Friday, November 27, 2020

කොරෝනා කාලේ අයවැය

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවියට පත්වී වසරක් ගත වුණේ පසුගිය සතියේය. මේ රටේ ජනාධිපති ධුරයට එතුමා පත්වූයේ 2019 නොවැම්බර් 16 වැනිදා ය. පසුගිය වසරක කාලයෙන් මාස අටක් පමණ ගත වුණේ කොරොනා වසංගතයත් සමගින්ය. අනෙක් අතට තවත් මාස හයක් ගත වුණේ රටේ පාර්ලිමේන්තුවක්ද නැතිවය. දැන් පාර්ලිමේන්තුව තෝරා ගෙන ඇති අතර කොරෝනා දෙවැනි රැල්ල පැමිණ ඇත්තේ එවන් තත්ත්වයකය. ඒ කෙසේ වෙතත් මේ වන විට අලුත් ආණ්ඩුවේ පළමු අය වැය ඉදිරිපත් වී තිබෙන බව අප කවුරුත් දන්නා කාරණයක්. මගේ සටහනින් මා සාකච්ඡා කරන්නේ කොරෝනා කාලේ අයවැය පිළිබඳවය.

තාක්ෂණික ආර්ථිකයක්

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ පසුගිය නොවැම්බර් 17 වැනිදාය. ඒ අයවැය කතාව ඉදිරිපත් කරමින් මුදල් ඇමැති වර්තමාන අගමැතිතුමන් පාර්ලිමේන්තුවට කීවේ මේ වන විට ලෝක ආර්ථිකය කාර්මිකකරණයේ උපරිම අදියරකට පැමිණ ඇති බවත් එය තාක්ෂණික ආර්ථිකයක් ලෙසින් නම් කළ හැකි බවත්ය. එසේම අපේ රටේ පවතින ජෛව විවිධත්වය හා සංස්කෘතික විවිධත්වයේ ඇති සාපේක්ෂ වාසිය මත පදනම්ව රටේ ආර්ථිකය වර්ධනය කළ යුතු බවත් එහිදී විශේෂ වශයෙන් අපේ රටේ පිහිටීමේ සාපේක්ෂ වාසිය ආර්ථික වශයෙන් උපරිම ආකාරයෙන් පාවිච්චි කළ යුතු බවත් අගමැතිවරයාගේ අදහස විය.

ලෝක ආර්ථිකයේ දැවැන්තයන් දෙදෙනකු ලෙසින් ඉන්දියාවත් චීනයත් නැගී සිටින නව කලාපීය දේශපාලන තත්ත්වයක් තුළ සහ ලෝක ජනගහනයෙන් සියයට හැටක් පමණ ජීවත් වන කලාපයක් ලෙසින් මේ කලාපයේ ඇති වැදගත්කම මෙහිදී විශේෂ වශයෙන් අවධානයට යොමු වූ කාරණයක් විය. දේශපාලන ආර්ථික ක්ෂේත්‍රයේ කලාපීය වශයෙන් පෙන්නුම් කෙරෙන මේ අලුත් තත්ත්වය ආමන්ත්‍රණය කර ගත් ආර්ථිකයක් අවසාන වශයෙන් අපේ රටේ මේ මොහොතේ සැලසුම්වලට අවසාන අරමුණ විය යුතු බව මේ අදහසින් පෙන්නුම් කරන එක කාරණයක්ය.

රටේ වරාය සහ ගුවන් තොටුපොළ වැනි අතිශයෙන්ම වැදගත් ආර්ථික මර්මස්ථාන දියුණු කිරීම එල්ල කර ගත යුත්තේ නැගී එන ආසියාවේ අලුත් ආර්ථිකය දෙසට බව ඉතාමත් පැහැදිලි කරුණක්ය. පසුගිය මහින්ද රාජපක්ෂ රජය හම්බන්තොට වරාය සහ ගුවන් තොටුපොළ ගොඩ නැගුවේම මේ අදහසින්ය. එහෙත් මීට පෙර පැවැති යහපාලනය යැයි කියා ගත් රජය මේ වරාය චීනයට සම්පූර්ණයෙන්ම පවරා දුන්නේ එහි ඇති වටිනාකම පිළිබඳව කිසිදු හැඟීමකින් තොරවය.


