Friday, July 29, 2016

අනගාරික ධර්මපාල සමාජවිද්‍යාවෙන් ගලවමු

අනගාරික ධර්මපාල සමාජවිද්‍යාවෙන් ගලවමු 


අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව ලියන්නට තීරණය කළේ ආචාර්ය සරත් අමුණුගම විසින් ධර්මපාල පිළිබඳව ලියූ කෘතිය ප්‍රකාශයට පත්වූ බව කියවෙන ටුවිටර් පණිවිඩය ලැබීමත් සමඟය. ආචාර්ය අමුණුගමගේ වර්තමාන දේශපාලන චර්යාව ගැන එතරම් පැහැදීමක් මට නැති වුවත් ඔහුගේ ශාස්ත්‍රීය මැදිහත්වීම් සහ ඒ සඳහා ඇති ඔහු තුළ ඇති උනන්දුවට මාගේ විශාල ගෞරවයක් ඇත. මීට වසර ගණනාවකම සිටම අපි කවුරුත් දැනගෙන සිටි අමුණුගමගේ මේ කෘතිය කියවීමට තිබූ බලාපොරොත්තුව සෑහෙන කාලයක් අල්ලාගෙන සිටින්නට සිදු වුණේ කෘතිය එක දිගටම ප්‍රමාද වූ නිසාය. මේ ප්‍රමාදයට හේතුව කුමක්දැයි පැහැදිලි සිංහලෙන් කියනවා කියන්නට වන්නේ අපි කාටත් වගේම අමුණුගමටත් තියෙන බල දේශපාලන උත්ෙප්‍ර­්රකත්වය නිසා මේ වැඩේ ප්‍රමාද වී ඇති බවය. අමුණුගම‍යන් ජේ.ආර්. ප්‍රේමදාස, ලලිත්-ගාමිණී, විජේතුංග, රනිල්, චන්ද්‍රිකා, මහින්ද හරහා මෛත්‍රී දක්වා රවුමේ ගොස් එන තුරු මේ කෘතිය කියවන්නට අපිට බලා සිටින්නට වූයේ ඒ නිසාය. මා මෙහෙම කීවේ ඔහුට අමනාපයෙන් හෝ අපහාසයක් ලෙසින් නොව අපි කාටත් වෙන දේවල් ගැන මෙනෙහි කිරීමක් ලෙසින්ය. 

එහෙත් තරමක් ප්‍රමාද වී හෝ කෘතිය නිකුත් කළ බව අසන්නට ලැබීම සතුටට කාරණයක් වූ අතර එය වෙළෙඳපොළට මුදාහළ දිනයේ ම එහි පිටපතක් මිලදී ගත්තේ එක් අතකින් මේ අධ්‍යයනය පිළිබඳව මා තුළ ඇති ශාස්ත්‍රීය කුතුහලය නිසාත් අනෙක් අතින් ධර්මපාල පිළිබඳව මා විසින් 2003 නිමා කරන ලද අධ්‍යයනය මුද්‍රණය කිරීමට මේ දිනවල මා සූදානම් කරමින් සිටින නිසා අමුණුගමගේ අධ්‍යයනය කියවීම වැදගත් වන නිසාත්ය.

අනගාරික ධර්මපාල (1864 - 1933) මේ රටේ පසුගිය සියවස් දෙක අතරතුර (එනම් 19 සියවසේ අගභාගයේ 20 සියවසේ මුල්භාගයේත්) ජීවත්වූ බරපතළම ශ්‍රී ලාංකික දේශපාලන චරිතය වූ ලෙසින් පිළිගැනීම නිවැරදිය. බ්‍රිතාන්‍ය යටත්විජිතකරණ වැඩසටහන තුළ එවකට මෙරට ජනතාව මුහුණ දුන් තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට ඔහු උත්සුක වූවා යැයි සරලව තේරුම් ගැනීම නිවැරදි වුවත් එසේ සිතීම ඔහුගේ දේශපාලන බලපෑම හා එකතුකිරීම් (influences and contributions) ගැන පාර්ශ්වීය තේරුම් ගැනීමක් පමණකි. ධර්මපාල අභියෝග කරමින් සිටියේ තමාගේ අනෙකා වූ (the other) බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ එවකට සිදුවෙමින් පැවති දේශපාලන කාරණාවන්ට පමණක් නොවේ. එම කාලය වන විට රටින් පිටව ගොස් සිටි එහෙත් ඊට පෙර කාලයේ මෙරට පාලනය කළ විදේශිකයන් වූ පෘතුගීසි සහ ලන්දේසි පාලනයන් වෙතින් මෙරට සමාජය සිදුවී තිබූ බරපතළ ව්‍යුහාත්මක හා චර්යාත්මක බලපෑම (structural and behavioral influences) හේතුවෙන් ඒ වන විට මෙරට සමාජයේ සිදුවෙමින් තිබූ බරපතළ වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමත් ධර්මපාල ව්‍යාපෘතියේ ප්‍රධාන කාරණයක් ලෙසින් අන්තර්ගතව තිබිණි. 

පෘතුගීසි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රිස්තියානිකරණයට හසුවූ මෙරට වෙරළබඩ තීරය සහ ලන්දේසි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් වර්ධනය වූ මත්පැන් පානය එක් අතකිනුත් මේ දෙඅංශයේම බලපෑම හේතුවෙන් හුදු ‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා’ ආකාරයෙන් කල් ගෙවූ මෙරට බෞද්ධයාගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීම අනෙක් අතිනුත් මේ ව්‍යාපෘතියේ ඇතුළත්ව තිබුණි. මෙය එක්තරා දුරකට බෙලභීනත්වයට හා දුගීකරණයට පත්ව සිටි මෙරට සිංහල සමාජය යම් ආකෘතියකට ගෙන ඒමට දරන බරපතළ උත්සාහයක් යැයි පිළිගැනීම නිවැරදිය. 

මෙරට බෞද්ධ සමාජයේ පැවති ආචීර්ණ කල්පිත පිළිගැනීම් හා අන්ත පසුගාමීත්වයන් පරාජය කිරීම එක් අතකිනුත් බුදුසමය තුළ ඇති හරයාත්මක භාවිතාවන් ‘යළි කියවීමකට’ ලක් කරමින් ‘නවීකරණය හා ප්‍රතිසංස්කරණය’ පිළිබඳ අලුත් න්‍යායක් ගොඩනැඟීම අනෙක් අතනුත් තමාගේ දේශපාලන ව්‍යාපෘතිය බවට ධර්මපාල පත් කරගන්නේ ඒ නිසාය. මේ තත්වයන් හේතුවෙන් තමාගේ වැඩ සටහන හුදු ‘විවේචනයක් සමාජගත කිරීමකින් නොනැවතී සම්පූර්ණ ‘සමා සංශෝධනමය’ වැඩ සටහනක් බවට පත් කිරීමටට ඓතිහාසික තත්වයන් විසින් සහ තමාගේ තාර්කික බුද්ධිය විසින් ධර්මපාල වෙත බලකරනු ලැබුණු බව පිළිගැනීම නිවැරදිය. 
ඒ නිසාම ඔහුට සිදුවූයේ අරගල ගණනාවක්ම එකවිට සිදුකිරීමටය. පෙරමුණු ගණනාවක එකවිට සටන් කිරීමටය. මේ සියල්ල එකවර සිදුකරනවා යනු මේ කපේ කළ හැකි වැඩක් නොවේ යැයි සමහර අයෙකුට සිතෙන්නේ නම් එය පුදුමයට කාරණයක් නොවේ. එක පැත්තකින් බලන විට එහෙම සිතීම නිවැරැදි යැයි සිතෙන්නේ ධර්මපාල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම පාහේ නොනිමි අරගලයක් බවට පත්වූ නිසාය. ධර්මපාලගේ උත්සාහය හරියටම සමාන වන්නේ ‘මහ කැ‍ෙල්ක අතරමං වූ මිනිසෙකු හේනක් කරන්නට සිතා කැලේ කැපීමට අවශ්‍ය උපකරණ තනියෙන්ම තමන්ම හදාගෙන කරන්නට යන ගොවිතැන ගැන දැනුමත් තමන්ම නිර්මාණය කරගෙන හේනේ වපුරන බීජ තනියෙන්ම තමන්ම හොයාගෙන හේන අන් සතුන්ගෙන් බේරා ගැනීමට හේනේ පැළේ තනියෙන්ම පැල් රකින්නට සිදුවන හුදකලා මිනිසෙකුට අත්වන ඉරණම වගේ දෙයකටය. මේ නිදර්ශනය සරල සාම්‍යයක් මිස ධර්මපාලගේ ව්‍යාපෘතිය තනුක කිරීමට ගත් උත්සාහයක් නොවන බව මෙහිදි විශේෂයෙන් කිව යුත්තේ සමහර ධර්මපාලවාදින් මේ වගේ කාරණයක් ගැන කලබල විය හැකි නිසාය.

