පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා මේ ආණ්ඩුවේ ඇතිවූ ‘පැල්ම’ හෙවත් ‘අර්බුදය’ තවමත් සමහන් වී නැතිවා ගානය. එපමණක් නොව එදිනෙදා සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඒ අර්බුදය දිනෙන් දිනම තව තවත් වර්ධනය වන බවය. අනෙක් අතට ආණ්ඩුවේ මේ අර්බුදය හේතුවෙන් රටේ පාලනයේ ඇතිවී තිබෙන කඩා වැටීම සමහන් කරගන්නට ඒ අය යෙදූ කිසිදු උප්පරවැට්ටියක් වත් හරියට වැඩ කළේ නැති බව කාටත් හොඳින් පැහැදිලිය.

එජාපයට යම්තමින් වත් පණක් ලැබුණේ ඒකාබද්ධයේ පැත්තෙන් යැවුණ ‘වැරැදි පන්දුවක්’ වූ විශ්වාසභංගයෙන් ඒ අය ලැබු ජයග්‍රහණය නිසා බව සැබෑය. එහෙත් ඒ ජයග්‍රහණයවත් ‘මාකට්’ කරගන්නට ඉඩක් නොදෙන තරමට මහින්ද පැත්තේ මාධ්‍ය හැසිරවීම් ශක්තිමත් කරන්නට හැකිවීම ගැන මහින්ද බලවේගයේ හැමෝම සතුටට පත්විය යුතුය. ඒ සියල්ලත් සමගින් දැන් මහින්ද යළිත් දකිමින් සිටින්නේ විශ්වාසභංගය ගේන්න පෙර පටන්ම පැවති ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයේම දිගුවක් යැයි කීමේ වැරැද්දක් නැත. රටක රාජ්‍ය පාලනය වසර කීපයක් තුළ මෙච්චර අවුලක් බවට පත් කරන්නේ කෙසේදැයි මුළු ලෝකයටම ටියුෂන් දිය හැකි ගානට ආණ්ඩුවේ කඩා වැටීම හැම පැත්තෙන්ම පෙන්නුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ආණ්ඩුව පැමිණියාට පසුව කඩා වැටෙන්නේ නැතිව ඉහළටම යන්නේ ඩොලරයට සාපේක්ෂකව ඇති රුපියලේ අගය පමණක්ය. එය දිනපතාම ඉහළ යන බව අප හැමෝම දන්නා කාරණයකි. එමගින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබෙන බවත් ඒ වගේම සැබෑවක්ය.