අයවැයක පදනම

රටක අයවැයක් සමහරුන් හිතන්නේ ඉලක්කම් විජ්ජාවක් ලෙසය. එහෙත් අප මෙහිදී තේරුම් ගත යුතු කාරණය වන්නේ අයවැයක් කියන්නේම හුදු ඉලක්කම් විජ්ජාවක් නොව දේශපාලන ලියවිල්ලක් බවයි. මේ ආණ්ඩුවේ අයවැය පදනම් වෙන්නේ සෞභාග්‍යයේ දැක්ම දේශපාලන න්‍යාය පත්‍රය සමගය. සමහර කාලවල අපේ රටේ අයවැය හැදුණේම රටේ දේශපාලන පදනම මත පිහිටා නොව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුවේ හෝ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ මූලික ලියවිල්ලක් ලෙසින් බවද මෙහිදී අපේ අවධානයට ගැනීම වැදගත්ය. මෙවර අයවැය එවැනි හුදු බාහිර ආයතනවලින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කරන විදේශීය හස්තයක් නොවන බව මෙහිදී තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.

අයවැයක න්‍යායික පදනම වන්නේ රටක ආර්ථිකයට සම්බන්ධ තුන් ආකාරයක අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා සකස් කරන ආර්ථිකමය වූ දේශපාලන ලියවිල්ලක් යැයි පැවැසීම නිවැරදිය. ඒ කියන්නේ රටක අයවැය ලේඛනයක් මගින් කරුණු තුනක් මූලික වශයෙන් ආමන්ත්‍රණය විය යුතු බවය. ඒ කරුණු තුන වන්නේ 1. රටේ ආර්ථික වර්ධනය පිළිබඳ රජයේ යෝජනා 2. රටේ ආර්ථික ස්ථායීභාවය පිළිබඳ රජයේ යෝජනා සහ 3. රටේ සමාජ සමානාත්මතාව ගොඩ නැගීමට රජයේ යෝජනා යන ඒවාය. මෙවර රජයේ අයවැය අප විමසා බැලිය යුත්තේ මේ අවශ්‍යතා මෙම ලේඛනය මගින් ආමන්ත්‍රණය කර ඇත්තේ කෙසේද යන කාරණය සිතේ තබා ගනිමින්ය.

ආර්ථික වර්ධනය

මේ රටේ ආර්ථික වර්ධනය පිළිබඳව අතීතයේ සිටම විවිධ න්‍යායික තේරුම් ගැනීම් පැවැති බව මෙහිදී අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. 1948 සිට 1978 දක්වා කාලයේ මේ රටේ ආර්ථිකය පදනම් වූයේ සම්භාව්‍ය ධනවාදී අර්ථක්‍රමයටය (1952 සහ 1965 ආණ්ඩු මෙහිදී නිදසුන්ය). 1956 සහ 1970 කාලයේ පෙන්නුම් කරන්නේ දේශීයකරණය වූ සහ මාක්ස්වාදී අර්ථක්‍රමය පදනම් කර ගත් ආර්ථිකයෝය. (56 සහ 70 ආණ්ඩු මේවාට නිදසුන්ය) 1978 න් පසුව පැමිණියේ ඉහත සඳහන් න්‍යායික උපාය මාර්ගික ආර්ථික පදනම්වලින් බැහැර වූ විවෘත ආර්ථික ක්‍රමයක්ය. මේ අනුව අප මූලික ආර්ථික ක්‍රම කීපයක්ම අත්හදා බලා ඇති බව පැහැදිලිය.

මේ ආර්ථික ක්‍රමවලට සාපේක්ෂව බැලූ විට වැදගත් කාරණයක් වන්නේ ඒ ඒ ආණ්ඩු විසින් රාජ්‍ය සහ වෙළෙඳපොළ අතර ගොඩ නඟා ගත් සම්බන්ධතාව කවරේද යන්නයි. විශේෂයෙන් 1978 න් පසු කාලයේ එක්සත් ජාතික පක්ෂය මුල් කරගත් ආණ්ඩු පදනම් වුණේ ‘රාජ්‍ය දිය වෙන’ පරිද්දෙන් සහ ‘වෙළෙඳපොළ එකම ගැලවුම්කරු’ යන පදනමින් බව මගේ තේරුම් ගැනීමය. මෙවර අයවැයෙන් පැහැදිලිවම පෙන්වා දෙනු ලබන්නේ අපේ ආර්ථිකයේ පදනම තනිකරම රාජ්‍යවාදයක් absolute statism) හෝ තනිකරම වෙළෙඳපොළ වාදයක් හෝ (absolute Makertism) නොවන බවයි. මේ අයවැයට අනුව එය තේරුම් කළ හැක්කේ දේශපාලන ප්‍රායෝගිකවාදයක් (political pragmatism) ලෙසින් බව මගේ අදහසය.
ආර්ථික සංවර්ධනය පැත්තෙන් මේ අයවැයේ ඉදිරිපත් වෙන කරුණු ඉතාමත් ඍජුය. ඉතාමත් ප්‍රායෝගිකය. ආර්ථික සංවර්ධනයේ උපාය මාර්ග අතර අපනයන ආදායම වර්ධනය කිරීමත් ආනයන ආදේශන හඳුන්වාදීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමත් එක් පැත්තකින් ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කරයි.