ධර්මපාල බලපෑම ගැන අපේ රටේ වැඩියෙන්ම සාකච්ඡා කර ඇත්තේ සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් විසින්ය. ඇත්තටම අපේ රටෙන් ලෝක පරිමාණව බිහිවී ඇති උගතුන් ඉන්නේ බෞද්ධ චින්තනය පිළිබඳ ක්ෂේත්‍රයේත් සමාජ විද්‍යා ක්ෂේත්‍රයේත්ය. ලංකාවෙන් ඇමරිකාවට හා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සමාජ විද්‍යාඥයන් වන ගනනාත් ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා, එච් ජේ සෙනෙවිරත්න කිත්සිරි මලල්ගොඩ වැනි අය තම තමන්ගේ අධ්‍යයන් ස්ථානගත කරන්නේම ‘ධර්මපාල’ එක පැත්තකින් තබා ගෙනය. එක්කෝ මේ අධ්‍යයනයන් ධර්මපාලව ‘ප්‍රශ්න’ කරති. නැත්නම් ධර්මපාල ‘ප්‍රශ්නය’ බවට පත් කරති. එක්කෝ ධර්මපාලව ‘සංයෝජනය’ කරති. නැත්නම් ‘විසංයෝජනය’ කරති. දැන් අමුණුගමගේ මේ අධ්‍යයනය ස්ථානගත වන්නේද සමාජ විද්‍යාඥයන්ගේ ධර්මපාල කතිකාව තුළ වන අතර ඒ අතින් අනෙක් බො‍හෝ අයට එහා ගිය ‘මූලාශ්‍රමය’ පදනමකින් ස්වකීය තර්කයන් ගෙන ඒමට අමුණුගම උත්සාහ කරන බව පොත යන්තමින් පෙරළා බලන විටම පෙනී යන කාරණයකි. 
මා සිතන ආකාරයට ධර්මපාලගේ මැදිහත්වීම පිළිබඳව අපේ රටේ ඉතිහාසකරණය පැත්තෙන් සහ දාර්ශනික විමර්ශනයන්ගේ පැත්තෙන් සිදු වී ඇති අධ්‍යයනයන් ඉතාම සීමා සහිත බවය. ජනවාර්ගික ගැටලුව සහ මෙරට දේශපාලනයේ ශ්‍රීලනිප හා ජවිපෙ විභවය පිළිබඳව සාකච්ඡාව පැත්තෙන් ධර්මපාල මැදිහත්වීම සාකච්ඡා කර තිබුණත් එයින් ඔබ්බට යන ශාස්ත්‍රීය විමසා බැලීමක් අපේ රටේ සිදුවී නැතිවා වැනිය. අමරසේකර මහතාගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදිද’ යන නිබන්ධනයත්, නලීන් සිල්වා මහතාගේ ලිපි මඟින් මතුකරන දේවල්වලින් එහාට ගිය ධර්මපාල අධ්‍යයනයන් අපේ රටේ විශ්වවිද්‍යාල මඟින් සිදු නොවීම කනගාටුදායකය. 

මවිසින් 2003 ඇමරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා සිදු කළ අධ්‍යයනය වූ Modern Anagarika: Dharmapala’s Buddhist Moderism in Sri Lanka මඟින් සාකච්ඡා කළේ ධර්මපාල ව්‍යාපෘතියේ ඇති නූතනවාදි දර්ශනික මූලයන් මතු කරගනිමින් ආසියාතික මානයකින් මැනිය හැකි නූතනත්ව ව්‍යාපෘතියක් ධර්මපාල - ලේඛන මඟින් ගොඩනැඟිය හැකි බවට තර්ක කිරීමය. ආගම යනු නූතනත්වයට එරෙහි බලවේගයක් වශයෙන් පිළිගන්නා සාම්ප්‍රදායික අර්ථකරණය තුළ සිටින අයෙකුට එකවරම ප්‍රශ්නයක් ලෙසින් මතුවිය හැක්කේ බෞද්ධ ආගමික චින්තනය මත ගොඩ නැගුණු ධර්මපාලගේ ඉදිරිපත් කිරීම් නෛසර්ගික වශයෙන්ම නූතනත්වයට එරෙහි ව්‍යාපෘතියක් විය යුතු බවය. එහෙත් ආගම හා නූතනත්වය ගැන සාම්ප්‍රදායික තේරුම්ගැනීම භෞතිකවත් ශාස්ත්‍රීයවත් අභියෝගයට ලක්ව ඇති මේ කාලයේ එවැනි පදනමකින් ඉදිරිපත් වන තර්කයන් ඉතාම ලේසියෙන් පිළිතුරු දිය හැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. මාර්සල් බර්මන්ගෙන් පටන් ගෙන බටහිර සමාජයේ නූතනත්වය පිළිබඳව ගෙතුණු දීර්ඝ කතාවේ එක් වැදගත් කාරණයක් වන්නේ නූතනත්ව ව්‍යාපෘතිය මඟින් ‘අපගේ ජීවිතත් ලෝකයත් තුළ පවතින සියල්ල හා දන්නා සියල්ලත් සහ අපි කවරුන්ද යන්නත් ඇතුළත් සියලු තත්වයන් විනාශ කිරීම පිළිබඳ අභියෝගයට ලක් කරමින් සිදු වන වෙනස (transforming of ourselves and the world threatens to destroy everything we have everything we know and everything we are) හරහා බලය ප්‍රමෝදය හා නවමුභාවය (adventure) වෙත අප රැගෙන යන ව්‍යාපෘතියක් ලෙසින් දේශපාලනමය හා දාර්ශනික තේරුම් ගැනීමක් නූතනත්වයට ගෙන ඒමයි. 

මෙම අර්ථකථනය මත පදනම්ව පුද්ගල නිදහස, සංවර්ධනය, වෙනස, තාර්කිකත්වය සහ නව්‍යයත්වය පිළිබඳ ධර්මපාලගේ ඉදිරිපත් කිරීම ගැඹුරින් සාකච්ඡා කිරීම අවශ්‍ය බව මගේ හැඟීමයි. 

Saturday, July 23, 2016

යාපනයේ සිදුවීම සහ අපේ අනාගතය


යාපනයේ සිදුවීම සහ අපේ අනාගතය 

යාපනය විශ්වවිද්‍යාලයේ සිදූවූ ගැටුම මේ වන විට නිමා වී තිබුණත් ඒ හරහා ඇතිවූ සමාජමය තිගැස්ම සහ එයින් මතුවූ දේශපාලන සාකච්ඡාව තවමත් නිමා නැත. සංවාදයේ සමහරුන් මේ කාරණය කිසිදූ වැදගත්කමක් නොමැති සිදූවීමක් ලෙසින් නොසලකා හැර යන්නට උත්සාහ කරන අතර තවත් සමහරුන් මේ සිද්ධිය බරකළ අගයකින් උඩට ගන්නට උත්සාහ කරන බව බැලූ බැල්මට පෙනී යයි. (අවතක්සේරුව එක් පැත්තකිනුත් අධිතක්සේරුව අනෙක් පසෙනුත් මතු වෙමින් පවතියි). මෙම සිද්ධිය ගැන ලිවීම සුදූසු යැයි සිතුණේ කාරණා කිපයක්ම නිසාය. මූලික වශයෙන්ම මේ සිදූවීම වැරදියට කළමනා කෙරුවහොත් අනාගතයේදි ඇතිවිය හැකි බරපතළ ප්‍රතිවිපාක ගැන සමාජය තුළ ශක්තිමත් සාකච්ඡාවක් ඇතිවීම ඉතාමත් අවශ්‍යය යැයි මම සිතන නිසාය. අනෙක් අතට දෙමළ දේශපාලන සමාජය මේ කාරණය ගැන තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රශ්න කළ යුතු යැයි දැනෙන නිසාය. එවැනි නිහඬතාවක් දෙමළ සමාජයේ දේශපාලනය තුළින් මතු වන්නේ ඇයි දැයි විමසීම අත්‍යාවශ්‍යම කාරණයක් වන්නේ මේ ආකාරයේ නිහඬතාවක් 1975 සිට දෙමළ දේශපාලනයේ මතු වී ආ ආකාරයත් එය 1976 වඩුක්කොඩෙයි සම්මේලනය හරහා රට බෙදීමේ දේශපාලනයක් දක්වාම ගොඩ නැඟුණු ආකාරය ඉතිහාසය තුළින් පෙන්නුම් කරන නිසාය. තුන්වනුව දකුණේ සිටින අධි වාමාංශික පන්නයේ අයත් එජාපයේ ප්‍රධාන ශාඛාවක් යැයි සිතිය හැකි කොළඹ සිවිල් සමාජයේ අයත් මේ සිද්ධියට සුදූ හුනුගාමින් සිංහල සිසුන් යාපනයේ ඉගෙන ගැනීම 'උතුරේ සිංහලකරණය කිරීමක්' ලෙසින් කියන්නට පටන් ගෙන තිබීම ප්‍රශ්න කළ යුතු නිසාය. හතරවනුව මේ ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු යැයි මට සිතුණේ ඇත්ත වශයෙන්ම යළිත් වරක් උතුර දකුණ ගිනිගන්නා පරිසරයක් ගොඩනැඟීම යනු අපේ රටේ අනාගතයට පමණක් නොව මගේ අනාගතයට බරපතළ ගැටලුවක් නිර්මාණය වන නිසාය. සිංහල-දෙමළ සහජීවනය සමහරුන්ට හුදූ කයිවාරුවක් වූවාට මගේ ආසන්නම මිතුරන් දන්නා පරිදි මා හට එය එදිනෙදා ජීවන අත්දැකීමක් වන බැවින් පසුගිය කාලයේ අප ගත කළ ආකාරයේ අවිනිශ්චිත තත්ත්වයක් යළිත් උදාවීමට කොහොමටවත් දිය නොහැකි නිසා මේ සිද්ධිය ගැන ලියන්නට සිතුණි. 

