Friday, May 14, 2021

කොරෝනා සන්නිවේදන කලාව

මෙවර කිවිදා දැක්ම සඳහා ලිවිය යුතු මාතෘකා කීපයක්ම තිබෙන බව පැහැදිලිය. එක් පැත්තකින් කොරෝනා වසංගතයේ තුන්වැනි රැල්ලේ බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත්ය. තවත් පැත්තකින් පසුගිය සතියේ කිවිදා දැක්මෙන් මා මිත්‍ර ධම්ම දිසානායකයන් විසින් මතු කර තිබූ වෙළඳපොළ ක්‍රමය සහ රාජ්‍යයේ වගකීම පිළිබඳ කාරණයක් තවදුරටත් සාකච්ඡා කළ යුතු විෂයයක්ය. විශේෂයෙන්ම වරාය නගරය පනත ලබන සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා තත්ත්වයක් තුළ ආර්ථික ක්ෂේත්‍රයෙන් රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාම අවශ්‍යය.

එහෙත් ඒ හැම කාරණයක්ම තිබෙද්දී මා මේ සතියේ ලියන්නට බලාපොරොත්තු වන්නේ මේ දවස්වල රට මුහුණ දෙන වසංගත තත්ත්වය (සෞඛ්‍යමය ගැටලුකාරිත්වය) සහ රටේ ජන මාධ්‍යයේ හැසිරීම සම්බන්ධවය. විශේෂයෙන් ඩිජිටල් අවකාශය වර්ධනය වීමේ වේගයෙන් රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ සිදුවිය යුතු යැයි බලාපොරොත්තු වෙන බොහෝ වෙනස්කම් හා වර්ධනයන් සිදුවී නැතැයි සමහරුන් තර්ක කරන මෙ කාලයේ මේ විෂය ඉතාමත් තීරණාත්මක වැදගත්කමක් ලබා ගන්නා බව ඉතාමත් පැහැදිලිය. ඒ නිසාම මේ වසංගත තත්ත්වය හමුවේ මාධ්‍යයේ වගකීම පිළිබඳව සහ නිශ්චිත ආකාරයෙන් යම්කිසි පණිවිඩයක් සමාජගත කිරීමේ ගැටලුකාරීත්වය පිළිබඳව අදහසක් පළ කිරීම ඉතාමත් අවශ්‍ය බව මගේ අදහසයි.

මේ පිළිබඳව අවධානය යොමු කරද්දී සිහියට ගත යුතු මූලිකම කාරණයක් වන්නේ ‘‘සන්නිවේදන අවශ්‍යතාව’’ (Communicative Rationality) කියන්නේ මිනිසාගේ මූලිකම සහ නෛසර්ගිකව පිහිටන අවශ්‍යතාවක් බවයි. මේ පිළිබඳව සාකච්ඡාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ක්ෂේත්‍රයේත් රාජ්‍ය පාලනය පිළිබඳ කරුණක්ය. ජනමාධ්‍යයේ භූමිකාව සිව්වැනි ආණ්ඩුවේ භූමිකාව යැයි කියන්නේත් රාජ්‍ය පාලනයේදී එහි ඇති වැදගත්කම නිසාය. දැනට ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම දාර්ශනිකයෙක් වන හබර්මාස් (Jurgen Habermas) කියා සිටියේ ‘‘සන්නිවේදන තාර්කිකත්වය’’ හෙවත් සන්නිවේදන අවකාශයට මිනිසා තුළ ඇති අභිලාෂය මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙසින් අප හැමෝම තුළ පවතින තත්ත්වයක් බවයි. ඒ කියන්නේ මිනිසාට තමා තුළ පවතින සන්නිවේදන කාමය හෙවත් සන්නිවේදන අභිලාෂය වසා දැමිය නොහැකි දෙයක් බවයි.

කථාකිරීමෙන් ආරම්භවී විවිධ අකාරයෙන් හා විවිධ ක්‍රමෝපාය මගින් අදහස් සන්නිවේදනය හරහා යමින් ඇහුම්කන් දීම දක්වා පැතිරී පවතින්නේ මේ කියන සන්නිවේදන කාමයේ පරාසයයි.

වෙළඳපොළ ආර්ථිකය විසින් සන්නිවේදනය යනු ඉතාමත් ලාභදායක ආදායම් ක්ෂේත්‍රයක් බවට පිළිගෙන ඇත්තේ මෙහි ඇති ‘‘එයටම ආවේනික වූ’’ වෙළඳපොළ (niche market) හැකියාව නිසාය. මානව සමාජයේ මුල් යුගයේ සිට පැවති සන්නිවේදන ක්‍රියාකාරීත්වය ගල් පුවරුවක අකුරු කැපීම සිට පුවත්පත් තාක්ෂණය දක්වා වර්ධනය වීමේදී එහි තිබුණේ වෙළඳපොළ අවශ්‍යතාව පමණක් නොව ජාතික විමුක්ති අරගල, භාෂා සටන් වැනි දේවල්ද ඇතුලත් වපසරියකි. එහෙත් 20 වැනි සියවසේ අගභාගයේ සිට වර්ධනය වන වේගවත් ඩිජිටෙල් තාක්ෂණික මාධ්‍ය අවකාශය වෙළඳපොළ ධනවාදයේ ඉතාමත් ලාභදායක සහ දේශපාලනිකව ඉතාමත් බලපෑම් සහගත තත්ත්වයක් බව පිළිගැනීම නිවැරැදිය.

මා මේ කාරණා සියල්ලම කීවේ කොරෝනා වසංගතය සම්බන්ධ සාකච්ඡා අවකාශයේ ජනමාධ්‍යයට තිබෙන වැදගත්කමේ ප්‍රමාණය පැහැදිලි කරන්නටය.

මේ වන විට අපේ රටේ ජනමාධ්‍ය (සමාජ මාධ්‍යයද ඇතුළත්ව) වැඩ කරමින් සිටින ප්‍රධානතම කලාපය වන්නේ කොරෝනා වසංගත තත්ත්වය හා එයින් මතුවී ඇති ගැටලුකාරීත්වය වාර්තා කිරීම්ය. පසුගිය 2008-2009 වර්ෂවල උතුරේ මෙහෙයුම වාර්තා කරන කාලයේ මෙන්ම විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය සැදී පැහැදී සිටින්නේ මේ පිළිබඳව ‘‘හොට් නිවුස්’’ එකක් ගසන්නටය. ඒ නිසා මාධ්‍යවල කැමරා සහ මයික් හමුවන ඕනෑම දේශපාලනඥයකු දෙසට යොමු වෙමින් තිබෙන බව පැහැදිලිය. ඒ ඒ දේශපාලනඥයන්ද (රජයේ හෝ විපක්ෂයේ භේදයකින් තොරව) මේ පැන්ඩමික් තත්ත්වය (වසංගතය) පිළිබඳව තම තම නැණ පමණ විවිධ ආකාරයේ කථා සමාජයට මුදා හරිමින් සිටින බව ඉතාමත් පැහැදිලි කාරණයක්ය. මේ තත්ත්වය නිසා රජයේ පැත්තේ නිශ්චිත අදහස සෞඛ්‍ය සම්බන්ධ ඇමතිතුමියන්ට හා ඇමතිතුමන්ලාට කියන්නට ඇති ඉඩ කඩ පවා සීමා වෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන කාරණයක්ය. එසේම එන්නත්කරණය වැනි තාක්ෂණික කරුණු පවා මාධ්‍යයේ පෙනී සිටින හැමෝම පාහේ කියන්නට පටන් ගෙන තිබීම නිසා සමහර සංවේදී කරුණු පවා සමාජයට යන්නේ එක්තරා දුරකට අවුල් සහගත තත්ත්වයෙන් බව මගේ නිරීක්ෂණය.

සන්නිවේදන අවකාශය වසංගතය සම්බන්ධ ප්‍රවෘත්ති හරහා පිටාර ගලා ඇති (Media flood) අවස්ථාවක එය නිසි පරිදි කළමනාකරණය කර ගැනීම පැති කීපයකින්ම ඉතාමත් වැදගත් බව කිව යුතුමය. මේ වසංගතය පිළිබඳව ජනතාවගේ බිය සහ තැතිගැන්ම හේතුවෙන් මාධ්‍යවල ඒ පිළිබඳව ඇති තොරතුරු මගින් ජනතාවගේ මනස බරපතළ අවුල් සහගත තැනකට තල්ලු කිරීමේ විශාල ඉඩක් පවතින බව පැහැදිලිය. ඔක්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන දෙවැන්න සඳහා බලාපොරොත්තුවෙන් සිටින සමහරුන්ට වෙනත් එන්නතක් නිර්දේශ කරන්නට යන සමහරුන් ඒ විෂය සම්බන්ධව කිසිදු ප්‍රාමාණික භාවයක් නොලත් අය බව දකින විට මේ මාධ්‍ය ක්‍රියාවලියේ ඇති බියකරුභාවය මැනවින් තේරුම් ගත හැකිය.

මෙහි ඒ ඒ ජනමාධ්‍ය ආයතන මෙම කාරණය පිළිබඳව යොදා ගන්නා දත්තවල සහ ඒ ඒ දත්ත යොදා ගන්නා ආකාරය පිළිබඳව ගැඹුරින් සිතා බැලීමත් ඉතාමත් අවශ්‍යය.

උදාහරණයක් වශයෙන් රූපවාහිනි නාලිකාවල සමහර ඉලක්කම් යොදා ගන්නා ආකාරය ඉතාමත් ගැටලු සහගතය. මේ දක්වා 2020 මාර්තු මාසයේ සිට මේ රෝගය වැළඳී සුව වී සිටින සංඛ්‍යාව ලක්ෂයකට වැඩිය. ඒ අනුව මේ දක්වා කොරෝනා රෝගය ආසාදනය වී නැවත සුව වී සිටින ලක්ෂයට අධික සංඛ්‍යාව සමහර රූපවාහිනී නාලිකාවල පෙන්නුම් කරන්නේ ලක්ෂයකට අධික ජනතාවක් මේ රෝගයෙන් පීඩා විඳිනවා වැනි හැඟීමක් එන පරිදිය. පසුගිය යුද සමයේ මාධ්‍ය තුළ පෙන්වූ ‘‘ආබාධිතයකු වීම’’ සහ ‘‘කොරෝනා පොසිටිව් වීම’’ යනු එකම ආකරයේ තත්ත්වයක් මෙන් පෙන්නීමට මාධ්‍ය ආයතන දරන උත්සාහය නිසා සමාජයේ ඉතාමත් වැරදි සෘණාත්මක අදහසක් ගොඩනැගෙන්නට ඉඩ තිබෙන බව මගේ අදහසය. යුද්ධයේදී ආබාධිතයකු වීම වනාහී ඒ පුද්ගලයාගේ ජීවිතයේ මීළඟ කාලයටම බලපාන තත්ත්වයක් නිසා ආබාධිත සංඛ්‍යාව පැහැදිලි කිරීමේ වැරැද්දක් නැත.

එහෙත් කොරෝනා පොසිටිව් වීම යනු එසේ එම රෝගය සුවවීමෙන් පසුව ජීවිත කාලයටම රැගෙන යන තත්ත්වයක් නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. ‘‘මේ දක්වා කොරෝනා පොසිටිව් වූ ප්‍රමාණය දැන සිටීමේ වැරැද්දක් නැතත්, මේ වන විට ලක්ෂයකට අධික ජනතාවක් මේ කොරෝනා රෝගය නිසා ආබාධිතව සිටිනවා’’ වැනි අදහසක් මාධ්‍ය මගින් සමාජගත කිරීම ඉතාමත් වැරදි බව මගේ අදහසය.

මේ සෞඛ්‍යමය සංකීර්ණත්වයට එහා ගිය අර්බුදජනක තත්ත්වයක් පරිපාලනමය වූ ගැටලුකාරීත්වයන් පැත්තෙන්ද මතුවී තිබෙන බවද පැහැදිලිය. ‘‘සංචරණ සීමා’’ වැනි රෙගුලාසි සම්බන්ධයෙන් සමාජයට කාන්දුවෙන අදහස බරපතළ ආකාරයෙන් ප්‍රශ්නයට සහ විහිලු සහගත තත්ත්වයකට පත්වී තිබූ බව සමාජ මාධ්‍ය බැලූවිට පෙනී යන කාරණාය. මේ තත්ත්වය අවසාන වශයෙන් පවතින රජයට එල්ලවෙන විවේචනයක් ලෙසින් මතුවීම සාමාන්‍ය තත්ත්වයක් වන හෙයින් සමහර නිලධාරීන් මාධ්‍ය ඉදිරියේ දිග හරින ගැටලුකාරීත්වයක් පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වැදගත් බව මගේ අදහසය.