අනෙක් පැත්තෙන් සියයට 6 ආර්ථික වර්ධනයක් ඉලක්ක කරගනිමින් දේශීය නිෂ්පාදන සහ සේවා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා වැදගත් පියවර රාශියක් යෝජනා කරයි. එසේම රජයේ ආදායම හා වියදම අතර තිබෙන පරතරය සියයට 9 සිට සියයට 4 දක්වා අඩුකිරීමේ උත්සාහයක් කැටි කර ගත් මේ සාර්ව ආර්ථික මෙහෙයුම මගින් යෝජනා කරන්නේ පුළුල් ග්‍රාමීය සංවර්ධනයක් ඉලක්ක කරගත් ශක්තිමත් වර්ධනයකි. සෞභාග්‍යයේ දැක්ම වැඩ සටහන සහ ‘‘ගම සමඟ පිළිසඳරක්’’ වැඩ සටහන මත පදනම්ව යෝජනා වී ඇති මෙම ආර්ථික සංවර්ධන ක්‍රියාදමය මෙම අයවැයේ ප්‍රධානතම කලාපය ලෙසින් පෙන්වා දීම නිවැරදිය.

ආර්ථික ස්ථායීභාවය

අයවැයක දෙවැනි වැදගත් කාරණය වන්නේ එය මගින් එම රටේ ආර්ථිකයේ ස්ථායීභාවයට සිදුකරන බලපෑමය. ඒ කියන්නේ ආර්ථිකයේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීම සඳහා එය මගින් යෝජනා කරන උපාය මාර්ගවල ඇති තත්ත්වයයි. රටේ බදු ප්‍රතිපත්තිය රටේ පොලී අනුපාතය වැනි ආර්ථික උපකරණ (economic instruments) නිසි පරිදි ස්ථාපිත කිරීම රටේ ආර්ථිකයේ වර්ධනයට විශාල බලපෑමක් සිදුකරන බව මෙහි යටි අර්ථයයි. පසුගිය යහපාලනය යැයි කියා ගත් රජයේ තිබූ බරපතළම අවුල ලෙසින් දැකිය හැක්කේ මේ අංශයේ තිබූ අපැහැදිලි සහ අපරිණතභාවයයි.

මෙවර අයවැයෙන් විදේශ මූල්‍ය උපයෝජනය පිළිබඳවත් රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳවත් නිශ්චිතව කරුණු ඉදිරිපත් කර ඇති බව ඉතාමත් පැහැදිලි කාරණයකි. එසේම ඩිජිටල් තාක්ෂණය මූල්‍ය ක්ෂේත්‍රයේ ගෙවීම් සඳහා යොදා ගැනීමට ගෙන ඇති තීරණයද මෙහිදී අවධානයට ගත යුතු කාරණයකි. මෙයට අමතරව මූල්‍ය සමාගම් ප්‍රතිසංස්කරණය පිළිබඳව රජයේ ස්ථාවරය මෙම අයවැය ලේඛනයේ නිශ්චිතවම ඉදිරිපත් වී ඇති තවත් වැදගත් කාරණයකි. ආර්ථික ස්ථායීකරණය පැත්තෙන් ඉදිරිපත් වෙන මෙම යෝජනා මගින් නව පණක් රටේ ආර්ථික දේහයට ලැබෙන බව මගේ විශ්වාසයයි. ඉතිරි කිරීමේ හා ආයෝජන දිරිගැන්වීමේ උපාය මාර්ග පැත්තෙන්ද මෙවර අයවැය මගින් යෝජනා වෙන නව්‍ය අදහස් මේ ක්ෂේත්‍රයේ ශක්තිමත් ආයෝජන ගොඩ නැංවීමට හේතු වන බව පෙනී යයි.

