූමිය යොදා ගැනීම්වලට අනුව ඒ දියවන්නාවම යළිත් වරක් පරිසර සංරක්ෂණය පැත්තෙන් කළමනාකරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ලේකම් කාලයේය. යම් පරිසර සාධකයක් සංරක්ෂණය හා කළමනාකරණය කිරීම යනු ඒ පරිසර සාධකය නව තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් කළමනාකරණය කිරීම මිස එයට ‘අතවත් නොතියා සිටීම’ යැයි මම සිතන්නේ නැත. යම් පරිසර සාධකයක් ඒ ආකාරයෙන් පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති නම් ඒ තත්ත්වය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් අදාළ පරිසර සාධකයට හානියක් සිදුනොවන පරිද්දෙන් සංරක්ෂණය කිරීම වැදගත් වන්නේ ඒ තත්ත්වය නිසාය.

ඒ අනුව පරිසර කළමනාකරණය ලෙසින් මා දකින්නේ විශේෂයෙන් ජාතික පරිසර පනත යටතේ ඇති සමහර රෙගුලාසි මගින් පෙන්නුම් කර ඇති ආකාරයෙන් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ශක්තිමත් ආකාරයෙන් මැදිහත්වෙන ආකාරයේ කළමනාකරණයකි. එසේ නොමැතිව ‘පරිසරයට අත නොතබමු’ යන ආකාරයෙන් පරිසර සංරක්ෂණය කරන්නට යාම මගින් සිදුවන්නේ රටක් ලෙසින් අප ඉදිරියට යන්නේ නැති සංවර්ධනය සඳහා සියල්ල බාධා බවට පත්කර ගත් සැලසුම්කරණයකි.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සිට පරිසර සාධක නොතකා හරිමින් සිදුකරන හානිදායක තත්ත්වයන් සියල්ල නැවැත්විය යුතුවා සේම පරිසර සාධක කළමනාකරණය කරමින් සිදුකරන සංවර්ධන කටයුතු ආරක්ෂා කළ යුතු බවය.