මෙහිදී අපගේ අවධානය යොමු විය යුත්තේ ප්‍රධාන කොටස් 03ක් පිළිබඳවය. පළමුවෙන් මේ වසංගත තත්ත්වය පිළිබඳව රජය පැත්තෙන් ඉදිරිපත් වෙන ප්‍රතිපත්ති තීරණ පිළිබඳව මාධ්‍යයට සිදුකරන මැදිහත්වීම කළ යුත්තේ සෞඛ්‍යයට හා මාධ්‍යයට සම්බන්ධ අමාත්‍යංශ වෙතින්ය. රජයේ ප්‍රතිපත්ති සම්බන්ධ කාරණා නිලධාරීන්ට වඩ වඩාත් උචිත ආකාරයෙන් ඉදිරිපත් කළ හැක්කේ ඒ ඒ විෂයන්ට සම්බන්ධ අමාත්‍යවරුන් හා අමාත්‍යවරියන් විසින් බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.

දෙවනුව කොරෝනා රෝගය හා රෝගීන්ගේ සෞඛ්‍යයට අදාළ කරුණු සහ එන්නත්වල ගුණාත්මකභාවය පිළිබඳ කරුණු මාධ්‍යයට ඉදිරිපත් කළ යුත්තේ ඒ පිළිබඳව විශේෂඥභාවය ඇති වෛද්‍යවරුන් විසින් පමණක් බව මගේ යෝජනාවය. විශේෂයෙන් කොරෝනා රෝගය සම්බන්ධ වෛද්‍ය ක්ෂේත්‍රයේම අදහස් කීපයක් එකම දිනයේ ප්‍රකාශයට පත්වීමත් මෙහිදී පෙන්නුම් කරන කාරණයක් බව සැබෑය. එහෙත් එවැනි වෙනස්කම් සහිතව හෝ ඒ මතය වෛද්‍ය ක්ෂේත්‍රයේ තාක්ෂණික මතයක් හෙයින් ඒ මතවාද කීපය ඉදිරිපත්වීම පිළිගත හැක්කේ විශේෂඥභාවය මත පිහිටාය.

තුන්වෙනුව ආරක්ෂක අංශයේ යුදහමුදාව ඇතුළු කණ්ඩායම් සහ පොලිසියේ ප්‍රධානීන්ගේ කරුණු පැහැදිලි කිරීම්ද වැදගත් බව පැහැදිලිය. ඒ කාණ්ඩයේ අයගේ මාධ්‍ය ඉදිරිපත්කිරීම් මහජන සාමය සහ රාජ්‍ය පරිපාලනයේ නීති - රීති පවත්වාගෙන යාම වැනි ක්ෂේත්‍ර තුළට සීමා කරමින් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් බව මගේ මතයයි. එහෙම නොවන තත්ත්වයක් තුළ එතුමන්ලා ඉදිරිපත් කරන ආරක්ෂක විධිවිධාන පවා හෑල්ලුවට ලක්වීමේ ඉඩක් තිබෙන බව සමාජ මාධ්‍ය අවකාශය දෙස බැලීමේදී පෙනී යයි.

කොරෝනා කාලේ මාධ්‍ය හැසිරීම පිළිබඳව පැහැදිලි ස්ථාවරයකට පත්වීම මේ කාරණය සම්බන්ධ ඉතාමත් වැදගත් බව මේ කිවිදා දැක්මේ මගේ යෝජනාවය.




Friday, April 30, 2021

වරාය නගරය - වාමවාදය ජාතිකවාදය අවස්ථාවාදය

මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ යෝජිත වරාය නගරය ආර්ථික කොමිසම පනත හරහා ගොඩනැගී ඇති සංවාදය පිළිබඳවය. මේ දිනවල හදිසි කොරෝනා තත්ත්වය හමුවේ යම් ආකාරයකට යට ගොස් තිබෙන නමුත් පසුගිය සති කීපයේ දේශපාලන අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වූයේ වරාය නගරය සම්බන්ධයෙන් යෝජනා වී ඇති පනත් කෙටුම්පත පිළිබඳවය.

මේ පනත පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණේ අප්‍රේල් මාසයේ දෙවැනි සතියේය. ඒ අවස්ථාවේ සිට මේ පනත සම්බන්ධයෙන් නීතිය පැත්තෙන් කරුණු කියන්නට සමහරු උසාවි ගොස් ඇති අතර තවත් සමහරු බරපතළ ආකාරයේ දේශපාලනික සාකච්ඡාවක් සමාජ මාධ්‍ය තුළ ආරම්භ කර ඇත්තාහ. නෛතික කරුණු සම්බන්ධයෙන් ගරු අධිකරණයේ ගොනුවී ඇති නඩු පිළිබඳව කිසිදු කාරණයක් සාකච්ඡා කිරීම මගේ මේ ලිපියේ අරමුණ නොවන බව මුලින් ම අවධාරණය කළ යුතුය. මා මෙහිදී සාකච්ඡා කරන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව මතුවී ඇති දේශපාලන සාකච්ඡා කීපයක් පිළිබඳවය.

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පිළිබඳව පනත් කෙටුම්පත සභාගත වූ දිනයේ සිට මේ දක්වා ඒ පිළිබඳව මතුවී ඇති විවේචන විවිධ දේශපාලන හා දර්ශනික ආස්ථානයන් නියෝජනය වෙන බව සැබෑවක්ය. එහෙත් මා මේ ලිපියෙන් මතු කරන්නට බලාපොරොත්තු වන්නේ ඒ පිළිබඳව ඉදිරිපත් වී ඇති අදහස් තුනක් පිළිබඳවය. මේ අදහස් තුන මගේ ගණන් බැලීම අනුව නම්කළ හැක්කේ එකක් අති වාමාංෂිකවාදය මගින් මතුවෙන විවේචනය කියාය. අනෙක ඌණතිවාදී ජාතිකවාදය මගින් මතුකරන විවේචනය කියාය. තුන්වැනි එකට මා කියන්නේ පටු දේශපාලන අවස්ථාවාදය විසින් මතුකරන විවේචනයය කියාය. ඒ නිසා කෙටියෙන් කිවහොත් මේ ලිපියෙන් අභිමුඛ කරන්නේ මගේ තේරුම් ගැනීමට අනුව වාමවාදය (leftism) ජාතිකවාදය (nationalism) සහ අවස්ථාවාදය (opportunistism) යන පදනම් මත සිට වරාය නගරය පනත ගැන මතු කරන විවේචන තුනක් පිළිබඳවය.

මේ විවේචන පිළිබඳව කථා කරන්නට පෙර වරාය නගරය කියන්නේ කුමක්ද කියන කාරණය ගැන කරුණු කීපයක් පැහැදිලි කර ගැනීම අවශ්‍යය. ඉහතින් සඳහන් කළ සමහර විවේචකයන් මේ පිළිබඳව මූලික කරුණු පවා වරදවා තේරුම් ගනිමින් සිටින නිසා රටේ ජනතාවගේ පැත්තෙන් ඒ කාරණය පැහැදිලි කර ගැනීම වැදගත්ය.

අපේ රට ඉතිහාසයේ සිටම ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ වරාය ආශ්‍රයෙන් බව කවුරුත් දන්නා කාරණයක්ය. කොළම්තොටට රටේ ප්‍රමුඛත්වය ලැබුණේත් කොළඹ වරාය නිසාය. ඒ කෙසේ වෙතත් මේ වරාය ආශ්‍රය කර ගනිමින් ගොඩනගන වරාය නගරය පිළිබඳව අදහස මුලින්ම මතුවුණේ 2010 පත්වූ රජය කාලයේය. ඒ අනුව 2012 සිට මේ ව්‍යාපෘතිය ආරම්භ විය. එයින් අදහස් කළේ මුහුදින් කොටසක් පුරවා ඉදිකරන අලුත් නගරයක් ගොඩනැගීමය.

මේ වන විට ඒ මූලික ගොඩකිරීමේ අදියර නිමාවට පත්වී ඇති අතර මෙතැනින් ඉදිරියට මේ ව්‍යාපෘතිය ගෙනයාමේ ක්‍රියාදාමය 2017 වර්ෂයේ සිටම මේ දක්වා පසුගිය ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් යන ආණ්ඩු දෙකම උත්සාහ ගිනිමින් සිටින බව කීම නිවැරදිය. මේ මුහුද ගොඩකිරීම සඳහා ගිවිසුම් ගතව වැඩ කළේ CHEC Port City Colombo යන චීන සමාගම විසින් වන අතර ඒ සඳහා ඔවුන් විසින් මේ වන විට ඇ.ඩො. බිලියන 1.4 මුදලක් ආයෝජනය කර ඇත. මේ මුදල ලංකාවේ මුදල්වලින් ගතහොත් රුපියල් බිලියන 250 අධික විශාල මුදලක්ය. මෙසේ ගොඩකරන ලද වරාය නගරයේ සම්පූර්ණ භූමි ප්‍රදේශය හෙක්ටයාර් 269 හෙවත් අක්කර 664 කි. මෙයින් ගොඩනැගිලි සැදිය හැකි භූමි ප්‍රදේශය ආසන්න වශයෙන් හෙක්. 178 (අක්. 439) පමණ වන අතර අනෙක් හෙක්. 91 (අක්. 225) යෙදවිය යුත්තේ මහා මාර්ග, වෙරළ, උද්‍යාන, ඇළ මාර්ග ආදී පොදු පහසුකම් සඳහාය.

ගොඩනැගිලි සහ වෙනත් ව්‍යාපාරික ආයෝජන සඳහා සුදුසු හෙක්. 178 (අක්. 439) න් හෙක්. 116 (අක්. 286) ආයෝජකයන් ගෙන්වා ගනිමින් සංවර්ධනය කිරීම සඳහා මුල් චීන සමාගමට වසර 99 ක් සඳහා බදු වශයෙන් ලබා දීමට තීරණය කර ඇත. (මේ තීරණය ගනු ලැබුවේ පසුගිය යහපාලනය යැයි කියා ගත් රජය කාලයේ බවද මෙහිදී සඳහන් කළ යුතුය.) ගොඩනැගිලි සැදිය හැකි ඉතිරි ඉඩම් ප්‍රමාණය ඒ කියන්නේ හෙක්. 62 (අක්. 153) ප්‍රමාණය ආයෝජකයන් මගින් සංවර්ධනය කරන්නේ ශ්‍රී ලංකා රජයේ ඍජු මැදිහත්වීම හරහාය.

දැන් මේ අලුත් වරාය නගරය ආර්ථික කොමිසම මගින් යෝජනා කරන්නේ මේ කියන සමස්ත ඉඩම් ප්‍රමාණය ඇතුළත් කලාපය (චීන සමාගම මගින් ආයෝජකයන් ගෙනෙනු ලබන අක්. 286 සහ ඍජුව ලංකා රජය ගෙනෙන ආයෝජනවලින් සංවර්ධන වන අක්. 153 යන සම්පූර්ණ කලාපය) පාලනය කිරීම සඳහා රටේ ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමක් පිහිටුවීමය.

මූලික වශයෙන් ම මේ වරාය නගරය පිහිටුවීමේ වාසිය රටේ ආර්ථිකයට ගත හැකි ආකාරයෙන් ඒ භූමිය සඳහා නීති සකස් කිරීම මිස හුදු නීති හදන්නන්වාලේ මේ නීතිය හැදීමේ කිසිදු තේරුමක් නැති බව මගේ මතයයි. ඒ කියන්නේ වරාය නගරය ලෙසින් අලුතින් පිරවූ බිමක් රටේ කොටසක් බවට පත් කරන්නට තීරණය ගත්තේ රටට තවත් හෙක්. 178 බිමක් මදිවී තිබුණ නිසා නොවන බව තේරුම් ගැනීමය. ඉතාමත් පැහැදිලිව කිවහොත් මේ බිම මුහුද ගොඩකර නිර්මාණය කළේ රටට මදි පාඩු වූ බිම්කඩක් රටේ කොළඹ දිස්ත්‍රික්කයට එකතු කිරීමේ පරමාර්ථයෙන් නොවේ. මේ ගොඩකිරීම සිදු කළේම ඒ කියන ආර්ථික සංවර්ධනයේ අවශ්‍යතාව නිසා මිස හුදු මුහුද පිරවීමක් සඳහා නොවන බව පිළිගැනීම මෙහිදී සිදුවිය යුතු අංක එකේ අවශ්‍යතාවයි.