සමාජ සමානාත්මතාව

රටක අයවැයක අනෙක් වැදගත් කාරණය වන්නේ එය මගින් සමාජයේ ආර්ථික හා සමාජ සමානාත්මතාව සඳහා ලබා දෙන සහයෝගයයි. මේ අයවැය ඒ පැත්තෙන් පෙන්වා දෙන්නේ යම් ආකාරයක යථාර්ථවාදී එළඹුමක් බව මගේ අදහසය. බොහෝ අයවැය මගින් කරන්නේ වැටුප් වැඩි කිරීම සහ රාජ්‍ය අංශයේ ප්‍රගමනය පිළිබඳව පමණක් බව අප බොහෝ විට දන්නා කාරණයකි. මෙවර අයවැයේ මේ අංශයේ න්‍යායික පදනම සකස් කර ඇත්තේ ගම සමග පිළිසඳරක් වැඩ සටහන මගින් ප්‍රායෝගික තලයේ සිදුකළ සාකච්ජා මත පදනම්ව බව එහි පැහැදිලිවම සටහන් කර ඇත.

සන්නිවේදන ක්ෂේත්‍රයේ නව නැම්මක් ඇති කිරීම සහ සමාජ සුබසාධන සඳහා විශාල අවධානයක් යොමු කිරීම මෙහිදී අපේ අවධානයට යොමු විය යුතු කලාපයක්ය. අනෙක් අතින් වෘත්තීය අධ්‍යාපන ඉඩ සහ දුරස්ථ අධ්‍යාපනය සඳහා ලබාදී ඇති ශක්තිමත් සහයෝගය මෙහිදී ඉතාමත් වැදගත් කාරණයක්ය.

කොරෝනා කාලයේ රටම සෞඛ්‍ය ප්‍රශ්නයක් සමග ගැට ගැසී ඇති අවස්ථාවක ආර්ථික ක්ෂේත්‍රයේ විශාල ඉදිරි පිම්මක් යෝජනා කරන ප්‍රායෝගික අයවැයක් වශයෙන් මෙවර අයවැය හැඩ හඳුන්වා දිය හැකි බව මගේ අදහසය.

Friday, November 13, 2020

දේශපාලන අභියෝග පහක්

 මේ දවස්වල රටේ දේශපාලනය පිළිබඳව පුළුල්ව සාකච්ජා කරනවාට වඩා හුඟක් අය උත්සාහ කරන්නේ කොරෝනා වසංගතය පිළිබඳව පමණක්  කථාකිරීමට ය. ඒ තරමට රටේ අවධානය මේ වසංගතය සමග ගැට ගැසී ඇත්තේ ලෝක පරිමානව මේ අභියෝගයෙන් මිඳීමට මඟක් තවමත් නොමැති නිසා ය. කොරෝනා පළමු රැල්ලට වඩා මේ දෙවැනි රැල්ල බරපතල බව හැම පැත්තෙන්ම ඇසෙන කථාව ය. ඒ නිසා මේ තත්වය පාලනය කරගැනීම සඳහා අපි කොරෝනාවලට පෙර ලෝකයෙන් මිඳිය යුතු බව මගේත් යෝජනාව ය. ඒ කියන්නේ කොරෝනා වෛරසය නොතිබුණු කාලයේ චර්යාවන් වෙතින් ඉවත්වී ජීවත්වීමේ  අවශ්‍යතාවය ය.  අපි මේ නව සාමාන්‍යයට (new normal) මුහුණ දිය යුතු වෙමු. ඒ සඳහා සුදානම  අපි තුළින්ම පෙන්නුම් කිරීමට අපි හැමෝම හුරුවිය යුතු බව අමුතුවෙන් කිවයුතු දෙයක් නොවේ.

