Friday, August 19, 2016

ආශාව කළමනාකරණය කළ යුත්තේ රාජ්‍යයද? වෙ‍ෙළඳපොළද?

ආශාව කළමනාකරණය කළ යුත්තේ රාජ්‍යයද? වෙ‍ෙළඳපොළද?


දර්ශන අධ්‍යයන සමුළුවක් සඳහා විදේශගත වන්නට සිදූවූ නිසා පසුගිය සතියේ මෙම තීරු ලිපිය ලිවීමට මා හට නොහැකි විය. රටේ සමාජ දේශපාලනික තත්ත්වයන් පැති කීපයකින්ම මේ කාලයේ වෙනස් වෙමින් තිබෙන බව බැලූ බැල්මටම පෙනී යයි. මෙහිදි ප්‍රධාන වශයෙන් ඉස්මතු වී ඇති ගැටලූවක් වන්නේ රජයේ සම්පත් පෞද්ගලීකකරණය කිරීමට සහ රාජ්‍යයේ සුබසාධන වපරිසිය හකුළුවන්නට මේ රජය වැඩ කරන්නේ යැයි මතු කෙරෙන තර්කයන්ය. එක් අතකින් මාලඹේ සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සිදූ වන සාකච්ජාවේ කේන්ද්‍රීය කාරණය වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍යයේ පංගුකාරීත්වය පිළිබඳවය.
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදි පක්ෂය වැනි වාමාංශික පක්ෂ තරමක් ආන්තික වූ පිළිගැනීමක සිටින බව පෙනී යන අතර අනෙකුත් සාම්ප්‍රදායික පක්ෂ සිටින්නේ ප්‍රශ්නය හරියට තේරුම් ගත නොහැකි ආකාරයෙන්ය.

වෙළෙඳපොළ මුල්කර ගත් ආර්ථිකයක් සමඟ කටයුතු කිරීමේදී මතු කරගත යුතු වැදගත් සාකච්ජාවක් මේ ගැටලුව සමඟ ගැට ගැසී ඇති බැවින් මේ ගැන ඍජුවම කතා කිරීම සුදූසුය. අනෙක් අතට අපේ රටේ සමහර කණ්ඩායම් වෙළෙඳපොළ ධනවාදයට එරෙහි වීමේ තාර්කික පදනම් ලෙසින් තරමක් පැරැණි සහ අසංගත ආකාරයේ තර්කයන් ඉදිරිපත් කිරීම නිසා තරුණ දේශපාලනයේ පැරැණි අතාර්කිකත්වයම නැවතත් මතුවීමේ විභවතාවක් ද පෙන්නුම් කරමින් තිබීම මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු කාරණාය.
වෙළෙඳපොළ ධනවාදය යනු මානව සමාජයේ ස්වභාවික ආශාවේ යාන්ත්‍රණයට හරියටම ගැළපෙන සහ මානව ආශාව නිසි ලෙසින් සමහන් කරන ක්‍රමවේදයක් යැයි තර්කය ප්‍රැන්සිස් පුකුයාමා විසින් මතු කරනු ලැබුයේ ශීතල යුද්ධය නිමා වීමත් සමඟය. පුකුයාමාගේ තර්කය එහෙම පිටින්ම මා පිළිගන්නේ නැති වුණත් ඒ මඟින් ඔහු ඉදිරිපත් කළ අදහස ඉතාමත් වැදගත් දර්ශනික කාරණයක් මතු කළ බව අපි පිළිගත යුතුය. මෙම මතය රැගත් ඔහුගේ කෘතිය වූ The End of History and the Last Man පළ වූයේ 1992 තරම් ඈතදීය.

එම කෘතියේ තුන්වැනි කොටසේ මතු කරන මිනිසාගේ ආශාවේ ස්වභාවය සහ ධනවාදය සමඟ මිනිස් ආශාවේ ඇති සම්බන්ධතාවය හුදූ සරල දෙයක් නොවන බවට ගෙනෙන තර්කය මෙහිදි ඉතාමත් වැදගත්ය. හේගල්ගේ දර්ශනයේ එන ‘විශ්වීය වූ ඉතිහාසයක්’ පිළිබඳ තීසිසය මත පදනම් වෙමින් පුකුයාමා තර්ක කරන්නේ මිනිස් ආශාවේ ඇති ඉතාම සංවේදි කලාපයක් පිළිබඳවය. හේගල් ස්වකීය ‘මනසේ ප්‍රපංඥවාදය’ (Phenomenology of Mind) කෘතියේ දැක්වෙන පරිදි මිනිස් ආශාව මූලික වශයෙන් තුන් ආකාරයකින් යුක්තය. එනම් (1) කායිකමය හා ලිංගිකමය වු මිනිස් ආශාව (sensual & sexual desire) (2) ‘පුද්ගත්වය’ ගොඩ නඟා ගැනීම සඳහා වූ ආශාව(identity desire) සහ (3) භෞතිකත්වයේ සීමාවෙන් ඔබ්බෙහි ඇති ‘විභවවාත්මක’ පැවැත්මක් පිළිබඳව ඇති ආශාව (desire of thymos)කියාය.