අනෙක් කාරණය වන්නේ මේ වරාය නගරය ගැන ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපක්ෂයම පසුගිය මැතිවරණවලදී ජනතාව සමග ගොඩනගා ගත් සමාජ සම්මුතිය වන්නේත් මෙම භූමිය රටේ විශේෂ ආර්ථික කලාපයක් ලෙසින් නෛතිකව පිහිටුවන බවයි. මේ පිළිබඳව පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රකාශයේ ඉතාමත් පැහැදිලිව සඳහන් වී තිබූ අතර සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ ඊටත් වඩා නිශ්චිතව මේ කාරණය පැහැදිලි කර තිබූ බව සඳහන් කළ යුත්තේ වර්තමානයේ විපක්ෂයේ අය කියන කරන දේවල්වල තිබෙන අවස්ථාවාදී තත්ත්වය නිසාය. ප්‍රේමදස මහතාගේ මැතිවරණ ප්‍රකාශයේ 35 වැනි පිටුවේ සඳහන්ව තිබුණේ ‘කොළඹ වරාය නගර සීමාව ආවරණය වන පරිදි සේවා සඳහා විශේෂ ආර්ථික කලාපයක් නිර්මාණය කරන්නටත් ඒ සඳහා ආයෝජන වේගවත් කරන නීති ඇතුළත් පනතක්’ (අවධාරණය මගේ) ගෙනෙන බවත්ය.

දැන් ආණ්ඩුවේ වරාය නගර කොමිසම් සභා පනත අපි කියවිය යුත්තේ මේ සන්දර්භය තුළයග ආණ්ඩුවේ උත්සාහය වන්නේ මේ කියන නව නීතිය යටතට චීනයේ ආයෝජන සහ ලංකාවේ ආයෝජන ගොණු කර ගත් නව ආකෘතියක් යටතේ මෙම කලාපය කළමනාකරණය කිරීමය'

මේ පිළිබඳව මා මුළින් සඳහන් කළ කණ්ඩායම් තුනේ  විවේචනයන් පිළිබඳව සිතිය යුත්තේ මෙම තත්වය යටතේය'

මුලින්ම අපේ රටේ සිටින සමහර සමහර වාමවාදින් තවමත් සිටින්නේ වෙළඳපොළ ක‍්‍රමයෙන් එළියට ගොස් සංවිධානගත විය හැකි ආකෘතියක් පිළිබඳව පරණ කොමිනිස්්ට්වාදයේ තැටිය සිතේ තියාගෙනයග වාමවාදයේ න්‍යායයන් මත පදනම් වෙමින් වරාය නගරය කොමිසම ගැන ලියන ධම්ම දිසානායක සුමනසිරි ලියනගේ වැනි මිතුරන් මේ දවස්වල තර්ක කරන්නේ වෙළඳපොළ ධනවාදයේ මුලිකාංග මුලින් උපුටා දමා හදන සමාජයක් පිළිබඳව සිතේ තියාගෙනය. එවැනි අධිභෞතිකවාදයක් සිතේ තබා ගනිමින් 1977 න් පසු ඇතිවූ සියලූ තත්වයන් විවේචනය කිරීමෙන් ඒ අතිවාමවාදය සිදුකරන්නේ හුදු අහිංසක විවේචකයින්ගේ කණ්ඩායමක් නිර්මාණය කරමින් රට පිළිබඳව සන්තාපයට පත්වීම හුරු කිරීම පමණක් බව මගේ තේරුම් ගැනීමය. වෙළඳපොල ධනවාදය ලෝකයේ පහළවූ හොදම විකල්පය හෝ අවසානම විසඳුම නොවන බව සැබෑවක්ය. එසේ නමුත්, ඒ වෙළඳපොළ අවකාශය තුළ සිට ගත යුතු ප‍්‍රතිපත්තිමය අලූත්වීම් පසෙකට තල්ලූ කරමින් රටේ තත්වය පිළිබඳව සන්තාපය බෙදාහැරීමෙන් හෝ හුදු වාමාංශික කවි ගායනා කිරීමෙන් පමණක් රට මුහුණ දෙන වර්තමාන ආර්ථික අභියෝග ජයගැනීමේ හැකියාවක් නැති බව සිහියට ගැනීම මෙහිදී ඉතාමත් වැදගත්ය.

දෙවනුව ජාතිකවාදය පැත්තෙන් වරාය නගරය කොමිසම පනත ගැන ඉදිරිපත් වෙන තර්කය මගින් පෙන්නුම් කරන්නේ ජාතික රාජ්‍ය සීමාව තුළ මතුවිය හැකි ‘එළියෙන් එන අනතුර’ පිළිබඳ තමන් නිෂ්පාදනය කරන මතවාදයේ ඇති බරපතලභාවයයි. චීනයෙන් එන බලපෑමක් හෝ චීනයට යටත්වීමක් ලෙසින් මේ කාරණය පාට කරන්නේ ඉහතින් සඳහන් කළ ‘අනෙකාගේ පැවැත්ම විසින් තමන්ව නිෂ්පාදනය කරගන්නා’ සහ ඒ සඳහා ඇති කර ගත් ‘බිය’ විසින් ගොඩ නගන තර්කයක් මතින්ය. ජනාධිපති විසින් පත් කරන කොමිසමක් යටතට චීනයේ ආයෝජන සහිත අක්. 286 පත් කිරීම යටත්වීමක් ලෙසින් තේරුම් ගැනීම වැරදි සහගත බව පමණක් නොව උපක‍්‍රමිකව බැලීමේ නොහැකියාවක් ලෙසින් ද පෙනෙන බව මගේ මතය ය. බොහෝ කරුණු සම්බන්ධව යම් ආකාරයක මධ්‍යස්ත කෝණයකින් බැලූ විජේදාස රාජපක්ෂ මහතා වැනි අය මේ මතවාදයට ගමන් කිරීම ඉතාමත් කණගාටුදායක ය.

තුන්වෙනිව මේ කාරණය සම්බන්ධව විපක්ෂයේ දේශපාලනයේ සිටින සමහරුන් වැඩ කරන්නේ සම්පුර්ණයෙන්ම අවස්ථාවාදි ස්ථාවරයක සිට බව මගේ නිරීක්ෂණය ය. ස්වකීය මැතිවරණ ප‍්‍රකාශයේ මෙයටත් වඩා බලසම්පන්න සහ වෙනම ම ආකෘතියක් මගින් වරාය මුල්‍ය නගරය කළමනාකරණය කරන්නට සමාජය සමග සම්මුතියක් ඉල්ලූ විපක්ෂයේ අය මේ වන විට මෙම පනතට විරුද්ධ වන්නේ තමන්ගේ රජයකින් එය සිදු නොවන නිසා මිස වෙනත් කාරණයක් නිසා නොවේ. රොහාන් සමරජීවගේ ලිපයකින් උපුටා කිවහොත් මෙයට කියන්නේ දේශපාලන කුහකත්වය (political hypocrisy) මිස වෙන යමක් නොවේග තමන්ගේ ජීවිත කාලයම පළාත් සභාවලටත් එහා යන ව්‍යුහයකට බලය බෙදන්නට වෙහෙසුණු ජයම්පතී වික‍්‍රමරත්න වැනි අය මේ පනතට විරුද්ධ වන්නේ රටේ ඒකීයභාවයට එයින් පහරක් වදින නිසා යැයි කීම විහිළුවක් පමණක් නොව දේශපාලන වංචනිකත්වයක් ද වන බව මගේ යෝජනාවය. මේ අවස්ථාවාදයේ නියෝජනයන් පැරණි ආණ්ඩුවේ සිටි උපදේශකයින් ගණනාවකගේ හඬින් මතුවෙන්නට පටන් ගෙන තිබෙන බව ද පෙනෙන්නට තිබේ.

අපිට එරෙහි මතවාදයේ සිටින නමුත් මේ අවස්ථාවාදයෙන් මිඳී දේශපාලනය කරන දිප්ති කුමාර ගුණරත්න විසින් මතුකළ කාරණයක් වන්නේ මේ බොහෝ පෙඩරල්වාදින්ගේ දේශපාලනයේ විරුද්ධාභාෂය (Paradox in politics) වරාය නගරයට ඔවුන්ගේ එරෙහිවීමෙන් පෙන්නුම් කරන බවය. එය මේ සම්බන්ධයෙන් මතුකළ වැදගත් නිරීක්ෂණයක් බව කිව යුතු අතර මේ පනත සම්බන්දයෙන් සිදු විය හැකි පළදායී සංවාදයක් ගොඩනැගිය හැක්කේ නුතනවාදී දිප්තිලාගේ සහ ධනවාදී රොහාන් සමරජීවලාගේ මතවාදයන් සමගින් මිස අතිවාමවාදි, ඌනති ජාතිකවාදී සහ දේශපාලන අවස්ථාවාදී තර්කයන් සමගින් නොවන බව මගේ මතය ය.


(***)
(මහාචාර්ය - චරිත හේරත්)

Saturday, March 20, 2021

පරිසරය කොයිබටද?

පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ රටේ සමහරුන් පරිසර ආරක්ෂාව ගැන කතා කරන්නේ එවැනි සාපේක්ෂ ආකල්පයකින් නොව ඔහේ කතා කරන්නන් වාලේය. නිරපේක්ෂ අර්ථයකින්ය. බිම තියෙන තත්ත්වය ගැන කිසිම තේරුම් ගැනීමකින් තොර වියුක්ත ආකාරයකින්ය. මාධ්‍ය අවකාශයට ගැළපෙන පරිදිය. ලැබෙන ජනප්‍රියත්වය දෙස බලාය.

මේ දිනවල මාධ්‍ය අවකාශයේ තියෙන සාකච්ඡා අතර එක් ප්‍රධාන මාතෘකාවක් වන්නේ පරිසරය පිළිබඳවය. පරිසරය කීවාට ඒ සාකච්ඡා තුළින් මතුවෙන්නේ ගස් කැපීමක් පිළිබඳව වෙනත් අය කියන වෘත්තාන්තමය ආකාරයේ කතාය. මේ අලුත් තත්ත්වය මතුවුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඇති ගසක් පිළිබඳව මතුවූ වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරිනියගේ රූපවාහිනී පෙනී සිටීමත් සමගය. (පසුව මට දැන ගන්නට ලැබුණේ මේ අධිවේගී මාර්ගය සඳහා කරන ලද පරිසර බලපෑම් ඇගැයීම් වාර්තාව -Environmental Impact Assessment EIA -සඳහා වනජවී දෙපාර්තමේන්තුවත් මුලදී එකඟ වී අනුමැති ලබා දී ඇති බවය.) මුලදී තමන්ගේ දෙපාර්තමේන්තුවම අනුමැතිය දුන් ව්‍යාපෘතිය සියලු වියදම් දරමින් සැලසුම් කිරීමෙන් පසු රූපවාහිනී දර්ශනය සඳහා එයට එරෙහි වෙන තැනකට මේ ක්ෂේත්‍රය ගමන් කරන්නේ ඇයිදැයි මා මේ අවස්ථාවේ අසන්නේ නැත. එහෙත් අද තියෙන මෙම පරිසර සාකච්ඡාව සමාජ මාධ්‍ය තුළ පදනම් විරහිත තත්ත්වයක් දක්වා ගමන් කළේ මේ සිදුවීමත් සමගය.  

අපේ රටේ පරිසරය රැකීම පිළිබඳව සාකච්ඡාව හුදු රොමෑන්තික බවකින් යුක්තව ආරම්භ වුවත් මේ වනවිට එය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇති බව පැහැදිලිය. මේ දේශපාලනමය මැදිහත්වීම හේතුවෙන් මෙම ගැටලුව පිළිබඳව පළල් අදහසක් සමාජය තුළ ගොඩනඟා ගැනීමේ අපහසුවක් ද මතුවී ඇත. සමහරුන් මෙම මාතෘකාව පිළිබඳව සිදුකරන කතා බහ මගින් පෙන්නුම් කරන්නේ එක්කෝ ඔවුන් මේ මේ විෂය පිළිබඳව දන්නේ නැති බවය. එහෙම නැත්නම් දැනුවත්වම ඔවුන් මේ පිළිබඳව බොරු කියන බවය. මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ පරිසරය සම්බන්ධ කරුණු කීපයක්ය. 

පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව අපේ සාකච්ඡාව පදනම් විය යුත්තේ ජනතාවගේ ශිෂ්ටාචාරගතවීමේ සහ සංවර්ධන අභියෝග ජයගැනීමේ කලාපය සමග සම්බන්ධ කරමින් මිස හුදු මානසික ප්‍රීතියක් සඳහා නොවන බවය. එහෙත් කනගාටුවට කාරණය වන්නේ අපේ රටේ සමහරුන් පරිසර ආරක්ෂාව ගැන කතා කරන්නේ එවැනි සාපේක්ෂ ආකල්පයකින් නොව ඔහේ කතා කරන්නන් වාලේය. නිරපේක්ෂ අර්ථයකින්ය. බිම තියෙන තත්ත්වය ගැන කිසිම තේරුම් ගැනීමකින් තොර වියුක්ත ආකාරයකින්ය. මාධ්‍ය අවකාශයට ගැළපෙන පරිදිය. ලැබෙන ජනප්‍රියත්වය දෙස බලාය.

පරිසර නීතිය

අප රටක් ලෙසින් පසුගිය වසර 72 පුරාවටම විවිධ සංවර්ධන උපක්‍රම අත්හදා බලා ඇති ජාතියක්ය. අපේ උත්සාහයන් අතරින් සමහර ඒවා ජයගෙන ඇති අතර සමහර උත්සාහයන් බලාපොරොත්තු වූ ආකාරයෙන් ජයග්‍රහණය කර නැත. දැන් අප සිටින්නේ පරිසර ජයගැනීම වගේම ආර්ථික වශයෙන් හොඳ ජීවන ක්‍රමයක්ද ගොඩනඟා ගැනීමේ අභියෝගය සමගය. අප ආර්ථික වශයෙන් ශක්තිමත් රටක් බවට පත්වීම සඳහා තව බොහෝ වැඩ කළ යුතුය. මේ නිසා අපේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව සිදුකරන සාකච්ඡා සමස්තම ආකල්පයකින් කළ යුතු බව මගේ අදහසය. ඒ කියන්නේ පරිසරය පිළිබඳව කථා කිරීමේදී සංවර්ධන පැත්ත පිළිබඳවත් අවධානය යොමු කරමින් එය සිදුකළ යුතු බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය.

වන සංරක්ෂණය පිළිබඳව සහ වනජීවීන්ගේ ආරක්ෂාව පිළිබඳව සමහර නීති අපේ රටේ තිබුණේ යටත්විජිත පාලන කාලයේ සිටය. එසේ වුවත් පරිසරය සංරක්ෂණය කිරීම සහ කළමනාකරණය පිළිබඳව නිශ්චිත නීති පද්ධතියක් රටට පැමිණියේ 80 දශකයේදීය. ඒ 1980 සම්මත වූ ජාතික පරිසර පනත සහ වෙරළ සංරක්ෂණ පනත සමගින්ය. මේ පනත් දෙක මගින් මධ්‍යම පරිසර අධිකාරිය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගොඩනැගුණු අතර ඒ ආයතන දෙක සමග වන සංරක්ෂණ සහ වනජීවී යන දෙපාර්තමේන්තු දෙක මේ රටේ පරිසර සංරක්ෂණය පිළිබඳව පසුගිය වසර 40 පුරාවට සිදුකර ඇති සේවය විශාලය.

මෙහිදී අපේ අවධානයට ගත යුතු තවත් කාරණයක් වන්නේ අපේ රටේ සමහර විශාල ව්‍යාපෘති හදද්දි මේ රටේ පරිසර කළමනාකරණයක් තිබුණේ නැති බවය. අපේ රටේ ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘතීන් දෙකක් වූ මහ කොළඹ ආර්ථික කොමිසම යටතේ පිහිටු වූ මහා පරිමාණයේ කර්මාන්ත ශාලා ආරම්භ වූ කාලයේ මේ රටේ පරිසර කළමනාකරණය පිළිබඳව නිසි ආකාරයේ නීති පද්ධතියක් තිබුණේ නැත. එසේම කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගෙනෙද්දීද එවැනි පරිසර නීතියක් මත කළමනාකරණය කිරීමක් සිදුකළේද නැත. මා ඒ බව කියන්නේ පරිසර නීති දෙස නොබලා සංවර්ධනය කිරීම සුදුසු බව කීමට නොව මේ ප්‍රශ්නයේ ස්වභාවය පැහැදිලි කිරීමටය.

මාධ්‍ය දෙස බලන විට පෙනීයන්නේ වර්තමානයේ සමහරුන් මතුකරන පරිසර ගැටලුව වන්නේ වන විනාශය බවය. සංරක්ෂිත රක්ෂිතයන් තුළ නීති විරෝධී ආකාරයෙන් ගස් කැපීම් සිදුවුවහොත් ඒවා නීතියේ රුහැනට ලක් කරන්නට රජයේ ආයතන උත්සාහ ගන්නා බවද පෙනී යන කාරණයකි. එහෙත් ඒ අතරින් සමහර අවස්ථාවල නීතියේ රැහැනින් රිංගා යන අය සිටින බව හැම කාලයේම පෙනී ගිය තත්ත්වයක්ය.

එහෙත් මගේ වැඩි අවධානය තිබෙන්නේ මේ කියන හුදකලා වන විනාශයන් මත සිට පරිසර ආරක්ෂාව පිළිබඳව වියුක්ත රොමෑන්තික කතා කීම නොව සංයුක්ත ආකාරයෙන් පරිසර කළමනාකරණය පිළිබඳව අප රටක් ලෙසින් කල්පනා කළ යුතු බව සාකච්ඡා කිරීමටය.

පරිසර කළමනාකරණය

මවිසින් මුලින් කී පරිදි මෙහි දී අපේ අවධානය යොමු විය යුත්තේ සංවර්ධනය ප්‍රතික්ෂේප කරමින් සිදුකරන පරිසර ආරක්ෂාවක් පිළිබඳ හුදු ඌනතිවාදයක් දෙසට නොව සංවර්ධනය ඇතුළත් කරගන්නා පරිසර කළමනාකරණයක් වෙතටය. මෑත කාලයේ එවැනි ශක්තිමත් ආකාරයෙන් සංවර්ධනය සහ පරිසරය අතර මිශ්‍රණයක් පෙන්නුම් කළ ව්‍යාපෘතියක් ලෙසින් වත්මන් ජනාධිපතිතුමන් විසින් ඒ කාලයේ සිදු කළ නාගරික සංවර්ධන සැලසුම් ව්‍යාපෘතිය හැඳින්විය හැකි බව මගේ අදහසය.

කොළඹ නගරයේ ජලාශ්‍රිත ප්‍රදේශ ඒ ආකෘතියෙන්ම නව එකතුකිරීම් ද සහිත ගොඩ නැංවුණු එම ව්‍යාපෘතිය හරහා මේ රටේ පරිසරය කළමනාකරණය පිළිබඳව නව අදහසක් ගොඩනැගූ බව ඉතාමත් පැහැදිලිය.

පරිසර කළමනාකරණය ලෙසින් අප දැකිය යුත්තේ අවශ්‍ය ආකාරයට මානව ශිෂ්ටාචාරය ද ආරක්ෂාවන සහ අවශ්‍යතා සම්පූර්ණ කරගැනීමේ පදනමකින් සැලසුම් සකස් කිරීමය. එහිදී පවතින පරිසර සාධක එනම් පස, ජලය, වාතය, වනාන්තර වැනි දේවල් ආරක්ෂා කරගැනීම ලෙසින් අප තේරුම් ගත යුත්තේ ඒවා තිබෙන ආකාරයෙන් තබා ගැනීම පමණක් නොව අවශ්‍යතා සඳහා සැලසුම් සහගතව ඒවා වෙනස් කිරීමත් ඇතුළත් කරගත් වැඩසටහනක් ලෙසින් බව මගේ අදහසය.

නිදර්ශනයක් ලෙසින් ගතහොත් පැරණි දියවන්නා ඔය පිළිබඳව සන්දේශ සාහිත්‍යයේ සැලළිහිනියා මගින් කියන ආකාරයේ කතා කීමෙන් පරිසරය ආරක්ෂා කරන්නට යාම පසුගාමී දෙයක් බව මගේ අදහසය. දියවන්නා ඔය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් ජෙෆ්රි බාවා විසින් යළි ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් ඉදිරිපත් කළේ ජේ.ආර්. ජයවර්ධන යුගයේදීය. එම සැලසුම්වලට අනුව අලංකාර පාර්ලිමේන්තුවක් සැදීමටත් සහ දියවන්නා ජල ධාරාව නව ආකාරයකින් කළමනාකරන්නටත් ඒ කාලයේ අයට හැකි විය.

වර්තමානයේ අවශ්‍යතා සඳහා භූමිය යොදා ගැනීම්වලට අනුව ඒ දියවන්නාවම යළිත් වරක් පරිසර සංරක්ෂණය පැත්තෙන් කළමනාකරණය කළේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නාගරික සංවර්ධන ලේකම් කාලයේය. යම් පරිසර සාධකයක් සංරක්ෂණය හා කළමනාකරණය කිරීම යනු ඒ පරිසර සාධකය නව තත්ත්වයට ගැළපෙන ආකාරයෙන් කළමනාකරණය කිරීම මිස එයට ‘අතවත් නොතියා සිටීම’ යැයි මම සිතන්නේ නැත. යම් පරිසර සාධකයක් ඒ ආකාරයෙන් පාවිච්චි කිරීමට හැකියාවක් නොමැති නම් ඒ තත්ත්වය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් අදාළ පරිසර සාධකයට හානියක් සිදුනොවන පරිද්දෙන් සංරක්ෂණය කිරීම වැදගත් වන්නේ ඒ තත්ත්වය නිසාය.

ඒ අනුව පරිසර කළමනාකරණය ලෙසින් මා දකින්නේ විශේෂයෙන් ජාතික පරිසර පනත යටතේ ඇති සමහර රෙගුලාසි මගින් පෙන්නුම් කර ඇති ආකාරයෙන් සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව ශක්තිමත් ආකාරයෙන් මැදිහත්වෙන ආකාරයේ කළමනාකරණයකි. එසේ නොමැතිව ‘පරිසරයට අත නොතබමු’ යන ආකාරයෙන් පරිසර සංරක්ෂණය කරන්නට යාම මගින් සිදුවන්නේ රටක් ලෙසින් අප ඉදිරියට යන්නේ නැති සංවර්ධනය සඳහා සියල්ල බාධා බවට පත්කර ගත් සැලසුම්කරණයකි.

මෙහිදී විශේෂයෙන් කිව යුත්තේ රක්ෂිත වනාන්තර විනාශ කිරීමේ සිට පරිසර සාධක නොතකා හරිමින් සිදුකරන හානිදායක තත්ත්වයන් සියල්ල නැවැත්විය යුතුවා සේම පරිසර සාධක කළමනාකරණය කරමින් සිදුකරන සංවර්ධන කටයුතු ආරක්ෂා කළ යුතු බවය.

Saturday, December 12, 2020

ආර්ථිකයේ ඇත්ත පැත්ත

මීළඟ වර්ෂය සඳහා රජයේ අයවැය පාර්ලිමේන්තුවෙන් සම්මත වූයේ මේ සතියේය. දින 19 ක් පමණ පැවති අයවැය සංවාදය නිමාවූයේ ඊයේ දිනයේය. මේ වර්ෂයේ අයවැය සම්බන්ධව පැවති මුළික අභියෝගයක් වූයේ පවතින කොරෝනා වසංගතය හමුවේ රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යන්නේ කෙසේද කියන කාරණය ය. වෙනත් ලෙසකින් කිවහොත් රටේ ආර්ථිකය බරපතල අර්බුදයකට තල්ලුවීමේ ප‍්‍රවනතාවන් වළක්වා ගනිමින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන කාරණය ය. මේ අභියෝගය හමුවේ රජය විසින් ඉදිරිපත් කළ අයවැය පිළිබඳව විවිධ පාර්ශවයන් වෙතින් එල්ලවූ විවේචනයන්ට සාර්ථක ලෙසින් පිළිතුරු ලබා දෙන්නට පාර්ලිමේන්තුවේ පැවති මේ අයවැය සංවාදය තුළ ආණ්ඩුවේ පාර්ශවයන්ට හැකිවූ බව මගේ අදහස ය. 