මහාචාර්ය චරිත හේරත් 
මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ කොරෝනා වසංගතය පිළිබඳව පමණක් නොවේ. මා අදහස් කරන්නේ අපි රටක් ලෙසින් මුහුණ දෙන අර්බුදයන් පහක් සමස්තයක් ලෙසින් ගෙන ඒ පිළිබඳව කථා කිරීමටය. වෙනත් ලෙසකින් කිවහොත් මා උත්සාහ ගන්නේ රටක් ලෙසින් මේ මොහොතේ අපි මුහුණ දෙන අභියෝග පහක් එක වගේම වැදගත් බැව් පෙන්නා දෙමින් පැහැදිලි කිරිමටය. රටක් ලෙසින් අපි හමුවේ ඇති අභියෝග පස් ආකාරයකින් මතුවෙමින් තිබෙන බවත්, ඒවායින් ගැලවීමේ ක‍්‍රියාමාර්ග තේරිමේදී මේ අභියෝගයන් පිළිබඳව බැරෑරුම්ව සිතීම අත්‍යවශ්‍ය බවත් පැහැදිලි කිරීමටය. 

කොරෝනා අභියෝගය

මා දකින පළමු අභියෝගය වන්නේ හැමෝම කථා කරන රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය සම්බන්ධ කරගනිමින් අද මතුවී තිබෙන කොරෝනා අභියෝගයයි. මේ සම්බන්ධව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ගනිමින් තිබෙන තීරණ පිළිබඳව සාකච්ජාව වගේම පළල් සාකච්ජාවක් මේ ප‍්‍රශ්නයෙන් ඇතිවී තිබෙන දේශපාලන ආර්ථික ප‍්‍රශ්න සම්බන්ධව ලෝකය පුරාම ඇතිවී තිබෙන බව  පැහැදිය. මේ පිළිබඳව අපගේ අවධානයට යොමුවීම ඉතාමත් වැදගත්ය. කොරෝනා තත්වය හේතුවෙන් ලෝක දේශපාලනයේ සහ ආර්ථිකයේ ඇතිවෙමින් තිබෙන වෙනස්කම් සෞඛ්‍ය ප‍්‍රශ්නය වගේම වැදගත් බව මගේ අදහස ය. රටක් ලෙසින් මේ තත්වයට මුහුණදිම සඳහා සෞඛ්‍යමය සැළසුම්වලට අමතරව දේශපාලන හා ආර්ථික තලයේ ගොඩ නගන සැළසුම් ඉතාමත් වැදගත්ය. කොරෝනා උවදුරට සෞඛ්‍යමය මැදිහත්වීමෙන් එහාට ගොස් එයින් ජනිත වෙන සමාජ ආර්ථික ගැටළුවලට උත්තර සෙවීමට උත්සාහ දරන රටක් ලෙසින් අපේ රටට විශේෂ තැනක් හිමිවිය යුතු බවද සත්‍යයක්ය. අපේ රටේ ආර්ථික පුනර්ජවනය වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් නිර්මාණය කළේ මීට බොහෝ රටවල් ඒ පැත්ත ගැන අවධානයක් යොමු කිරීමටත් කලියෙන්ය. මෙහිදී ඒ පිළිබඳව සඳහන් කරන්නේ පසුගිය මාස 6 කාලය පුරාවට ඒ කාර්යසාධක බලකායෙන් සිදුවූ වැදගත් මෙහෙය පිළිබඳව ස්තුතියකින්ද යුක්තවය. 

මෙහිදී අපගේ අවධානයට ගතයුතු තවත් වැදගත් කාරණයක් වන්නේ කොරෝනා මගින් ඇතිකරන මේ අලුත් තත්වය පිළිගැනීමේ සමාජය සිතීමක් අපට අවශ්‍ය බවයි. 2020 මාර්තු මාසයට පෙර තත්වයට අපේ රට යා හැක්කේ තවත් මාස ගණනාවක් මේ උවදුරත් සමගින් පොරබැදීමෙන් පසුව බව මෙහිදී අවධානයට ගැනීම අවශ්‍යය. මීළඟ වසර කීපයටම අපේ එදිනෙදා ව්‍යවහාරයේ චචන ලෙසින් ‘මුව ආවරණ’  ‘අත් සේදීම’ ‘සමාජ දුරස්ථභාවය’ ’ලොක් ඩවුන්’ ‘නිරෝධායනය’ වැනි වචන පවතින බව තේරුම්ගැනීම ඉතාමත් වැදගත්ය. 