මෙහි පළමු සහ දෙවැනි ආශාවන් සරල අර්ථයෙන්ම පැහැදිලි වුණත් තුන්වැනි කාරණය තරමක් අපැහැදිලිය. විභවාත්මක ආශාව මඟින් හඳුන්වන්නේ මූලික මිනිස් ස්වභාවයේ ඇති තරමක් සංකීර්ණ එහෙත් ඉතාම තීරණාත්මක කලාපයක් වූ ‘භෞතික අවශ්‍යතාමය වූ සීමාවෙන් ඔබ්බෙහි ඇති’ එහෙත් මිනිස් හැසිරීම් මෙහෙයවන ගාමක බලවේගයක් වශයෙන් සැලකිය හැකි ආශාවක් මිනිසාට ඇති බවය. අපි මූලික මිනිස් අවශ්‍යතා වන භෞතිකමය වූ දේවල් (ගෙවල් වාහන වැනි) සහ පුද්ගලිකත්වයට එහා යන ‘ඉමක් නොපෙනෙන’ නොදූටු නිම්නයක් ලෙසින් සැලකිය හැකි ‘ආශාවේ’ කලාපයක් මිනිසාට ඇති බවය. පළමු මිනිසාගේ සිට මේ දක්වා මිනිස් ස්වභාවය වෙනස් වීම කෙරෙහි බලපාන ලද මූලිකම සාධකය මෙම විභව ආශාව බව ඒ අනුව හේගල් තර්ක කළේය. 
දැන් පුකුයාමාගේ තර්කය වූයේ වෙළෙඳපොළ ධනවාදය යනු මේ විභව ආශාව සන්තර්පණය කරන්නට හැකි මෙතෙක් බිහි වූ හොඳම ආර්ථික හා දේශපාලනමය ආකෘතිය බවය. නව සොයා ගැනීම් සහ නව ආයෝජනයන් සහිත ‘භෞතික හා බුද්ධිමය ව්‍යවසායකත්වයක්’ සඳහා මිනිසා සතු නෛසර්ගික වූ ආශාව සන්සින්දවන්නට හැකි එකම ක්‍රමවේදය වෙළෙඳපොළ ධනවාදය ලෙසින්ය. (මේ තර්කය ගැන තීරු ලිපියක සම්පුර්ණ සාකච්ජාවක් සිදූ කළ නොහැකිය). එසේම මේ පිළිබඳව මාක්ස්වාදි ප්‍රතිචාරය සහ පරිසර සාධකයන් මඟින් ධනවාදයට එල්ල කර ඇති අභියෝගයන් පිළිබඳව සාකච්ජා කිරීම වැදගත් වුවත් පුකුයාමා ඉදිරිපත් කළ මේ සංගත තර්කය පළල් ආකාරයෙන් තවමත් අභියෝගයට ලක් වී ඇත්තේ හුදූ ආන්තික වාමාංශික කවයන්වල මිස පොදු අවකාසයේ නොවන බව මගේ පිළිගැනීමය.

අපේ රටේ වෙ‍ෙළඳපොළ ධනවාදය ගැන ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණේ ඉතාමත් වැදගත් පරස්පරතාවයකි. එක් අතකින් ‘රාජ්‍යය මගින් වෙ‍ෙළඳපොළ කළමනාකරණය කළ යුතු යැයි’ සාම්ප්‍රදායිකව ශ්‍රීලනීපය කල්පනා කළ අතර එජාපය වැඩ කළේ ‘වෙළෙඳපොළට ඉඩ දි රාජ්‍යය සංවර්ධන වපසරියෙන් ඉවත් විය යුතු’ බවටය. ශ්‍රීලනීපය සමාජ ප්‍රජාතන්ත්‍රවාදි යැයි ද එජාපය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි යැයි ද කියන්නේ මේ අර්ථයෙනි. එහෙත් පළමු වතාවට මේ පක්ෂ දෙක තමන් අතර කිසිදූ මුලධාර්මික වෙනසක් නැති ආකාරයට ඒකාබද්ධ වීමත් සමඟ බරපතළ ලෙසින් මතු වී ඇති ගැටලුව වන්නේ ද රාජ්‍යයේ සීමාව කොතැනද එසේම වෙ‍ෙළඳපොළේ සීමාව කොතැනද යන කාරණය.