මේ අයවැය සංවාදයේ රජයට මුහණ දෙන්නට සිදුවූ අභියෝගයන් දෙකක් තිබුණු බව මගේ තේරුම් ගැනීම ය. එයින් එක් අභියෝගයක් වන්නේ උග‍්‍ර ධනවාදී සාම්ප‍්‍රදායික අදහසින් සංවාදයට පැමිණෙමින් ‘රාජ්‍යයේ වගකීම සම්පූර්ණයෙන්ම මකා දැමියයුතු’යැයි තර්ක කරන ආර්ථික කොන්සවේටිව්වාදීන්ගේ මතවාදයයි. (පැරණි එජාපයේ සහ වර්තමාන සජබයේ ආර්ථික විශේෂඥයන්ගේ අදහස් තුළින් මතු වන්නේ මේ තර්කයයි. අයවැය සංවාදයේ ආණ්ඩුව හමුවේ තිබු අනෙක් අභියෝගය වන්නේ මෙරට ආර්ථිකය පිළිබදව වෙළදපොළ විරෝධී ඌනතාවාදයක සිටිමින් සියල්ල රජයෙන් විය යුතුයි යන තර්කය ඉදිරිපත් කරන වාමාංශික මතවාදයයි. මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මෙහි සඳහන් දෙවන සමාජ කණ්ඩායමේ මතවාදයේ ඇති ගැටළුකාරිත්වය පිළිබඳවයි. 

අයවැය සංවාදය කෙරෙන අතරතුර මා සහභාගී වූ වෙනත් වැදගත් ‘ඔන්ලයින් සංවාදයක් පිළිබඳව සටහනක් කරමින් මේ ලිපිය ආරම්භ කිරීම සුදුසු යැයි සිතුනේ අපේ රටේ ආර්ථිකය පිළිබඳව සමාජයේ වාමාංෂික යැයි පිළිගත් සමහර කොටස් වෙතින් මතුවන විවේචනය මනෝරාජක ස්වරූපයේ ස්වභාවය පැහැදිලි සංවාදයෙන්ද හැකියාවක් ඇතිනිසා ය. 

වාමාංෂික ඌනතිවාදය 

රටේ ආර්ථිකය පිළිබඳව මා කියන මේ ‘ඔන්ලයින් සංවාදය සඳහා මා ද, ඇතුළුව තවත් තිදෙනෙක් සහභාගී විය. ධම්ම දිසානායක, ශිරාල් ලක්තිලක, සුමිත් චාමින්ද යන මහත්වරුන් මා හැරුණු විට ඒ සඳහා සහභාගි වූ අය ය. එහිදී සාකච්ජා වුණු එක් ප‍්‍රධාන මාතෘකාවක් වූයේ අපේ රටේ තිබෙන ආර්ථිකයේ අභියෝගය ජයගන්නේ කෙසේද යන කාරණය ය. මේ සංවාදය පුරාම සමහර වාමංෂික සම්බන්ධයක් ඇති අයගේ අදහස වූයේ ‘රටේ ධනය බෙදෙන ආකාරය නිවැරිදි නැහැ යන අදහස මිස ‘රටේ ධනය නිපදවන්නේ කෙසේද යන කාරණය පිළිබඳව නොවන බව මගේ අදහස විය. අපේ රටේ වාමාංෂික ව්‍යාපාරයේ හැමදාම මතුවූ පෙනෙන මේ ‘ධනය උපයන ආකාරය ගැන ‘නොසිතා‘ ‘ධනය බෙදහරින ආකාරය’ පිළිබඳව පමණක් සිතීමේ ඌනතිවාදය නිසා මේ සමහරුන් කරන්නේ හුදු සාකච්ඡා ශෛලියක් වර්ධනය කිරීම පමණක් බව ඒ සංවාදය තුළ මා මතු කළ එක් නිරීක්ෂණයක් ය. ඒ කියන්නේ රටේ දේශපාලනය පිළිබඳව බිම තියෙන අභියෝග සමග මිශ‍්‍රවූ විවේචනයක් කරන්නේ නැතිව හුදු වචන හරඹවලින් සෑහීමකට පත්වෙන්නට මේ රටේ සමහර වාමාංෂික බුද්ධිමතුන් කටයුතු කරන බවයි. 

මේ අයවැය පිළිබඳ සංවාදය නිමාවෙමින් පවතින මේ අවස්ථාවේදී රටේ ආර්ථිකයේ තත්වය පිළිබඳව යම් ආකාරයක ‘බිම තියෙන ගැටළු සමග සම්බන්ධවූ සාකච්ජාවක් අවශ්‍ය බව මා සිතන්නේ මේ වාමාංෂික ඌනතිවාදී විවේචනයේ ඇති ගැටළුකාරිත්වයත් නිසා ය. 

වෙළඳපොළ 

1977 සිට අපේ රටේ ආර්ථිකයේ සිදුවෙමින් පවතින වෙනස්කම් සැළකිල්ලට ගත්විට අපේ අවධානයට යොමු විය යුතු කාරණයක් වන්නේ අපේ ආර්ථිකය පවතින්නේ විචෘත වෙළඳපොළ ක‍්‍රමයක් තුළ බව ය. රටේ වෙළඳපොළ පිළිබඳව 1977 පත්වූ ආණ්ඩුව විසින් ගත් ඒ තීරණාත්මක වෙනස්කම සමගින් කල්පනා කරන විට තේරුම් ගත යුතු වැදගත් කාරණා රාශියක් තිබෙන බව පැහැදිලිය. ඒ කියන්නේ දැන් අපි කටයුතු කරන්නේ රජය සහ වෙළදපොළ යන බලවේග දෙකම හරි හරියට ආර්ථිකයේ පංගුකාරිත්වයක් දරන තත්වයක බව ය. ඒ නිසා මෙරට වාමාංෂික ව්‍යාපාරයේ යටි අදහසක් ලෙසින් මතුවන ‘වෙළදපොල යනු ස්වභාවයෙන්ම නරක දෙයක් යන අදහසත්‘ ‘ආණ්ඩුවක් යනු වෙළදපොළේ තරහකාරයෙක්ය යන අදහසත්‘ මේ කාලයට ගැලපෙන්නේ නැති යල්පැන ගිය කල්පනාවක් බව කිව යුතුය. 

වෙළඳපොළ කියන්නේ මේ වනවිට අපි කවුරුත් පිළිගත යුතු ධනය නිෂ්පාදනය කරන සහ ආර්ථික වටිනාකම් නිර්මාණය කරන පළල් පදනම බව ඉතාමත් පැහැදිලිය. ඒ නිසා අපේ දේශපාලන ආර්ථිකයේ ප‍්‍රශ්න විසඳාගත යුත්තේ වෙළඳපොළ තුළ ප‍්‍රායෝගිකව සිතමින් හා ප‍්‍රායෝගිකව සිටිමින් මිස වෙළඳපොල විරෝධීව සාම්ප‍්‍රධායික වාමාංෂිකවාදයේ කිමිදෙමින් නොවන බව මගේ යෝජනාවය. 


තවත් පැත්තකින් බලන විට මේ වෙළඳපොළ පදනම් කරගත් ආකෘතියේ අපේ රටට ලබා ගත යුතුව තිබූ සමහර මුළික ජයග‍්‍රහණ ලබාගන්නට නොහැකිවූ බව සත්‍යයක්ය. එයට හේතුවූ කරුණු අතරින් වැදගත් වන මුළික කාරණා දෙකක් තිබෙන බව මගේ අදහසයි. එයින් එකක් වන්නේ වෙළඳපොල ධනවාදය මෙරට තුළ යම් ආකාරයක ගජමිතුරු සම්බන්ධතාවක් තුළ හිරවූ නිසාය. ඒ කියන්නේ වෙළඳපොල පිළිබඳව සාම්ප‍්‍රදායික එජාපයේ තිබූ අදහස නිසා එය තැරැව්කාර වෙළඳුන් කීපදෙනෙකුගේ අවශ්‍යතාවය වෙනුවෙන් ලඝු කරන්නට 77 න් පසු සමහර රජයන් කටයුතු කළ නිසාය. ලංකාවේ වෙළඳපොළ ධනවාදයේ බලාපොරොත්තුවූ ජයග‍්‍රහණයන් ලබා ගන්නට නොහැකිවීමට හේතුවන අනෙක් කාරණය වන්නේ අපේ රටේ සාම්ප‍්‍රදායික වාමාංශික ප‍්‍රවණතාවන් වෙළඳපොළ පිළිබඳව සමාජගත කරන මා ඉහතින් සඳහන්කළ මතවාදය නිසාය. සාම්ප‍්‍රදායිකවම මෙරට වාමාංෂික ව්‍යාපාරය සංකල්පගත කරන්නේ ‘වෙළෙන්දා යනු නරක මිනිහෙක්ය සහ වෙළඳාම යනු නරක වැඩක්ය‘ යන උපවිඥානය සහිත විවේචනයක් බව මේ අදහසේ පදනමයි. මේ අදහස සමාජගත වූයේ 60 සහ 70 දශකයේ අපේ රටේ දේශපාලන ආර්ථිකය තුළ අධිනිශ්චය වූ මතවාදය වූ එක්කෝ ඌනතික ජාතිකවාදය නැත්නම් ඌනතික වාමාංෂිකවාදය නිසාය. මේ මතවාදයන් දෙකම මගින් ජනිත කළ ගැටළු රාශිය යම් තරමකට හෝ කළමනාකරණය කරගත්තේ වෙළඳපොල පිළිබඳව වෙනස් ආකාරයෙන් කල්පනා කරන්නට අපේ සමාජය පටන් ගත් නිසා බව මගේ අදහසය. 

අපේ රටේ ආර්ථිකයේ සියළු මර්මස්ථාන තිබිය යුත්තේ සම්පූර්ණ වශයෙන්ම රාජ්‍යයේ අත්අඩංගුවේ සමහරුන් සිතන්නේ ඉහත සඳහන් වාමාංෂික ඌනතිවාදය නිසාය. 

අනෙක් අතට වාමාංෂික ඌනතිවාදයේ තවත් සමහරුන් සිතන්නේ රටේ ධනය බෙදාහරින්නේ කෙසේද කියා මිස රටේ ධනය උපදවන්නේ කෙසේද කියා නොවේ. ඒ නිසා ඒ තර්කය මතුකරන බොහෝ අයගේ විවේචනයන් තුළින් පෙනෙන යටි අදහස වන්නේ මේ රටේ තිබෙන ගැටළුව වන්නේ ධනය බෙදාගැනීම මිස ධනය උපදවා ගැනීම නොවන බවයි. මේ අදහස තනිකරම වැරදි අදහසක් බව අපි එළිපිටම කථා කළ යුත්තේ මේ අදහසින් සිදුවන්නේ රටේ ජනතාවගේ යැපුම් මානසිකත්වය වර්ධනය කිරීම පමණක් නිසාය. 

රාජ්‍යයේ භූමිකාව පිළිබඳව නව සංවාදයක් මේ රටට අවශ්‍ය යැයි සිතිය යුතු කාලයකට අපි පැමිණ ඇති බව මගේ යෝජනාවයි. 