ආර්ථිකයේ අභියෝගය

මා දකින දෙවන වැදගත්ම අභියෝගය වන්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ මේ වන විට ඇතිවී ඇති තත්වයයි. රටක් ලෙසින් පසුගිය වසර 70 පමණ කාලයක් පුරාවට අපි ලබාගත් විදේශීය ණය තත්වය විසින් අපේ ආර්ථිකයට සිදුකරමින් තිබෙන බලපෑම මෙහිදී අවධානයට ගතයුතු ප‍්‍රධාන කාරණයයි. රටක් ලෙසින් මීළඟ වසර කීපය තුළම වසරකට ඇමරිකානු ඩොලර් බිලියන 4.5 පමණ මුදලක් ණය වාරිකය ලෙසින් ගෙවන්නට රජයට සිදුව තිබේ. මෙවැනි මුදලක් වාර්ෂිකව ණය වාරික වශයෙන් ගෙවන්නට සිදුවන පළමු අවස්ථාව මෙය වන අතර මෙය මේ රජයේ ගැටලුවක් නොව මීට පෙර සිටි හැම රජයක්ම වගකීම ගත යුතු තත්වයක් බව තේරුම්ගැනීමද ඉතාමත් වැදගත්ය. කොරෝනා තත්වයත් සමගින් මුළු ලෝකයේම ආර්ථිකය අර්බුදයට ගොස් ඇති තත්වයක මේ ප‍්‍රශ්නය ඉතාමත් තීරණාත්මක බලපෑමක් සිදුකරන බව පැහැදිලි කාරණයකි.

රටක් ලෙසින් අප සතුව තිබු විදේශීය මුල්‍ය ආකෘතියම කොරෝනා හේතුවෙන් අර්බුදයකට ගමන් කරනු ලැබීම මෙහිදි පෙනී යන තවත් වැදගත් කාරණයකි. අපනයන ආර්ථියේ  ලෝක පරිමානව පසුබෑම -  සංචාරක ව්‍යපාරය අඩපනවීම සහ විදේශීය රැකියා ක්ෂේත‍්‍රයේ පෙන්නුම් කෙරෙන පසුබෑම මේ තත්වය තවත් ගැඹුරු කරන බව පැහැදිලි කරුණකි. මේ තත්වය හමුවේ ආනයන ආදේශන ලෙසින් යම් ආකාරයක කලමනාකරණයක් වෙළදපොල ක්ෂේත‍්‍රයේ සිදුකරන්නට සිදුවීම අනිවාර්ය කාර්යයකි. 1977 සිට සීමාවක් නැති ආනයනයන්ට හුරුවී සිටින සමාජයක ආනයනය පාලනය කිරීමද සමහර අවස්ථාවල ගැටළුකාරිත්වයක් මතු කළ හැකි ක්ෂේත‍්‍රයක් බව අවධානයට ගැනීම මෙහිදී ඉතාමත් අවශ්‍යයය. 

විදේශ ප‍්‍රතිපත්තියේ අභියෝගය

රටක් ලෙසින් අපි මුහුණදෙන තෙවැනි අභියෝගය වන්නේ විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේ අද ඇතිවී ඇති තත්වයයි. අපි ජීවත්වෙන්නේ ලෝක දේශපාලනයේ අලුත් බලවතුන් දෙදෙනෙක් ආසන්නයේ අපේ රට පිහිටා තිබෙන බව මෙහිදී තේරුම් ගතයුතු කාරණයයි. එසේ අලූතින් ලෝක බලවතුන් වෙමින් සිටින්නේ චීනය සහ ඉන්දියාවයි. මේ රටවල් දෙකේ බල දේශපාලන අපේ රටේ භූ දේශපාලනයේ මහා පොදුසාධකය වීමේ විශාල ඉඩක් ගොඩ නැගී ඇත්තේ මේ තත්වයත් සමගය. විශේෂයෙන් පසුගිය යහපාලනය යැයි කියාගත් රජය විසින් හම්බන්තොට වරායම චීනයට පවරාදීම හේතුවෙන් මතුවී ඇති ඉන්දු චීන දේශපාලන ආතතිය සමහන් කිරීම අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය මේ මොහොතේ මුහුණ දෙන බරපතලම අභියෝගය බැව් මගේ අදහසය. හම්බන්තොට වරාය ‘චීන වරායක්’ බවට පත් කළේ එ් කාලයේ සිටි විපක්ෂය එහි ඇති බරපලකම ගැන සියලූ කරුණු පෙන්නා දෙමින් තිබු තත්වයකය. යහපාලන යැයි කියාගත් ආණ්ඩුවේ මේ අනුවන ක‍්‍රියාමාර්ගය විසින් අපේ රට බරපතල විදේශීය දේශපාලන අවුලක ගැට ගසා ඇති බව තේරුම් ගත යුත්තේ ඉන්දියාව මේ තත්වයට ප‍්‍රතිචාර දක්වන ආකාරය පිළිබදවත් විමසා බලමින් ය.    