මේ සිද්ධිය හරහා මුලින්ම පෙනී යන්නේ පසුගිය කාලයේ අපි භෞතිකව සිදූකළ සංවර්ධනයන් සහ ප්‍රතිසන්ධානයන් මඟින් ලැබී ඇති පශ්චාත් යුද සමාජයේ ජයග්‍රහණයන් පිළිබඳව දකුණේ අපගේ කියවීම සහ දෙමළ සමාජයේ පහළ කොටස්වල කියවීම අතර බරපතළ වෙනසක් ඇති බවය. අනෙක් අතට මේ සිද්ධියෙන් පෙනී යන්නේ යුද්ධයෙන් පසුව ගතවූ වසර හය හත තූළ මේ ජන කණ්ඩායම් දෙක එකිනෙකා ගැන විශ්වාශයකින් සිටින බව මතු පිටින් පෙන්නුම් කළත් දෙමළ සමාජයේ පහළ තට්ටුව තවමත් ඉන්නේ වෙනම අදහසක බවය. තමන්ගේ පැවැත්මේ අයිතිය සිංහල සමාජය පැහැර ගන්නේ යැයි දෙමළ සමාජයේ පහළ තීරුව කල්පනා කරන්නට පටන් ගත්තේ එසේ කල්පනා කරන්නට දෙමළ දේශපාලන නායකයින් ඉගැන්වූ නිසා යැයි අපි ඒ කාලයේ කීවෙමු. මෙතැන පෙන්නුම් කරන්නේ ඒ ඉගැන්වීම තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවදැයි අවශ්‍ය නම් ප්‍රශ්නයක් මතු කළ හැකිය. තවමත් දෙමළ සිසුන් සිතන්නේ 'තමන්ගේ මඟ හැරුණු වසන්තය'ට හේතුව සිංහල ජනතාව බවය. සිංහල සමාජය සිතන්නේ මේ තත්ත්වයේම අනෙක් පැත්තෙන්ය. ඔවුන්ට අනුව 'සියලු කැප කිරීම්' සිංහල ජාතිය සිදූ කරමින් දෙමළ ජාතිය සමඟ සමගිව වැඩ කරන්නට උත්සාහ කළත් ඒ අය කරන්නේ මිත්‍රත්වයේ දෑත සපා කෑම බවය. 
ජාතිය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයන් මඟින් කියන එක් වැදගත් අදහසක් වන්නේ 'ජාතිය' යනු ඇගැයුම් පද්ධතියක හා නිශ්චිත ජීවිතාකාරයක පරිකල්පනාත්මක පිහිටීමක් (imaginative existence of values system and a particular forms of life) ලෙසින් ආරම්භ වී එය 'ජාතික දෙයක්' (nation a 'thing') බවට පත් වන බවයි. දැන් යාපනයේ දෙමළ සිසුන් සිතන්නේ මේ තමන්ගේ 'ජාතික දෙය' විනාශ කිරීමට දකුණෙන් වෙනත් 'ජාතික දෙයක්' පැමිණ ඇති බවය. තමන්ගේ 'දෙය' රැකගන්නට විරුද්ධවාදියාගේ 'දෙයට' එරෙහි වන්නට හදන්නේ ඒ නිසාය. දකුණේ සිංහල සිසුන්ගේ වෙස් නැටුම (වෙස් නැටුමට දමිළ සම්බන්ධයක් නුවර අවසාන රජවරුන්ගේ කාලයේ සිටම පවතින බව මගේ මිතුරෙක් මා සමඟ කීවේය. මෙය සැබෑවක් නම් වැඩේ තවත් අපූරුය) යනු 'දෙමළ දෙයට' විරුද්ධව එන 'සිංහල දෙය' බවට පත්වන්නේ ඒ නිසාය. දැන් මේ තත්වය හරහා පරිකල්පිත යථාර්ථයක් සිද්ධිවාචකමය තත්වයක් බවට පත් කරගනිමින් ඒ කියන්නේ ජාතිය ලෙසින් අපි පිළිගන්නා ඇගැයුම් පද්ධතියක් කල්පනා ලෝකයක සිට භෞතික ලෝකයේ පවත්නා 'දෙයක්' බවට පත් කරගනිමින් ඒ මත විනිශ්චයන් තබා තීරණ ගැනීමේ ක්‍රියාවලියකට යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් පෙලඹෙන්නේ මේ තර්කය හරහාය. 1970 දශකයේ ආරම්භ වූ තත්වයත් මෙයටම සමාන බවක් දක්වන අතර එහිදි සිදූ වූයේ මේ තත්ත්වයට තවත් සාහිත්‍ය සහ ශාස්ත්‍රීයත්වය එක් වීමත් එයට දේශපාලන වැඩ සටහනක් නිර්මාණය වීම හරහා'ජාතික දෙය රැක ගැනීමේ' දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ විමත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සිතෙන තරමේ කණ්ඩායමක් නිර්මාණය වීමත්ය. 
අපේ රටේ ජාතික ගැටලුව සම්බන්ධව වැඩ කරන බොහෝ අය මේ ප්‍රශ්නයේ දේශපාලන විද්‍යාමය කලාපය හෝ ඉතිහාසමය කලාපය ගැන උනන්දූ වූවාට එහි ඇති දාර්ශනික පදනම ගැන සංවේදි වන බවක් පෙනෙන්නේ නැත. මීට පෙර මවිසින් මෙම තීරු ලිපියෙන් පැහැදිලි කළ පරිදි සමාජය සම්බන්ධ ප්‍රශ්නවලට උත්තරයක් සොයන තරමටම වැදගත් වෙනත් කාරණයක් වන්නේ තමන් පිළිතුරු සොයන්නට උත්සාහ කරන ප්‍රශ්නය පැහැදිලි කර ගැනීමට මහන්සි වීමය. විසි වන සියවසේ සුවිශේෂ දාර්ශනිකයකු වූ විට්ගන්ස්ටෛයින් වරක් පැවසූවේ සමාජමය වූ ක්ෂේත්‍රයන් හි ගොඩ නැඟෙන ගැටලු සම්බන්ධව තාර්කික වූ පිළිතුරු සෙවිය නොහැකි බවය. ඇගැයුම්ශීලි හෝ ප්‍රතීයමාන ක්ෂේත්‍රයන්හි (value based and normative) එකඟතාවන් යනු තාර්කික එකඟතාවන් නොව සමාජමය වූ එකඟතාවන් බවය. මෙම ක්ෂේත්‍රයේ නිගමනයන් යනු තාර්කික වශයෙන් අර්ථශුන්‍ය එහෙත් යම් ප්‍රයොජනයක් තිබිය හැකි ප්‍රකාශයන් (logically meaningless but socially useful) බව ඔහුගේ අදහස විය. මේ කාරණය තවත් පැහැදිලිව කිවහොත් ජාතිය පිළිබඳ සංවාදය රැගත් කලාපය තුළ ගොඩ නැඟෙන විනිශ්චයන් අපිට පැවැත්මට අවශ්‍ය දේවල් විය හැකි වුවත් ඒවා තාර්කික වශයෙන් ඒ ඒ සංස්කෘතික ජීවිත ආකාරයන්ට අදාළව මිස සමස්ත වශයෙන් අර්ථයක් ගොඩ නගන්නේ නැති බව ඔහුගේ අදහස විය. උඩරට නැටුම ඒක සන්දර්භයක ජීවිත ආකාරයක් ලෙසින් වැදගත් වන අතර දෙමළ නැටුම තවත් සන්දර්භයක ජීවිත ආකාරයක් ලෙසින් වැදගත් දෙයක් ලෙසින් සැලකිය හැකිය. මේ දෙකින් හොඳ නැටුම කුමක්දැයි ඇසීමේ අර්ථයක් නැත්තේ එම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර නියෝජනය කරන්නේ පිළිතුර දෙන්නා අයත් වන සන්දර්භයට මිස තාර්කිකව අර්ථය සම්බන්ධ සාකච්ඡාවකට නොවන බවය. 
දැන් මේ කාරණය පිළිබදව ගොඩ නැඟෙන සාකච්ජාවේ දී ජාතියේ පැරැණිම සංරචකය දෙමළද නැතහොත් සිංහලද යන ආදිකෘත තර්කයට (Primordial argument) හෝ ජාතිය යනු නූතනත්ව ව්‍යාපෘතියේම ප්‍රකාශනයක් ය යන නුතනවාදි (modernist) පිළිගැනීමටත් පමණක් ලඝු වන්නේ නැතිව මේ ප්‍රශ්නය දෙස බැලීම වැදගත් බව මෙහිදි පෙන්වා දිය යුතුය.