රාජ්‍යයේ භූමිකාව 

අපේ රටේ ඌනතිවාදී වාමාංෂික ප‍්‍රවණතාවන් රජය පිළිබඳව සිතන ආකාරයත් ඌනතිවාදී දක්ෂිණාංෂිකයින් රජයේ භූමිකාව පිළිබඳව සිතන ආකාරයත් යන අංශ දෙක ගැනම බරපතල ආකාරයේ යළි සළකා බැලීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ ආර්ථිකයේ අපි මුහුණ දෙන අභියෝගත් සමගින් මේ තත්වය සිතන විටය. සියල්ල කළ යුත්තේ රජය විසින් යැයි සිතන්නටත් සුබසාධනය සම්පූර්ණ වශයෙන් සි¥කරන ආර්ථිකයක් අපිට අවශ්‍ය යැයි සිතන ආකෘතියටත් එරෙහිව විප්ලවීය ආකෘතියකින් සිතන්නට අපට බල කරමින් තිබෙන බව මගේ අදහසය. මා විශ්වාස කරන ආකාරයට සෞඛ්‍ය සේවය හා අධ්‍යාපන සේවය රාජ්‍යයේ මූලිකත්වය යටතේ ඉදිරියට යා යුතු සුභසාධනයන්ය. එහෙත් මා එයින් අදහස් කරන්නේ ව්‍යතිරේඛයන් දෙකක් පිළිබඳව අපගේ අවධානයට යොමුකළ යුතුයි යන පදනම යටතේය. ඒ ව්‍යතිරේඛයන් දෙක වන්නේ අපේ අධ්‍යාපන ක‍්‍රමය හා සෞඛ්‍ය සේවය වේගවත් නවීකරණයකට රාජ්‍යයට ඇති හැකියාව සමගය. නවීකරණය නොවූ අධ්‍යාපනයක් හෝ සෞඛ්‍ය සේවයක් මගින් රටට ඇතිවන සේවයක් නැති බව පැහැදිලිය. අනෙක් ව්‍යාතිරේඛය වන්නේ පුද්ගලික අංශයේ මැදිහත්වීම මෙම ක්ෂේත‍්‍රවල පවා අපි යම් ආකාරයක විවෘතභාවයක් පෙන්නුම් කළ යුතු බවය. 

මේ අංශ දෙකටම සමාන බරක් රාජ්‍යයේ පංගුකාරිත්වයෙන් යෙදවිය යුතු ක්ෂේත‍්‍රයක් වන්නේ ප‍්‍රවාහනය ය. අපේ රටේ ජාතික හා ජාත්‍යන්තර මූල්‍ය ඛාදනය වන ප‍්‍රධානතම අංශයක් වන්නේ නවීකරණය නොවූ ප‍්‍රවාහන පද්ධතියයි. 

මේ ක්ෂේත‍්‍ර කීපය හැරුණු විට පොදු රෙගුලාසිකරණයකට යටත්ව අනෙක් බොහෝ ක්ෂේත‍්‍ර රාජ්‍යය හා වෙළදපොළ තුළ එක්ව වර්ධනය විය යුතු බව මගේ යෝජනාවය. අපේ රටේ මුළික ප‍්‍රශ්නය වන්නේ හොඳ රාජ්‍යයක් නැති නිසා නොව හොඳ පෞද්ගලික ව්‍යවසායකත්වයක් වර්ධනය නොවීමය. 

මේ කාරණය පිළිබඳව පළල් සංවාදයක් සිදුකිරීම ඉතාමත් වැදගත්ය. 



Friday, November 27, 2020

කොරෝනා කාලේ අයවැය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වී වසරක් ගත වුණේ පසුගිය සතියේය. මේ රටේ ජනාධිපති ධුරයට එතුමා පත්වූයේ 2019 නොවැම්බර් 16 වැනිදා ය. පසුගිය වසරක කාලයෙන් මාස අටක් පමණ ගත වුණේ කොරොනා වසංගතයත් සමගින්ය. අනෙක් අතට තවත් මාස හයක් ගත වුණේ රටේ පාර්ලිමේන්තුවක්ද නැතිවය. දැන් පාර්ලිමේන්තුව තෝරා ගෙන ඇති අතර කොරෝනා දෙවැනි රැල්ල පැමිණ ඇත්තේ එවන් තත්ත්වයකය. ඒ කෙසේ වෙතත් මේ වන විට අලුත් ආණ්ඩුවේ පළමු අය වැය ඉදිරිපත් වී තිබෙන බව අප කවුරුත් දන්නා කාරණයක්. මගේ සටහනින් මා සාකච්ඡා කරන්නේ කොරෝනා කාලේ අයවැය පිළිබඳවය.

තාක්ෂණික ආර්ථිකයක්

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය නොවැම්බර් 17 වැනිදාය. ඒ අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමැති වර්තමාන අගමැතිතුමන් පාර්ලිමේන්තුවට කීවේ මේ වන විට ලෝක ආර්ථිකය කාර්මිකකරණයේ උපරිම අදියරකට පැමිණ ඇති බවත් එය තාක්ෂණික ආර්ථිකයක් ලෙසින් නම් කළ හැකි බවත්ය. එසේම අපේ රටේ පවතින ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වයේ ඇති සාපේක්ෂ වාසිය මත පදනම්ව රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් එහිදී විශේෂ වශයෙන් අපේ රටේ පිහිටීමේ සාපේක්ෂ වාසිය ආර්ථික වශයෙන් උපරිම ආකාරයෙන් පාවිච්චි කළ යුතු බවත් අගමැතිවරයාගේ අදහස විය.

ලෝක ආර්ථිකයේ දැවැන්තයන් දෙදෙනකු ලෙසින් ඉන්දියාවත් චීනයත් නැගී සිටින නව කලාපීය දේශපාලන තත්ත්වයක් තුළ සහ ලෝක ජනගහනයෙන් සියයට හැටක් පමණ ජීවත් වන කලාපයක් ලෙසින් මේ කලාපයේ ඇති වැදගත්කම මෙහිදී විශේෂ වශයෙන් අවධානයට යොමු වූ කාරණයක් විය. දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් පෙන්නුම් කෙරෙන මේ අලුත් තත්ත්වය ආමන්ත්‍රණය කර ගත් ආර්ථිකයක් අවසාන වශයෙන් අපේ රටේ මේ මොහොතේ සැලසුම්වලට අවසාන අරමුණ විය යුතු බව මේ අදහසින් පෙන්නුම් කරන එක කාරණයක්ය.

රටේ වරාය සහ ගුවන් තොටුපොළ වැනි අතිශයෙන්ම වැදගත් ආර්ථික මර්මස්ථාන දියුණු කිරීම එල්ල කර ගත යුත්තේ නැගී එන ආසියාවේ අලුත් ආර්ථිකය දෙසට බව ඉතාමත් පැහැදිලි කරුණක්ය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ ගොඩ නැගුවේම මේ අදහසින්ය. එහෙත් මීට පෙර පැවැති යහපාලනය යැයි කියා ගත් රජය මේ වරාය චීනයට සම්පූර්ණයෙන්ම පවරා දුන්නේ එහි ඇති වටිනාකම පිළිබඳව කිසිදු හැඟීමකින් තොරවය.


අයවැයක පදනම

රටක අයවැයක් සමහරුන් හිතන්නේ ඉලක්කම් විජ්ජාවක් ලෙසය. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුතු කාරණය වන්නේ අයවැයක් කියන්නේම හුදු ඉලක්කම් විජ්ජාවක් නොව දේශපාලන ලියවිල්ලක් බවයි. මේ ආණ්ඩුවේ අයවැය පදනම් වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම දේශපාලන න්‍යාය පත්‍රය සමගය. සමහර කාලවල අපේ රටේ අයවැය හැදුණේම රටේ දේශපාලන පදනම මත පිහිටා නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුවේ හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ මූලික ලියවිල්ලක් ලෙසින් බවද මෙහිදී අපේ අවධානයට ගැනීම වැදගත්ය. මෙවර අයවැය එවැනි හුදු බාහිර ආයතනවලින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන විදේශීය හස්තයක් නොවන බව මෙහිදී තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.

අයවැයක න්‍යායික පදනම වන්නේ රටක ආර්ථිකයට සම්බන්ධ තුන් ආකාරයක අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා සකස් කරන ආර්ථිකමය වූ දේශපාලන ලියවිල්ලක් යැයි පැවැසීම නිවැරදිය. ඒ කියන්නේ රටක අයවැය ලේඛනයක් මගින් කරුණු තුනක් මූලික වශයෙන් ආමන්ත්‍රණය විය යුතු බවය. ඒ කරුණු තුන වන්නේ 1. රටේ ආර්ථික වර්ධනය පිළිබඳ රජයේ යෝජනා 2. රටේ ආර්ථික ස්ථායීභාවය පිළිබඳ රජයේ යෝජනා සහ 3. රටේ සමාජ සමානාත්මතාව ගොඩ නැගීමට රජයේ යෝජනා යන ඒවාය. මෙවර රජයේ අයවැය අප විමසා බැලිය යුත්තේ මේ අවශ්‍යතා මෙම ලේඛනය මගින් ආමන්ත්‍රණය කර ඇත්තේ කෙසේද යන කාරණය සිතේ තබා ගනිමින්ය.

ආර්ථික වර්ධනය

මේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳව අතීතයේ සිටම විවිධ න්‍යායික තේරුම් ගැනීම් පැවැති බව මෙහිදී අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. 1948 සිට 1978 දක්වා කාලයේ මේ රටේ ආර්ථිකය පදනම් වූයේ සම්භාව්‍ය ධනවාදී අර්ථක්‍රමයටය (1952 සහ 1965 ආණ්ඩු මෙහිදී නිදසුන්ය). 1956 සහ 1970 කාලයේ පෙන්නුම් කරන්නේ දේශීයකරණය වූ සහ මාක්ස්වාදී අර්ථක්‍රමය පදනම් කර ගත් ආර්ථිකයෝය. (56 සහ 70 ආණ්ඩු මේවාට නිදසුන්ය) 1978 න් පසුව පැමිණියේ ඉහත සඳහන් න්‍යායික උපාය මාර්ගික ආර්ථික පදනම්වලින් බැහැර වූ විවෘත ආර්ථික ක්‍රමයක්ය. මේ අනුව අප මූලික ආර්ථික ක්‍රම කීපයක්ම අත්හදා බලා ඇති බව පැහැදිලිය.

මේ ආර්ථික ක්‍රමවලට සාපේක්ෂව බැලූ විට වැදගත් කාරණයක් වන්නේ ඒ ඒ ආණ්ඩු විසින් රාජ්‍ය සහ වෙළෙඳපොළ අතර ගොඩ නඟා ගත් සම්බන්ධතාව කවරේද යන්නයි. විශේෂයෙන් 1978 න් පසු කාලයේ එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් ආණ්ඩු පදනම් වුණේ ‘රාජ්‍ය දිය වෙන’ පරිද්දෙන් සහ ‘වෙළෙඳපොළ එකම ගැලවුම්කරු’ යන පදනමින් බව මගේ තේරුම් ගැනීමය. මෙවර අයවැයෙන් පැහැදිලිවම පෙන්වා දෙනු ලබන්නේ අපේ ආර්ථිකයේ පදනම තනිකරම රාජ්‍යවාදයක් absolute statism) හෝ තනිකරම වෙළෙඳපොළ වාදයක් හෝ (absolute Makertism) නොවන බවයි. මේ අයවැයට අනුව එය තේරුම් කළ හැක්කේ දේශපාලන ප්‍රායෝගිකවාදයක් (political pragmatism) ලෙසින් බව මගේ අදහසය.
ආර්ථික සංවර්ධනය පැත්තෙන් මේ අයවැයේ ඉදිරිපත් වෙන කරුණු ඉතාමත් ඍජුය. ඉතාමත් ප්‍රායෝගිකය. ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ග අතර අපනයන ආදායම වර්ධනය කිරීමත් ආනයන ආදේශන හඳුන්වාදීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් එක් පැත්තකින් ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරයි.

අනෙක් පැත්තෙන් සියයට 6 ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගනිමින් දේශීය නිෂ්පාදන සහ සේවා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා වැදගත් පියවර රාශියක් යෝජනා කරයි. එසේම රජයේ ආදායම හා වියදම අතර තිබෙන පරතරය සියයට 9 සිට සියයට 4 දක්වා අඩුකිරීමේ උත්සාහයක් කැටි කර ගත් මේ සාර්ව ආර්ථික මෙහෙයුම මගින් යෝජනා කරන්නේ පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් ඉලක්ක කරගත් ශක්තිමත් වර්ධනයකි. සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන සහ ‘‘ගම සමඟ පිළිසඳරක්’’ වැඩ සටහන මත පදනම්ව යෝජනා වී ඇති මෙම ආර්ථික සංවර්ධන ක්‍රියාදමය මෙම අයවැයේ ප්‍රධානතම කලාපය ලෙසින් පෙන්වා දීම නිවැරදිය.