ඇමරිකානු දේශපාලනයේ අලූත් ස්ථාවරයක් වන ඉන්දු පැසිපික් නව උපක‍්‍රමික මැදිහත්වීම අපේ රටට ඉතාමත් ආසන්න බලපෑමක් සිදුකරන්නට කැස කවන්නේද මේ කාරණයම හේතුවෙන් ය. 

චීනය එක පැත්තකත් ඉන්දියාව ඇමරිකාව සහ ජපානය තවත් පැත්තකටත් බෙදී සිදුකරන බල තරඟයත් බවට දකුණු චීන මුහුද පත්වී ඇත්තේ මේ තත්වය තුළය. මේ කාරණය හේතුවෙන්ම අපේ රටේ විදේශ ප‍්‍රතිපත්තිය තුළනාත්මකව පවත්වා ගෙන යාමට විශාල අභියෝගයක් මතුවී ඇති බව මෙහි ඇති දේශපාලන යථාර්ථයයි. 

දේශපාලන ප‍්‍රතිසංස්කරණ ක්ෂේත‍්‍රයේ ඇති අභියෝගය 

සිව්වෙනුව අපේ රට මුහුණ දෙන අභියෝගය වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයේ රටක් ලෙසින්  සිදුකළ යුතු ප‍්‍රතිසංස්කරණයන් පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යා යුත්තේ කුමන ආකාරයෙන්ද යන ප‍්‍රශ්නයයි. දේශපාලන ක්ෂේත‍්‍රය ලෙසින් මා කියන්නේ එක පැත්තින් අලූත් ව්‍යවස්ථාවක් ගෙනඒම පිළිබඳ කාරණයත්, අනෙක් පැත්තෙන් රටේ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම කියන කාරණයත් යන දෙකටමය. අලූත් ව්‍යවස්ථාව හැදිම සඳහා මේ වනවිට විශේෂඥ කණ්ඩායමක් පත් කර ඇති අතර ඒ අය හමුවේ ඇති බැරෑරුම් වගකීම වන්නේ සමාජයේ තිබෙන විවිධ බෙදිම් සැලකිල්ලට ගනිමින් අලූත් ව්‍යවස්ථාවක් හැදීමය.  

ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ පිළිබඳ ක්ෂේත‍්‍රයේ, සමාජයේ තිබෙන්නේ ඉතාමත් වෙනස්වන සුළු අදහසක් ය. අදවෙන විට රටේ මාධ්‍ය අවකාශය අලූත් වී හමාරය. 1960 සහ 70 දශකයේ තිබුණේ පුවත්පත් සහ ගුවන් විදුලිය පමණක්ය. 1980 දශකයේ මෙයට රූපවාහිනියත් එකතුවිය. එහෙත් 2010 පසුව රටේ මාධ්‍ය ක්ෂේත‍්‍රය වෙනස් වී ඇත්තේ හැමෝම ‘ඩේටා ලෝකයක’ හිරකරමින්ය. ඈත ගමක දරුවෙක් පොල්ගෙඩි දෙකක් විකුණා ටේඩා කාඩ් එකක් ඉල්ලන තත්වයකට ගමේ ලෝකයද වෙනස්වී ඇත්තේ මේ තත්වය නිසාය. තවදුරටත් මාධ්‍යය යනු සමාජයේ විසිරි තිබෙන තරංගමාලාවක් මිස ඉස්සර තිබුණු ආකාරයේ පුවත්පතක් ගුවන්විදුලියක් හෝ රූපවාහිනියක් නොවේ. මේ උපකරණ තුනම ‘තරංගකරණය’ වී අතේ තිබෙන දුරකථනයට පැමිණ ඇති ලෝකයක අපි ජීවත්වෙමින් සිටින්නෙමු. ඒ නිසාම රටේ දේශපාලන සංවාදය යනු හැමවිටම වෙනස්වෙන පුදුම සහගත තත්වයක් බවට පත්වීම අපේ සමාජයේ දේශපාලන ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබෙන ප‍්‍රධානතම අභියෝගයක් බව මගේ අදහසය. ඒ කියන්නේ මාධ්‍ය ඩිජිටල් ලෝකයට ඇතුල්වීම වැරැද්දක් බව නොවේ. රටේ දේශපාලන සංවාදය ඩිජිටල් අවකාශයට සේන්දුවීම මගින් පෙන්නුම් කරන්නේ සිදුකළ යුතු දේශපාලන ප‍්‍රතිසංස්කරණ ලෙහෙසියෙන් කළ හැකි දෙයක් හෝ ලාබෙට කළ හැකි දෙයක් නොවන තැනකට රටත් ලෝකයත් පත්වී ඇති බවය. 