Saturday, July 16, 2016

යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම

අද දින යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම කල්පනාවෙන් කලමනානරනය කල යුතුයි . වැරදිකරුවන්ට දඩුවම්දීම වහාම කිරීමත් බරපතල අවධාරනයක් එම විශ්ව විද්‍යාලයේ පාලක සභාවට යවමින් උතුරෙ සිංහල සිසුන්ට ඉගෙනගැනීමට ඇති අයිතියත් දකුනේ දෙමල සිසුන්ට ඉගෙන ගැනීඹට ඇති අයිතියත් නැති කිරීමෙ උත්සාහයක් දක්වා මෙම සිදුවීම ගෙනයාමට කාටවත් ඉඩ නොදිය යුතුයි.

Friday, July 15, 2016

භාෂාව සහ ආශාව

භාෂාව සහ ආශාව 


පසුගිය සති කීපය පුරාම මගේ මේ සටහනට පදනම් කරගත්තේ රටේ එදිනෙදා දේශපාලනයේ සිදුවන සිදුවීම්ය” දේශපාලනමය කියවීම් හුදු සිදුවීම් මත පමණක් තබා විස්තර කිරීමෙන් ඔබ්බට යා යුතු බවත් එම දේශපාලන සිදුවීම් පසුපස තිබෙන දෘෂ්ටිවාදි තත්ත්වයන් මතු කරගනිමින් සිදුකරන විෂ්්ලේශණයන් අවශ්‍ය බවත් අපේ රටේ ‘දේශපාලන සාකච්ඡාවන්’ දෙස බැලීමෙන් කදිමට පැහැදිලි වේ. මේ සතියේ මගේ සටහනින් තරමක දාර්ශනික කාරණයක් කථා කළ යුතු යැයි සිතුණේ ඒ නිසාය. එහෙත් සරල සිංහලෙන් හැමෝම දන්න සිද්ධියක් ගැන ලියන දේවල් වුණත් සමහරුන් කියන්නේ ඒ අයට ‘තේරෙන්නේ නැති’ බවය. තවත් සරලව ලිවිය යුතු බවය. එවැනි තත්ත්වයක දර්ශනික කාරණා තේරෙන සිංහලෙන් කියන්නට ගොස් තත්ත්වය තවත් සංකීර්ණ වන්නටත් පුළුවන . රටේ හුඟක් අයට හුඟක් දේවල් තේරෙන්නේ නැති සන්දර්භයක සිටින අපිට සංකීර්ණ යමක් සරලව කියන්නට උත්සාහ කිරීමම අභියෝගයක් බව පිළිගනිමින්ම මේ සටහන ලියන්නට සිතුවෙමි. 


තොරණක් ඉස්සරහ පැත්තෙන් බලන විට පෙනෙන්නේ සරලව සුන්දරව හා පැහැදිලිව වුවත් එම තොරණේ පසුපස ඇත්තේ සංකීර්ණ පටලැවුණු හා විසිරුණු තත්ත්වයක් බව තොරණ නොගැසුවත් බොහෝ අය දන්නා කාරණයකි. ඒ වගේම අපි අපගේ එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන 'සිද්ධිමය ලෝකය’ අත් විඳින්නේ සරලව සුන්දරව සහ පැහැදිලිව විය හැකි වුවත් එය පසුපස ඇති තත්ත්වයන් ඥානවිභාගාත්මකව තේරුම් ගන්නා විට පෙනෙන්නේ සංකීර්ණ පටලැවුණු සහ විසිරුණු ආකාරයෙන්ය. මෙම පටලවිලි සහගත තත්ත්වයන් තේරුම් ගැනීම සහ විමර්ශනය කිරීමම දාර්ශනික සහ දේශපාලනික ක්‍රියාදමයක් බව මෙහිදී පැහැදිලි කළ යුතුය. 

මවිසින් මීට පෙර සටහනක ලියූ පරිදි අපේ රටේ අපි මුහුණ දෙමින් සිටින ප්‍රධාන අභියෝගයක් වන්නේ 'ප්‍රශ්නවලට පිළිතුරු’ නැති වීමට වඩා 'ප්‍රශ්නය විමර්ශනය කර ගැනීමේ හැකියාව නොමැති’ නිසාම ඇති කරගත් තත්ත්වයක්ය. අපි කරමින් ඉන්නේ ප්‍රශ්නයක් විමර්ශනය කරගන්නේ නැතිව එයට තම තමන්ගේ හැඟීම් හා ප්‍රඥප්තීමය නිර්වචනයන් (normative interpretations) තවරමින් ප්‍රශ්නය 'මඩ කරගන්නා' තත්ත්වයක් ගොඩනැගීමයි. එසේ තම තම නැණ පමණ ප්‍රතිනිර්මාණය කරගත් (මඩ කරගත්) ප්‍රශ්න විසඳන්නට දේශපාලනඥයාගේ සිට ආගමික නායකයා දක්වා හැමෝම උත්සාහ දරමින් සිටිති. විසඳලා ඉවර වෙන විට විසඳී ඇත්තේ තිබුණු ප්‍රශ්නය නොවන බව තේරුම් ගන්නා අපි යළිත් පළමු වටයෙන්ම ගැටලුව 'මඩකරන්නට’ පටන් ගන්නෙමූ. (අපි කවුරුත් විසඳන්නට උත්සාහ කරන ජාතික ගැටලුව මෙයට කදිම නිදසුනකි). නිදහසින් පසුව අපේ රටේ දේශපාලනයේත් ශාස්ත්‍රීය සාකච්ජාවේත් ඇති මේ ස්වභාවය පරාජය කළ හැක්කේ ජන්දයෙන් නොව විධික්‍රමික සහ විමර්ශනය මැදිහත් වීමකින්ය .

භාෂාව යනු අපේ පැවැත්මේ අනුලංගනීය ස්වභාවකි. මිනිසා ස්වභාවයෙන්ම භාෂාත්මකභාවයකින් යුක්ත වන නිසා එම භාෂාත්මකත්වය යනු සත්භාවාත්මක (ontological) තත්ත්වයක් වන අතර එම තත්ත්වය පාවිච්චි කරමින් අපි කථා කරන භාෂාවන් අපි විසින්ම නිර්මාණය කරගන්නෙමු. ඒ අනුව කථාකරන භාෂාව යනු සංස්කෘතික (cultural) නිර්මාණයක් වේ. වඩාත් සරලව ගතහොත් භාෂාව රූපකයන් දෙකක් එකවිට නියෝජනය කරයි. එකක් ස්වභාවිකව අපිට ඇති (වෙනස් කළ නොහැකි) භාෂාත්මකභාවය වන අතර අනෙක වන්නේ එම තත්ත්වය පාවිච්චි කරමින් අපි සංස්කෘතිකව නිර්මාණය කරගන්නා (වෙනස් කළ හැකි) භාෂාවයි. මනෝවිද්‍යාව සහ දර්ශනයේදි බරපතළ ආකාරයෙන් සැළකිලිමත් වන්නේ මා පළමුවෙන් සඳහන් කළ මිනිසා සතුව ඇති මෙම භාෂාත්මකභාවය පිළිබඳවය. විසිවන සියවසේ ක්‍රේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයන් මුල්කරගත් භාෂාත්මක දර්ශනවාදින් එක් විටෙක තර්ක කළේ භාෂාව සහ යථාර්ථය යනු දෙකක් නොව එකක් බවය. එයට හේතුව වූයේ මිනිස් ඥානය සම්පූර්ණයෙන්ම පදනම්වන්නේ භාෂාත්මකභාවය මිනිස් විඥානය සමඟ ගොඩනගන සම්බන්ධතාවය මත බවට ඇති පිළිගැනීමයි. වෙනත් ලෙසකින් කීවොත් ඔවුන් තර්ක කළේ භාෂාත්මකභාවය මකා දැමුවහොත් (delete කළහොත්)ඥානය සම්බන්ධ සාකච්ජාව නිමා වන බවයි. දැන් භාෂාව මඟින් අප ඍජුව ඉදිරිපත් කරන අදහස් පමණක් මත අර්ථය පිළිබඳව හෝ යථාර්ථය පිළිබඳව තීරණ ගැනීම නිවැරැද යන ගැටලූව මේ සමඟ මතුවන්නේ එක් විශේෂ හේතුවක් නිසාය. එනම් භාෂාත්මකභාවය ස්වාභාවික වී කථාකරන භාෂාව සංස්කෘතික වන තත්ත්වයක් තුළ එම සංස්කෘතික භාෂාවේ අර්ථයන් ස්වභාවිකව කාටත් පොදු ඒවාද යන්න ගැටලුවයි. මේ නිසාම යම් දෙයක් පිළිබඳව එක් අයෙකු දෙන නිගමනයක් යනු නිශ්චිතව හැමෝටම එකඟ විය හැකි (හෝ එකඟ විය යුතූ) දෙයක්ද නැතහොත් ඒ ඒ නිගමනයන් යනු විවිධ සන්දර්භයන්ට අනුව ගොඩනැගෙන සමාජමය නිෂ්පාදනයන්ද යන ගැටලුව බරපතළ අයුරින් මතුවන නිසාය. (ඇ‍ෙමරිකාව 'ත්‍රස්තවාදය’ ලෙසින් කඟවන දෙය තවත් රටක 'විමුක්තිවාදය’ ලෙසින් අර්ථ දක්වන්නේ නම් පිළිගත යුත්තේ කුමන නිගමනයද යන ගැටලුව මේ සඳහා උදාහරණයක් ලෙසින් දැක්විය හැකිය). දැන් භාෂාවේ ඇති මේ බරපතළ අර්බුදකාරි සහ වාදභරිත තත්ත්වය තුළ නිශ්චිතව පිළිගත හැකි නිගමනය පිළිබඳව සංවාදය අපේ රටේ සමාජ සිතීමේ විශාල කලාපයක්ය. 
අනෙක් අතට භාෂාව සහ ආශාව අතර ඇති සම්බන්ධය හා වෙනසද මෙහිදි තවත් වැදගත් කාරණයකි. අපගේ භාෂාත්මක හැසිරවීමේ (විශේෂයෙන් කථනයේ) ඇති 'බලපෑම් සහගත බලය' යනු සීග්මන් ප්‍රොයිඩ් සාකච්ජා කළ මුලික කරුණකි. මනෝ විශ්ලේෂණයේදි මුලික වශයෙන් සිදු කෙරෙන්නේ මෙම කාරණයෙන් ආරම්භ වන භාෂාවේ ගැටලු සාකච්ජා කිරීමයි. භාෂාත්මකාශාව (desire in language) ලෙසින් හැඳින්විය හැකි 'භාෂාව මඟින් මතුවන ආශාව' මඟින් සිදුකරන බලපෑම පිළිබඳව තේරුම් ගැනීමත් එසේම සමස්තයක් ලෙසින් මිනිසාගේ සියලුම ආකාරයේ සංකේතාත්මක අන්තර් සම්බන්ධතාවන් පිළිබඳව හැදැරීමත් ප්‍රොයිඩ්ගේ අවධානය යොමු වූ ක්ෂේත්‍රයන්ය. භාෂාව මඟින් මතු කෙරෙන ආශාව අනෙකුත් ආශාවන් මෙන් නොව ඍජුවම නොපෙන්වන සුලු ‘වසාගත්’ එකකි. එම ආශාවේ ඇති නොපෙන්වන සුළු හැසිරීම සහ එම හැසිරීම්වලින් අප වෙත සිදුවන බලපෑම තේරුම් ගැනීම පහසු දෙයක් නොවේ. එසේ වන්නේ ඇයි? මෙහි ඇති ගැටලුව කුමක්ද? යන්න විමසා බැලීම මනෝ විශ්ලේෂණයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වූ ඒ නිසාය . 