ආර්ථික ස්ථායීභාවය

අයවැයක දෙවැනි වැදගත් කාරණය වන්නේ එය මගින් එම රටේ ආර්ථිකයේ ස්ථායීභාවයට සිදුකරන බලපෑමය. ඒ කියන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා එය මගින් යෝජනා කරන උපාය මාර්ගවල ඇති තත්ත්වයයි. රටේ බදු ප්‍රතිපත්තිය රටේ පොලී අනුපාතය වැනි ආර්ථික උපකරණ (economic instruments) නිසි පරිදි ස්ථාපිත කිරීම රටේ ආර්ථිකයේ වර්ධනයට විශාල බලපෑමක් සිදුකරන බව මෙහි යටි අර්ථයයි. පසුගිය යහපාලනය යැයි කියා ගත් රජයේ තිබූ බරපතළම අවුල ලෙසින් දැකිය හැක්කේ මේ අංශයේ තිබූ අපැහැදිලි සහ අපරිණතභාවයයි.

මෙවර අයවැයෙන් විදේශ මූල්‍ය උපයෝජනය පිළිබඳවත් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් නිශ්චිතව කරුණු ඉදිරිපත් කර ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එසේම ඩිජිටල් තාක්ෂණය මූල්‍ය ක්ෂේත්‍රයේ ගෙවීම් සඳහා යොදා ගැනීමට ගෙන ඇති තීරණයද මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි. මෙයට අමතරව මූල්‍ය සමාගම් ප්‍රතිසංස්කරණය පිළිබඳව රජයේ ස්ථාවරය මෙම අයවැය ලේඛනයේ නිශ්චිතවම ඉදිරිපත් වී ඇති තවත් වැදගත් කාරණයකි. ආර්ථික ස්ථායීකරණය පැත්තෙන් ඉදිරිපත් වෙන මෙම යෝජනා මගින් නව පණක් රටේ ආර්ථික දේහයට ලැබෙන බව මගේ විශ්වාසයයි. ඉතිරි කිරීමේ හා ආයෝජන දිරිගැන්වීමේ උපාය මාර්ග පැත්තෙන්ද මෙවර අයවැය මගින් යෝජනා වෙන නව්‍ය අදහස් මේ ක්ෂේත්‍රයේ ශක්තිමත් ආයෝජන ගොඩ නැංවීමට හේතු වන බව පෙනී යයි.

සමාජ සමානාත්මතාව

රටක අයවැයක අනෙක් වැදගත් කාරණය වන්නේ එය මගින් සමාජයේ ආර්ථික හා සමාජ සමානාත්මතාව සඳහා ලබා දෙන සහයෝගයයි. මේ අයවැය ඒ පැත්තෙන් පෙන්වා දෙන්නේ යම් ආකාරයක යථාර්ථවාදී එළඹුමක් බව මගේ අදහසය. බොහෝ අයවැය මගින් කරන්නේ වැටුප් වැඩි කිරීම සහ රාජ්‍ය අංශයේ ප්‍රගමනය පිළිබඳව පමණක් බව අප බොහෝ විට දන්නා කාරණයකි. මෙවර අයවැයේ මේ අංශයේ න්‍යායික පදනම සකස් කර ඇත්තේ ගම සමග පිළිසඳරක් වැඩ සටහන මගින් ප්‍රායෝගික තලයේ සිදුකළ සාකච්ජා මත පදනම්ව බව එහි පැහැදිලිවම සටහන් කර ඇත.

සන්නිවේදන ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කිරීම සහ සමාජ සුබසාධන සඳහා විශාල අවධානයක් යොමු කිරීම මෙහිදී අපේ අවධානයට යොමු විය යුතු කලාපයක්ය. අනෙක් අතින් වෘත්තීය අධ්‍යාපන ඉඩ සහ දුරස්ථ අධ්‍යාපනය සඳහා ලබාදී ඇති ශක්තිමත් සහයෝගය මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක්ය.

කොරෝනා කාලයේ රටම සෞඛ්‍ය ප්‍රශ්නයක් සමග ගැට ගැසී ඇති අවස්ථාවක ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පිම්මක් යෝජනා කරන ප්‍රායෝගික අයවැයක් වශයෙන් මෙවර අයවැය හැඩ හඳුන්වා දිය හැකි බව මගේ අදහසය.

Friday, November 13, 2020

දේශපාලන අභියෝග පහක්

 මේ දවස්වල රටේ දේශපාලනය පිළිබඳව පුළුල්ව සාකච්ජා කරනවාට වඩා හුඟක් අය උත්සාහ කරන්නේ කොරෝනා වසංගතය පිළිබඳව පමණක්  කථාකිරීමට ය. ඒ තරමට රටේ අවධානය මේ වසංගතය සමග ගැට ගැසී ඇත්තේ ලෝක පරිමානව මේ අභියෝගයෙන් මිඳීමට මඟක් තවමත් නොමැති නිසා ය. කොරෝනා පළමු රැල්ලට වඩා මේ දෙවැනි රැල්ල බරපතල බව හැම පැත්තෙන්ම ඇසෙන කථාව ය. ඒ නිසා මේ තත්වය පාලනය කරගැනීම සඳහා අපි කොරෝනාවලට පෙර ලෝකයෙන් මිඳිය යුතු බව මගේත් යෝජනාව ය. ඒ කියන්නේ කොරෝනා වෛරසය නොතිබුණු කාලයේ චර්යාවන් වෙතින් ඉවත්වී ජීවත්වීමේ  අවශ්‍යතාවය ය.  අපි මේ නව සාමාන්‍යයට (new normal) මුහුණ දිය යුතු වෙමු. ඒ සඳහා සුදානම  අපි තුළින්ම පෙන්නුම් කිරීමට අපි හැමෝම හුරුවිය යුතු බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.

මහාචාර්ය චරිත හේරත් 
මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ කොරෝනා වසංගතය පිළිබඳව පමණක් නොවේ. මා අදහස් කරන්නේ අපි රටක් ලෙසින් මුහුණ දෙන අර්බුදයන් පහක් සමස්තයක් ලෙසින් ගෙන ඒ පිළිබඳව කථා කිරීමටය. වෙනත් ලෙසකින් කිවහොත් මා උත්සාහ ගන්නේ රටක් ලෙසින් මේ මොහොතේ අපි මුහුණ දෙන අභියෝග පහක් එක වගේම වැදගත් බැව් පෙන්නා දෙමින් පැහැදිලි කිරිමටය. රටක් ලෙසින් අපි හමුවේ ඇති අභියෝග පස් ආකාරයකින් මතුවෙමින් තිබෙන බවත්, ඒවායින් ගැලවීමේ ක‍්‍රියාමාර්ග තේරිමේදී මේ අභියෝගයන් පිළිබඳව බැරෑරුම්ව සිතීම අත්‍යවශ්‍ය බවත් පැහැදිලි කිරීමටය. 

කොරෝනා අභියෝගය

මා දකින පළමු අභියෝගය වන්නේ හැමෝම කථා කරන රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ කරගනිමින් අද මතුවී තිබෙන කොරෝනා අභියෝගයයි. මේ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගනිමින් තිබෙන තීරණ පිළිබඳව සාකච්ජාව වගේම පළල් සාකච්ජාවක් මේ ප‍්‍රශ්නයෙන් ඇතිවී තිබෙන දේශපාලන ආර්ථික ප‍්‍රශ්න සම්බන්ධව ලෝකය පුරාම ඇතිවී තිබෙන බව  පැහැදිය. මේ පිළිබඳව අපගේ අවධානයට යොමුවීම ඉතාමත් වැදගත්ය. කොරෝනා තත්වය හේතුවෙන් ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ ඇතිවෙමින් තිබෙන වෙනස්කම් සෞඛ්‍ය ප‍්‍රශ්නය වගේම වැදගත් බව මගේ අදහස ය. රටක් ලෙසින් මේ තත්වයට මුහුණදිම සඳහා සෞඛ්‍යමය සැළසුම්වලට අමතරව දේශපාලන හා ආර්ථික තලයේ ගොඩ නගන සැළසුම් ඉතාමත් වැදගත්ය. කොරෝනා උවදුරට සෞඛ්‍යමය මැදිහත්වීමෙන් එහාට ගොස් එයින් ජනිත වෙන සමාජ ආර්ථික ගැටළුවලට උත්තර සෙවීමට උත්සාහ දරන රටක් ලෙසින් අපේ රටට විශේෂ තැනක් හිමිවිය යුතු බවද සත්‍යයක්ය. අපේ රටේ ආර්ථික පුනර්ජවනය වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් නිර්මාණය කළේ මීට බොහෝ රටවල් ඒ පැත්ත ගැන අවධානයක් යොමු කිරීමටත් කලියෙන්ය. මෙහිදී ඒ පිළිබඳව සඳහන් කරන්නේ පසුගිය මාස 6 කාලය පුරාවට ඒ කාර්යසාධක බලකායෙන් සිදුවූ වැදගත් මෙහෙය පිළිබඳව ස්තුතියකින්ද යුක්තවය. 

මෙහිදී අපගේ අවධානයට ගතයුතු තවත් වැදගත් කාරණයක් වන්නේ කොරෝනා මගින් ඇතිකරන මේ අලුත් තත්වය පිළිගැනීමේ සමාජය සිතීමක් අපට අවශ්‍ය බවයි. 2020 මාර්තු මාසයට පෙර තත්වයට අපේ රට යා හැක්කේ තවත් මාස ගණනාවක් මේ උවදුරත් සමගින් පොරබැදීමෙන් පසුව බව මෙහිදී අවධානයට ගැනීම අවශ්‍යය. මීළඟ වසර කීපයටම අපේ එදිනෙදා ව්‍යවහාරයේ චචන ලෙසින් ‘මුව ආවරණ’  ‘අත් සේදීම’ ‘සමාජ දුරස්ථභාවය’ ’ලොක් ඩවුන්’ ‘නිරෝධායනය’ වැනි වචන පවතින බව තේරුම්ගැනීම ඉතාමත් වැදගත්ය. 

ආර්ථිකයේ අභියෝගය

මා දකින දෙවන වැදගත්ම අභියෝගය වන්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ මේ වන විට ඇතිවී ඇති තත්වයයි. රටක් ලෙසින් පසුගිය වසර 70 පමණ කාලයක් පුරාවට අපි ලබාගත් විදේශීය ණය තත්වය විසින් අපේ ආර්ථිකයට සිදුකරමින් තිබෙන බලපෑම මෙහිදී අවධානයට ගතයුතු ප‍්‍රධාන කාරණයයි. රටක් ලෙසින් මීළඟ වසර කීපය තුළම වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4.5 පමණ මුදලක් ණය වාරිකය ලෙසින් ගෙවන්නට රජයට සිදුව තිබේ. මෙවැනි මුදලක් වාර්ෂිකව ණය වාරික වශයෙන් ගෙවන්නට සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර මෙය මේ රජයේ ගැටලුවක් නොව මීට පෙර සිටි හැම රජයක්ම වගකීම ගත යුතු තත්වයක් බව තේරුම්ගැනීමද ඉතාමත් වැදගත්ය. කොරෝනා තත්වයත් සමගින් මුළු ලෝකයේම ආර්ථිකය අර්බුදයට ගොස් ඇති තත්වයක මේ ප‍්‍රශ්නය ඉතාමත් තීරණාත්මක බලපෑමක් සිදුකරන බව පැහැදිලි කාරණයකි.

රටක් ලෙසින් අප සතුව තිබු විදේශීය මුල්‍ය ආකෘතියම කොරෝනා හේතුවෙන් අර්බුදයකට ගමන් කරනු ලැබීම මෙහිදි පෙනී යන තවත් වැදගත් කාරණයකි. අපනයන ආර්ථියේ  ලෝක පරිමානව පසුබෑම -  සංචාරක ව්‍යපාරය අඩපනවීම සහ විදේශීය රැකියා ක්ෂේත‍්‍රයේ පෙන්නුම් කෙරෙන පසුබෑම මේ තත්වය තවත් ගැඹුරු කරන බව පැහැදිලි කරුණකි. මේ තත්වය හමුවේ ආනයන ආදේශන ලෙසින් යම් ආකාරයක කලමනාකරණයක් වෙළදපොල ක්ෂේත‍්‍රයේ සිදුකරන්නට සිදුවීම අනිවාර්ය කාර්යයකි. 1977 සිට සීමාවක් නැති ආනයනයන්ට හුරුවී සිටින සමාජයක ආනයනය පාලනය කිරීමද සමහර අවස්ථාවල ගැටළුකාරිත්වයක් මතු කළ හැකි ක්ෂේත‍්‍රයක් බව අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යයය. 