මා විශ්වාස කරන ආකාරයට වෙළෙඳපොළ ධනවාදය යනු මානව ඉතිහාසයේ හැමදාම තිබූ තත්ත්වයක් නොවුණත් මෙතෙක් බිහි වූ මානව සංවිධාන ව්‍යුහයන් අතරින් ඉතාම වෙනස් හා තීරණාත්මක මෙන්ම සංකීර්ණ දර්ශනික / භාවිතාත්මක ක්‍රමවේදයකි. එහි තීරණාත්මක භාවයට එක් හේතුවක් වන්නේ මූලික මිනිස් ස්වභාවයක් වූ ‘ආශාවේ යාන්ත්‍රණය’ ආමන්ත්‍රණය කිරීමට එහි ඇති ගතික නම්‍යතාවය නිසාය. දැන් එවැනි සමාජ ක්‍රමයක් වෙනුවට වෙනත් විකල්ප සමාජ ක්‍රමයන් (මාක්ස්වාදය ආගමික විමුක්තිවාද පරිසරවාදය නාසිවාදය ජාතිකවාදය වැනි) යෝජනා කරන වැඩ සටහන් පැවතුණත් ඉතිහාසයේ ගමන් මඟ පෙන්නුම් කරන්නනේ අර්බුදයට යමින් ඇත්තේ එම වැඩ සටහන් මිස වෙළෙඳපොළ ධනවාදය නොවන බවය.

මේ තත්ත්වය තුළ අපි මිනිස් ආශාව සහ වෙළෙඳපොළ ධනවාදය අතර ඇති අනුලංගනීය සම්බන්ධතාව කළමනාකරණය කිරීමේ දේශපාලනමය වූ වැඩ සටහනක් වෙත ගමන් කිරීම හැර වෙනත් ‘විප්ලවීය’ ගමනක් තාර්කිකව පිළිගැන්වීමේ බරපතළ නොහැකියාවක් සමාජයේ ගොඩ නැගී ඇති බව මගේ පිළිගැනීමය. මෙය කියු විගස එවැනි විසඳුමක් ගැන බලාපොරොත්තු ඇතිව වැඩ කරන මාගේ සමහර මාක්ස්වාදි මිතුරන් කෝපයට පත් විය හැකිය. මා කියන්නේ ඔවුන්ගේ වැඩ සටහන් අතාර්කික හෝ ප්‍රයෝජනයට ගත නොහැකි බව නොව ඒවා සංගත හා ප්‍රායෝගික වපසරියක් දක්වා ගෙන යාමේ බරපතළ අර්බුදයක් පවතින බවය. ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවන අයගේ මහන්සියට මාගේ ගෞරවයක් ඇති නමුත් එවැනි වැඩසටහන්වලින් වෙළෙඳපොළ ධනවාදයේ ප්‍රතිසංස්කරණයන් මිස විප්ලවීය වෙනස් තත්ත්වයක් ගොඩ නැගීම හැකි වෙතැයි විශේෂයෙන් මා සිතන්නේ නැත.
දැන් නැවතත් මෙරට දේශපාලනය ගැන බැලූවහොත් රාජ්‍යයේ මැදිහත්වීම හරහා වෙළෙඳපොළ ධනවාදය කළමනාකරණය කිරීම සඳහා වූ සීමාව තේරුම් ගැනීමත් වෙළෙඳපොළේ ධනාත්මක ප්‍රසාරණයක් සඳහා නියාමනය අවම කළ යුතු සීමා තේරුම් ගැනීමත් ඉතාමත් වැදගත්ය. 

මා කල්පනා කරන ආකාරයට ප්‍රාථමික අධ්‍යාපනය සෞඛ්‍යය ගමනාගමනය රාජ්‍ය ආරක්ෂාව හා ප්‍රතිපත්තිය සම්පාදනය වැනි ක්ෂේත්‍රයන්හි රාජ්‍යයේ මැදිහත්වීම තීරණාත්මකව වැඩි කළ යුතු අතර අනෙකුත් ක්ෂේත්‍රයන්හි වෙළෙඳපොළ ප්‍රසාරණය සඳහා ඇති ඉඩ නොඇහිරිය යුතුය. 
මේ අර්ථයෙන් සමාජමය වූ අවකාශයක වෙළෙඳපොළ ස්ථානගත වන අතර රාජ්‍යයේ පංගුකාරීත්වය මඟින් අසමානයන් ආරක්ෂා කරමින් ඒ අයගේ පැවැත්ම ආරක්ෂා කිරීම සිදූ වන ඇත.
මේ කාරණය ගැන පළල් සංවාදයක් නිර්මාණය කිරීම මේ කාලයේ ඉතාමත් වැදගත් ශාස්ත්‍රීය ව්‍යායාමක් බවද මෙහිදි නොකියාම බැරිය.

1 comment:

  1. රාජ්‍ය නියාමනයක් හා අධීක්ෂණයක් යටතේ පෞද්ගලික අංශයෙනි..

    ReplyDelete