අපගේ ශරීරයේ අවශ්‍යතාවන් (ආශාවන්) ක්‍රියාත්මකවීමේදි ඒවා ඍජුවම අපේ ආශාවන්ට අනුවම ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඒවා ක්‍රියාත්මක කිරීමේදි සංස්කෘතියේ අණ පණත් වලට (භාෂාවට) යටත්වීමට සිදු වන අතර 'සංස්කෘතික' අණ පණත්වලට 'ආශාව’ යටත්වීමේදී ඇතිවන තත්ත්වය සාකච්ඡා කිරීමත් මිනිසාගේ පූර්ව මිනිස් ආශාවන් ඒ ආකාරයෙන් මුදා හැරීමට නොහැකිව ඒවා සමාජමය වූ අරමුණුවලට අනුව හැසිරවීමට සිදුවන අවස්ථාවලදී මතුවන තත්ත්වය සාකච්ඡා කිරීමත් මෙහිදී ඉතාමත් වැදගත් කාරණාය. 
සමස්තයක් ලෙසින් ගත් විට භාෂාව මඟින් සිදුවන්නේ මිනිස් ආශාව යම් නීතියකට යටත් කිරීම වන අතර එසේ වුවත් මිනිස් ආශාව යටතේ ක්‍රියාත්මක වන සියලු අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව කියා පෑමට භාෂාවට නොහැකි වන තත්ත්වයකදී සිදුවන්නේ කුමක්ද යන කාරණය විශ්ලේෂණාත්මකව බැලීමත් එසේ භාෂාව මඟින් (භාෂාවේ නීති රිතීන් මඟින්) මඟ හරිනු ලබන මිනිස් ආශාවේ ක්ෂේත්‍රය හැදැරීමත් දේශපාලනික කාරණයක් බවට පත් වන බව පිළිගත යුතුම සත්‍යයකි . 

Friday, July 8, 2016

රාගම සිට මාලඹේ හරහා ‘ත්‍රිමාවිතාරණ’ තත්ත්වයක් යළිත් එයිද?

රාගම සිට මාලඹේ හරහා ‘ත්‍රිමාවිතාරණ’ තත්ත්වයක් යළිත් එයිද?


අපේ රටේ දේශපාලනය සම්බන්ධව බැරූරුම්ව සිතන ඕනෑම අයකුට මඟහැර යා නොහැකි ඉතා වැදගත් කාරණයක් බවට මාලබේ වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ප්‍රශ්නය පත් වෙමින් තිබේ. මේ කාරණය ගැන කථා කිරීමට සිතුවේ සමහර විටෙක ඉදිරි කාලයේ ලංකාවේ තරුණ දේශපාලනයේ බොහෝ වෙනස් වීම් මේ සිද්ධිය මුල් කරමින් සිදු වේයැයි මට සිතෙන නිසාය. එය නිකම්ම නිකම් සිතිල්ලක් පමණක්යැයි සිතා කෙනකුට එය අවඥාවෙන් බැහැර කිරීමට පුළුවන. එහෙත් මෙරට දේශපාලනය සහ ඉතිහාසයේ දේශපාලන පෙළගැස්ම මතක තිබෙන මගේ පරම්පරාවේ අයට නම් මේ කාරණය විහිළුවක් හෝ හිතලුවක් නොවේයැයි මම විශ්වාස කරමි. 

