මේ සටහන ලියන්නට සිදූවී තිබෙන්නේ පසුගිය සති අන්තයේ සිදුවූ අතිශයෙන්ම භයානක හා විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් මුළු සමාජයම කැලැඹී සිටින මොහොතකය. ඒ සිදූවීමේ කම්පනයෙන් මුළු සමාජයම හිරි වැටී තිබෙන මොහොතකය. තවත් පැත්තකින් බැලුවහොත් ඊළඟට කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකිව මු`ඵ රටම එකතැනක හිරවී ඇති මොහොතකය. අනෙක් අතට මේ ගෙවෙන්නේ රටක් ලෙසින් අප සැනසිල්ලේ සිටින කාලය මෙතරම් ඉක්මනින් නිමාවේද වන ප්රශ්නය හැමගේම උප විඥානයේ වද දෙමින් සිටිනා මොහොතකය. මේ ත්‍රස්ත ප්‍රහාරය සිදූවූයේ කෙසේද යන කාරණය රූපවාහිනී තිර මගින් බලමින් සහ මේ මහා විනාශයෙන් අනතුරට පත්වූ සිය සහෝදර ජනතාවට තමා හැකි සෑම ආකාරයකින්ම උදව් කරමින් මේ රටේ ජනතාව සිටින්නේ කරන්නේ කුමක්ද වැරදුණේ කොතැන දැයි හරියට හිතා ගන්නටවත් නොහැකි අමාරු තත්ත්වයකය. මා මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ පසුගිය සතියේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බවල ස්වභාවය හෝ ඒ විනාශකාරි ත්‍රස්ත පහරදිම්වලින් සිදූවූ විනාශයේ තරම ගැන නොව අලුතින් පටන් ගත් මේ ත්රස්තවාදයේ දේශපාලනය ගැන කරුණු කීපයක් පිළිබඳය.
ත්රස්තවාදයක් කියන්නේම දේශපාලනමය සංසිද්ධියක් මත පදනම් වූ විනාශකාරි ම්ලේච්ඡත්වයක් වන බැවින් එහි ඇති දේශපාලනය තේරුම් ගන්නේ නැතිව මේ ම්ලේච්ඡත්වය පරාජය කිරීමේ හැකියාවක් නැති බව මගේ අදහසය. අනෙක් අතට බිහිසුණු ත්‍රස්තවාදයකින් බේරා ගත් රටක් නැවතත් එවැනිම ව්‍යයසනයකට තල්ලු කර දැමීම පසුපස තිබෙන දේශපාලනය තේරුම් ගන්නේ නැතිව ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාවක් නැති බවද ඒ වගේම සත්‍යයක්ය. ඒ නිසා මේ සිදූවීමේ දේශපාලනය තේරුම් ගැනීමත් මේ මොහොතේ අපේ රටේ මෙවැනි ත්රස්තවාදයක් ගොඩ නැගෙන්නට හේතු වූ කාරණා කවරේද යන්න විමසා බැලීමත් මේ ව්‍යසනයෙන් ගැලවීම සඳහා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.
මේ රටේ වැසියන් 1980 සිට 2009 දක්වාම වසර 30 ආසන්න කාලයක් ජීවිතය ගෙව්වේ එල්.ටී.ටී.ඊ ත්රස්තවාදයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ගොදුරක් නොවී සැඟවෙමින් බව කාටත් තවම හොඳින් මතකය. ඒ ත්‍රස්තවාදයෙන් තමන්ගේ දූදරුවන් බේරා ගැනීමට ඒ කාලයේ මවුපියන්ට සිදූවී තිබුණේ තම තමන්ගේ රැකියාවෙන් නිවාඩු දමා දරුවන් යන පාසල මුරකරන්නට යන්නටය. මහ මඟදී බෝම්බයකට ගොදුරු නොවීම ගැන වගකීම ඒ යුගයේ තිබුණේ උඩ දෙවියන් අතේ පමණක් යැයි සිතෙන තරමට හැමෝම සිටියේ ඊළඟ දවසේ පැවැත්ම පසෙකලා අද දවසේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කෙසේද යන කාරණය ගැන සිතමින්ය.