ඡන්ද දේශපාලනය පැත්තෙන් බැලූවත් මේ අලූත් මාධ්‍ය තත්වය (new media condition)  තේරුම් ගැනීම වැදගත් වන්නේ ඒ මගින් හසුරුවන ඡන්දදායක ප‍්‍රමාණය මිලියන 5 ටත් වඩා වැඩි බව දත්ත මගින් පෙන්නා දි ඇති නිසාය. ඒ නිසා දේශපාලන ප‍්‍රතිසංස්කරණ යනු වෙනදාටත් වඩා වැඩි අභියෝගයක් බවට පත්වී ඇති බව පිළිගැනීම නිවැරදිය.   

රාජ්‍ය යාන්ත‍්‍රණය සහ සමාජ චින්තනය ක්ෂේත‍්‍රයේ අභියෝගය 

මා දකින පස්වන අභියෝගය වන්නේ මේ රටේ රාජ්‍යයේ ඵළදයිතාව වැඩිකිරීම සහ නව සමාජ චින්තනයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ය. රාජ්‍යයේ ඵළදයිතාව වර්ධනය කළ හැක්කේ මේ අලූත් තත්වය තුළ රාජ්‍ය සේවය පිළිබඳව නව අදහසක් සමාජයට ඉදිරිපත් කිරීමෙන් බව මගේ අදහසය. රාජ්‍යය යනු හැම ක්ෂේත‍්‍රයකම සිටිය යුතු බලයක් යැයි සිතූ 1970 දශකයේ සිතුවිල්ලෙන් ඉවත්වීම මෙහිදී ඉතාමත් වැදගත්ය. ව්‍යවාපාරික ක්ෂේත‍්‍රයේ ශක්තිමත් පෞද්ගලික අංශයක් නිර්මාණය කරගන්නේ නැතිව ලෝකයේ දියුණු රටවල් සමග තරගයට යාමේ කිසිඳු හැකියාවක් අපට නැති බව තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍යය. ඇමරිකාව හෝ නව යුරෝපය යන දෙපැත්තේම තිබෙන එක් මහා පොදුසාධකයක් වන්නේ රාජ්‍යයේ වපසරිය පමණක් නොව ආර්ථිකයේ පෞද්ගලික වපසරිය පිළිබඳව ඒ අය කල්පනා කරන ආකාරය ය. 

සමාජ චින්තනයේ විශාල වෙනසක් රටටම අවශ්‍ය යැයි මා කියන්නේ සියලූ දේශපාලන ප‍්‍රශ්න හමුවේ විසඳුම් ඉදිරිපත් කරන්නට රටේ ඉතිහාසය හා ආගමිකභාවය යන ක්ෂේත‍්‍ර දෙකින් ඉදිරීපත්වීම පිළිබඳව කාරණයත් අලූත් විය යුතු යැයි යෝජනා කරමින්ය කයෙන් අලූත් වෙන ගමන් සිතින් අතීතයට ගමන් කරන්නට උත්තේජනයවීම තරුණ පරපුර වෙතින් පවා පෙන්නුම් කිරීම මගින් යෝජනා කරන්නේ අලූත් සමාජ චින්තනයක් ගොඩනගා ගැනීමට අපි තව හුඟක් දුර යායුතු බවය.

මගේ කිවිදා දැක්ම වන්නේ මේ  අභියෝග 5  ජයගැනීමේ රජයේ උත්සාහය හා සමාජයේ කථිකාව අතර ශක්තිමත් පාලමක් ගොඩනැගිය යුතු බව ය.