අපේ රටේ තරුණ වාමාංශික ව්‍යාපාරය ලෙස දෙවන වටයේ ජවිපෙ කරළියට බැස්සේ 1978 විජේවීර ඇතුළු එම පක්ෂයේ නායකයන් සිර ගෙයින් නිදහස් වීමත් සමගය. විජේවීර 1982 ජනාධිපතිවරණයට තරග කෙරුවේ ඒ තරගය හරහා ‘ප්‍රජාතන්ත්‍රීයවම’ රටේ දේශපාලන බලයේ තුන්වන ස්ථානය ජවිපෙට ලබාගනිමින් වමේ දේශපාලනයේ උරුමය තනිකරම සින්න කරගැනීමට හැකි වෙතැයි සිතූ නිසා විය යුතුය. එසේත් නොමැති නම්, විපක්ෂයේ ජනප්‍රියම නායිකාවට තහංචි දමා කෙරෙන මේ ජනාධිපතිවරණය ඔස්සේ තමාගේ දේශපාලනය ‘අලුත් ප්‍රජාතන්ත්‍ර අවකාශයේ සලු කරගැනීමටත්’ කදිම අවස්ථාවක්යැයි ඔහු සිතූ නිසා විය යුතුය. 
විජේවීර සිතුවේ මේ විකල්පයන් දෙකෙන් එකක්ද, නැත හොත් වෙනත් යමක්දැයි අප හරියටම දන්නේ නැති වුණත් ඔහු දෙවැනි වටයේ ප්‍රජාතන්ත්‍ර දේශපාලනට දෙවරක් නොසිතා අවතීර්ණ වෙමින් සිටි බව නම් සැබෑය. එහෙත් ඔහුගේ ප්‍රජාතන්ත්‍ර සිහිනය දවල් හීනයක් බවට පත් කරන්නට ජනාධිපති ජයවර්ධන කටයුතු කළේ ඉතා අසාධාරණ හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් ජනතා විමුක්ති පෙරමුණ තහනම් කරමින් බව බොහෝ අයට මතක ඇත. තමන්ව ප්‍රජාතන්ත්‍ර අවකාශයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධීව පිටමං කිරීම විජෙවීර භාර ගත්තේ අතිශයෙන්ම බරපතළ සහ භයානක ආකාරයෙන් බවද ඒ ‘බය හිතෙන’ අතීතය හරහා ගමන් කළ අපි කවුරුත් හොඳින් දන්නෙමු. රටම ගිනි ගත් ඒ බිහිසුණු යුගයේ ගොඩනැඟුණු තීරණාත්මක දේශපාලන සටන් පාඨයක් වූයේ රාගම පිහිටි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය අහෝසි කරව් යන සටන් පාඨයයි. මේ මාලබේ වෛද්‍ය විද්‍යාලය පිළිබදව සිදු වෙමින් පවතින දේවල් දකින විට සිතෙන්නේ ඉතිහාසය යළිත් ආපස්සට කැරකෙමින් තිබෙනවා වැනි අදහසකි. ඒ කාලයම යළිත් වරක් එන්නේදැයි මට සිතුණේ සමහර සිදුවීම් අද සිදු වන්නේ එද ආකාරයෙන්ම වගේයැයි බැලු බැල්මටම පෙනී යන නිසාය. නාට්‍යයත් සමානය. රඟපාන හුඟක් නළුවෝත් සමානය. අද යළිත් බලයේ සිටින්නේ එදා බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයමය. අද අගමැතිවරයා වන්නේ එදා සිටි ශක්තිමත් සිටි අධ්‍යාපන ඇමැතිවරයාමය. අද මාලබේ ‘පිළිගැනීම’ ගැන තීරණය කරන වෛද්‍ය සභාවේ සභාපතිවරයා වන්නේ එදා රාගම වෛද්‍ය විද්‍යාලයේ විභාග පැවැත්වීම ඔස්සේ එය ‘පිළිගැනීමට’ කොන්තරාත්තුව පැවරුණු (එහෙත් එය ඉටු කිරීමෙන් වැළකී සිටි) කොළඹ වෛද්‍ය පීඨයේ එවකට පීඨාධිපති කාලෝ ෆොන්සේකා මහතාය. අද සෞඛ්‍ය අමාත්‍යවරයා එදා සටනේ මුලදී සිසුන් සමග එකට සිටි දන්ත වෛද්‍ය සංගමයේ එවකට සභාපති රාජිත සේනාරත්න මහතාය. අද සටන මෙහෙයවන ‘අන්තරය’ එදා සිටි අන්තරයේම වර්තමාන ප්‍රකාශනයය. එදා අන්තරය මෙහෙයවූ ජවිපෙ පක්ෂයක් ලෙස අද නොපෙනුණත් අද අන්තරය දුවවන්නේ එදා ජවිපෙ ඇතුළේ නොපෙනෙමින් සිට ඒ පක්ෂය දිවවූ නායකයින්ය. පරණ ආකෘතියේ සටන් පාට, පාගමන්, අඛණ්ඩ සත්‍යග්‍රහ, කොළඹ වටකිරීම් එක වගේම සෑම සතියකම සිදු වෙමින් පවතින්නේය. බැලු බැල්මට පෙනෙනේනේ පරණ නළුවන් කීප දෙනකු සමග අලුත් අය යළිත් එකම නාටකයක් රඟපානවා කියාය. නාටකයේ පිටපතත් එක වගේමය. ‘රාගම’ කියා තිබුණු තැනට ‘මාලබේ’ කියා වෙනස් කර ඇති බව සැබෑය. ඊට අමතරව ඇති එකම වෙනස කාලයේ වෙනස් වීම පමණය. ප්‍රසිද්ධ ගීතයක තිබෙන ආකාරයට කාලය කොතරම් නපුරුද කියා සිතෙන්නේ එකම ව්‍යසනයේ නාටකය දෙවරක් පෙන්නීමට යන බවක් දැනෙන විටය; ඒ ව්‍යසනය කවුරුවත් හරියට තේරුම් ගන්නා බවක් නොපෙනෙන විටය. 
දැන් මේ ‘එකම’ ප්‍රශ්නය යළියළිත් එන්නේ අපේ රටේ උසස් අධ්‍යාපනය සම්බන්ධව ඇති බරපතළ ප්‍රතිපත්ති ගැටුමක් හේතුවෙන්ය. උසස් අධ්‍යාපනය සම්බන්ධ මේ රටේ ප්‍රතිපත්තීන් සහ නෛතික තත්ත්වයන් තරමක් යල් පැන ගොස් ඇති බව මේ වන විට බොහෝ අය මතු කර ඇති කාරණයකි. අනෙක් අතට අධ්‍යාපනය සම්බන්ධ වැදගත් ප්‍රතිසංස්කරණ මෙරටට ගෙනා සාම්ප්‍රදායික වාමාංශික ව්‍යාපාරය 1977 පාර්ලිමේන්තුවෙන් පිටමං කිරීම සහ රටේ තිබූ සුභසාධන කෙරෙහි තිබූ ‘වාමාංශික මතවාදි ආධිපත්‍ය’ 1989 සෝවියට් සංගමයේ බිඳවැටීමත් සමග නිමා වීම මේ තත්ත්වය කෙරෙහි බලපාන ලද තවත් හේතූන්ය. අනෙක් අතට මෙහිදී වැදගත් සාධකයක් වන්නේ යම් රටක රාජ්‍යයේ වපසරිය කුමක්ද සහ වෙළෙඳපොළේ වපසරිය කුමක්ද යන්න පිළිබඳව අපේ රටේ ශක්තිමත් සාකච්ජාවක්ද නොමැති වීමය. විකිණිය හැකි සියල්ල විකිණිය යුතුය යන පදනමින් ඉවත් වී උසස් අධ්‍යාපනයේ පැවැත්ම ගැන සිතීම මෙහිදී ඉතා වැදගත් කාරණයය. එහෙත් 1994න් පසුව පැමිණි සෑම රජයක්ම පාහේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය වැනි ‘නිශ් මාකර්ට්’ එකක් ඇති ක්ෂේත්‍රයන් ගැන කෙළ හලන වෙළෙන්දන්ගේ ආධිපත්‍යයට යටත් වීම මේ තත්ත්වය වර්ධනය කිරීමට බරපතළ අයුරින් හේතු වූ බවද සත්‍යයකි. මාද වෙනත් ක්ෂෙත්‍රයක නිලධරයකුව සිටි පසුගිය රජය කාලයේද උසස් අමාත්‍යාංශය 
වෙළෙඳපොළට අධ්‍යාපනය යටත් කිරීම මේ ක්‍රියාදමය යම් ආකාරයකින් ‘සිල්ලරට’ කරගෙන ගිය බව කවුරුත් දන්නා කාරණයකි. එහෙත් ‘රට කියන්නේ මාකර්ට් එකක්’ යැයි සිතන එජාප රජයක් යටතේ අද වැනි කාලයක ඒ අධ්‍යාපන මුදලාලිකරණය ‘තොග ගානට’ කරන්නට සැලසුම් හදන බවත් දැන් දැන් පැහැදිලිය. දැන් මේ ප්‍රශ්නය ප්‍රතිපත්ති සම්පාදනය පැත්තෙන් ආමන්ත්‍රණය නොකරන තරමට යළිත් වරක් එදා ’88-’89 සිදු කළ ආකාරයේ අර්බුදයක් රට තුළ නිර්මාණය වීමේ බරපතළ අවදානමක් තිබෙන බව තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසාය. 
දැනටත් උසස් අධයාපන ක්ෂේත්‍රයේ වැඩ කරන යහපාලනයට සම්බන්ධ මගේ පැරණි මිතුරකු විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය ගැන තරමක් ගැඹුරු අධ්‍යයනයක්ද ලියා අපේ ආණ්ඩුව කාලයේ ප්‍රකාශයටද පත් කර තිබිණි. එය එකල ආණ්ඩුව භාර ගත්තේත් අභියෝගයක් ලෙස නොව තර්ජනයක් ලෙසිනි. මගේ පැරණි මිතුරාගේ විශ්වවිද්‍යාල කථිකාචාර්ය ධුරයෙන් නීති විරෝධී ලෙස ඔහුව පලවා හරින්නට පවා එකල සිටි උසස් අධ්‍යාපන ප්‍රධානියා කටයුතු කළ අතර ඔහු යළිත් සේවයෙහි පිහිටුවන්නට විශාල මහන්සියක් ගන්නට බොහෝ අයට සිදු විය (එකල සිටි උසස් අධ්‍යාපන ප්‍රධානියාත් මගේ පැරණි මිතුරාත් අද එකම යහපාලන ආණ්ඩුවේ කොටස්කරුවන් වී සිටින බවද මෙහිදී සඳහන් කරන්නේ අපහාසයකට නොව, ඉතිහාසය යළිත් කැරකැවෙන හැටි පෙන්නීමටය). මාලබේ ප්‍රශ්නය ගැන ගැඹුරු අධ්‍යයනයක් මා සිදු කර නැත. දැන් දැන් සිදු වන දේවලින් පෙනී යන්නේ මාලබේ වෛද්‍ය විද්‍යාලයටත් රාගමට සිදු වූ දේම සිදුවීමේ විශාල විභවතාවක් තිබෙන බවයි. මාලබේ තියා ගත්තත් එය වසා දැමුවත් මේ ප්‍රශ්නය නිසා යළිත් වරක් රටේ දේශපාලනය ’89 අඳුරට ගමන් කිරීමේ ඉඩ අප පරාජය කළ යුතුය. එයින් මා කියන්නේ මේ ප්‍රශ්නය මතු කරන අන්තරයට හෝ මේ සටන මෙහෙයවන බව පෙනෙන පෙරටුගාමී සමාජවාදි පක්ෂයට හෝ ජවිපෙට හෝ පහර දිය යුතු බව නොවේ. ඒ නොකළ යුතුම දේය. මේ මොහොතේ දේශපාලන අවකාශයේ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස සැම දෙන මේ ප්‍රශ්නය ගැන බරපතළ සංවාදයකට යා යුතුය. එවැනි සංවාදයක් තුළ රටේ මතය බවට පත් වන්නේ මාලබේ අහෝසි කිරීම නම් එයට වුවත් අප යා යුතුය. අපට පෙනෙන කාරණයක් වන්නේ ගැටලුවක් කථා කිරීමේ විනය දැන් සිටින අන්තරයේ අයට තිබෙන බවය. ඒ නිසා කළ යුත්තේ ප්‍රශ්නය තනිකරම අන්තරයේ ප්‍රශ්නයක් බවට පත් කර රටේ දේශපාලන සිතන්නන් වෙනත් දේවල්වලට අවධානය යොමු කිරීම නොව, මේ ප්‍රශ්නය වෙතට අප සැම ගමන් කිරීමය. 
මෙතැනට ත්‍රිමාවිතාරණගේ නම පැමිණෙන්නේ ’89 රාගම වෛද්‍ය විද්‍යාල සටනේ මිය ගිය නායකයකු නිසා පමණක් නොවේ. එකල පැවති දේශපාලන තත්වය වෙනස් කළ එක සන්ධිස්ථානමය වෙනසක් තී‍්‍රමාගේ මරණයත් සමග සිදු වූ නිසාය. ත්‍රිමාවිතාරණගේ මරණය විසින් ආරම්භ කෙරුනු ’88-’89 සටනේ කතාන්දරය විසින් රාගම වෛද්‍ය විද්‍යාලය උතුරු කොළඹ වෛද්‍ය පීඨය බවට පත් වී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වුවත් ඒ වෙනුවෙන් ගෙවූ වන්දිය අතිවිශාලය; අහිමි වූ විශ්වවිද්‍යාල ජීවිත ගණන විශාලය; රටට අහිමි වූ දේවල් විශාලය. සිදු වුණේ නිදිකුම්බා පැළය ගලවන්නට බුල්ඩෝසරයක් දැම්මා වැනි වැඩක්ය. නිදිකුම්බා පැළය ගැලවුණේය. ඒත් ඒ නිසා හෑරුණු ගැඹුරු වළ තවමත් වැසුණේ නැත. 