විදේශ ප‍්‍රතිපත්තියේ අභියෝගය

රටක් ලෙසින් අපි මුහුණදෙන තෙවැනි අභියෝගය වන්නේ විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේ අද ඇතිවී ඇති තත්වයයි. අපි ජීවත්වෙන්නේ ලෝක දේශපාලනයේ අලුත් බලවතුන් දෙදෙනෙක් ආසන්නයේ අපේ රට පිහිටා තිබෙන බව මෙහිදී තේරුම් ගතයුතු කාරණයයි. එසේ අලූතින් ලෝක බලවතුන් වෙමින් සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. මේ රටවල් දෙකේ බල දේශපාලන අපේ රටේ භූ දේශපාලනයේ මහා පොදුසාධකය වීමේ විශාල ඉඩක් ගොඩ නැගී ඇත්තේ මේ තත්වයත් සමගය. විශේෂයෙන් පසුගිය යහපාලනය යැයි කියාගත් රජය විසින් හම්බන්තොට වරායම චීනයට පවරාදීම හේතුවෙන් මතුවී ඇති ඉන්දු චීන දේශපාලන ආතතිය සමහන් කිරීම අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය මේ මොහොතේ මුහුණ දෙන බරපතලම අභියෝගය බැව් මගේ අදහසය. හම්බන්තොට වරාය ‘චීන වරායක්’ බවට පත් කළේ එ් කාලයේ සිටි විපක්ෂය එහි ඇති බරපලකම ගැන සියලූ කරුණු පෙන්නා දෙමින් තිබු තත්වයකය. යහපාලන යැයි කියාගත් ආණ්ඩුවේ මේ අනුවන ක‍්‍රියාමාර්ගය විසින් අපේ රට බරපතල විදේශීය දේශපාලන අවුලක ගැට ගසා ඇති බව තේරුම් ගත යුත්තේ ඉන්දියාව මේ තත්වයට ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබදවත් විමසා බලමින් ය.    

ඇමරිකානු දේශපාලනයේ අලූත් ස්ථාවරයක් වන ඉන්දු පැසිපික් නව උපක‍්‍රමික මැදිහත්වීම අපේ රටට ඉතාමත් ආසන්න බලපෑමක් සිදුකරන්නට කැස කවන්නේද මේ කාරණයම හේතුවෙන් ය. 

චීනය එක පැත්තකත් ඉන්දියාව ඇමරිකාව සහ ජපානය තවත් පැත්තකටත් බෙදී සිදුකරන බල තරඟයත් බවට දකුණු චීන මුහුද පත්වී ඇත්තේ මේ තත්වය තුළය. මේ කාරණය හේතුවෙන්ම අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය තුළනාත්මකව පවත්වා ගෙන යාමට විශාල අභියෝගයක් මතුවී ඇති බව මෙහි ඇති දේශපාලන යථාර්ථයයි. 

දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක්ෂේත‍්‍රයේ ඇති අභියෝගය 

සිව්වෙනුව අපේ රට මුහුණ දෙන අභියෝගය වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයේ රටක් ලෙසින්  සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණයන් පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යා යුත්තේ කුමන ආකාරයෙන්ද යන ප‍්‍රශ්නයයි. දේශපාලන ක්ෂේත‍්‍රය ලෙසින් මා කියන්නේ එක පැත්තින් අලූත් ව්‍යවස්ථාවක් ගෙනඒම පිළිබඳ කාරණයත්, අනෙක් පැත්තෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම කියන කාරණයත් යන දෙකටමය. අලූත් ව්‍යවස්ථාව හැදිම සඳහා මේ වනවිට විශේෂඥ කණ්ඩායමක් පත් කර ඇති අතර ඒ අය හමුවේ ඇති බැරෑරුම් වගකීම වන්නේ සමාජයේ තිබෙන විවිධ බෙදිම් සැලකිල්ලට ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් හැදීමය.  

ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ක්ෂේත‍්‍රයේ, සමාජයේ තිබෙන්නේ ඉතාමත් වෙනස්වන සුළු අදහසක් ය. අදවෙන විට රටේ මාධ්‍ය අවකාශය අලූත් වී හමාරය. 1960 සහ 70 දශකයේ තිබුණේ පුවත්පත් සහ ගුවන් විදුලිය පමණක්ය. 1980 දශකයේ මෙයට රූපවාහිනියත් එකතුවිය. එහෙත් 2010 පසුව රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනස් වී ඇත්තේ හැමෝම ‘ඩේටා ලෝකයක’ හිරකරමින්ය. ඈත ගමක දරුවෙක් පොල්ගෙඩි දෙකක් විකුණා ටේඩා කාඩ් එකක් ඉල්ලන තත්වයකට ගමේ ලෝකයද වෙනස්වී ඇත්තේ මේ තත්වය නිසාය. තවදුරටත් මාධ්‍යය යනු සමාජයේ විසිරි තිබෙන තරංගමාලාවක් මිස ඉස්සර තිබුණු ආකාරයේ පුවත්පතක් ගුවන්විදුලියක් හෝ රූපවාහිනියක් නොවේ. මේ උපකරණ තුනම ‘තරංගකරණය’ වී අතේ තිබෙන දුරකථනයට පැමිණ ඇති ලෝකයක අපි ජීවත්වෙමින් සිටින්නෙමු. ඒ නිසාම රටේ දේශපාලන සංවාදය යනු හැමවිටම වෙනස්වෙන පුදුම සහගත තත්වයක් බවට පත්වීම අපේ සමාජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රධානතම අභියෝගයක් බව මගේ අදහසය. ඒ කියන්නේ මාධ්‍ය ඩිජිටල් ලෝකයට ඇතුල්වීම වැරැද්දක් බව නොවේ. රටේ දේශපාලන සංවාදය ඩිජිටල් අවකාශයට සේන්දුවීම මගින් පෙන්නුම් කරන්නේ සිදුකළ යුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ ලෙහෙසියෙන් කළ හැකි දෙයක් හෝ ලාබෙට කළ හැකි දෙයක් නොවන තැනකට රටත් ලෝකයත් පත්වී ඇති බවය. 

ඡන්ද දේශපාලනය පැත්තෙන් බැලූවත් මේ අලූත් මාධ්‍ය තත්වය (new media condition)  තේරුම් ගැනීම වැදගත් වන්නේ ඒ මගින් හසුරුවන ඡන්දදායක ප‍්‍රමාණය මිලියන 5 ටත් වඩා වැඩි බව දත්ත මගින් පෙන්නා දි ඇති නිසාය. ඒ නිසා දේශපාලන ප‍්‍රතිසංස්කරණ යනු වෙනදාටත් වඩා වැඩි අභියෝගයක් බවට පත්වී ඇති බව පිළිගැනීම නිවැරදිය.   

රාජ්‍ය යාන්ත‍්‍රණය සහ සමාජ චින්තනය ක්ෂේත‍්‍රයේ අභියෝගය 

මා දකින පස්වන අභියෝගය වන්නේ මේ රටේ රාජ්‍යයේ ඵළදයිතාව වැඩිකිරීම සහ නව සමාජ චින්තනයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ය. රාජ්‍යයේ ඵළදයිතාව වර්ධනය කළ හැක්කේ මේ අලූත් තත්වය තුළ රාජ්‍ය සේවය පිළිබඳව නව අදහසක් සමාජයට ඉදිරිපත් කිරීමෙන් බව මගේ අදහසය. රාජ්‍යය යනු හැම ක්ෂේත‍්‍රයකම සිටිය යුතු බලයක් යැයි සිතූ 1970 දශකයේ සිතුවිල්ලෙන් ඉවත්වීම මෙහිදී ඉතාමත් වැදගත්ය. ව්‍යවාපාරික ක්ෂේත‍්‍රයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් නිර්මාණය කරගන්නේ නැතිව ලෝකයේ දියුණු රටවල් සමග තරගයට යාමේ කිසිඳු හැකියාවක් අපට නැති බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. ඇමරිකාව හෝ නව යුරෝපය යන දෙපැත්තේම තිබෙන එක් මහා පොදුසාධකයක් වන්නේ රාජ්‍යයේ වපසරිය පමණක් නොව ආර්ථිකයේ පෞද්ගලික වපසරිය පිළිබඳව ඒ අය කල්පනා කරන ආකාරය ය. 

සමාජ චින්තනයේ විශාල වෙනසක් රටටම අවශ්‍ය යැයි මා කියන්නේ සියලූ දේශපාලන ප‍්‍රශ්න හමුවේ විසඳුම් ඉදිරිපත් කරන්නට රටේ ඉතිහාසය හා ආගමිකභාවය යන ක්ෂේත‍්‍ර දෙකින් ඉදිරීපත්වීම පිළිබඳව කාරණයත් අලූත් විය යුතු යැයි යෝජනා කරමින්ය කයෙන් අලූත් වෙන ගමන් සිතින් අතීතයට ගමන් කරන්නට උත්තේජනයවීම තරුණ පරපුර වෙතින් පවා පෙන්නුම් කිරීම මගින් යෝජනා කරන්නේ අලූත් සමාජ චින්තනයක් ගොඩනගා ගැනීමට අපි තව හුඟක් දුර යායුතු බවය.

මගේ කිවිදා දැක්ම වන්නේ මේ  අභියෝග 5  ජයගැනීමේ රජයේ උත්සාහය හා සමාජයේ කථිකාව අතර ශක්තිමත් පාලමක් ගොඩනැගිය යුතු බව ය. 


Friday, March 20, 2020

කොරෝනා කාලේ ඡන්දේ

මහ මැතිවරණයට නාම යෝජනා භාර දීමේ අවසාන දිනය යෙදී තිබෙන්නේ අද දවසටය. මැතිවරණය සඳහා විවිධ දේශපාලන පක්ෂ සහ දේශපාලන කණ්ඩායම් මේ වනවිටත් නාම යෝජනා පත‍්‍ර භාර දී අවසන්ය. ‘‘මෙවර මහ මැතිවරණයේ උණුසුම යම් පමණකින් හෝ අඩු වෙන්නට හේතු වී තිබෙන්නේ මේ දවස්වල මුළු ලෝකයේම වගේ ගලා යමින් තිබෙන කොරෝනා වයිරසය හේතුවෙන්ය“. අපේ රටටත් කොරෝනා වයිරසය බරපතල ආකාරයෙන් බලපෑම් කරන තත්වයක් තුළ රටේ අවධානය මහ මැතිවරණය වෙතින් ඉවතට ගමන් කිරීමේ තත්වයක් ගොඩනැගී ඇති බව පැහැදිලි කාරණයකි. 

කොරෝනා වයිරසය පිළිබඳව දැනුවත් කිරීම් මේ වනවිට ඉතාමත් හොඳින් සිදුවෙමින් පවතින බව පෙනෙන්නට තිබෙන කාරණයකි. රටේ ජනතාව මේ වගේ වෙලාවක හැසිරිය යුත්තේ කෙසේද යන කාරණය ගැන දැනට ලබා දී ඇති උපදෙස් සමාජයේ බහුතරයක් අය පිළිගනිමින් සිටින බවද නොරහසකි. මා මේ සටහනින් ලියන්නට බලාපොරොත්තු වන්නේ කොරෝනා වයිරසයට සම්බන්ධ දෙයක් පිළිබඳව නොව ලඟ එන මහ මැතිවරණයට සම්බන්ධ කාරණා කීපයක් පිළිබඳවය.

මුලින් ම අවධානයට ගත යුතු කාරණය වන්නේ මෙවර මහ මැතිවරණය පැවැත්වෙන සමාජ හා දේශපාලන සන්දර්භය කුමක්ද යන කාරණය අවධාරණයට ගැනීමය. මේ මහ මැතිවරණය පැවැත්වෙන්නේ අලුත් ජනාධිපතිවරයෙකු පත්වී මාස කීපයකට පසුව වන අතර ජනාධිපතිවරණයේදී රටේ ජනතාව විසින් අනුමත කළ දේශපාලන වැඩ සටහන ඉදිරියට ගෙනයාම මෙහිදී අවධානයට ගත යුතු ප‍්‍රධාන කාරණයක්ය.