Friday, July 1, 2016

මේ කොයි යන්නේ?

මේ කොයි යන්නේ? 

ටේ දේශපාලනය තරමක් වියවුල්සහගත තත්ත්වයට හැරෙමින් තිබේ. මේ රටේ දේශපාලනඅවුලක් තිබෙන බව කීම බලයේ නොසිටින මා වැනි අයගේ හිතලූවක් යැයි ආණ්ඩුවට සම්බන්ධ සමහරෙකුට සිල්ලරට කියා දැමිය හැකිය. එහෙත් රටේ තත්ත්වය ගැන මධ්‍යස්ථව බලන ඕනෑම අයෙකුට තේරුම් යන පරිදි ස්ථාවර නැති බවක් හැම තැනින්ම පෙනෙන්නට තිබේ. මූලිකවම මේ ආණ්ඩුව යනු මතවාදයන් කීපයක් එක් කර සැදූ ‘මැලේ අච්චාරුවක්’ පන්නයේ ආණ්ඩුවක් වීම එක් අතකින් මේ අස්ථාවරත්වයට මූලිකම හේතුව බව සමහරකුගේ මතයයි. තවත් සමහරකුට අනුව මේ මෙහොතේ අප අත්දකිමින් සිටින මේ තත්ත්වය අවබෝධ කර ගත යුත්තේ ජනවාරි 8 දින සිදු වූ වෙනසේ අනුල්ලංඝනීය තාර්කික ප්‍රතිඵලයක් ලෙසින් බවයි. මේ අවුල් සහගත තත්ත්වය කිසිදු ගානකට නොගෙන තමන්ගේ එකම ව්‍යාපෘතිය පරණ ආණ්ඩුවේ කවරකු හෝ කූඩුවේ දැමීම යැයි සිතාගෙන වැඩ කරන කණ්ඩායමක්ද මේ අතර සිටිති. 
ඔවුන් වැඩ කරන්නේ ඔවුන් පාර්ලිමේන්තුවට එවා ඇත්තේ ඒ වැඩේට කියාය. දැනට ආණ්ඩුවේ අවුල් සහගතබව පෙන්නුම් කරන ප්‍රධාන ගැටලූ කීපයක්ම තිබේ. ඒවා අතරින් පළමු තැන ගන්නේ රටේ ආර්ථිකය සම්බන්ධව ඇති තිබෙන අවුල්සහගත තත්වයයි. මේ අවුල පැති කීපයකින්ම පෙන්නුම් කරම්න් තිබේ. එක් අතකින් මේ ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග මොනවාද කියා නොපෙනෙන තරමට තත්ත්වය සංකීර්ණ කරගෙන තිබේ. අගමැතිවරයාගේ හිතේ තියෙන ආර්ථිකය 1977 ජයවර්ධන මහතාගේ ආර්ථික උපාය මාර්ගය වූ වෙළෙඳපොළ සහ සංවර්ධන කටයුතුවලින් රාජ්‍යය ඉවත් වී එය පෞද්ගලික අංශයට තනිකරම භාර දීමය. ඔහුගේ කථාවලින් පේන්නේ අපේ රටේ ‘ආර්ථික ප්‍රශ්නය’ ලෙස එතුමා සිතාගෙන සිටින්නේ එද 1977 තිබූ ප්‍රශ්නයම බවය. ඒ නිසාම ඔහු තෝරන්නේ ජයවර්ධන මහතා තේරූ උත්තරයමය. අනෙක් අතට ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කරන උපදේශකයන්ද ජයවර්ධන සහ ප්‍රේමදාස රජයේ සිටි නිලධාරීන්ම වන අතර, ඒ අයගේ සිතීමේ සීමාවන් ඩිජිටල් අවකාශය එන්නටත් පෙර තිබූ පරණ සීමා බව මේ දිනවල සිදු වන දේවල් වලින්ම පෙනී යයි. ඔවුන් ආර්ථික උපායමාර්ග තෝරන සංකල්පීය වූ පදනම වන තනුක ලිබරල් ආර්ථික ආකෘතිය (Pure Liberal Economic Structures) මේ වන විට බටහිර රටවලත් අර්බූදයට ගොස් ඇති බව සමහර විට මේ ආර්ථික උපදේශකයන් දන්නේ නැත; නැති නම් ඒ බව නොදන්නවා වගේ සිටිනවා විය හැකිය. රටක ආර්ථිකය තනිකරම පෞද්ගලික අංශයට භාර දීම න්‍යායක් ලෙස මේ රටේ ආර්ථිකයට ගැළපිය හැකියැයි මා සිතන්නේ නැත. මෙහිදී තේරුම් ගත යුතු වැදගත් කාරණයක් වන්නේ එම රටේ සමාන්‍ය සමාජයේ ආර්ථික අසමානතාව එහෙමම තිබියදී එය සමානතාවක් ලෙසින් සිතා සියල්ලන්ම එකම තරගයට දැමීම අතාර්කික හා අසමත් ව්‍යාපෘතියක් වන බවය. 
මා මීට පෙර ලියා ඇති පරිදි එය සමාන වන්නේ හරියට කොළඔ හතේ බගතලේ පාරේ වෙසෙන අයකු සහ ඈත ගිරාඳුරුකෝට්ටේ වෙසෙන අයකු එක සමාන ආර්ම්භක රේඛාවක ඉන්නවායැයි උපකල්පනය කරමින් දෙදනාව කොළඔ කොටුවට දිවීමේ තරගයකට දැමුවා වැනිය. තරගයේ ආර්ම්භක අසමානතාවේ සාධකය විසින් බගතලේ තරගකරුට ජයග්‍රහණය හිමි වන අතර, ගිරාඳුරුකෝට්ටේ තරගකරුට දිනුම්කණුව තිබෙන තැනට තබා ඒ බස්නාහිර පළාතට වත් එන්න හැකියාව ලැබෙන්නේ නැත. දැන් එසේ අතරමගදී තරගයෙන් විසි කෙරෙන තරගකරුවන්ගෙන් පිරී ගිය සමාජයක ලිබරල් ධනවාදය අමුඅමුවේ යොදන්නට යෑම සාමාන්‍ය ජනයාට සිය දිවිහානි කර ගන්නට ආරාධනය කිරීම වැනිය. ආර්ථිකයේ තමන්ගේ පංගුව ගැන ආරංචියක් සොයමින් සිටින එජප ජන්දදායකයන් අපිට හැම තැනම හමු වන්නේ මේ නිසාය. ආණ්ඩුව පත් වන්නට පෙර හර්ෂ ද සිල්වා මහතා මහත් උජාරුවෙන් රූපවාහිනියට කියූ සමාජ වෙළෙඳපොළ න්‍යාය (Social Market Theory) මේ වන විට ඒ මහතාත් සමගම උස්සලා එළියට විසි කර තිබේ. මේ ලිබරල් ආර්ථික උපායමාර්ගය මත සිටිමින් තනිකරම IMF සහ World Bank ගැලවුම්කරුවන්ගෙන් රට ගොඩදන්න යෑම හේතුවෙන් ඉදිරියේදි අත්විඳින්නට සිදු විය හැකි බරපතළ නරක තත්ත්වයන් දැනටම ඉඟි කරමින් තිබෙන බවද පෙනී යයි. රටේ සුභසාධන සහ සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙළවල් කප්පාදු කිරීම මේ ගමනේ අනිවාර්ය අවශ්‍යතාවක් බවට පත් වීමත් නැවැත්විය නොහැකිය. 
අනෙක් අතට ආර්ථිකයේ සංකල්පීය ක්ෂේත්‍රයේ ඇති මේ අවුල්සහගත තත්ත්වයට අමතරව සාමාන්‍ය ආර්ථික කළමනාකරනයේ මේ ආණ්ඩුව දක්වන අසමර්ථතාව මහබැංකුවේ අධිපති පත් කිරීම සහ වැට් බදු වැඩි කිරීම සහ එට්කා ගිවිසුම වැනි දේවල් අවුල් කර ගැනීමෙන් පෙනී යයි. අර්ජුන් මහේන්ද්‍රන් අස් කිරීම හෝ වෙනත් අයෙකු පත් කිරීම පිළිබඳව ආණ්ඩුවේ හැසිරීම පෙන්වන්නේ එක් අතකින් අපරිණතභාවයත් අනෙක් අතින් තීරණ ගන්නේ කවුරුන්දැයි පැහැදිලි නැති බරපතළ අවුල්සහගතභාවයත්ය. 
ඒ ප්‍රශ්නය මේ රජය කළමනාකරණය කළේ අන්තිම අපරිණත ආකාරයටය. මේ නිසාම අවුරුදු 10ක් හෝ 15ක් පාලනයේ සිටි පක්ෂයක් ආර්ථික කළමනාකරණය පැත්තෙන් පිරිහෙන ආකාරයේ කඩා වැටීමක් මේ අවුරුදු එකහමාරේ රජය සිදු කරගත් බව මගේ තේරුම් ගැනීමයි. වැට් ගැහීමත් ඒ වගේමය. වැට් බදු ප්‍රශ්නය සමාජය කොතරම් අවුල් කරම්න් සිටිනවාද යන්න හවසට රූපවාහිනිය බැලීමෙන්ම පෙනී යයි. අද ඈත කදුරුවෙල පුංචි කඩපොළේ සිට ගාල්ල දක්වා සියලු ව්‍යාපාරිකයෝ එක පොදියට ආණ්ඩුවට අභියෝග කරමින් සිටිති. පසුගිය අයවැයට සිදු වු ආකාරයටම මුදල් ඇමැතිතුමාගේ මේ වැට් ගැහිල්ලත් හෙට අනිද්දා සිට එක දෙක අයින් කරගන්නට සිදු වන ආකාරයක් දැන් දැන් පෙන්නුම් කරමින් තිබේ. එට්කා ගිවිසුම ගැන තත්ත්වයද මෙයටම සමානය. රටේ අද ඒ ගැන තිබෙන සාකච්ජාව දෙස බලන විට පෙනී යන්නේ ඒ වැඩෙත් කවදවත්ම කෙරෙන්නේ නැති බවය. 
මේ අනුව රටේ ආර්ථිකය සංකල්පීය පැත්තෙන් සහ කළමනාකරණය පැත්තෙන් බරපතළ අවුලකට පත් කර තිබීම පැහැදිලිය. 
දෙවැනි කාරණය ලෙසින් රටේ අස්ථාවරත්වය නිර්මාණය වීම කෙරෙහි බලපා ඇත්තේ විදේශ අධිකරණය පිළිබද සාකච්ඡාවය. පසුගිය සතියේ ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්ගේ ප්‍රකාශය මගින් පෙන්නුම් කරන්නේ ඒ අය ‘මස් රාත්තලම’ ඉල්ලන බවය. 
ඔවුන්ගේ අවශ්‍යතාව වන්නේ යුරෝපයේ වටේටම ත්‍රස්තවාදය හොල්මන් කරද්දී ලංකාවේ ත්‍රස්තවාදය පරාජය කළ ආකාරයේ වැරදි තිබේ දැයි බැලීමටය. මේ ආණ්ඩුව ඒ සදහා එකඟ වී ඇති සෙයක් ද හුසේන් කුමරුගේ කථාව තුළ පෙන්නුම් කරයි. විදේශ අධිකරණයන් ගැන රජය මෙරට තුළ විරුද්ධ වූවාට ජනීවා සැසිවාරයේ විරුද්ධ වන බවක් මහලේකම්වරයාගේ ප්‍රකාශය මගින් පෙනෙන්නේ නැත. මේ ගැටලූව ජනීවාවලට කැමති අයුරින් කළමනාකරණය කරන්නට ගිය හොත් මෙහි ඇති විය හැකි අවුල් සහගත තත්ත්වය අද තියෙන අස්ථාවරත්වයට තවත් හේතුවක්ය. 
තුන්වන කාරණය වන්නේ යෝජිත ව්‍යවස්ථා සංශෝධන කි‍්‍රයාවලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය විසින් රට තුළ ඇති කරමින් පවතින අස්ථාවරත්වයයි. මේ කරන්නට යන්නේ සංශෝධනයක්ද නැත හොත් අලුත් ව්‍යවස්ථාවක්ද යන්න දන්නේ ජයම්පති වික්‍රමරත්න මහතාත් දෙවියන් වහන්සේත් පමණක් විය හැකිය. ජනාධිපතිතුමන්ගේ පැත්තේන් කියන්නේ කරන්නට යන්නේ මැතිවරණ ක්‍රමය ඇතුළු මේ පවතින ව්‍යවස්ථාවේ වෙනස්කම් ටිකක් කියාය. එජාපයේ අය කියන්නේ සම්පූර්ණ ව්‍යවස්ථාවම වෙනස් කරනවා කියාය. ඒකාබද්ධ විපක්ෂය මොකක් වත් කියන්නේ නැත. විපක්ෂ නායක සම්බන්දන් මහතා කියන්නේ එජාපය කියන දෙය හරි කියාය. කොළඔ සිවිල් සමාජය සංගතව එක අදහසක් කියන්නේ නැත. මේ අවුල මෙහෙමම තියාගෙන ව්‍යවස්ථා කාරක සභාවක් පත් කර තිබෙන අතර, එය රැස් වන හැමදාම වැඩේ කරන්නේ කෙසේද යන ප්‍රශ්නයට වඩා කරන්න යන්නේ කුමක්ද යන ප්‍රශ්නය සාකච්ජා කරමින් ඉන්නා බව පුවත්පත් මගින් පෙනෙන්නට තිබේ.
දැන් මේ ව්‍යවස්ථා ප්‍රශ්නය ගැන මේ රටේ ජාතික බලවේගයන් සහ එජාපයට අයිති නැති බුද්ධිමතුන් (එජාපයට අයිති නැති බුද්ධිමතුන් සිටිය හැකිදැයි කොළඹ සිවිල් සමාජයේ අයෙක් ඇසිය හැකිය) මේ ප්‍රශ්නය ගැන පසුගිය දිනවල පුවත්පත් මගින් මැදිහත්වීම් කර තිබිණි. ඇත්තටම මේ සඳහා පදනම් පත්‍රිකාවක් ලෙසින් ඒ අය අවධානයට යොමු කර තිබුනේ ලාල් විජෙනායක මහතාගේ කමිටුව ඉදිරිපත් කර තිබූ ලියවිල්ලයි. 
මට හිතෙන හැටියට මේ ව්‍යවස්ථා සංශොධන හෝ අලුත් ව්‍යවස්ථා නිර්මාණය පිළිබඳ සංවාදයේ නොකළ යුතුම දෙයක් වන්නේ මේ විජේනායක පත්‍රිකාව මත සාකච්ජා කිරීමය. මේ පති‍්‍රකාව මත මේ ප්‍රශ්නය පිළිබඳ සාකච්ජා තරන්නට ගියොත් වැඩේ ‘ලත් තැනම ලොප් වන’ බව මගේ මතයයි. මා එසේ කියන්නේ ඇයි දැයි ඊළඟ ලිපියෙන් දිර්ඝව කථා කරන්නට බලාපොරොත්තු වෙමි. පසුගිය සතියේ ජනාධිපතිතුමන් සිටින රැස්වීමක බෙල්ලන්විල නායක හිමියන් ප්‍රශ්න කර තිබුනේ මේ රට ‘අනාගමික’ රටක් බවට ව්‍යවස්ථාවෙන් පත් කරන්නට රජයේ උත්සාහයක් තිබේද කියාය. 
මේ ප්‍රශ්නයට ජනාධිපතිතුමන් පිළිතුරු දි තිබු අතර අගමැති කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයකද මතු කර තිබුණේ රජය සිතා වත් නැති දේ සමාජගත කරමින් ව්‍යාවස්ථා නිර්මාණය ගැන සමහරුන් වැරදි අදහසක් සමාජගත කරන බවයි. ඇත්තටම මේ සංවාදයට ඔය කියන ‘අනාගමික රාජ්‍ය’ කථාව පැමිණ ඇත්තේ වෙන කාගෙන් වත් නොව, විජේනායක පත්‍රිකාවෙන් බව මෙහිදී සදහන් කළ යුතුව ඇත.